ගැබිනි මවට හිමිවන ප්‍රසූත නිවාඩු
නිවාඩු සංඛ්‍යාව
ඕනෑම කාන්තාවක මාතෘ ප්‍රතිලාභ සඳහා වන හිමිකම, ඒ සඳහා වන කාල පරිච්ඡේදය, කම්කරු කාර්යාල, රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් වෙනසක් නොමැතිව සියලු දෙනාටම එකසේ ලබාදිය යුතු වෙනවා. ප්‍රසූතියෙන් පසු සජීවී දරුවෙක් ලැබුණා නම් ඒ කාන්තාවට අනිවාර්යයෙන්ම නිවාඩු ලබාදිය යුතුයි. නමුත් දරු ප්‍රසූතියේදී දරුවා මිය ගියත් අදාළ නිවාඩු ප්‍රමාණය ලැබෙනවා. එලෙස නිවාඩු ලබාදීම සිදුවන්නේ දරු උපතේදී යම් යම් සංකූලතා ඇතිවූයේ නම් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සහ මානසික මට්ටම සකසා ගැනීමටයි.
මාස තුන මදි නම්
කුමන අංශයක රැකියාවේ නිරත වුවත්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව දින 84ක නිවාඩු කාලයක් හිමි වෙනවා. එම නිවාඩු සකස් කිරීමේදී සති අග නිවාඩු පොහොය නිවාඩු ආයතනයෙන් ලබාදෙන නිවාඩු ආදිය අදාළ කරගන්නේ නැහැ. මෙසේ මාස තුනක කාලයක් සඳහා ලබාදෙන නිවාඩු කාලය ප්‍රමාණවත් නොවේ නම් එම කාන්තාවන්ට තමාට ඇති දින භාගයක නිවාඩු කාලවලින් නිවාඩු ලබාගත හැකියි. ඒ හැරුණු විට අවශ්‍ය නම් අදාළ හේතුව දක්වා අතිරේක නිවාඩු ලබාදිය හැකියි.
සැමියාටත් නිවාඩු
එසේම පසුව නිකුත් වූ චක්‍රලේඛයට අනුව සෑම ස්වාමියකුටම තම බිරියගේ දරු ප්‍රසූතියෙන් අනතුරුව දින තුනක නිවාඩු කාලයක් ලබාදෙනවා. නමුත් මේ තත්ත්වය රාජ්‍ය සේවයට පමණක් හිමි වරප්‍රසාදයක් පමණි. මෙලෙස නිවාඩු ලබාදීමට බිරියගේ අවශ්‍යතා සහ බිරියට මානසිකව ශක්තිමත් වීමට ආදී විවිධ හේතු බලපෑ හැකියි.
වරප්‍රසාද අහිමි වුවහොත්
යම් කාන්තාවක් තම දරු පිළිසිඳ ගැනීම ගැන දැනගත් වහාම ආයතන ප්‍රධානියා දැනුවත් කළ යුතු වෙනවා. යම් හෙයකින් ආයතන ප්‍රධානියා විසින් එම කාන්තාවගේ ගර්භණී භාවය නොසලකා හැරියේ නම් ගෙවීම් සහ නිවාඩු පැහැර හැරියේ නම් කම්කරු නීතිය අනුව වන්දි ඉල්ලා නඩු පැවරිය හැකිය. එහිදී ආයතන ප්‍රධානියා විසින් අධිකරණය නියම කරන මුදලක් වන්දි ලෙස ලබාදිය යුතු වෙනවා.
ප්‍රසූතිය ළංවූ විට
ආයතන ප්‍රධානියාට තම ගර්භණීභාවය දැනුම් දීමෙන් අනතුරුව දැන්වීම් කළ දින සිට මාසයක් තුළ දරුවා ලැබීමට අපේක්ෂා කරන බවත් දරු ප්‍රසූතිය සිදුවන බවත් දැනුම් දිය යුතුය. එහිදී සේවයෙන් බැහැර සිටීමට අවසර ලැබෙන දින ගණන තීරණය කිරීම සඳහා ප්‍රසූත කරන දිනය වනවිටත් සිටින දරුවන් ගණනත් ආයතන ප්‍රධානියාට දැනුම්දිය යුතු වෙනවා.
මවුකිරි දෙන කාලය
1939 අංක 32 දරන ප්‍රසූතිකාගාර පනතේ 12 වගන්තියේ (ආ) කොටසේ දරුවාට මවුකිරි දීම පිළිබඳ සඳහන් වෙනවා. දරුවාට වයස අවුරුද්දකට වඩා අඩු නම් රැකියාව කරන පැය 9ක කාලය තුළ එම කාන්තාවට මවුකිරි දීම සඳහා කාලය ලබාදිය යුතුයි. ඒ අනුව එම කාන්තාවට පමා වී රැකියාවට පැමිණීමට හෝ කල් ඇතිව නිවෙස වෙත යෑමට අවස්ථාව හිමිවෙනවා. යම් කාන්තාවක් තම රැකියා ස්ථානය වෙත දරුවා රැගෙන එන්නේ නම් දරුවාට මවුකිරි දීමට සුදුසු ස්ථානයක් අදාළ අංශ ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා විසින්ල බාදිය යුතුයි.
රාජ්‍ය සේවිකාවන්ට
මීට අමතරව රාජ්‍ය සේවය සඳහාම විශේෂ වූ ආයතන සංග්‍රහයක් පවතිනවා. එයට අනුව සෑම දරු උපතක් සඳහාම දින 84ක වැටුපෙන් භාගයක් ලැබෙන පරිදිද අවශ්‍ය නම් වැටුප් රහිතව තවත් දින 84ක් වශයෙන් මාස 6ක කාලයක් නිවාඩු ලබාගත හැකියි.
ගබ්සාවක් වුණොත්
2005 ජනවාරි පළමු වැනි දින නිකුත් වුණු එම ආයතන සංග්‍රහයට අනුව ගබ්සාව නිසා රෝගාතුරවන කාන්තාවටත් එම නිවාඩුව ලැබෙනවා. එසේම විවාහ නොවී යම් කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදුකළත්, ගබ්සාවට ලක් වුවත්, එම කාන්තාවට ඉහත නිවාඩු හිමියි. එය ස්ථිර තාවකාලික, අනියම්, අභ්‍යාසලාභී ඕනෑම මට්ටමක සේවිකාවකට උරුම වෙනවා.
මෘතෘ ප්‍රතිලාභ
ඕනෑම කාන්තාවකට සජීවී දරුවෙක් ලැබිලා තවත් එක් දරුවෙක් සිටියත් නැතත් දින 84ක නිවාඩුවක් හිමිවෙනවා. දරුවන් දෙදෙනෙක් හෝ වැඩි ගණනක් සිටියේ නම් දින 84ට තවත් දින 28ක් අඩංගු වෙනවා. ලැබුණු දරුවා සජීවී දරු උපතක් නොවේ නම්, එම කාන්තාවට අදාළ කාල සීමාව තුළ රැකියාව සඳහා පැමිණියේ නම් ඒ සියල්ල එක්කර ඇයට මාතෘ ප්‍රතිලාභ ලබාදෙනවා.
කඩසාප්පු පනත
1954 අංක 19 දරන සේවක හා වැටුප් පාලන පනත හෙවත් කඩසාප්පු සහ කාර්යාල සේවක පනතේ වැඩි වශයෙන් පෞද්ගලික අංශ සේවකයන්ට අදාළ හිමිකම් ගැන සඳහන් වෙනවා. එහි 18 වැනි වගන්තියට අනුව යම් කාන්තාවක් දින 14 ප්‍රසූත නිවාඩු ලබාගත් විට ඒ කාල සීමාවට අමතරව තවත් 14ක් ඉක්මවා නොගියේ නම් මුළු නිවාඩු කාලය සඳහාද දින 14ට වැඩි කාලයක් නිවාඩු ලබාගත් විට එම කාලයෙන් දින 14ක් සඳහාද පූර්ණ වැටුප් ගෙවනු ලබනවා. කඩසාප්පු පනතෙහි ගර්භණී කාලය සහ ඉන් පසුව එම කාන්තාවට සැලකිය යුතු ආකාරය සඳහන්.
- එහිදී බිලිදාට හෝ මවට හානි කරවන කටයුතුවල යෙදවිය නොහැකියි.
- දරු ප්‍රසූතිය සිදුවී තුන් මසක් ඉකුත් වන තෙක් එවැනි සේවාවක කාන්තාවක් යෙදවීම තහනම්. එසේම ගර්භණී බව නිසා ඇතිවන කායික සහ අතුරු ප්‍රතිඵල මත කාන්තාවක් රැකියාවෙන් පහකළ නොහැකියි.
ප්‍රසූත නිවාඩු සහ අතිරේක නිවාඩු
සාප්පු සේවක හා කාර්යාල පනත සහ මාතෘ ප්‍රතිලාභ පනත යන පනත් දෙකෙන් සාප්පු සේවක හා කාර්යාල පනත අනුව ගර්භණී මවකට දින 84ක නිවාඩුවට හිමිවන්නේ අනෙක් අතිරේක නිවාඩු දින අදාළ කර නොගෙන වුවත් මාතෘ ප්‍රතිලාභ පනතේදී සෙනසුරාදා ඉරිදා දිනද දින 84 සඳහා අදාළ කරගන්නවා. එසේම සාප්පු සහ කාර්යාල පනතේ තුන්වැනි දරුවාට දින 42ක නිවාඩු කාලයක් හිමිවුවත් මාතෘ ප්‍රතිලාභ පනතට අනුව එම දින 42ක නිවාඩුවට සෙනසුරාදා ඉරිදා දිනද අඩංගු වෙනවා. සාප්පු හා කාර්යාල පනතේ එම දින 42කටම වැටුප් ගෙවුවද මාතෘ ප්‍රතිලාභ පනතේ වැටුප් හිමි වනුයේ දින 6 බැගින් පමණි. (සෙනසුරාදා හෝ ඉරිදා හැර) නමුත් මාතෘ ප්‍රතිලාභ පනතේ මවුකිරි දීම පිළිබඳව අඩංගු වන අතර සාප්පු සේවක පනතේ මවුකිරි දීම පිළිබඳව අඩංගු වන්නේ නැහැ.
හංසි ආටිගලමව්බිම