බඩ විතරක් පුරවල මදි දරුවාගේ හිතත් පුරවමු
ශෂිකාගේ පුතාට තවම වයස අවුරුදු දෙකහමාරයි. හරිම දඟයා. පුතාට කෑම කවන්න ශෂිකා විඳින වදයක්. සමහර වෙලාවට කෑම කවන්න පැය 2 ක් විතර ගතවෙනවා. දරුවා කන්නෙ නැති තැන ශසිකා දරුවට සැර කරලා කොහොමහරි කෑම ටික දරුවගෙ කට ඇතුළට දමනවා. ශෂිකට ඕන කොහොමහරි දරුවගෙ බඩ පුරවන්න. මේ ශෂිකලගෙ ගෙදර පමණක් නෙමෙයි ලංකාවෙ කුඩා දරුවන් ඉන්න බොහෝ ගෙවල්වල තිඛෙන තත්ත්වයක්. ශෂිකලා වගේ අම්මලා තමන්ගේ දරුවට වදෙන් පෙරැත්තයෙන් හරි ටිකක් සැර වෙලා හරි කෑම කවන්නෙ දරුවට තියෙන ආදරයට බව ඇත්ත. නමුත් ඒ ක්‍රමය වැරදියි. දරුවකුගේ වර්ධනයට දරුවාගේ බඩ පිරවීමම පමණක් මදි. දරුවාගේ කුසට ආහාර ලබා දෙනවා වගේම දරුවාගේ මනසටත් ආහාර ලබා දුන්නොත් පමණයි දරුවාගේ නියම වර්ධනයක් දැකගත හැකි වන්නේ. දරුවකුගේ ශරීරයට විවිධ කෑම අවශ්‍ය වනවා සේම දරුවකුගේ මනසටත් කෑම අවශ්‍ය වෙනවා. ඒ∙ ආදරය, කරුණාව ආරක්ෂාව වැනි දේවල්. එමඟින් දරුවකු තුළ ඇතිවන උත්තේජනය එම දරුවාගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයටත් ඛෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. අපේ සමාජයේ සිටින ඇතැම් දරුවන්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැඛෙනවා. නමුත් එම දරුවන්ට මවුපියන්ගේ ආදරය, උණුසුම සෙනෙහස අවධානය වැඩිපුර ලැඛෙන්නේ නෑ. එම දරුවන්ගේ පූර්ණ වර්ධනයට එය බාධාවක්. මවත් පියත් කාර්යබහුල රැකියාවල යෙදී සිටින පවුල්වල දරුවන්ට මෙම තත්ත්වය අත්වෙනවා. ඒ වගේම මව හෝ පියා, විශේෂයෙන්ම මව විදෙස් රැකියාවලට ගොස් සිටින පවුල්වල කුඩා දරුවනුත් මෙම අත්දැකීමට මුහුණ දෙනවා. ළමා නිවාසවල හැදෙන වැඩෙන දරුවන්ට ද මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වෙනවා. තවත් දරුවන් පිරිසක් සමාජයේ සිටිනවා, එම දරුවන්ට දෙමවුපියන්ගේ ආදරය හොඳින් ලැබුණත් ඔවුන්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැඛෙන්නේ නෑ. ඒ∙ ආර්ථික අපහසුතා තිඛෙන දුප්පත් පවුල්වල දරුවන්.
ඉහත සඳහන් කළ කාණ්ඩ දෙකටම අයිති දරුවන්ගේ ශාරීරික සහ මානසික වර්ධනය උපරීම තලයකට ළඟා වෙන්නේ නෑ. නමුත් මෙම තත්ත්වයන් දෙකටම ඉතා පහසුවෙන් වැඩි වියදමක් නොකර පිළිතුරු සොයාගත හැකියි. දරුවකුට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට විශාල වියදමක් කළ යුතු නෑ. සොසේජස් චීස් වැනි ආහාර දිය යුතුම නෑ. පලා වර්ග කුඩා මාළු ආදියෙන් දරුවාගේ පෝෂණය ඉහළ නංවා ගත හැකියි. ඒ වගේම මුදල් පසුපසම හඹා නොගොස් තම දරුවන් සමඟ දිනකට ටික වේලාවක් හෝ සුහදව ගත කිරීමෙන් දරුවාට අවශ්‍ය ආදරය සෙනෙහස ලබාදිය හැකියි. එමඟින් දරුවාගේ වර්ධනයට අවශ්‍ය "උත්තේජනය” හොඳින් ලැඛෙනවා. කිසියම් දරුවකු වර්ධනයේ උපරීම තලයකට ළඟාවන්නේ කුසට අවශ්‍ය පෝෂණය වගේම මනසට අවශ්‍ය පෝෂණයත් ලබාදීමෙන් බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් හෙළි වී තිඛෙනවා. ආදරය සෙනෙහස දැක්වීම මඟින් දරුවකු උත්තේජනය වන විට එම දරුවාගේ ශාරීරික වර්ධනයට අවශ්‍ය වර්ධක හෝමෝන වර්ග හොඳින් ශ්‍රාවය වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තිඛෙනවා. විද්‍යාත්මකව තහවුරු වී තිඛෙනවා. එම හෝමෝන නිසි පරිදි ශ්‍රාවය නොවුනොත් දරුවාගේ උස සහ බර වර්ධනයවීම ඇණහිටිනවා. එසේම බුද්ධිවර්ධනයටද එය බලපානවා දරුවකුගේ පූර්ණ වර්ධනයට ආදරය සෙනෙහස දැක්වීමෙන් ලැඛෙන උත්තේජනය කෙතරම් වැදගත් ද කියා එයින් පැහැදිලි වෙනවා. දරුවකු ඉපදී මුල් මාස 6 ඇතුළත මවුකිරි පමණක් ලබාදීම ඉතා වැදගත්. එසේ මවුකිරි ලබා දෙන අතරතුරත් මවට දරුවාව උත්තේජනය කළ හැකියි. බොහෝ විට අතදරුවකු හඬන්නේ මවුකිරි හෝ උණුසුම අවශ්‍ය වූ විටයි∙ දරුවාට බඩගිනි වූ විටයි. එවිට දරුවාගේ කුස පිරවීම අවශ්‍ය වෙනවා. මෙහිදී මවගේ තනපුඬුව දරුවාගේ මුවට තබා කිරි දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. කිරි දෙන විට දරුවාගේ දෑස් දෙස බලාගෙන දරුවාට ආදරෙන් කතා කරමින් කිරි ලබාදීම ඉතා වැදගත්. එසේ නැතිව පැය තුනෙන් තුනට මව්කිරි දී දරුවාව පැත්තකට කර තැබීම ප්‍රමාණවත් වන්නේ නෑ. එමඟින් දරුවාට උත්තේජනයක් ලැඛෙන්නේ නෑ. දරුවකු ඉපදී මාස 6 ක් ගතවූ පසුව එම දරුවාට මවුකිරි දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. ඒ ඒ වයසට දරුවාට ගැළපෙන සහ දිය යුතු ආහාර සහ ආහාර දිය යුතු පිළිවෙළ වෛද්‍යවරු වෙතින් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් වෙතින් මවුවරුනට දැනගත හැකියි. ඒ වාගේම ඒ පිළිබඳව මවුවරුන්ව බොහෝ ආකාරවලින් දැනුම්වත් කෙරෙනවා. නමුත් එම උපදෙස් අනුව කාල සටහනක් සකසාගෙන දරුවාට ආහාර ගිල්වීම පමණක් දරුවාගේ වර්ධනයට ප්‍රමාණවත් වන්නේ නෑ. දරුවාගේ කුසට ආහාර ලබා දෙනවා සේම ආදරයත් ලබාදිය යුතුමයි. දරුවකුට කෑම දෙන විට දරුවාගේ මට්ටමටම මව පහත්වීම ඉතාම අවශ්‍යයි. දරුවා බිම ඉඳගෙන කෑම ගැනීමට කැමතිනම්, අම්මා ද බිම ඉඳගෙන දරුවාට කෑම කැවීම සුදුසුයි. ඊට අමතරව දරුවාට කෑම කවන විට දරුවාගේ මුහුණ දෙස බලාගෙන දෑස් දෙස බලාගෙන දරුවා සමඟ සිනාසෙමින් කෑම ගැනීම ප්‍රයෝජනවත්. එමඟින් දරුවාට කෑම ගැනීමට හොඳ උත්තේජනයක් ලැඛෙනවා. ඊට අමතරව දරුවාට කෑම කවන අතරේ එක් අතකින් දරුවාගේ අතපය ආදරයෙන් අතගෑම ඉතාම වැදගත්. එයින් ද දරුවා උත්තේජනය වෙනවා. දරුවාට අම්මාගේ රැකවරණය ඇති බව ඉන් දරුවාට දැනෙනවා. කෑම ගැනීමට රුචියක් දරුවා තුළ වර්ධනය වෙනවා. අම්මා අසල සිටින විට අම්මාගේ තුරුලේ සිටින විට තමාට රැකවරණයක් ඇති බව දරුවාට හැඟී ගියහොත් දරුවාට බඩගිනි ඇති වෙනවා.
බහතෝරන අවදියේදී දරුවා බබා, මමා, අම්මා, තාත්තා වැනි වචන උච්චාරණය කිරීමට උත්සාහ ගන්නවා. දරුවා එසේ වචන උච්චාරණය කරන විට මවට ද දරුවා සමඟ එම වචන උච්චාරණය කළ හැකියි. එසේ දරුවන් සමඟ මවුපියන් වැඩිහිටියන් වචන උච්චාරණය කරන විට දරුවා උත්තේජනය වී දරුවා ශාරීරිකව මෙන්ම මානසිකව ද හොඳින් වර්ධනය වන බව හෙළි වී තිඛෙනවා. ඒ දේවල්වලට මුදල් වැය නොවුණත් දරුවකුගේ වර්ධනයට පෝෂණයට ඉන් ලැඛෙන රුකුල අතිමහත්. දරුවකුගේ ඇසීම, කතාවට සෘජුවම සම්බන්ධයි. කට සහ කන ක්‍රියා කරන්නේ එක්වයි. දරුවකුට හොඳින් ඇසෙන විට එම දරුවා හොඳින් කතා කිරීමට පටන් ගන්නවා. එසේම දරුවකුගේ දෑස සහ දෑත් ක්‍රියා කරන්නේ ද එක්වයි. ඉතාම කුඩා අවධියේදී සෙල්ලම් බඩුවක් වැනි දෙයක් ඇල්ලීමට දරුවකු පෙලඹ වූ විට දරුවා එය අල්ලනවා. එය උත්තේජනයක්. එවැනි ක්‍රම මඟින් කුඩා කාලයේදී දරුවාව උත්තේජනය කළ හැකියි. දරුවාට වයස අවුරුදු 3 ක් පමණ වූ විට දරුවා තුරුලු කරගෙන කතන්දර කියාදීමේ හැකියාව වැඩිහිටියන්ට විශේෂයෙන්ම මවට තිඛෙනවා. ගැටලුව වන්නේ දරුවන්ට කියාදීමට සුදුසු කතන්දර, සුරංගනා වත්මන් මවුවරු නොදැනීමයි. ඒ සඳහා සුදුසු පොත් ඕනෑ තරම් වෙළෙඳ පොළේ තිඛෙනවා. එම කතන්දර පොත් කියවා දරුවාට කතන්දර කියාදීමේ හැකියාව මවුවරුන්ට තිඛෙනවා. එසේම දරුවාට නින්ද යනතුරු කවි කතන්දර කියා දීමෙන් දරුවාගේ මනස උත්තේජනය වන බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් ද තහවුරු වී තිඛෙනවා. බහතෝරන අවදියෙන් ඔබ්බට ගියාට පසුව දරුවකු මොන්ටිසෝරි යන වයසට පාසල් යන වයසට පත්වෙනවා. මෙම අවදියේදී බොහෝ මවුපියන් උත්සාහ ගන්නේ දරුවාට ආදරය සෙනෙහස දැක්වීමට වඩා තම දරුවා අවශ්‍ය පරිදි හැඩ ගස්වා ගැනීමටයි. මොන්ටිසෝරි යන වයසේදී දරුවකු බලාපොරොත්තු වන්නේ පරිසය සමඟ කාලය ගත කිරීමටයි. එම වයසේදී දරුවන් අලුත් අලුත් දේ පිළිබඳව සිතන්නට පටන් ගන්නවා. මිදුලේ වැලි අත ගෑමට, ගල් ඇහිඳීමට, ගස්වල කොළ කැඩීමට, මල් ඇල්ලීමට සමනළයන් දෙස බැලීමට ඒ වයසේ දරුවන් උත්සාහ ගන්නවා. ඒ වගේම මල් පිපෙන්නේ කෙසේදැයි බැලීමට, සමනලයන් පසුපස දිවීමට මේ වයසේ දරුවන් උත්සාහ ගන්නවා. පරිසරයේ විවිධ අත්හදා බැලීම් කරන්න මෙම වයසේ දරුවන් උත්සාහ ගන්නවා. දරුවන්ගේ ඒ මානසික ස්වභාවයන් තේරුම් නොගන්නා මවුපියන් එම ක්‍රියාවන්ට දරුවනට ඉඩ දෙන්නේ නෑ. වැලි ඇල්ලීම, ගල් එකතු කිරීමට ජලය සමඟ සෙල්ලම් කිරීමට දරුවාට ඉඩ දෙන්නේ නෑ. බොහෝ මවුපියන්ට අවශ්‍ය වන්නේ මොන්ටිසෝරියකට යවා දරුවාට අකුරු කියාදීමටයි∙ පොත පතේ දැනුම පමණක් දරුවාට ලබා දීමටයි. එය ඒ වයසේ දරුවන්ගේ වර්ධනයට බාධාවක්. මෙම වයසේ දරුවන් සමඟ ක්‍රීඩා කිරීමෙන්, පරිසරය විඳීමට දරුවන් සමඟ මවුපියන් ද එක්වීමෙන් දරුවාට විශාල උත්තේජනයක් ලැඛෙනවා. එය දරුවාගේ මානසික මෙන්ම ශාරීරික වර්ධනයට ද විශාල රුකුලක්. කුඩා දරුවන් සමඟ සෙල්ලම් කරන විට වැඩිහිටියන්ද එම වයසට ගොස් දරුවා සමඟ සෙල්ලම් කිරීම ඉතාම වැදගත්. දරුවකුගේ මොළයේ වර්ධනය වැඩිපුරම සිදුවන්නේ ඉපදී පළමු අවුරුදු දෙක තුන අතර කාලයේ දී. සෛල අළුතින් නිෂ්පාදනය වන්නේත් එම කාලයේ දී. එම නිසා එම වයස දරුවකුගේ ඉතා වැදගත් කාලයක්. මෙම වයසේ දී දරුවා උත්තේජනය කිරීම ඉතාම වැදගත්. පෙර පාසල් විය ගෙවී දරුවා පාසල් යන වයසට පත්වුණු පසුව දරුවාට කිසියම් හික්මීමක් ලබා දිය යුතුයි. සතුන් තම පැටවුන් බලාගන්නේ ඉතාම කෙටි කාලසීමාවක්. එම කාලසීමාව තුළ තම පැටවුන් හොඳින් බලාගන්නා එම සතුන් ඉන්පසු පැටවුන් නිදහස් කරනවා. මිනිසුන් ක්‍රියාකරන්නේ එසේ නොවෙයි. බොහෝ කාලයක් තම දරුවන් රැක බලාගන්න මිනිසුන් පෙලඹෙනවා. එය ඉතා වැදගත්. එසේම එසේ රැකබලා ගන්නා ගමන් දරුවාගේ බුද්ධි මට්ටම ඉහළ දැමීමට ක්‍රියාකිරීමත් ඉතාම වැදගත්. මවුපියන් හැමවිටම උත්සාහ ගත යුත්තේ තමන්ගේ මට්ටමට වඩා ඉහළට තම දැරුවන් ඔසොවා තැබීමටයි. ඒ සඳහා කිසියම් විනයකට හික්මීමකට අනුව දරුවන් හැදීම ඉතාම වැදගත්. දෙක තුන වසරවල ඉගෙනගන්නා විට දරුවකු සිතන්න ගන්නේ එක් මට්ටමකට. එම වයස්වලදී සෙල්ලම් බෝට්ටු සෙල්ලම් ගුවන්යානා හදන්න දරුවන් උත්සාහ ගන්නවා. නමුත් උසස් පෙළ පන්තිවල ඉගෙනගන්න දරුවන් සිතන්නේ වෙනස් මට්ටමකට. ඔවුන්ගේ සිතුම් පැතුම් ආශාවල් වෙනස්. ඒ දරුවන්ගේ බුද්ධිය වර්ධනය වී ඇති නිසයි. දරුවකු වැඩෙන විට තම දරුවා තුළ ඇතිවන වෙනස මවුපියන් විසින් හොඳින් තේරුම් ගත යුතුයි. වයස අවුරුදු දෙක තුනේ දී බොහෝ විට දරුවා අහන්නේ මව, පියා කියන දේ. ඊට පසුව දරුවන් අහන්නේ ගුරුවරුන් කියන දේ. ඊට වඩා තරමක් දරුවා වැඩෙන විට තම යහළුවන් කියන දේ ඇසීමට දරුවන් පෙලඹෙනවා. එයයි ස්වභාවය. එම අවස්ථාවේදී මවුපියන් දරුවන්ට ඉතාම සමීපව සිට හරි දේ මෙයයි වැරදි දේ මෙයයි කියා දරුවන්ට කියාදීම ඉතා වැදගත්. එම වයසේ දරුවන් උත්තේජනය කළ හැක්කේ ඒ ආකාරයෙන්. එම වයසේ දරුවන්ට උත්තේජනය ඉතාම අවශ්‍යයි. ඒ සඳහා මවුපියන් දරුවා සමඟ සිටිය යුතුයි∙ දරුවා සමඟ කාලය ගත කළ යුතුයි. මෙම වයසේ දී දරුවාට නිසි පරිදි උත්තේජනයක් නොලැබුණොත් එම දරුවා වැරදි මාර්ගවල යාමට පෙලඹෙන හැකියාව වැඩියි. අද සමාජයේ බොහෝ දෙමවුපියන් සිටින්නේ මුදල් ඉපයීමේ තරගයක නිරතවෙලා. ඔවුන් සැනසෙන්නේ මුදල් ඉපයීමෙන්. බොහෝ නිවෙස්වල මවත් පියාත් දෙදෙනාම රැකියාවල යෙදී සිටිනවා. ඒ සඳහා බලපා ඇත්තේ ආර්ථික දුෂ්කරතා බව සත්‍යයක්. ඒ වගේම මවුපියන් මෙලෙස කටයුතු කරන්නේ දරුවන්ගේම යහපතට බව ද සත්‍යයක්. ඇතැම් මවුපියන් දිවා රෑ නොබලා මුදල් උපයන්නේ තම දරුවන්ට විදේශ රටවල විශ්වවිද්‍යාලයකට ගොස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාකරදීම සඳහා වෙන්න පුළුවනි. එවැනි මවුපියන්ට දරුවන් වෙනුවෙන් මුදල් වැය කිරීමේ හැකියාව තිබුණත් දරුවන් වෙනුවෙන් කාලය වැය කිරීමේ හැකියාව ඔවුන්ට නෑ. එහි ප්‍රතිඵලය වන්නේ නිසි වයසේ දී දරුවාට මවුපියන් වෙතින් ලැබිය යුතු ආදරය නොලැබී යාමයි. එය දරුවාගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයට ද විශාල බාධාවක්. ගහට කොළට ආදරය කරන සංවේදී දරුවකු බිහිවීමට එය බාධාවක්.
දරුවන්ට ආදරය දැක්වීම සඳහා දරුවන් සිප වැලඳගැනීමෙන් ඕනෑම වයසක සිටින දරුවකු උත්තේජනය කිරීමේ හැකියාව මවුපියන්ට තිඛෙනවා. අපේ සංස්කෘතියට අනුව දරුවන් සිප වැලඳගැනීම නෙගැළපෙනවා සේ පෙනුණත් තමන්ගේ දරුවන් සිප වැලඳගෙන ආදරය දැක්වීම ගැටලුවක් නෑ. අපේ රටේ බොහෝ දරුවන් මවට පියාට ආච්චිට සීයාට වඳිනවා. එවැනි අවස්ථාවක දරුවා සිප වැලඳගැනීමෙන් දරුවාට ආදරය පෙන්විය හැකියි. එය දරුවා උත්තේජනය වීමට දරුවාගේ මානසික වර්ධනයට විශාල රුකුලක්. අපේ මේ මවුවරුන් දරුවන්ට කෑම කැවීමට ගන්නා උත්සාහයත් ඉතා වැරදි සහගතයි. කුඩා වියේ පටන් දරුවා ස්වාධීන පුද්ගලයකු බවට පත්කිරීම ඉතාම වැදගත්. දරුවකුට මාස 9ක් 10ක් පමණ වන විට ‘ගිලීමට පහසු’ බිස්කට් කැබැල්ලක් කෑමට සැලැස්වීම ඉතා වැදගත්. දරුවාට අවුරුද්දක් පමණ සම්පූර්ණ වූ පසුව පිරිසුදු පිඟානකට බත් ස්වල්පයක් දමා බත් ඇට ඇහිඳගෙන කෑමට දරුවා හුරු කළ යුතුයි. දරුවාට අවුරුදු එකහමාරක් පමණ වන විට තනිවම ආහාර ගැනීමට දරුවාට හුරු කළ යුතුයි. එලෙස දරුවා අතින් ගෙන කෑම ගැනීමෙන් හුරු පුරුදු වන්නේ කෑම ගැනීමේ හැකියාව පමණක් නොවේ. අත සහ කට අතර සම්බන්ධතාව ගොඩනැඟීමට ද එලෙස දරුවා ස්වාධීනව ආහාර ගැනීම ඉවහල් වෙනවා. කිසියම් මවක් තම දරුවාට දිගින් දිගටම ආහාර කැවීමට පුරුදු වුණොත් කවුරුන් හෝ කෑම කවන තෙක් දරුවා බලාගෙන සිටිනවා. කෙසේ හෝ දරුවාට නොකැව්වොත් දරුවා කෑම නොකන බවයි මවුවරුන්ගේ අදහස වන්නේ. මෙය ඉතාම වැරදි මතයක්. අපේ රටේ මවුවරුන් කිසිම අවස්ථාවක තම දරුවාට බඩගින්න දැනෙන්න ඉඩ තබන්නේ නෑ. බඩගින්නක් ඇතිවී දරුවා අඬන තත්ත්වයකට පත්වෙන්න මවුවරු ඉඩ තබන්නේ නෑ. එවිට දරුවාට බඩගින්න කුමක්දැයි වැටහෙන්නේ නෑ. එවිට දරුවාට කෑමවල අවශ්‍යතාවක් ඇතිවන්නේ නෑ. දරුවකුගේ කායික මානසික වර්ධනයට, දරුවකු උත්තේජනය වීමට සංගීතය, නැටුම්, චිත්‍ර වැනි කලා මාධ්‍යයක් රසවින්දනයට සැලැස්වීම ඉතාම සුදුසු බව අද හෙළිවී තිඛෙනවා. විශේෂයෙන්ම අඩු රිද්මයකින් යුතු අපේ රටට ගැළපෙන සියුම් සංගීත ඛණ්ඩයක් කුඩා අවධියේ පටන් ම දරුවාට ශ්‍රවණය කිරීමට සැලැස්වීම මඟින් දරුවා මානසික උත්තේජනය වෙනවා. දරුවාගේ මොළයේ සෛලවල ක්‍රියාකාරීත්වය අනුව සංගීතය සහ ගණිතය එකට ගමන් කරන බව හෙළිවී තිඛෙනවා. එයින් පැහැදිලි වන්නේ සියුම් සංගීතය ශ්‍රවණය කරන දරුවන්ගේ ගණිතමය හැකියාව වර්ධනය වන බවයි. ඊට අමතරව දරුවකුගේ ශාරීරික වර්ධනයට මෙන්ම මානසික වර්ධනයටත් කය වෙහෙසා ක්‍රියා කිරීම ඉතා අවශ්‍යයි. දිනකට අඩුම තරමින් පැය බාගයක් හෝ පැයක්වත් දරුවාට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. එහිදී දරුවාට ක්‍රීඩාවෙන් ලැඛෙන උත්තේජනය දරුවාගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයට ද ඉවහල් වෙනවා.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
උපුටා ගැනීම සිළුමිණ පුවත් පත