සුවය දෙන කොහිල ගුණ

සුවය දෙන කොහිල ගුණ

කටු පිටින් කොහිල පිස දීමෙන් කුකුල් කේන්තිකාරයන්ගේ කෝපය පහව යතැයි පැරැන්නන් සරදමට කී කතාවක් ඇත. ආයුර්වේදී වෛද්‍ය විද්‍යාවට අනුව නම් "කොහිල" දිව්‍ය ඖෂධයකි. සුපිරි පෙළේ ආහාරයක් නොවුවද උදරයට ඉමහත් වූ සුවයක් ගෙනදෙන කොහිල ගැන අගේ ඇති තොරතුරු පෙළකි මේ.

කොහිලවල ප්‍රභේද රැසකි

කිරි කොහිල, ගුරු කොහිල, වැල් කොහිල, කළු කොහිල, ගොඩ කොහිල යනුවෙන් ඒවා හැඳින්විය හැකිය.

කිරි කොහිල

අල හොඳින් තැම්බේ. තැම්බූ පසුව පිටි මෙන් මෙළෙක්ය. නිතර කොතැනත් දකින්නට පුළුවන.

ගුරු කොහිල

විශාලව සෑදෙන මෙම කොහිල අලයෙහි එතරම් රසයක් නැත. තම්බන්නට වුවද අපහසු මෙය පිසින විට තද ගතියක් ඇත. වගුරු බිමෙහි හොඳින් වැවේ.

වැල් කොහිල

දිරාගිය ගස්, පොතු හෝ ගල්තලාවල පහුරුවලින් බැඳී වැවේ. වැල් විශේෂයක් වන මෙය සාරවත්ව වැවෙන්නේ ජලාශ්‍රිතවය. බිම දුවමින් වැවෙන අවස්ථාද වේ.

කළු කොහිල

කොළ මෙන් අලද සීතලය. කොළ මතුපිට දඬුවල සහ අලවලද කළු පැහැයට හුරු කොළ පාටකින් යුක්තය. සොයා ගැනීම දුර්ලභ කළු කොහිල සෑම කොහිල වර්ගයකටම වඩා ගුණයෙන් සහ රසයෙන් පරිපූර්ණය.

කොහිල අල සහ දලු ආහාරයට මෙන්ම බෙහෙත් වර්ග පිළියෙල කිරීමටද යොදා ගනියි. කොහිල අලයෙන් සාදා ගන්නා කැඳ අර්ශස් සඳහා ගුණදායකය. කොහිල අක්මාවටද හිතකරය. කොහිල අල සහ දලුවල තිබෙන තන්තුමය කෙඳි කොටස් නිසා "මලපහ" පිටවීමේ අපහසුතා තිබෙන අයට එය කියාපු ආහාරයකි. බඩවැල්වල හටගන්නා විවිධ දෝෂ, විස සහ නොයෙකුත් ලේ දෝෂ නැති කරයි. රත්පිත් රෝග, අජීර්ණ, අතීසාර නසයි. ආහාර රුචියද වඩවන කොහිල ශුක්‍රාණුවල තිබෙන දාහ ගතියද සමනය කර සිරුර තර කරයි. "පණු අල" වශයෙන් නම් ලද "ගොඩ කොහිලවල" ක්‍රිමි නැසීමේ ගුණයක් තිබෙන අතර කුෂ්ඨවලට හිතකරය. වාතය සහ සෙම නසයි.

කොහිල අල, ගොටුකොළ, රතුලූනු රත් කරල් සැබෝ, සම සමව ගෙන කොටා දෙහි ඇඹුලෙන් අනා වණ්ඩුවේ බහා තම්බා මිරිකාගත් ස්වරසය රක්ත අර්ශස් ඇති අයට වඩා ගුණදායකය.

කොහිල පද්මය නමින් හඳුන්වන ඔෟෂධය රක්ත, අර්ශස්, මූල ව්‍යාධි ආදී රෝගයකට ඉතාම ගුණදායකය. මේ එය පිළියෙල කරන ආකාරයයි.

කොහිල අල, රණවරා කොළ, මුකුණුවැන්න කොළ, හීනටි හාල් යන දෑ එළ කිරෙන් තම්බා අව්වේ වියළා පිටිකර ගන්න. පසුව එක බැගින් ගෙන රතුලූනු පතයි, එළඟි තෙල් පතයි, ත්‍රි වර්ග (එනසාල්, හීන් කුරුඳු පොතු, තේජ පත්‍ර) චූර්ණය කර කළං තුනක් ගෙන ලුණු නැති (අලුත්) මැටි බඳුනක දමා කර නොවන සේ පිස ගන්න. එයට පසු ඇවැසි පදමට අනුව ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර වාත නිවාරක වීදුරු බෝතලයක දමා භාවිතයට ගන්න.

මාත්‍රාව කර්ෂ 1යි කළං 3 (ග්‍රෑම් 15)

මූලාර්ශස් ලේඛන තෛලය කොහිල අල යුෂ නැළි 1යි, තුඹ කරවිල අල යුෂ නැළි 2, කිඩාරම් අල යුෂ මනා 1යි, තල තෙල් නැළි 1යි. කල්කය සඳහා සීනක්කාරම්, වෙඩි ලුණු, ඉඟුරු, ගම්මිරිස්, මීමිනි මයිල්, බදුල්ල ඇට, දළුක් ඇට, පෙරුංකායම්, තලිස් පතුරු යන ද්‍රව්‍ය කළං 1 බැගින් ගෙන අඹරා තෙලට දමා තෛල පාත විදියෙන් සිඳ ගන්න. වෛද්‍ය නිරංජලා වික්‍රමසිංහ නිරංජලා වෛද්‍ය ආයතනය මහනුවර - 0775886265

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Share This Article

යකඩ ඌනතාවට සුදුසු ආහාර

ආහාර වේලක අඩංගු පෝෂණය ගැන ඔබ කෙතරම් සැලකිලිමත්ද? මේ පිළිබඳ නිසි දැනුවත් බවක් නැති නිසා යකඩ පෝෂණ ඌනතාව රෝග රැසකට හේතුවන...

හිසකෙස් පෝෂණය කරන ධාන්‍ය වර්ග

ආහාරවලින් අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම හිසකෙස් ගැලවී යෑමට හේතුවන බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙනවා. ඒ විතරක්ම නෙවෙයි, හොඳින් කෙස් වඩවා ගෙන...

බෙලි රසයි ගුණ ඉහළයි

මිහිරිතම රසයකින් අනූන නොවුවද බෙලි පෝෂණීය මෙන්ම ඔෟෂධීය ගුණයෙන්ද පිරි කදිම පලතුරකි. තද රසයක් නැති අමුතු රසක් ඇති බෙලි ක්‍රීම්වලට ඇතැමුන්...

පැණිරස කෑම වෙනුවට කජු, රටකජු සහ කොට්ටම්බා මද

අපි අතරමැදි ආහාර වේලට යොමු කරන්නේ අඩු අවධානයක්. ඒත් අපේ ප‍්‍රධාන ආහාර වේල් තරමට අතරමැදි ආහාර වේල්ද වැදගත්. බොහෝ අය අතරමැදි...

මතක ශක්තිය වැඩි කරන කුරුඳු

අප ජීවිතයේ එදිනෙදා අත් බෙහෙත් සඳහා යොදාගනූ ලබන බොහොමයක් ද්‍රව්‍ය තිබෙනවා. ඒවා ඇතැම් අවස්ථාවලදී වචනයෙන් කිව නොහැකි තරම් ප්‍රයෝජන වෙනවා. කුරුඳුත්...

බටර් සහ මාගරින් අතර වෙනස

නිරෝගී ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප ගන්නා ආහාර ඉතා වැදගත් බැවින් ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. එබැවින්...