Biz Log
Classifields
Biz Log
Classifields

මට ලැජ්ජයි

මට ලැජ්ජයි

ගුණරත්න හා කුමාරි යුවළ පදිංචිව සිටියේ නගරයට ආසන්නයේ ප්‍රදේශයකයි. පෞද්ගලික ආරක්ෂක සේවයක සැලකිය යුතු රැකියාවක් ගුණරත්න කළ අතර කුමාරි ගුරුවරියක් වූවාය. මේ යුවළගේ පළමු දරුවා ගැහැනු දරුවෙකු වූ අතර ඇය වයස අවුරුදු 22 හි පසුවන නිරෝගිමත් යුවතියක් වූවාය. මේ වන විට ඇය නිවසින් බැහැරව රැකියාවක නියළී සිටී. ගුණරත්න යුවළට ඇයගෙන් කිසිඳු ප්‍රශ්නයක් නැත. පළමු දියණිය ලැබීමෙන් වසර 10 කට පසු මේ යුවළට තවත් පිරිමි දරුවෙකු ලැබුණි. ඒ පිළිබඳව ගුණරත්න පවුලේ උදවිය ඉමහත් සතුටට පත් වූහ. දරුවා ද ඉතා නිරෝගී දරුවෙක් විය. කාලය කෙමින් ගෙවී ගියේය. රුවන් කුමාර නම් වූ මේ සුරතල් දරුවා කෙමින් කෙමින් වැඩෙන විට ගුණරත්න යුවළට ඉතා අභාග්‍යසම්පන්න කාලයක් උදා විය. ඉතා උද්‍යොගිමත් ලෙස පෙර පාසල් පළමු ශ්‍රේණියේ මැද භාගය වන තෙක් ඉගෙන ගනිමින් සිටි රුවන්ගේ හැසිරීම් රටාව ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙන්නට විය. ඔහු ඉතා ලැජ්ජාශීලී ඉතා නිහඬ චරිතයක් බවට පත් විය. ඔහු කතා කළේ යහළුවන් දෙතුන් දෙනෙකු සමඟ පමණි. නමුත් රුවන් ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන ගියේය. නිවසේදී ඔහු හොඳින් කතා බහ කළමුත් පිටස්තර අය සමඟ කතාවට නොගියේය. එය කා හටත් ප්‍රශ්නයක් විය. ඒ පිළිබඳව රුවන් ගෙන් විමසූ විට ඔහු පැවසුවේ “මට හරි ලැජ්ජයි” යන්න පමණි. ඉතා නිහඬව තම වැඩ කටයුතු කරගෙන ගිය රුවන් පාසලේ සියලුම විභාගවලට ඉතා හොඳින් මුහුණ දී ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තේය. එහෙත් ඔහු එන්න එන්නම නිහඬ චරිතයක් බවට පත් විය. 

ඊළඟ වසර තුළදී ඔහු සියලු යහළුවන් සමඟ කතා කිරීම නතර කළේය. තත්ත්වය තව තවත් දරුණු කරමින් ඊළඟට ඔහු තම සොහොයුරිය සමඟ ද කතා කිරීම නතර කළේය. මේ වන විට ඔහුගේ මේ තත්ත්වය පිළිබඳව පාසල් ගුරුවරුන් ගෙන් ද මවට පැමිණිලි ලැබෙන්නට විය. එහෙත් මෙම දරුවාගේ අනිකුත් සියලු ක්‍රියාකාරකම් සාමාන්‍ය විය. ඔහු තම යාළුවන් සමඟ පාසලේ දී ක්‍රීඩා කළේය. එහෙත් කිසි විටෙකත් වචනයක් වත් කතා නොකිරීමට වග බලා ගත්තේය. පාසලේ 7 වන ශ්‍රේණිය වන විට ඔහු කතා කරනු ලැබුවේ තම මව හා සමඟ පමණි. ඉඳ හිට තනිව ගීත ගායනා කිරීමටත් ඒවා පටිගත කොට තම පියාට සහ සොහොයුරියට ඇසීමට සැලැස්වීමටත් ඔහු කටයුතු කළේය. මේ වන විට රුවන් කුමාර 8 වන ශ්‍රේණියේ සිසුවෙකි. මෙම තත්ත්වය නිසා ගුණරත්න පවුලේ සාමය හා සමගිය මෙන්ම ආර්ථික තත්ත්වය ද කඩා වැටෙමින් තිබිණි. දරුවාගේ මේ තත්ත්වයට හේතුව මවගේ සැර පරුෂ බව යැයි පියා පවසයි. නමුත් මෙයට හේතුව පියාගේ නොසැලකිල්ල බව මව පවසයි. කෙසේ නමුත් දරුවා මේ තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා බෙහෙත් හේත් කරමින් හා යන්ත්‍ර මන්ත්‍ර තොවිල් කිරීමෙන් ද දෙමාපිය යුවළ හෙම්බත් වී සිටියහ. ඒ කිසිවකින් කිසිඳු සහනයක් නොලැබිණි. දරුවා ද දිනෙන් දින පාසලේ යහළුවන් ගෙන් සමාජයෙන් පමණක් නොව තම මවුපියන් ගෙන් ද ඈත් වූයේය. ගුණරත්න යුවළ පසු ගිය දිනක අප ආයතනය වෙත පැමිණියේ ඉහත ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දීමෙන් අනතුරුවය. දරුවා බැලු බැල්මට නිරෝගී දරුවෙකු වුවද ඔහු ලැජ්ජාවට මුසු වූ බියකින් පෙළෙන බව හැඟී ගියේය. බොහෝ කාලයක් කතා නොකිරීම නිසා ඔහුගේ කම්මුලේ මාංශ පේශීන් හැකිළී තොල් පෙති උල් වී ඇති බවත් පෙනිණි. මා ඉතා ආදරයෙන් ඔහුට ආමන්ත්‍රණය කළ ද ඔහු මාගේ මුහුණ දෙස වත් බැලුවේ නැත. තවත් බොහෝ වේලාවක් මම රුවන් සමඟ තනිව කතා බහ කරමින් සිටියදී ඔහු මට ‍හදවතින් බොහෝ ළං විය. නැවතත් බොහෝ වේලාවක් ඔහු සමඟ කතා කිරීමෙන් අනතුරුව මා අසන ප්‍රශ්න වලට කොළයක පිළිතුරු ලියන්නට ඔහු එකඟ විය. ඔහු මා සමඟ හිතවත් වුවද මා සමඟ කතා කරන්නට කිසිඳු කැමැත්තක් නැති බව මට හැඟිණි. ඊට හේතුව විමසූ විට ඔහු පැවසුවේ මට ලැජ්ජයි යන්න පමණි. මේ දරුවා සමඟ ගත කළ කාලය තුළ මා හට හැඟී ගියේ ඔහු කතා නොකළ ද ඉතා හොඳින් කියන දේට ප්‍රතිචාර දක්වන බවයි. මනෝ විද්‍යාවට අනුව එවැනි තෝරා ගත් පුද්ගලයන් සමඟ පමණක් කතා කරන දරුවන් හට පමණක් ඇති වන රෝගයක් ඇති මුත් එම රෝගය ඉතාම කලාතුරකින් ඇති වන තත්ත්වයකි. රුවන් මුල් කාලයේ දී සියලු දෙනා සමඟ කතා බහ කරමින් සිටි දරුවෙකු නිසා එම දුර්ලභ රෝගී තත්ත්වයෙන් ඔබ්බට ගිය යමක් රුවන්ගේ සිත තුළ ඇති බව පෙනිණි. දරුවා සමඟ බොහෝ කුලුපග වීමෙන් පසුව යම් මානසික ව්‍යායාමයක් සමඟ එක් වෙමින් ඔහුව මෝහන නිද්‍රාවට පත් කරන ලදී. කියන දේට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වමින් ඔහු ඉතා පහසුවෙන් මෝහන නිද්‍රාවට පත් විය. මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් පසු රුවන් කුමාරව වසරින් වසර ඔහුගේ කුඩා කාලය වෙත සිත රැගෙන යන ලදි. පළමු ශ්‍රේණියේ මුල් කාලයේ දී ඔහු ඉතා හොඳින් කතා කරන්නට විය. නමුත් එක් අවස්ථාවක දරුවා ඉතා බියට පත්ව හඬා වැටෙන්නට විය. දරුවාගේ මවුපියන් ද මේ වන විට ඉතා අපහසුවෙන් සිටි අතර දරුවා එතැන් සිට හෙළි කළ කරුණු ඉතා සංවේදී විය.

මෙම සිදුවීම වන විට ගුණරත්න පවුල අම්බලන්තොට ප්‍රදේශයේ ජීවත් වී සිට ඇත. කුමාරි ඒ වන විට අසල පාසලක ඉගෙනීම් කටයුතු කළ අතර ගුණරත්න කොළඹ ප්‍රදේශයේ රැකියාව කරමින් සිට ඇත. ඔහු නිවසට පැමිණෙන්නේ සති අන්තයේ පමණි. අනිකුත් දිනවල නිවසේ සිටින්නේ කුමාරි, දියණිය හා පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවා පමණි. රුවන්ගේ සොහොයුරිය එක් කාමරයක නිදා ගන්නා අතර මව වෙනත් කාමරයක නිදා ගනී. කුඩා දරුවා දිනක තම මව සමඟ ද තවත් දිනක සොහොයුරිය සමඟ ද නිදා ගත්තේය. එසේ කාලය ගත කරන එක් දිනකදී සොරුන් කණ්ඩායමක් නිවසට ඇතුළු වී තිබේ. එදින රුවන් නිදාගෙන සිටියේ තම අක්කා සමඟය. තද කෑගැසිල්ලකිනුත් අක්කාගේ කලබලයටත් රුවන් අවදි වූ අතර අක්කා ඔහුව ඇඳ යටට ඇද දැමුවේ ආරක්ෂාවටය. මව අනිත් කාමරයේ සොරුන් සමඟ කළහ කරනු ඇසිණි. රුවන්ගේ අක්කා මවගේ කාමරයට දිව ගිය ද තවත් එක් දාමරිකයෙකු ඇයව කාමරය වෙත ඇදගෙන ආවේය. ඉන් පසුව රුවන් කුමාර දුටුවේ කිසිඳු සොහොයුරෙකු නොදුටුව යුතු දර්ශනයකි. තම සොහොයුරිය සිහිසුන්ව ඇද වැටෙද්දී ගල් ගැසී නිසොල්මන්ව කිසිවක් කර කියා ගත නොහැකිව මේ කුඩා දරුවා ඇඳ යටට වී සිටියේය. විනාඩි කිහිපයක් තුළ සියල්ල අවසන් විය. සොරුන් පලා ගිය පසු අක්කා සමඟ පුංචි රුවන් තම මව සිටි කාමරය දෙස යන විට ඔවුන් දුටුවේ කට හා අත් පා බැඳ දමා සිටි තම ආදරණීය අම්මාය. ඉහත සිදුවීම සිදු වී ටික කාලයක් ගත වීමෙන් කුමාරි මාරු වීමක් හදාගෙන දැන් ජීවත්වන ප්‍රදේශයට පැමිණ තම දියණියට වූ අපරාධය සමාජයෙන් වසන් කොට ඇගේ අනාගතය සකස් කිරීමට උත්සාහ දැරුවාය. මේ වන විටත් පසු කාලයකදීත් තම හිතවතුන් අසල්වැසියන් මේ ගැන අසන විට කුඩා දරුවාට මහත් අපහසුතාවයක් දැනෙන්නට විය. ඔහු කිසි විටෙකත් එදින තමා දුටු ඒ අමිහිරි දර්ශනය නො නොපැවැසීය. මෙය කිසිවෙකුටත් නොපවසා සිටීමට ඔහු යොදා ගත් උපක්‍රමය නම් කිසිවෙකුත් සමඟ කතා නොකර සිටීමයි. එම සිදුවීම සිහි වන විට කුඩා පුතුට මහත් ලැජ්ජාවක් බයක් මෙන්ම ශෝකයක් ද දැනෙන්නට විය. රුවන් කුමාර කතා නොකර සිටීමේ රෝගය අපට සොයා ගත හැකි විය. අප ක්‍රමයෙන් ඔහුගේ සිත තුළ ඇති ලැජ්ජාව බිය පිළිබඳව දැනුවත් කරමින් ක්‍රමවේදයක් මඟින් ඔහුගේ සිත සන්සුන් කරන ලදී. ක්‍රමයෙන් දරුවා යථාර්ථය තේරුම් ගෙන සාමාන්‍ය තත්ත්වයට පත් වූයේය. බොහෝ කලක් කතා කිරීමෙන් වැළකී සිටි නිසා අක්‍රීයව පැවැති මාංශ පේශීන් සකස් කිරීමට වෛද්‍ය සහාය සහ භෞතික චිකිත්සක උපදේශන ලබා දෙන ලදි. දරුවා ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් සිටී. ඔහු දැන් පවුලේ අය සමඟ මෙන්ම පාසලේ ගුරුවරුන් හා යාළුවන් සමඟ ද සබඳකම් ඇති කරගනිමින් සිටී. ගුණරත්න පවුලේ සතුට නැවත පැමිණ ඇත.

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Share This Article