අබිං [Papavar somniferum]
පොපි නමින් වඩාත් ප්‍රසිද්ධ මෙය අඩි 3 - 4 උසට වැඩෙන ශක්තිමත් වාර්ෂික ශාකයකි. මෙහි මල අඟල් 4 - 5 දක්වා පළල් වන අතර සුදු, ලා රතු හෝ දම් පාටින් යුක්තය. ඵලය කොටස් 8 - 12 දක්වා බෙදුන පැතලි මඬලක් සහිත සිනිඳු ගෝලාකාර ස්ඵෝටිකාවකි. ක්‍රි.පු. 1500 දී ලියන ලද මිසර පැපිරස් ලියවිල්ලක අබිං ගැන සඳහන් වේ. මේ ශාකයේ ජන්මභූමිය බටහිර ආසියාව වුවත් දැන් එය බොහෝ රටවල පැතිර ගොස් ඇත. ඉන්දියාව, චීනය, දකුණු ඇරිකාව සහ අග්නිදිග ආසියානු රටවල් කිහිපයක එය වවනු ලැබේ. අබිං නම් ඔසුව/මත්ද්‍රව්‍යය සාදා ගනු ලබන්නේ මෙම ශාකයේ නොපැසුනු ගෙඩි වල කිරිවලිනි. පිහියකින් මෙම ගෙඩිවල සිහින් කේඳි ඇන්ද විට ඉන් පිටවන කිරි සුලඟට වියලී එහිම ඝන ද්‍රව්‍යයක් ලෙස රැඳෙන අතර අබිං යනුවෙන් හඳුන්වන්නේ එයයි. ඈත අතීතයේ සිටම ලෝකයේ බොහෝ රටවල වේදනාව සමනය කරන ඔසුවක් ලෙස අබිං භාවිතා වී ඇත. මේවන විට අබිං වල ඇති ඇල්කලොයිඩ විසිඑකක් හඳුනාගෙන ඇති අතර ඒවායින් මෝෆීන්, කෝඩීන් හා පැපවරීන් නම් තුන්වර්ගය ඖෂධ ලෙස භාවිතා කරයි.
ඖෂධීය වටිනාකම :
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව අබිං සංකෝචනකාරකය, ශක්තිජනකය, ශරීරය නිවා මේදය වඩවයි, වා පිත් සෙම් නසයි. අබිං ශරීර ගත වූ විට මත් ගතියක් දැනෙන අතර වාජීකරණ ගුණ
සහිතය. කැස්සට ගුණය. වාතය වඩවයි. අධික ලේ වහනය මඩියි. අතීසාරයට දෙන
"ජලසන්නිකපාලය"නම් බෙහෙත් ගුලියට අබිං ප්‍රමාණයක් එක් කරනු ලැබේ. ප්‍රමේහ රෝග රැසකට ඖෂධයක් වූ "ප්‍රමේහගජාංකුශය"
නම් රසායන බෙහෙතට අබිං එක් කරනු ලබයි. යුනානි වෙදකමෙහි ද අබිං භාවිත වේ. එය මූත්‍ර වැඩි කරන ඔසුවකි. අතීසාරයට, පපුවේ රෝගවලට, කන් රෝගවලට, ඇස් රෝගවලට, උදර රෝගවලට, අැදුම අර්ශස් සහ මූත්‍රාශයේ
ගල් සඳහා ප්‍රතිකාර වලට යොදා ගැනේ.
අපේ ඔසු පැල blogspot