අහු (Morinda citrifolia)
අච්ජුක යන ප්‍රකට පර්යාය නාමයෙන් හඳුන්වන අහු, කහ පැහැයට හුරු සුදු පැහැති පොත්තක් සහිත, මීටර් 9 ක් පමණ උසට වැඩෙන කුඩා දේශීය ශාකයකි. විශාල දිලිසෙන සුලු සරල පත්‍ර සම්මුඛව පිහිටයි. ඉලිප්සාකාරය පත්‍රයක දිග සෙ.මි. 20 සහ පළල සෙ.මි. 12 පමණ වේ. පුෂ්ප මංජරිය කක්ෂීයව තනිව පිහිටන ශීර්ෂකයකි. පෙති 5 ක් හෝ 6 ක් සහිත කුඩා මල් මල් සුදු පැහැතිය. මාංසල සංයුක්ත ඵලය කොල පැහැති වන අතර ඉදුණු පසු ළා කහ හෝ සුදු පැහැති විය හැකිය. මෙම උද්භිද ගණයටම අයත් හීං අහු (Morinda coreia) නමින් හඳුන්වන තවත් දේශීය ශාකයක් ඇති අතර එය සුලභව දක්නට ලැබෙන්නේ වියළි කළාපයේ ය. අහු Rubiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය.
ගෙඩි වණ වෙදකමේදී යොදා ගන්නා ප්‍රධාන ඖෂධීය ශාකයක් වන අහු බහුලවම බාහිර ප්‍රලේප වශයෙන් භාවිතා කරයි. එමෙන්ම අජීර්ණ, අක්මා, ප්ලීහා සහ වකුගඩු රෝග, අතීසාර, පාචන, මධුමේහ, රක්ත පිත්ත, කැස්ස, ඇදුම, රුධිර වහනය, සූතිකා උණ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා අහු ශාකයේ කොළ, දළු, පොතු, මුල් හා ගෙඩි භාවිතා කරයි. අහු මුල් විරේචක සහ ස්‍රාව වියළන ගුණයෙන් යුක්තය. අහු ගෙඩි හා කොළ අාර්ථතවය ජනනය කරන, අවරෝධාතා නසන, බලකාරක සහ උණ නසන ගුණ සහිතයි. ඉදුනු අහු ගෙඩි මෘදු විරේචක ගුණැතිය.
ගෙඩි වණ වෙදකමෙහි ක්ෂත ශෝධන, රෝපණයෙහි පැසවීමට අහු භාවිතා කරයි. එහිදී පත්‍ර තලා ලබා ගන්නා යුෂ ආලේප කරයි. පත්‍ර අඹරා සාදාගත් ප්‍රලේපය තුවාල ශෝධන සහ රෝපණය සඳහා යොදා ගනී. ඊටම ළපටි කොළ අඹරා ගත් පත්තුව , ඉඟුරු තෙල් යම් ප්‍රමාණයක බහා රත්කර ප්‍රලේප වශයෙන් යොදා ගනී. විදුරුමස් ශක්තිමත් කිරීමට අහු ගැට තම්බාගත් ජලයට ලුණු මිශ්‍රකර කට සේදිය යුතුය. එයටම අහු ගැට පුලුස්සා ගත් අළු ලුණු කුඩු මිශ්‍රකර විදුරුමස්වල ආලේප කළ යුතුය. අහු දළු පුටපාකය මී පැණි සමඟ ළදරු අතීසාරට ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. මව්වරුන්ට දරුවන් වැදූ අලුත වැලඳෙන සූතිකා උණට අහු නැටි කසාය යොදා ගනී. එය මැලේරියා වැනි වෙනත් උණ රෝග සඳහා ද ප්‍රතිපලදායක ය. විෂහරණ තෛලය නිපදවීම සඳහා ද අහු භාවිතා කරයි.
අප රටෙහි ඈත අතීතයේ සිටම හදි හූනියම්, අණවින, කොඩිවින ආදී ගුප්ත විද්‍යා කටයුතු සඳහා අහු භාවිතා කර ඇත. ඒ හේතුව නිසා අහු විෂ සහිත ශාකයක් ලෙස සමාජගතවී තිබුන ද වෙනත් රටවල අහුගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගනී. සැකසූ අහුගෙඩි යුෂ එම රටවල ජනප්‍රිය පානයකි. Noni Fruit සහ Noni Juice ලෙස අන්තර්ජාලයේ සෙවූ විට මේ පිළිබඳ බොහෝ තොරතුරු ලබා ගත හැකිය.
උපුටා ගැනීම අපේ ඔසු blogspot