ළමයින්ට ළඟ ළඟ හෙම්බිරිස්සාව හැදෙන්නේ ප්‍රතිශක්තිය දුර්වල නිසාම නොවෙයි
විටමින් සී ගත්තාට අමුතු ගුණයක් නෑ
වැහිබර ස්වභාවය, සීතල සුළං, දුහුවිල්ල, වියළි කාලගුණය ආදී වරින්වර මාරුවන කාලගුණික තත්ත්වයන් නිසා මේ දිනවල ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල වර්ධනයක් දක්නට තිබේ. අලුත උපන් බිලිඳාගේ සිට පෙර පාසල් හා පාසල් දරුවන් පමණක් නොව වැඩිහිටියෝ ද එම රෝගවලින් පීඩාවට පත් වෙති. කාලගුණයේ වෙනස්කම් හේතුවෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග මොනවාද? ඒවායින් වැළකී සිටින්නේ, ප්‍රතිකාර සඳහා යොමු විය යුතුවන්නේ කෙසේද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.
කන්, වායු කෝටර ඇතුළු, උගුර පෙණහලු ආදී ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවිය හැකි ආසාදන තත්ත්වයන්, වෛරස් හා බැක්ටීරියා යන රෝග කාරක ජීවීන්ගේ සැරකම අනුවත්, රෝගියාගේ වයස ප්‍රතිශක්තිකරණ හැකියාව හා රෝගය ආසාදනය වූ ස්ථාන අනුවත් වෙනස් වේ. අලුත ඉපැදුණු, සතියක තරම් වයසැති කුඩාම දරුවකු නම් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාදනයක් ඇති වුවහොත් ඒ ස්ථානය ආශ්‍රිත රෝග ලක්ෂණ ඒ ආකාරයෙන් ම හඳුනා ගැනීම අපහසු ය. උදාහරණ ලෙස නාසයේ නම් සොටු දියර ගැලීම, පෙණහලුවල නම් කැස්ස, කනේ ආසාදනයක් නම් කනෙන් දියර ගැලීම ආදී ලක්ෂණ එකවරම හඳුනාගත නොහැකි ය. එහෙත් කිරි බීම ප්‍රතික්ෂේප කිරීම, වමනය, හුස්ම ගැනීමේ අපහසුතාව, වේගයෙන් හුස්ම ගැනීම, ශරීර උෂ්ණත්වයේ අඩු වීමක් හෝ වැඩි වීමක් දක්නට ලැබීම රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකිවේ. නොමේරූ දරුවකු ගේ ආසාදනයක දී නම් බොහෝ විට ශරීර උෂ්ණත්වය අඩු වීමක් සිදුවිය හැකි ය. එහෙත් දරුවෙකු වයසින් වැඩිවීමත් සමඟ, සාමාන්‍යයෙන් වයස අවුරුද්දකට වැඩි දරුවන්ගේ ආසාදිත ස්ථානය අනුව රෝග ලක්ෂණ හඳුනාගත හැකි වේ. පෙණහලු ආසාදනයක දී නම් කැස්ස, කැස්ස සමඟ සෙම හෝ රුධිරය පිටවීම, හුස්ම ගැනීමේ අපහසුව, මහන්සිය, උගුර ආසාදනයකදී නම් උගුරේ වේදනාව, ගිලීමට අපහසුව, වමනය, උගුරේ වසා ග්‍රන්ථි ඉදිමී ප්‍රදාහයට ලක් වී තිබීම, කනේ ආසාදනයක් නම් සැරව ගැලීම, ඇසීමේ වෙනස්කම්, කන ඇතුළතින් අමුතු ශබ්ද පිටවීම ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. ළමයින් අතර බහුලව දක්නට ලැඛෙන්නේ සෙම්ප්‍රතිශ්‍යාවයි. මූලිකව වෛරස් ආසාදනයක් නිසා ඇතිවන රෝගී තත්ත්වය දින දෙක තුනකට පසු බැක්ටීරියා මඟින් ද්විතීයකව ආසාදනයකට ලක්වෙයි.
සෙම්ප්‍රතිශ්‍යාව බහුලව ම පැතිරෙන්නේ රයිනෝ නමැති වෛරස් කාණ්ඩයෙනි. සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය මඟින් ශ්වසන පද්ධතියේ ඕනෑම ස්ථානයක් ආසාදනයට ලක් විය හැකි අතර නාසය, ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාසනාළිකාව හා පෙණහලු දක්වාම ආසාදනය පැතිරීමට පුළුවන. රෝගයේ බරපතළ බව රෝගියාගේ වයස අනුව වෙනස් වේ. උදාහරණ ලෙස නොමේරූ දරුවකුගේ, අලුත ඉපදුණ, බර අඩු දරුවකුගේ ප්‍රතිශක්තිය සියයට සියයක් ම වර්ධනය වී නැත. එවැනි දරුවකුගේ මූලිකව ඇතිවන වෛරස් ආසාදනය අප නොදැනීම බැක්ටීරියා ආසාදනයක් බවට පත්විය හැකි ය. ඒ නිසා බිලිඳකුගේ ඇඟ සීතලවීමක් වීම, කිරි බීම ප්‍රතික්ෂේප කිරීම, හුස්ම ගැනීමේදී උදරයේ බිත්ති වේගයෙන් උස් පහත් වීම, මලානික ගතිය, ක්‍රියාශීලී බව අඩු වීම වැනි ලක්ෂණ දක්නට ලැබේ නම් නොපමාව වෛද්‍යවරයකුට යොමු කිරීම වැදගත් වේ. එවිට ආසාදනය පෙණහලු දක්වා තවදුරටත් පැතිරීමෙන් ඇති වන නිව්මෝනියාව, මොළයේ මෙනින්ජයිටිස් වැනි බරපතළ රෝගී අවස්ථාවන්ට ගොදුරුවීමෙන් වළක්වා ගත හැකි වේ. නිව්මෝනියා තත්ත්වය බරපතළ වුවහොත් ශ්වසනය අකර්මණ්‍ය වීමට පවා ඉඩ තිබේ. විශේෂයෙන් පෙර පාසල් හා පාසල් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණු මුල් ම අවස්ථාවේ ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව මින් අදහස් නො කෙරේ. රයිනෝ වෛරස් තත්ත්වය ඉතා සරල වෛරස් ආසාදනයකි. සොටු දියර ගැලීම, නාසය අවහිරවීම වැනි තත්ත්වයන් දින කිහිපයකින් සුව විය හැකි ය. එහෙත් එම තත්ත්වය දින 3 - 4 ට වඩා වැඩි කාලයක් තිබුණේ නම් හෝ උණත් සමඟ ඇති වූයේ නම් ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යවේ.
දරුවන් නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරුවන්නේ ප්‍රතිශක්තිය අඩු නිසා බව බොහෝ දෙනා ගේ අදහසයි. එහෙත් එකම දරුවා එසේ වැඩි වාර ගණනක් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වන්නේ එම රෝග කාරක වෛරසයේ අතුරු කාණ්ඩ විශාල ප්‍රමාණයක් ඇති නිසයි. එක් වෛරස් කාණ්ඩයකින් සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ පසු ශරීරයේ යම් විදිහක ප්‍රතිශක්තියක් ඇතිවන නිසා නැවත කලක් ගතවනතුරු එම වෛරසයෙන් රෝගය වැලඬෙන්නේ නැත. එහෙත් රයිනෝ වර්ගයේ තවත් වෛරස කාණ්ඩයකින් නැවත රෝගය වැලදීමට හැකියාව තිබේ. එකම දරුවා නිතර නිතර රෝගයට ගොදුරු වන්නේ ඒ නිසයි. එමෙන් ම සිරුරේ ප්‍රතිශක්තිය අඩුවීමට බලපාන වෙනත් රෝග ද තිබේ. එච්අයිවී සහ ලියුකේමියාව, ඒ අතර ප්‍රධාන වේ. පෝෂණය අඩුවීම නිසා වන මන්දපෝෂණ තත්ත්වය දීර්ඝ කාලයක් පැවතීම ද ප්‍රතිශක්තිය දුර්වලවීමට හේතුවකි. සෙම්ප්‍රතිශ්‍යාව ඇතැම් රෝගවල උත්තේජන කාරකයක් ද වෙයි. අසාත්මිකතාවයන් හේතුවෙන් ඇතිවන හතිය, ඇදුම ( පොදු ව්‍යවහාරයේ වීසිං ලෙස හැඳින්වෙන) වැනි රෝග තත්ත්වයන් බොහෝ විට ඇතිවන්නේ සෙම්ප්‍රතිශ්‍යාවත් සමඟයි. ඒ නිසා එවැනි රෝගයන්ගෙන් පෙළෙන දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාවකදී ඖෂධ ලබා ගැනීමට සිදුවේ. දරුවකුගේ ක්‍රියාශීලී බව අඩු කරන, විවිධ අසාත්මිකතාවන් නිසාවන රෝගයන්ට උත්තේජනයක් වන සෙම්ප්‍රතිශ්‍යාවෙන් වැළකී සිටින්නේ කෙසේද? මෙහිදී අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතු උපදෙස් කිහිපයක් වේ.
- ආසාදිත රෝගියකුගෙන් තවත් කෙනකුට රෝගය බෝ වන්නේ ආසාදනයේ උපරිම අවස්ථාවේ දී ය. උදාහරණ ලෙස උණ සමඟ සොටු දියර ගැලීම, කැස්ස, කෑම අරුචිය, වමනය වැනි අවස්ථාවන් ඇති විට දී ය.
- බොහෝ විට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරෙන්නේ ආශ්වාස කරන වාතය සමඟ එම විෂබීජ මිශ්‍රවීමෙනි. ඒ නිසා ආසාදනයේ උපරිම වෙලාවන්හි දී රෝගියා අනෙක් අයගෙන් දුරස්ව විවේක ගැනීම වැදගත් වේ. පාසල් දරුවෙකු නම් රෝගය සමනය වනතුරු දින දෙක තුනක් නිවෙසට වී සිටිය යුතු වේ. සෙනඟ වැඩිපුර රැදෙන තැන්වලට යාමෙන් ද වැළකී සිටිය යුතුය.
- විශේෂයෙන් දරුවකුට යම් විභාගයක් හෝ ක්‍රීඩාවක් වැනි යම් ක්‍රියාකාරකමක් තිබේ නම් නිවසේ සිටින රෝගී පුද්ගලයා කෙටි කලකට හෝ දරුවාගෙන් ඈත්ව සිටීම වැදගත් වේ.
- දරුවන් නිතර නිතර නාසය, මුඛය වැනි තැන් ස්පර්ශ කිරීම සාමාන්‍ය ස්වභාවයකි. ඒ නිසා රෝග කාරක වෛරසයන් අත්වලින් බෝවීමට ඇති ඉඩකඩ වැඩිය.
- නිරතුරුවම දෑත් සබන් යොදා පිරිසුදුව තබාගැනීම මෙන්ම අනවශ්‍ය ලෙස නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් ද වළක්වා ගත යුතුය.
- කැස්ස සහ කිවිසීමේ දී ද කෙළ සහ සොටු සමඟ විෂබීජ ලක්ෂ ගණනක් පරිසරයට නිදහස් වේ. ලේන්සුවක්, මුඛ ආවරණයක් හෝ ටිෂූ කඩදාසි භාවිතයෙන් එම තත්ත්වයන් වළක්වා ගත හැකිය. දරුවන් ඒ සඳහා හුරු කරවීම මවුපියන්ගේ වගකීමකි. එසේ භාවිතා කරන දේ තවත් කෙනකුට ස්පර්ශ නොවන ලෙස ආරක්ෂිතව ඉවත දැමීම ද වැදගත් වේ.
- සෙම්ප්‍රතිශ්‍යාව හෝ වේවා වෙනත් ආසාදනයක් හෝ වේවා ප්‍රමාණවත් ලෙස ආහාර සහ පෝෂණය ලැබීම අත්‍යවශ්‍යය. විශේෂයෙන් කැඳ, සුප්, ජීවනී වැනි පාන වර්ග වැඩිපුර ලැබිය යුතුය.
- අධික කායික ක්‍රියාවලින් වැළකීම, විවේකය මෙන් ම නින්ද ද අත්‍යවශ්‍යය. සාමාන්‍යයෙන් උණෙන් පෙළෙන දරුවකුට මූලික අවස්ථාවේ එම රෝගී ලක්ෂණ ඇතිවූයේ ශ්වසන පද්ධතියේ රෝගයක් නිසා ද , ඩෙංගු වැනි රෝගී තත්ත්වයන් නිසා ද යන්න හඳුනාගැනීම අපහසුය.
- යම් හෙයකින් ඩෙංගු රෝගය වැලඳී තිබිය දී එය ශ්වසන රෝගයක් යැයි සලකා සාමාන්‍ය ක්‍රියාකාරකම්වල නිරත වූයේ නම් අප නොදැනීම රෝගියා කම්පනයට හෝ රක්තපාත තත්ත්වයට පත්වීමට පුළුවන.මෙහිදී වඩාත් යෝග්‍ය වන්නේ ශරීරය වෙහෙසෙන කායික ක්‍රියාකාරකම්වලින් මිදීමය. ශ්වසන රෝග හෝ වේවා, ඩෙංගු රෝගය හෝ වේවා නිදිවැරීම, අධික වෙහෙස හා සාමාන්‍ය ක්‍රියාකාරකම් ඒ ලෙසින්ම කරගෙන යාම නුසුදුසුය.
- විවේකය, නින්ද හා සමඟ පෝෂණය නිසි ලෙස ලැබීමෙන් ආසාදනයන් ගේ සංකූලතා අඩු කර ගැනීමට හැකිවන අතර ඉක්මන් සුවය ද ලැබේ.
- ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල දී බොහෝවිට සීතල ජලය ද උත්තේජනයක් ලෙස ක්‍රියා කරයි. උදෑසන සිරුර පිරිසුදු කිරීමේ දී මඳක් උණුසුම් ජලය පරිහරණය කිරීම, සීත කළ බීම වර්ග, අයිස් ක්‍රීම් හා යෝගට් වැනි සීතල බවට සම්මත ආහාරපානවලින් වැළැකීම ද රෝගය ඉක්මනින් සුව කරගැනීමට උපකාරී වේ.
- සිරුරේ හොඳ ප්‍රතිශක්තියක් තිබේ නම් දරුවන් පහසුවෙන් රෝගාබාධවලට ලක්වන්නේ නැත. අලුත උපන් දරුවාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙන්නේ ඒ නිසයි. ඒ එන්නත් බොහොමයකින් සිදුවන්නේ දරුවා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් ආරක්ෂා කිරීම ය. මුලින් ම දෙන බී.සී.ජී. එන්නත දරුවා ක්ෂයරෝගයෙන් ආරක්ෂා කරයි. දරුවාට මාස දෙකේ දී, හතරේ දී සහ හයේ දී ලබාදෙන ඩිප්තීරියා එන්නත ශ්වසන පද්ධතියේ ඇතිවිය හැකි බරපතළ රෝග තත්ත්වයකින් දරුවා ආරක්ෂා කරයි.
- කක්කල් කැස්ස ද ශ්වසන පද්ධතියේ ආසාදනයකි. සරම්ප රෝගය ද එවැනි ආසාදනයක් වන අතර නිව්මෝනියා තත්ත්වය දක්වාම එය වර්ධනය විය හැකිය. ඒ නිසා දරුවා ශ්වසන පද්ධතියේ රෝගවලින් ආරක්ෂා කර ගැනීමට නිසි පරිදි සියලු එන්නත් ලබා දීම මවුපියන් ගේ වගකීමකි.
- ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනැංවීමට අවශ්‍ය ආහාර වර්ග ද තිබේ. විශේෂයෙන් ප්‍රෝටීන් සහිත ආහාර, ඛනිජ ලවන හා විටමින් වර්ග අත්‍යවශ්‍ය වේ. මාළු, බිත්තර, කඩල, පරිප්පු, මුංඇට, දඹල වැනි ප්‍රෝටීන් සහිත ආහාර මෙන්ම විටමින් හා ඛනිජ ලැඛෙන පලා වර්ග, එළවළු, පලතුරු සහ ඇට වර්ග ලබා දීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට උපකාර කරන රසායනික සංඝටක ලැබේ.
- ශරීරයේ ප්‍රතිශක්තිය ඇතිවන ප්‍රධානතම කරුණක් වන්නේ ශරීරය තුළ ඇතිවන ප්‍රතිදේහයන් ය. එහිදී ප්‍රෝටීනමය ආහාර අපට ඉතා වැදගත් වේ.
- ප්‍රමාණවත් ලෙස මවුකිරි දීමෙන් ද දරුවාට හොඳ ප්‍රතිශක්තියක් ලැඛෙන අතර විෂබීජවලින් ද ආරක්ෂා කෙරේ. මවුකිරි නොලැඛෙන දරුවන් විවිධ ආසාදනයන්ට හා අසාත්මිකතාවන්ට ගොදුරු වීමේ ඉඩ වැඩිය. එවැනි දරුවන්ට පිටි කිරි ආදේශකයක් ලෙස භාවිත කෙරුණත් නිසි වයසේ දී පෝෂණය සහිත ආහාර ලබාදීම හා බර නිසි තත්ත්වයේ පවත්වා ගැනීමෙන් උපරිම ලෙස ප්‍රතිශක්තිය ලබාදිය හැකි අතර රෝගවලින් ද ආරක්ෂා කරගත හැකිවේ.
- සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීගෙන එන අවස්ථාවේ පෙර පාසල් හෝ පාසල් යන දරුවන්ට විටමින් සී පෙති ලබාදීම ද සමහර වැඩිහිටියන් ගේ පුරුද්දකි. එහෙත් විටමින් සී පෙති සියයට සියයක්ම එම ආසාදනයන්ගෙන් ආරක්ෂා කරන බවට තවම තහවුරු වී නැත. වෛද්‍ය නිර්දේශයෙන් තොරව මෙම විටමින් පෙති ලබාදීම ගැටලුවක් නොවුණ ද දීර්ඝ කාලීනව දීම හිතකර නොවේ.
- විශේෂයෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් දරුවා ආරක්ෂා කරගැනීම සඳහා හොඳින් හිරුඑළිය සහ වාතාශ්‍රය ලැඛෙන සේ දරුවාගේ කාමරය සකස් කිරීම, පිරිසුදුකම ආදියට ද මුල් තැන දිය යුතු වේ. මෙම උපදෙස් පිළිපැදීමෙන් සරල වෛරසයක් නිසා ඇතිවන ආසාදනයක් බොහෝ විට ද්විතීයිකව බැක්ටීරියා ආසාදනයක් බවට පත්වීමෙන් වන සංකූලතාවන්ගෙන් දරුවා ආරක්ෂා කරගත හැකි වේ.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ
උපුටා ගැනීම සිළුමිණ පුවත් පත