Biz Log
Classifields
Biz Log
Classifields

කනේ මයිල් ඇති අය හෘදයාබාධ ගැන සැලකිල්ලෙන් ඉන්න

heart attack

හෘදයාබාධයක් යනු කුමක්දැයි දැන් බොහෝ දෙනා තුළ අවබෝධයක් තිඛෙනවා. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය (කොලෙස්ටරෝල්) තැන්පත් වීමෙන් එම නාළ සිහින් වී ඒවා තුළ රුධිර කැටි ඇති වීමෙන් හෘදයට රුධිර සැපැයුම අඩාල වේ. එමඟින් උවදුරට පත් හෘද පේශියේ අදාළ කොටස මිය යාම හෘදයාබාධයක් ලෙස හැඳින්වේ. හෘදයාබාධයක් හටගන්නා පළමු අවස්ථාවේම රෝගියා මරණයට පත්වෙන අවස්ථා බහුලය. ඊට හේතුව හෘද රෝග බොහෝවිට ඇතිවන්නේ ක්‍ෂණිකව වීමය. හෘදයාබාධවලට ගොදුරු වන්නන්ගෙන් 60% ක්ම ඉන් පෙර කිසිදු පපුවේ වේදනාවක් නොතිබූ අය වීම මෙහි ඇති බැරෑරුම් තත්ත්වයයි. එහෙයින් හෘදයාබාධයකට ගොදුරු වීමේ අවදානම් ලක්‍ෂණ ඔබ වෙත ඇත්ද? එසේ නම් ඒවායෙන් වැළැකිය හැක්කේ කෙසේද යන කරුණු පිළිබඳ මූලික අවබෝධයක් සෑම පුද්ගලයකු තුළම තිබීම වැදගත් ය. ඒ පිළිබඳ විස්තර අප පසුගිය ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කළෙමු. 

හෘදයාබාධයකට බලපාන ප්‍රධාන සාධක වන දුම්බීම, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අධික වීම, ස්ථූලතාව, අධික රුධිර පීඩනය, දියවැඩියාව, ව්‍යායාම මද වීම, මානසික අසහනය සහ ජන්ම ප්‍රවේණිය වැනි ලක්‍ෂණවලින් හිතාමතා වළක්වා ගත හැකි සාධක මඟහරවා ගැනීමෙන් හෘදයාබාධවලට ගොදුරු වීමේ අවදානම අඩු කරගත හැකිය. එමෙන්ම මේද සහිත ආහාර, සීනි සහ ලුණු භාවිතය අවම කිරීම, සමබල පෝෂ්‍යදායී, ආහාර සහ ව්‍යායාම ද මානසික සුවයද මඟින් නිරෝගී හදවතක සුවය ළඟා කරගත හැකිය. වයස අවුරුදු හතළිහ පිරුණු විට අවම වශයෙන් වසරකට වරක්වත් වෛද්‍ය පරීක්‍ෂණයක් කර ගැනීම සුදුසුය. විශේෂයෙන් ම ඔබේ පවුලේ හෘද රෝගීන්, දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය සහිත අය ඇත්නම් ප්‍රවේණිගතව එම රෝග ඔබටත් හටගැනීමේ වැඩි අවදානමක් ඇත. එහෙයින් එම රෝගවලට බලපාන වළක්වා ගත හැකි සෙසු අවධානම් ලක්‍ෂණවලින් අත්මිදීමට වගබලාගත් විට එම රෝග ඇතිවීමේ හැකියාව අවම කරගත හැකි වේ. පවුලේ ඥාතීනට ඉහත රෝග පවතින පුද්ගලයන් වයස අවුරුදු හතළිහෙන් පසු වසරකට වරක් වත් රුධිරයේ අඩංගු මේද ප්‍රමාණය, රුධිර පීඩනය, රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය පරීක්‍ෂා කරවා ගත යුතුය. මීට අමතරව ඇස් පරීක්‍ෂාවද මුඛ පරීක්‍ෂාවද කර ගැනීම වැදගත් වේ.

හෘද රෝගයක් ඇති විය හැකියයි සැක කළ හැකි අවස්ථා හඳුනා ගෙන සිටීම ද වැදගත් වේ. ඒ ලක්‍ෂණ නම්,

  • සුළු වැඩක් පළක යෙදෙන විට වුවත් හතියක් ඇති වීම.
  • කය මෙන් ම සිත වෙහෙසවන විට පපුව මැද ප්‍රදේශයේ ඇති වන වේදනාව. (වෙහෙස නිවන විට වේදනාවද නැතිව යාම සැලකිල්ලට ගන්න)
  • කරන කාර්යයට අනුකූල නොවන තරම් වෙහෙසක් දැනීම.
  • ආහාර වේලකින් පසුව පපුව හිර වීම හෝ හතිය හෝ ඇති වීම.
  • කැස්ස. (සෙම නොකැඩී යන වියළි කැස්ස)
  • කකුල් ඉදිමීම.
  • බඩ පපුව දැවිල්ල.
  • ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමීම. (අධික ලෙස වෙහෙස වූ විට)
  • පපුවේ ගැස්ම.
  • හිසරදය - විශේෂයෙන් හිස මුදුනෙන් දැනෙන හා උදෑසන ඇතිවන හිසරදය සැලකිල්ලට ගත යුතුය.

හෘදයාබාධයකට තුඩු දෙන ජානමය ලක්ෂණ ඇතැම් විට පුද්ගලයාගේ බාහිර ලක්ෂණ මඟින් විද්‍යමාන වේ. එවැනි ලක්ෂණ අතරින් බහුලව දැකිය හැකි ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

  • කන්පෙත්තෙහි ඇල ඉරක් තිබීම.
  • කන් පෙතිවල අධික රෝම තිබීම.
  • සම මතු පිට කොලෙස්ටරෝල් තැන්පතු කහ පැහැති පැතලි ගඩු ලෙස දිස්වීම. විශේෂයෙන් ඒවා ඇස් වටා දැකගත හැකිය.
  • වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ගේ කළු ඉංගිරියාව වටා සුදු පැහැති අඩ සඳක් පැවැතීම.

එවැනි ලක්ෂණ සහිත, පවුලේ ඥාතීන් ඉහත රෝගාබාධවලින් පෙළෙන අය තමාටත් එම රෝග හටගැනීමේ හැකියාව ඇති බව වටහා ගත යුතුය. එවැනි පුද්ගලයන් අවදානම් සාධකවලින් වැළකී, පෝෂ්‍යදායී ආහාරපාන ගැනීම ප්‍රමාණවත් ව්‍යායාමවල යෙදීම සහ මානසික ආතතියෙන් තොර මනසක් පවත්වා ගැනීම මඟින් හදවත් රෝගවලින් වැළකී සිටීමට යෞවන වියේ පටන්ම සිතට ගැනීම වැදගත් වේ.

කොලෙස්ටරෝල් පිළිබඳ ඔබ දත යුතු දේ

රුධිරයේ අඩංගු කොලෙස්ටරෝල් ර්‍ණඅඩු ඝනත්ව මේද ප්‍රෝටීන (එල් ඩී එල්) අංශු ලෙස පැවතුණහොත් ඉන් ඇතිවිය හැකි හානිය වැඩිය. එහෙත් එල් ඩී එල් අංශු පවා වැඩිපුර හානිකර වන්නේ ඔක්සිජන් හා සම්බන්ධ වූ විටය. එහි අර්ථය වන්නේ ඔක්සිකරණය නොවූ එල් ඩී එල් අංශුවලින් සිදුවන හානිය අඩු බවය.

එල් ඩී එල් අංශු ඔක්සිකරණය වීම වළක්වනුයේ කෙසේ ද?

ඒ සඳහා ප්‍රතිඔක්සිකරණ ද්‍රව්‍ය අවශ්‍යය. මිනිසාට ඉතා වැදගත් ප්‍රතිඔක්සිකරණ ද්‍රව්‍ය කිහිපයකි. ඒවා සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් සිරුරට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ලබාගත හැකිය. 

  • බීටා කැරටින් විටමිනය - මෙය කහ පැහැති එළවළු සහ පලතුරුවල සුලභව ඇත. ඒවා සිරුර තුළ දී විටමින් ‘ඒ’ බවට පත් වේ.
  • විටමින් ඊ - කජු, රටකජු, කොට්ටම්බා ආමන්ඩ් වැනි ඇට වර්ග.
  • විටමින් සී - සියලුම ඇඹුල් රසැති පලතුරුවල තිබේ.
  • සෙලේනියම් - විරල ගණයේ මූල ද්‍රව්‍යයක් වන මෙය බත්වල තරමක් තිබේ.

ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර බහුලව ලබාගන්නා අයට හෘදයාබාධයක් හටගැනීමේ අවදානම අඩු බව වෛද්‍ය පර්යේෂණවලින් සනාථ වී තිබේ.

ඔබේ පවුලේ අයෙකුට පපුවේ අමාරුවක් හැදුණොත්... 

හෘදයාබාධයක් ඇතිවන්නේ කවදා කොතැන කොයි වේලේදැයි කල් තියා කීමේ හැකියාවක් කිසිවෙකු තුළ නැත. නිවසේදී කාර්යාලයේදී හෝ මහමඟදී යමකුට පපුවේ වේදනාවක් ඇති වුවහොත් ක්‍රියා කළ යුතු ආකාරයත් රෝහලට ගෙන යාමට පෙර දිය හැකි ප්‍රථමාධාරත් පිළිබඳව දැන සිටීම වැදගත් ය. එහෙයින් පපුවේ අධික වේදනාවක් දැනුණු විට පහත කරුණු අනුගමනය කළ යුතුය.

  • පළමුව රෝගියා තිරස්ව සතපවන්න. ඇඳක් නැත්නම් වඩාත්ම සුදුසු බිම දිගාවීමට සැලැස්වීමයි. පැත්තට හැරී සිටීමට අවශ්‍ය නම් එසේ කරන්න. සිහිමද රෝගියකු නම් පැත්තට හරවා තබන්න. වමනය හා කෙළ පෙණහැල්ලට යෑම වැළැක්වීම පිණිස එසේ හරවා තැබීම අවශ්‍ය වේ.
  • දිගාවී සැතැපෙන්නට ඉඩක් නැත්නම් වාඩි කරවන්න. එහෙත් දෙපා ශරීර මට්ටමට එන ලෙස කකුල් ඔසොවා බංකුවක් වැනි දෙයක් මත තබන්න.
  • වාඩි වී සිටීමෙන් හුස්ම ගැනීම වඩා පහසු බව රෝගියා පවසන්නේ නම් ඔහුට ඒ අයුරින්ම සිටීමට ඉඩ දෙන්න.
  • තදට ඇඳ ඇති ඇඳුම් ලිහිල් කරන්න. ඉණපටි, ටයිපටි ආදිය ඉවත් කරන්න.
  • මලපහ කිරීමට හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය නම් ඇඬේ දිගා වී සිටියදීම එසේ කරන්නට ඉඩ හරින්න. නැගිටුවා ඇවිදීමට ඉඩ නොදිය යුතුය.
  • හෘද රෝගියකු ළඟ පාත සිටීදැයි විමසන්න. හෘද රෝගීන් ළඟ හදිසි අවස්ථාවක දී දිව යට තබා ගත යුතු ටී.එන්.ටී. පෙති ඇත. එබඳු රෝගියකු අසල සිටියහොත් ඔහුගෙන් ටී.එන්.ටී. පෙති දෙකක් ඉල්ලා කුඩු කොට රෝගියාගේ දිව යට තබන්න. විනාඩි දහයකට පසු වේදනාව තවමත් තිබේ නම් තවත් ටී.එන්.ටී. පෙති දෙකක් එලෙසම ලබා දෙන්න. පැය භාගයක් ඇතුළත පෙති හයකට වඩා නොදිය යුතුය.
  • ඇස්පී‍්‍රන් හෝ දියවෙන සුලු ඇස්පි‍්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප කාලක දිය කොට රෝගියාට පොවන්න. මෙය ඉතා වැදගත් පියවරකි.
  • දහදිය දැමීම අධික නම් රෙදි කඩකින් පිස දමා සෙමෙන් පවන් සලන්න.
  • රෝගියා වටා බොහෝ දෙනා වට වීමෙන් වළකින්න. එයින් ඔහුට වාතාශ්‍රය නොලැබීම පමණක් නොව මානසික අසහනය ද වැඩිවේ.
  • ගෑස් අඩංගු බීම, බ්‍රැන්ඩි ආදිය නොදිය යුතුය.
  • එම මූලික ප්‍රථමාධාර දීමෙන් පසු හැකි ඉක්මනින් රෝගියා ළඟම පිහිටි රෝහල වෙත ගෙන යාම සුදුසුය.

හෘදයාබාධ වළක්වාගන්න කන බොන දේ ගැන සිතන්න. 

හෘදයාබාධ වැළැක්වීම සඳහා සරල ආහාර උපදෙස් මෙසේ දැක්විය හැකිය. ආහාරයට ගත හැකි ආහාර වර්ග අටකි.

  • නිවුඩු හාල් බත.
  • පිටි ආහාර - ඉඳි ආප්ප, පිට්ටු, රොටී හැකි තරම් කුරහන් පිටි යෙදීම වඩා සුදුසුය.
  • සියලුම එළවළු සහ පලා වර්ග.
  • සියලු වර්ගයේ පලතුරු.
  • පියලි වර්ග - මුං, කව්පි, සෝයා, පරිප්පු, කඩල.
  • බිත්තර සුදු මදය.
  • අලුත් මාළු හෝ අමුතු තෙලක් නොයෙදූ ටින් මාළු.
  • මේද රහිත කිරි.

සෞඛ්‍යදායී ආහාර පිළිබඳ මූලධර්ම තුනකි.

  • හැකිතරම් (මාළු හැර) මස් වර්ග අඩු කරන්න.
  • පෙරාගත් ශාඛ තෙල් හැර ශාඛ ආහාර බහුලව ගන්න.
  • ඕනෑම ආහාරයක් ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් වළකින්න.

වැළැකිය යුතු ආහාර වර්ග පහකි.

  • මස් වර්ග - මාළු සහ හම ඉවත්කළ කුකුළු මස් පමණක් සුදුසුය.
  • කිරි වර්ග - මේද රහිත කිරි පමණක් සුදුසුය.
  • බිත්තර - කහ මදය නොකෑ යුතුය.
  • මිටි කිරි - දෙවැනි හෝ තෙවැනි කිරි යොදා ආහාර පිසීම සුදුසුය.
  • තෙල්, බටර් හා මාගරීන් වර්ග නොසුදුසුය.

පුද්ගලයකුට අවශ්‍ය දෛනික කැලරි ප්‍රමාණය ඒ ඒ පුද්ගලයාගේ උස හා බර අනුව වෙනස් වේ. බර වැඩි නම් හෝ අඩු නම් බර අඩු වැඩි කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත ලබාගන්නා ආහාර ප්‍රමාණය අඩු වැඩි කරගත යුතුය. කුඩා ළමයින් ශක්තිය වැඩියෙන් වැය කරන හෙයින් ඔවුන්ගේ ආහාර පාලනය සුදුසු නැත. එහෙත් කුඩා කල සිටම පැණි රස සහ ලුණු සීමාවක් සහිතව ලබා දිය යුතුය. පැණි රස කෑම හෝ පැණි බීම බහුලව ගැනීම දන්ත සෞඛ්‍යයට ද අහිතකර වේ. යෞවනයේදී ද පෝෂණය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. යොවුන් වියේදී හුරු පුරුදු වන දුම්බීම, මත් වතුර බීම අයහපත් ආහාර රටා ඉතා ඉක්මනින් හදවත් රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ දමයි. වයස අවුරුදු තිහෙන් පසුව සෑම පුද්ගලයකුම සිය ආහාර වේල, යහපත් හුරු පුරුදු නිසි ව්‍යායාම හා මානසික සුවය පිළිබඳ විශේෂයෙන් සැලකීම හදවත් සුවය සඳහා ඛෙහෙවින් වැදගත් වේ.

හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායකඋපුටා ගැනීම සිළුමිණ පුවත් පත

Share This Article