උෂ්ණ රෝගවලට සුවය දෙන මුරුංගා
මුරුංගා ශාකය ලංකාවේ සෑම පළාතකම බහුලව දකින්න ලැබෙනවා. ගම්බදව, වතු අලංකරණය පිණිසත්, ඔෟෂධ වටිනාකමක් තිබෙන ශාකයක් විදියටත්, රසවත් ආහාරයක් ලෙසත් විවිධ අවස්ථාවලදී ආරක්ෂාව උදෙසාත් මුරුංගා යොදා ගන්නා බව රහසක් නොවෙයි. මෙම ශාකයේ වර්ග තුනක් තිබෙනවා. වැටවල් ආශ්‍රිතව වැවෙන කහ පැහැයට හුරු කඳක් සහිත මුරුංගා වර්ගය එකකි. එය බෙහෙත් මුරුංගා ලෙස හඳුන්වනවා. අනෙක් මුරුංගා වර්ගය ආහාර පිණිස ගන්නා පලදාව සහිත මුරුංගා වර්ගයයි. මල් සහිත මුරුංගා වර්ගයක් ඇති අතර එයද පංචාංගයම ඔෟෂධ පිණිස ගන්නා මුරුංගා වර්ගයකි. එහෙත් පොදුවේ ගත් විට මුරුංගා වර්ග තුනම ඖෂධ පිණිස යොදා ගනී. තෙත් සහ වියළි කලාපීය වශයෙන්ද, රස අනුවද, ආහාරයට ගන්නා මුරුංගාවල විවිධත්වයක් පවතිනවා. මුරුංගා ශීත ආහාරයක් ලෙස සැලකුවද උෂ්ණ අධික ආහාරයක් ලෙසද හැඳින්විය හැකිය. මුරුංගා කරල් රසවත් වෑංජනයක් ලෙස සකස් කරන්න පුළුවන්. එය රසවත් ආහාරයක් වගේම ගුණවත් ආහාරයක්. ආහාර දිරවීමේ ගුණයද මුරුංගා වෑංජනය සතුයි. මල් මුරුංගා ශාකයේ, මල් සහ කොළ දෙවර්ගයම ආහාරයට ගන්නවා. පොල් කිරි දමා වෑංජන ලෙස (කිරි හොදි) ආහාරයට ගැනීමෙන් උෂ්ණාධික රෝග රැසකට සුවය ලබා දෙනවා. කට, තොල් පැළීම, තුවාල වීම ආදී අපහසුතා ඉන් ප්‍රධානයි. මල් මුරුංගා ශාකයේ මල් බිත්තර සමඟ තෙලට දැමීම, හාල්මැස්සන්, උම්බලකඩ සමඟ ආහාරයට ගැනීම මඟින් ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් වනවා.
ඔෟෂධ පිණිස යොදා ගන්නා මුරුංගා වර්ගය එහිදී විශේෂයි. සතකු සපා කෑ විට එම තුවාලය පිරිසුදු කර මුරුංගා පොත්ත දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑමෙන් විස නාශනය වනවා. මුරුංගා පොතු, කොළ, මුල්වලින් සකසන තැවිලි පොට්ටනිය වණ්ඩුවේ තම්බා වාත විදුරංග තෙල් ගා තැවීමෙන් වාත වේදනා, කොන්දේ අමාරු, සුවකර ගත හැකියි. දරුවන් කැමැතියි, මෙන්ම දරුවන්ට මුරුංගා ඉතාම ගුණදායකයි. ඔසප් චක්‍රය අක්‍රමවත් යුවතියක් මුරුංගා කරල් වෑංජනය ආහාරයට ගැනීමෙන් ඔසප් චක්‍රය ක්‍රමවත් වනවා. නමුත් ආතරයිටිස් රෝගීන් සඳහා මුරුංගා ශාකය ගුණදායක නොවේ. ඒ නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ආතරයිටිස් රෝගීන් සඳහා මුරුංගා නිර්දේශ නොකරයි. විසකුරු සතුන් එළවීමට මුරුංගා පොතු භාවිතය ගම්බදව සිදු කරන සුලබ ක්‍රමයකි.
ආයුර්වේද අභිමානී ආයුර්වේද වෛද්‍ය හොරණ - බැල්ලපිටිය චන්ද්‍රදාස කළුතන්ත්‍රිගේ
හංසි ආටිගල
උපුටා ගැනීම මව්බිම