රාම රාවණා යුද්ධයේදී ඔසුවක් ලෙස දඹදිවින් ගෙනා අදටත් රස බැලිය හැකි ව්‍යංජනයක්


කලින් ගැමි සමාජයේ තරමක ජනප්‍රියත්වයට පත් තැල්කොළ ඇඹුලට දැන් නාගරික සමාජයෙන්ද සැලකිය යුතු ඉල්ලුමක් ලැබෙමින් පවතී. තැල්කොළ ඇඹුල කෑම මේසයට එක්වූ දිනක නිවසේ කිසිවෙකුටත් කෑම සඳහා පෙරැත්ත කිරීමට අවශ්‍ය වන්නේ නැත. ලොකු කුඩා භේදයකින් තොරව කොයි කවුරුත් තැල්කොළ ඇඹුලට මනාපය. ඒ තැල්කොළ ඇඹුල එතරම් රසවත් නිසාය. රසයෙන් පමණක් නොව ගුණයෙන්ද තැල් ඉතා විශිෂ්ටය. එනිසා දැන් අපි ඒ ගැන විමසුමක් කරමු.

(Ipomoea obscura (L) ker gawi නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන තැල් Convolvulaceae හෙවත් ත්‍රිවෘත් කුලයට අයත්ය. ‍පොදු සිංහල නාමයන් වන්නේ තැල් හා මහමඩුය. සංස්කෘතික බසින් වචාගන්ධා, ලක්ෂ්මණ, කුලිනී මඤ්ජිකා, පුත්‍රකනු, පුච්ඡද්‍ර, අසුබින්දුච්ඡද්‍ර, නාගිනී, නාශාහ්වා, නාගපූර්තු යන නාමයන් යෙදේ. දමිළ බසින් තැල් හඳුන්වනු ලබන්නේ විරුතාලී, විරුඩාලී, සිරුද්‍රලී, සිරුට්ටාලි, කුරුගුට්ටාලි යන නාමයන්ගෙනි. සමශීතෝෂ්ණ ප්‍රදේශයන්හි හොඳින් වැවෙන තැල් මධ්‍යම ප්‍රමාණයේ ලතාවකි. එහි පත්‍ර බතල කොළවල ස්වරූපයට තරමක සමාන වන නමුදු ප්‍රමාණයෙන් ඊට බෙහෙවින් කුඩාය. කොළ පැහැති පත්‍රවල මැද නාරටිය අසලට වන්නට දුඹුරු පැහැති පැල්ලමක් දැකිය හැකිය. වැලෙහි තැනින් තැන කුඩා මල් කිනිති හට ගන්නා අතර මලෙහි වර්ණය ලා දම් පැහැයක් ගනී. මල් පිපී පරවී යාමෙන් පසු වැඩී මෝරන්නා වූ බිජ යළි හැලීගොස් පස සමග එකතු වී ඉබේ පැළවීම හේතු කොටගෙන තැල් ව්‍යාප්ත වීම සිදුවේ.

ලංකාවේ පහත රට තෙත් කලාපයේ සහ වියළි තෙත් දේශගුණවල වැවෙන තැල්වැල් අනුරාධපුර, දඹුල්ල, පේරාදෙණිය (හන්තාන කඳු වැටිය) යන ප්‍රදේශවල විශේෂයෙන් දක්නට ලැබේ. රාම රාවණා යුද්ධයේදී හී සැර පහරින් සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර කිරීම පිණිස ලක්ෂ්මණ විසින් ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයෙන් මෙම ඖෂධීය පැළෑටිය ශ්‍රී ලංකාවට රැගෙන ආ බවද පසුව එය ලංකාවේ රෝපණය කළ අතර කාලයාගේ ඇවෑමෙන් තැල් නමින් ප්‍රසිද්ධියට පත් වූ බවද ජනප්‍රවාදයෙහි සඳහන්වේ. එහි සත්‍යතාවය කෙසේ වුවද ඉන්දියාවේ සමශීතෝෂ්ණ ප්‍රදේශයන්හි තැල් ඉතා බහුලව දක්නට ලැබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරුණු කොට උතුරු අප්‍රිකාව සහ මලයාව තැල් වැවෙන්නාවූ සෙසු රටවල් ලෙස හඳුන්වා දිය හැකිය.

ප්‍රභේද වශයෙන් ගත් කල තැල් ප්‍රභේද සතරක් වන අතර ඒවා නම් රසතැල්, වසතැල්, ලප්තැල් හා ගොතැල්ය. එම තැල් වර්ගයන් අතුරින් ආහාරමය වශයෙන් භාවිතයට ගැනෙනුයේ රසතැල් නමැති තැල් වර්ගය පමණි. පුරාණයේ හෙළ රජ බොජුන් පතෙහි පවා රසතැල් ඇඹුලට අද්විතීය ස්ථානයක් හිමිව තිබිණි. ඇඹුලක් ලෙස වඩාත් ප්‍රචලිතව පැවැතියද මැල්ලුමක් හා ඖෂධීය කැඳක් වශයෙන්ද පිළියෙළ කරගත හැකිය. රසතැල් කොළ මැල්ලුම ගමන් මහන්සිය හේතුවෙන් හට ගත්තා වූ උණට බෙහෙවින් ගුණදායකය. එසේම කැඳක් හෝ මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙන් දීර්ඝ කාලයක් පුරා සුව නොවී පවතින්නා වූ කැස්ස සුවපත් වන බව ආයුර්වේද ග්‍රන්ථයන්හි දක්වා ඇත. හදවත් වේදනා, උදර වේදනා, වකුගඩු හා අක්මා රෝගවලදී මෙන්ම කාස ශ්වාස ආදී ශ්වසන ව්‍යුහගත රෝගවලදීද කල්ගිය අම්ල පිත්තයෙහිද ගුණ ලබාදෙන තැල් ඉතා හොඳ මුත්‍රා කාරකයක් මෙන්ම විෂ නාශකයක්දවේ. ස්ත්‍රී රෝග සඳහා වෙසෙසින්ම ගුණදායක රසතැල් ස්ත්‍රීන්ගේ වඳ භාවය තුරන් කරන්නා වූ වටිනා ඖෂධයක් ලෙසද සැලකේ. තවද තුන්දොස් සමනය කිරීමෙහිලා මහඟු බලයක්ද තැල්හි අන්තර්ගතය. බටු තෙල නිපදවීමේදී සහ කාන්තාවන්ගේ ඔසප් දෝෂ, ප්‍රදර රෝග, වඳ බව ආදී රෝගාබාධයන් සඳහා විශේෂිත ලක්ෂ්මණාරිෂ්ටය නිපදවීමෙහිදීද රසතැල් පංචාගය යොදා ගැනේ. කකු‍ලේ ඇනුනු කටු උල් ආදිය ඇද්දවීම සඳහා බාහිර වශයෙන් යොදා ගන්නා සුවිශේෂී ඔසුවක්ද වේ. මීට අමතරව තැල් මූලික කොට ගන්නා වූ ප්‍රතිකාර විධි රැසකි. ඒ පිළිබඳව ඔබට වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙතින් විමසා දැනගත හැකිය. එමෙන්ම කොළඹ කොටුවේ ‘කැලෑ‍පොල’ ඇතුළු බොහෝ නාගරික ‍පොලවල් වලද ව්‍යාජ නොවන බෝග අලෙවි කරන වෙළෙඳුන් වෙතින් මෙම තැල් කොළ මිලට ගත හැකිය.

(යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ද්‍රව්‍ය ගුණ අංශයේ වෛද්‍ය නිලධාරී මණ්ඩලයට විශේෂ ස්තූතිය හිමිවේ)

නිර්මලී කරුණාරත්න

Share This Article

දියවැඩියාවට සහ අර්ශස්‌ රෝගයට හිතකර ඇඹරැල්ලා

ඇඹරැල්ලා රසකාරක පළතුරක්‌ ලෙසත්, ප්‍රියජනක ව්‍යංජනයක්‌ විදියටත්, අතිරේක කෑම වට්‌ටෝරුවක්‌ ලෙසත්, බොහොමයක්‌ ලෙඩ රෝග උදෙසා හිතකර ඖෂධීය ගුණයක්‌ ලබා දෙන්නක්‌ ලෙසත්...

දරු පල ලැබ ගන්න මහානර්ඝ ඖෂධයක්‌ මෙන්න

දරු සම්පත් අහිමිවීම පිළිබඳව කාන්තාවනට පමණක්‌ වරද පැටවීම සාධාරණ නැත. ස්‌ත්‍රී -පුරුෂ දෙදෙනාගේම කායික හා මානසික දුබලතාද දරුඵල අහිමිවීමට හේතුයි. දරු...

සුවය දෙන කොහිල ගුණ

කටු පිටින් කොහිල පිස දීමෙන් කුකුල් කේන්තිකාරයන්ගේ කෝපය පහව යතැයි පැරැන්නන් සරදමට කී කතාවක් ඇත. ආයුර්වේදී වෛද්‍ය විද්‍යාවට අනුව නම් "කොහිල" දිව්‍ය...

බටර් සහ මාගරින් අතර වෙනස

නිරෝගී ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප ගන්නා ආහාර ඉතා වැදගත් බැවින් ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. එබැවින්...

කළු චොක්ලට් පෙත්ත පාකින්සන් ඈතට පන්නයි

චොක්ලට් හෝ චොක්ලට් ආහාර, ආහාරයට ගැනීමෙන් පාකින්සන් රෝග ලක්ෂණ අඩු වෙතැයි ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පිරිසක් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත....

හදවත රැකදෙන මොළයට සුවදෙන මුහුදු මාළු

රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය නැත්නම් මාළු සම්පත ගැන තිබෙන දැනුම අඩුයි. ඒක නිසා ගොඩක් දෙනෙක් මාළු කෑමට දක්වන්නේ...