Biz Log
Classifields
Biz Log
Classifields

මවු පදවිය ලබන්නට සැරසෙන ඔබට උපදෙස් රැසක්

මවු පදවිය ලබන්නට සැරසෙන ඔබට උපදෙස් රැසක්

දරු ගැබක් හට ගත් පසු එය ආරක්ෂා කර ගැනීමට මවුවරුන් ලොකු වෙහෙසක් දරන්නෙ නිරෝගී දරුවකු බිහි කිරීම හැම මවකගේත් පියෙකුගේත් පැතුම නිසයි. එසේ නම් තමන් ගැබ් ගෙන ඇති බවට අනුමානයක් ඇති වූ මොහොතේ සිටම ඒ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍යයි.

  • මුලින්ම කළ යුත්තේ ඔබ ගැබ් ගෙන තිබෙන්නේද යන්න නිශ්චිත වශයෙන්ම තහවුරු කර ගැනීමය. මාසිකව ඔසප් වීම සිදුවන, කිසිදු පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය නොකරන කාන්තාවකගේ ඔසප් ප්‍රමාද වූ ගමන්ම ගැබිනි බව සනාථ කර ගැනීම සඳහා මුත්‍රා පරීක්ෂණයක් කර බැලීම වැදගත්. එසේම ඔසප් අක්‍රමවත් කාන්තාවක වුවත් තමන්ට ගැබ්ගෙන ඇතැයි සැකයක් ඇති වුණොත් මුත්‍රා පරීක්ෂණයකින් එය තහවුරු කර ගත යුතුයි. කලින් ගබ්සාවන්ට ලක්වූ කාන්තාවන්ද ඊළඟ අවස්ථාවේ ගැබ්ගෙන ඇති බවට අනුමානයක් ඇත්නම් එයද මුත්‍රා පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය කාර්යයක් වන්නේ එම දරු ගැබ ගබ්සා වීම වළක්වා ගැනීමට ඖෂධ ලබාගත යුතු නිසයි.
  • දියවැඩියාව, අධි රුධිර පීඩනය, අපස්මාරය වැනි රෝගවලට දිගුකාලීනව ඖෂධ ලබාගන්නා කාන්තාවක් ගැබ්ගතහොත් වහාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට සහ ඒ වන විට ගනිමින් හිඳින ඖෂධ, වෙනත් සුදුසු ඖෂධ වර්ගවලට මාරු කිරීම අවශ්‍ය වන බැවිනුයි.
  • හෘද රෝගයකින් හෝ පෙනහලු රෝගවලින් පෙළෙන කාන්තාවක් ගැබ් ගත හොත් එම ගැබිනි බව සනාථ කර ගත් වහාම වෛද්‍යවරයකු හමු විය යුත්තේ එවැනි කාන්තාවන් විශේෂ උපදෙස් ලබාගත යුතු නිසයි.
  • ගර්භණී වන තුරුම විටමින් වර්ග සහ ෆෝලික් අම්ලය ලබා නොගත් කාන්තාවකට ගැබිනි බව මුලදීම සනාථ කර ගැනීම ඉතාම වැදගත් වන්නේ එම ඖෂධ කල් ඇතිවම ලබා ගැනීමට ඉඩකඩ සැලසෙන නිසයි.
  • මින් පෙර ගර්භාෂයට පිටින් දරු ගැබක් පිහිටි කාන්තාවක් ඉක්මනින් වෛද්‍යවරයකු හමුවිය යුත්තේ ඒ දරු ගැබද ගර්භාෂයට පිටතින් පිහිටා තිබිමට ඉඩකඩක් තිබෙන නිසයි. මෙහිදී ගර්භාෂයට පිටින් පැලෝපීය නාළයේ කලලය වැඩුණොත් නාළය පිපිරී මවගේ ජීවිතයට අනතුරක් වීමට හැකියාවක් තිබෙනවා.

තමා ගැබ්ගෙන ඇතැයි සැකයක් ඇති වූ වහාම මුත්‍රා පරීක්ෂණයක් මගින් එය තහවුරු කර ගැනීම තුළින් මෙවැනි හානිදායක තත්ත්වයන් කලින්ම හඳුනාගෙන අවශ්‍ය පිළියම් යෙදීමට හැකි වෙනවා. දරු සම්පතක් නැතිව බොහෝ කලක් සිටි කාන්තාවක් මෙලෙස ගැබ්ගෙන තිබුණොත් එම දරු ගැබ ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත පියවර ගත යුතුයි. එනිසා ගැබ්ගෙන ඇතැයි අනුමානයක් ඇති වුණොත් වහාම එය තහවුරු කර ගැනීම සඳහා මුත්‍රා පරීක්ෂණයක් කර නිශ්චිත වශයෙන්ම ගැබ්ගෙන ඇත්නම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍යයි. ඔබ කිනම් හෝ රෝගයකට ඖෂධ ගන්නා කාන්තාවක නම් ඔබ ගැබ්ගෙන ඇති බවට අනුමානයක් ඇති වුවහොත් වහාම එය පරීක්ෂා කර ගත යුතු වෙනවා. හේතුව ඔබ ගන්නා ඖෂධ කලලයට අහිතකර ඒවා වුවහොත් එයින් කලලය ගබ්සා වීමකට ඉඩ ඇති බැවිනුයි. එවැනි අවස්ථාවකද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමුවිය යුතුයි. ඒ වගේම කිනම් හෝ රෝගී තත්ත්වයක් මත ඔබට එක්ස්-රේ පරීක්ෂණයකට භාජනය වීමට සිදු වුවහොත් එය ඔබ ගැබ් ගෙන ඇත්නම් කලලයට හිතකර වන්නේ නෑ. එනිසා ගැබිනි බව මුල් දිනවලම සනාථ කර ගතහොත් එවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් මිදී හිඳීමට අවකාශ ලැබෙනවා.

දරු ගැබ ආරක්ෂා කර ගැනීමට මුල් මාස තුන ඇතුළත කළ යුතු තවත් දේවල්.

  • ෆෝලික් අම්ලය මි.ග්‍රෑ. 1 බැගින් දිනපතා ගන්න.
  • මුත්‍රා ආසාදන ඇති වීම වැළැක්වීමට ජලය හොඳින් පානය කරන්න. මුත්‍රා ආසාදන ඇති වුවහොත් කෑම අරුචිය වැඩි වෙනවා. වමනයද අධික වෙනවා. ඒ වගේම මුත්‍රා ආසාදනය ඇති කළ විෂබිජ කොන්ද යටිබඩ වැනි ප්‍රදේශ දක්වා පැතිරුණොත් කලලය ගබ්සා වීමටද පුළුවන්. එනිසා කල් ඇතිවම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
  • ගර්භණී බව සනාථ වූ මුලදීම ස්කෑන් පරීක්ෂණයක් කර බැලීමද හේතු කිහිපයක්ම නිසා වැදගත් වෙනවා. ඉහත ද සඳහන් කළ පරිදි කලලය පිහිටා තිබෙන්නේ ගර්භාෂය තුළද පිටතද යන්න සනාථ කර ගැනීමට මුල්ම දිනවල කරනු ලබන ස්කෑන් පරීක්ෂණය මගින් හැකියාව ලැබෙනවා. දරු ගැබ පිටත පිහිටන අවස්ථා ද සුලබයි. එවැනි අවස්ථාවල කලලයට සතියක් දෙකක් ගත වන විටත් එය පැලෝපීය නාළය තුළම පැවතියොත් පැලෝපීය නාළය පුපුරන්නට අවකාශ තිබෙනවා. එවැනි දෙයක් නම් ඉක්මණින් සැත්කමක් මගින් දරු ගැබ ඉවත් කළ යුතුයි. එසේ නැතහොත් මවට මේ තත්ත්වය මතින් ජීවිත හානි පවා ඇති වන්නට පුළුවන්.
  • ස්කෑන් පරීක්ෂණය මගින් තවත් සොයා බලන වැදගත් දෙයක් නම් දරුවාගේ හෘදය වස්තුව නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න බැලීමය. හෘදය වස්තුව ක්‍රියාකාරී බවක් තහවුරු නොවන්නේ නම් ඒ දරුවා මියගොස් සිටින්නට පුළුවන්. මෙහිදී දරුවා දඟලන්නේ නැති අතර මියගිය කලලය ගර්භාෂයේ තිබෙන තාක්කල් මවට ඔසප් හට ගන්නේද නෑ. මෙසේ මගහැරුණු ගබ්සාවක් පවතින්නේ ද යන්න ස්කෑන් පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත හැකියි. මගහැරුණු ගබ්සාවක් ගර්භාෂයේ තිබෙන විට මවට විෂබිජ ශරීරගත වීමට මෙන්ම රුධිරය කැටි නොනැගෙන රෝග හැදෙන්නත් පුළුවන්. එමගින් මවගේ මරණයද සිදු විය හැකියි.
  • කලලයේ දින ගණන මවට වැරදෙන අවස්ථා ද තිබෙනවා. මුලදීම සිදු කරන ස්කෑන් පරීක්ෂණයක් මගින් කලලයේ දින ගණන සොයාගත හැකියි.
  • සමහර කාන්තාවන්ගේ ගැබක් හට ගත් පසු එය දරුවකු ලෙස වර්ධනය වීම වෙනුවට මිදි ‍පොකුරක් මෙන් හැදෙනවා. මෙයද ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනාගෙන ඉවත් කළ හැකියි.
  • මුල් තුන් මාසය තුළ ගැබිනි මවක් දුර ගමන් බිමන් යාමෙන් වැළකිය යුතුයි. එහිදී ජලය පානය කරන්නට අපහසු වෙනවා. ජලය පානය කළත් මුත්‍රා පහ කිරීමට පහසුකම් ලැබෙන්නෙ අඩුවෙන්. එනිසා මුත්‍රා ආසාදන හට ගන්න පුළුවන්. මුත්‍රා ආසාදන නිසා කලලයට හානි ඇති විය හැකියි.
  • කෑම බිම අතරින් කළු පැහැති මාළු වර්ග සුදුසු නෑ. හේතුව ඒවායේ හිස්ටමින් නැමැති රසායනිකය අධික නිසයි.
  • සෙම ගතිය වැඩි අය සෙම වැඩි වන ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. සෙම වැඩි වුණොත් සෙම පැසවීමෙන් ආසාදන හට ගන්න ඉඩ තිබෙනවා. එවිට උණ ඇති වෙනවා. උණ නිසා කලලය වටා ඇති දියරය (උල්බ තරලය) රත් වෙනවා. එය කලලයට හිතකර වන්නෙ නෑ.
  • ඒ වගේම මුල් මාස තුන තුළ අමු හෝ බාගෙට පැසුණු අන්නාසි, ගස්ලබු වැනි පළතුරු ගැනීම නුසුදුසුයි. ඒවායේ තිබෙන රසායනික ද්‍රව්‍යවලින් ඇතැම් විට කලලයට හානි විය හැකියි.

සාකච්ඡා කළේ ඉන්දු පෙරේරා

උපුටා ගැනීම ලක්බිම

Share This Article