Biz Log
Classifields
Biz Log
Classifields

තොග කඩේක බඩු විකුණපු අත්දැකීම තමයි මට සාර්ථකත්වයට මඟ පෙන්නුවෙ


ඔහු ජීවිතය උගත්තේ පිටකොටුවෙනි. ව්‍යාපාර ලෝකයට පදනම දැමූ ඒ පිටකොටුවෙන් දිල්ලියටත්, එංගලන්තයටත් ගොස් ආ ඔහු, හැදෙන වැඩෙන පුංචි නිලධාරියකු සේ වෘත්තීය ජීවිතය අරඹනුයේ CIC සමාගමෙනි. මෙරට ව්‍යාපාර නායක ලැයිස්තුවේ අත්දැකීම් බහුල ප්‍රවීණයකු වූ ඔහු අද අතගසා ඇත්තේ, තොරතුරු තාක්ෂණයෙන් කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් අංශවල ඵලදායිතාව නංවාලීමේ දැවැන්ත වැඩපිළිවෙළකට ය. මේ ඔහු, ව්‍යාපාරික ලෝකයේ තරුවක් බවට පත් කළ කටුක සහ මිහිරි පසුබිම් කතාවයි.

කලෙක ඔබ, එංගලන්තය මව් සමාගම වෙච්චි CIC හෝල්ඩින්ග්ස් හි ශ්‍රී ලාංකික කළමනාකාර අධ්‍යක්ෂවරයා…

ඔව්. CIC සමාගමේ හතර වැනි කළමනාකාර අධ්‍යක්ෂවරයා වුණේ මම. අවුරුදු 11ක් මං ඒ තනතුරේ හිටියා. හැබැයි ආවේ Management Trainee හැටියට වයස 22 දී. පියවරෙන් පියවර හෙමින් ඉහළට ආ ගමනක් ඒ. අද මං වැඩ කරන්නේ එතැනින් එහා තාක්‍ෂණය භාවිතයෙන් කෘෂිකර්මාන්තයේ ඉදිරි පිම්මක් තැබූ සමාගම් සමූහයක් එක්ක. එනම් Inova Systems, Agroworld Pvt Ltd, Spectrify Ai Pvt සහ HVA Foods PLC සමාගම් සමඟ.

ඔබට අනුව, අපේ රටේ කෘෂිකර්මාන්තය තිබෙන තැන කුමක්ද? 

අපේ කෘෂි කර්මාන්තයේ යම් තැනක් දක්වා නවීන තාක්ෂණය භාවිත වනවා. යම් ක්ෂේත්‍රවල ඉදිරියට පැමිණීමක් තිබුණත් අනෙක් අංශවලින් අප සිටින්නේ හුඟක් පසුගාමීවයි. ඒ කියන්නේ තේ සහ වී හැර අපේ අනෙක් සියලුම එළවළු පලතුරු පලදාවන් තිබෙන්නේ ලෝකයේ වෙනත් කෘෂිකාර්මික රටවලට සාපේක්ෂව 60%ක පහළ මට්ටමක. අපි අලුත් පදනමකට ගියේ නැත්නම් තව අවුරුදු ගාණකටවත් අපේ කෘෂිකර්මාන්තයට ඉදිරියක් නැහැ. මේ තමයි වෙනස් විය යුතු වෙලාව.

ඉතින් ඒ වෙනුවෙන් කුමක්ද ඔබ කරන්නේ? 

කෘෂි කර්මාන්තයට තොරතුරු තාක්ෂණ භාවිතය ඉතා උසස් අන්දමින් යොදා ගන්නා ඉදිරි පියවර රැසකට මම දායක වී සිටිනවා. එනම්, හොඳ දැක්මක් ඇති තොරතුරු තාක්ෂණවේදී නායකයන් කිහිප දෙනකු එක්ක වැඩ කරනවා. ඒ සමාගම් තුළින් කෘෂි කර්මාන්තයේ සියලුම අංශ කෙරෙහි ඉතා සාධනීය වෙනසක් කළ හැකි තාක්ෂණ භාවිතාවක් යොදා ගැනෙනවා.

කොහොමද එය සිදුවන්නේ? 

ලෝකයේ අපි හිතනවාට වඩා දියුණු දත්ත තාක්ෂණයක් තිබෙනවා. උදාහරණයක් විදියට පොළොව සකස් කර පැළ සිටුවීමේ තැන පටන් අස්වනු නෙළා ගන්නා මොහොත දක්වා පියවරෙන් පියවර සෑම දිනකම මෙම දත්ත රැස් කෙරෙනවා. සියුම් අධි තාක්ෂණික කැමරාවලින් ලබා ගන්නා ඡායාරූප ඇසුරෙන්, ගොවීන් සම්බන්ධ කරගෙන වගාබිම පිළිබඳ නිබඳ අධ්‍යයනයක් සිදු කෙරෙනවා.

එක් වගා ක්ෂේත්‍රයක් පිළිබඳ අප දත්ත සහ සෑම කෝණයකින්ම ගත් ඡායාරූප 140ක් රැස් කරනවා. ක්ෂේත්‍ර චාරිකා සිදු කරනවා. ගොවියා සමඟ උපදෙස් සහ සංවාද පවත්වනවා. මේ සඳහා අපිට සුවිශේෂී කණ්ඩායමක් සිටිනවා. ඒ අනුව ගොවි බිමක, අස්වැන්නක ඕනෑම තත්ත්වයක් හඳුනා ගන්නට අවශ්‍ය ඕනෑම තොරතුරක් මේ හරහා ගොවියාටත් අපටත් ලැබෙනවා. මේ මොඩියුල් එක හදා ගැනීමයි වැදගත්. එය ගොවීන්ට කා වැද්දූ පසු මේ රටේ කෘෂිකර්මාන්තයේ විශාල ඉදිරි පිම්මක් අනිවාර්යෙන්ම සිදු වෙනවා. එම දත්ත විශ්ලේෂණය කිරීමෙන්, ප්‍රශ්න හඳුනා ගැනීමට, ඕනෑම ගැටලුවකට විසඳුම් සෙවීමට සහ ඒ වෙනුවෙන් තීරණ ගැනීමේ හැකියාව ශක්තිමත් කරනවා. කෘෂි නිලධාරීන් ඉඳහිට ගොවි බිමකට යනවාට වඩා ගොවියා දෛනිකව කළ යුතු වැඩ කොටස පිළිබඳ උපදෙස් ලබා දෙනවා. මෙය දියුණු කෘෂිකාර්මික රටවල් උපයෝගී කරගන්නා ක්‍රමවේදයක්. අමාරුම දේ ස්මාර්ට් ජංගම දුරකතන ඇප් හරහා ගොවියාත් ගොවි බිමත් සමඟ නිරන්තර සබඳතාව තබා ගැනීමයි. ගොවියා ඊට හුරු කිරීමයි. මේ දිනවල අප යෙදී සිටින්නේ ඒ අමාරු කර්තව්‍ය වෙනුවෙන්. ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ගොවීන් දහස් ගණනක් සම්බන්ධ කරගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි සැලසුම. මේ දිනවල අප සිටින්නේ එහි නියමු ව්‍යාපෘතියේ. මේක වෙනස් විදියේ පාලනයක්. හොඳ control එකක්. වියදම් අඩු කිරීමක් සහ කෘෂිකාර්මික සමාලෝචනයක් මෙන්ම යම් පසු විපරමක් සිදු කිරීමට අවශ්‍ය දත්ත එක් රැස් කිරීමක්.

ඒ කියන්නේ ඔබ දැන් සම්පූර්ණයෙන්ම තාක්ෂණික පැත්තකට යොමු වෙලා… 

තාක්ෂණික දැනුමෙන් පිරිපුන් තරුණ බුද්ධිමතුන් පිරිසක් සමඟ වැඩ කරද්දි ඒ අත්දැකීම හරි වෙනස්. මං ඒකට කැමතියි. මම VSIS කියන IT සමාගම එක්කත් සම්බන්ධයි. එයාලා යටතේ තිබෙන Inova Systems මෘදුකාංග සංවර්ධනය කරන සමාගම තමයි ලංකාවේ උප්පැන්න, මරණ, විවාහ සහ විභාග සහතික සම්බන්ධ පරිගණක පද්ධතිය හැදුවේ. DOC 99 ඇප් එක හැදුවේ. ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු වැඩිම රාජ්‍ය ආයතන ගණනාවක ඩිජිටල්කරණය සිදු කළේ. ජාතික සැලසුම් රාශියකට දායකත්වය දීපු මේ සමාගමෙන් කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රශ්න රැසකට විසඳුම් දෙන්න මේ දවස්වල කටයුතු කරනවා.

ඒ වගේම තරුණ ව්‍යවසායකයන්ට අත දෙන කාර්යයෙත් ඔබ සිටිනවා නේද? 

HATCH කියන්නේ, එවැනි Startups මට්ටමේ ආධුනිකයන්ට අත දෙන මධ්‍යස්ථානයක්. එය ජීවන් ඥානම් මහතාගේ සංකල්පයක්. HATCH හරහා අප ක්‍රියාත්මක කරන්නේ තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාර අදහස් ඉදිරියට රැගෙන යෑමට උදව් කිරීමයි. මං හොයපු, ආසා කරපු වෙනස ඒ තුළ තිබෙනවා.

ඔබේ වෘත්තීය ජීවිතයේ මුල්ම රාජකාරිය මතක ද? 

CIC සමාගමේ වැඩට ආ පළමු දවසෙම කරන්න වුණේ එංගලන්තයේ මවු සමාගමෙන් ආපු සුදු මහත්තයකුට සුවඳැල් කෙසෙල් ගේන්න වුණ එක. ඔහු නැවතිලා හිටියේ ගෝල්ෆේස් හෝටලයේ. මං බස් එකේ පිටකොටුවට ගියා. මැනිං මාකට් එකේ ඇවිදලා සුවඳැල් හොයාගෙන ආවා. පළමු දවසේ එහෙම වුණාට මට පැවරුණේ ඈත තේ වතුවලට ගිහින් අපේ පොහොර සහ කෘෂි රසායන විකිණීමේ රාජකාරිය.

උපාධියක් අරන් රස්සාවට ආ පළමු දවසෙම මෙහෙම රාජකාරියකට ඔබ කැමැති වුණාද? 

ඒ තමයි විනය. මට වාහනයක් තිබුණට මාස දෙක තුනක් යනකල් ඒකෙන් වැඩට එන්නත් තහනම්. පුහුණු වන කළමනාකාරවරයකු පිළිපැදිය යුතු නීති තිබුණා. අපි ඒවාට හිස නැමුවා. ආයතනික නීතිවලදි ලොකුකම් වැඩක් නැහැ. සුද්දෝ එක්ක වැඩ කරද්දි එහෙමයි.

MD කෙනෙක් තමන්ගේ සේවක මණ්ඩලය එක්ක වැඩ කළ යුතු හොඳම විදිය මොකක්ද? 

මගේ ළඟම ඉන්න අයගෙන් මම බලාපොරොත්තු වන කැපවීම හා සේවාව බොහොම ඉහළ එකක්. වැඩක් කිරීමේදී හැඟීමක් ඇඟට එන්නේ, විඳි දුෂ්කරතා එක්ක. අපි අරමුණට ගියේ එහෙමයි. ඒ අත්දැකීම් ජීවිතයට ගන්නා පිරිසකුයි සමාගමකට අවශ්‍ය වන්නේ.

ඒත් MD කෙනකුට තමන්ගේ සීත කාමරයට වෙලා මේ සියල්ල පාලනය කරන්නත් පුළුවන් නේ? 

ඒක මගේ ක්‍රමය නෙවෙයි. මං MD වෙලා ඉන්නා කාලේ මාසෙකට දවස් හතරක් ෆීල්ඩ් එකේ ඇවිද්දා. ගොවිබිම්වල සුවඳ මං ඕනෑතරම් විඳලා තිබෙනවා. පටන් ගත් කාලයේ බස් එකෙන් බැහැලා තේ වත්තක් හමුවන කල් කිලෝමීටර් ගණන් පයින් ඇවිදිනවා. එහෙම වතු ගාණේ කට්ට අව්වේ පයින් ඇවිද ගිහිනුයි නිෂ්පාදන අලෙවි කරන්න පසුබිම හදා ගන්නේ.

අභියෝග එන තරමට ජිවිතේ පන්නරය ලබනවා. මේ කතාව ඔබේ ජීවිතයටත් අදාළයි ද? 

හැරිලා බැලුවොත් මං පහු කරපු එහෙම අවස්ථා ඕනෙ තරම්. අභියෝග එක්ක හැපිලා ඒවා ජය ගන්න එකයි මගේ විදිය.

හොඳ ව්‍යාපාර නායකයෙක් තුළ තිබිය යුතු ලක්ෂණයක් කියන්න.. 

ඒක මං කාගෙන්වත් ඉගෙන ගත් දෙයක් නෙවෙයි. ස්වයං අවබෝධයෙන් වටහා ගත් දෙයක්. අපි ඉහළට යන්න යන්න මිනිස්සු අපිව පුම්බලා පෙන්වන්න හදනවා. නමුත් තමන් තමන්ට ඇත්තක් විය යුතුයි. ‘you must be true to oneself…’ ඒක මගේ ජිවිත දර්ශනය. ඒ පුම්බන සිතුවිලි ඇඳගත්තොත් තමන් තමන්ව අඳුරා ගන්නේ නැහැ. විනාශය එතැනයි. මේ සත්‍ය තුළ ජීවත් වීම දුෂ්කරයි. නමුත් සාර්ථක නායකයෙක් එසේ විය යුතුයි.

දැඩි තීන්දු තීරණ ගන්න සිදු වූ විට ඔබ හිතන්නේ කොහොම ද? 

‘වැඩි දෙනාගේ යහපත පිණිස…’ ඒ තමයි Business Models ඉදිරියට යා යුතු විදිය. වැටෙන පාඩු ලබන ව්‍යාපාර, ඇදගෙන යෑම සමාගමකට හොඳ දෙයක් නෙවෙයි. CIC සමාගම ප්‍රතිව්‍යුහගත කළ එවැනි අවස්ථාවක සේවකයන් දෙසිය ගණනක් ඉවත් කිරීමේ දුෂ්කර තීන්දුවක් ගන්න වුණා. ඒක Boss කෙනෙක් හැටියට විතරක් නෙවෙයි මනුෂ්‍යයෙක් හැටියටත් පහසු දෙයක් වුණේ නැහැ. නමුත් ඒ සෑම කෙනෙක් සමඟම මං පෞද්ගලිකව කතා කළා. වටහා දුන්නා. නායකයෙක් හැටියට ඒ දුෂ්කර තීන්දුවට මං මුහුණ දිය යුතු වුණා.

මොකක්ද ඔබේ Management Style එක? 

‘Servent – Leader…’ නායකයා සේවකයා විය යුතුයි. අවශ්‍ය ඕනෑ ම මොහොතක බිම් මට්ටමට බැස වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුයි. මගේ වෘත්තීය ජීවිතය ඇරැඹෙන්නේම එහෙමයි. මං ගොවීන් දහස් ගණනක් එක්ක වැඩ කළා. ඔවුන්ගේ ගොවි බිම්වලට ගියාම අපිත් කහට කෝප්පයක් බෙදා හදා බොන ඔවුන්ගේ ම අය වුණා.

වෘත්තීය ජීවිතයේ ඔබ හඹා යන්නේ මුදල් ද සතුට ද? 

මට දැන් තිබෙන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තයට තාක්ෂණයෙන් විශාල වෙනසක් කිරීමේ ආශාව සහ උවමනාව. ඒ වගේම නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන වෙන්නත් මට උවමනායි. මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ 95%ක්ම ඉන්නේ තරුණ බුද්ධිමතුන්. දැවැන්ත සමාගමක ඉහළම පුටුවක ඉඳලා, ආපහු අවුරුදු 30-35 තරුණ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම මං අලුත් විදියට විඳිනවා. දැන් මගේ ඇඳුම පැලඳුම පවා වෙනස්. ඉස්සර ටයිකෝට් ඇඳපු මං අද ඔවුන් වගේම ඩෙනිම් ටී ෂර්ට්වලට මාරුවෙලා. හරි සැහැල්ලුවක් දැනෙනවා.

ව්‍යාපාරික හා වෘත්තීය ජීවිතයේ ඔබට බලපෑමක් කළ පුද්ගලයන් කවුද? 

ඉහළ විධායකයට යද්දි කෙනෙකුට වැදගත් ම දේ තමයි, විනය, මගේ පළමු Boss, රංජිත් බෝපේආරච්චි මහත්මයා මට විනය පිළිබඳ බොහෝ දේ ඒ මුල් යුගයේ කියා දුන්නා. බිස්නස් එකක් සාර්ථක ද නැතිද කියා තීරණය කිරීමට බලපාන සාධක හා CIC බිස්නස්වල අන්තර්ගතය පිළිබඳ මං ඉගෙන ගත්තේ හිටපු සභාපතිවරයකු වූ බී. ආර්. එල්. ප්‍රනාන්දු මහත්මයාගෙන්. ජීවන් ඥානම්, VSIS සමාගමේ ප්‍රියංග ගුණසේකර සහ Inova සමාගමේ ටෙරන්ස් මැදවත්ත කියන්නේ මෑත කාලයේ මගේ වෘත්තීය ජීවිතයට සාධනීය බලපෑම් කළ එවැනි මිනිසුන් කිහිප දෙනෙක්.

2016 -2018 දක්වා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ඔබ? 

වාණිජ ක්ෂේත්‍රයේ ප්‍රශ්න උග්‍රව තිබූ කාලයක මණ්ඩලයේ සභාපති වූයේ සුසන්ත රත්නායක මහත්මයා. ගැටලු සියුම්ව හඳුනා ගැනීම සහ අවශ්‍ය කඩිනම් පිළියම් යෙදීම පිළිබඳ බොහෝ දේ මං උගත්තේ රත්නායක මහත්මයාගෙන්. මගේ ධුර කාලය තුළ ප්‍රායෝගික වුණේ ඒ දැනුම. ව්‍යාපාර නායකයෙක් ලෙස ලයන් බෲවරි සමාගමේ MD සුරේෂ් ෂා මහත්මයාගෙන්, අපේ රටේ ආර්ථිකයට අපේ ව්‍යාපාර ගෙන යා යුතු සහ දායක කරගත යුතු ආකාරය පිළිබඳ විශාල දැක්මක් ලැබුණා. මේ අයගේ ඇසුර තුළ ප්‍රායෝගිකව බොහෝ දේ කරන්න අපිට පුළුවන් වුණා.

පහුගිය මැයි මාසයේ වාණිජ මණ්ඩලය හැටියට අපි ශ්‍රී ලංකාවේ රාජ්‍ය කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අලුතින් ලිව්වා. කෘෂි කර්මාන්තයේ උන්නතියට සිදු විය යුතු ප්‍රබල වෙනස් කම් අතර දත්ත තාක්ෂණය ඉදිරියට ගෙන කළ යුතු වෙනස්කම් පිළිබඳ එම රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කළා. එය අපි ජනාධිපතිතුමාට පිළිගැන්වූවා. රටක් හැටියට කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පිළිබඳ ඉදිරියේදී ලොකු වෙනසක් අප බලාපොරොත්තු වනවා.

දක්ෂතාව සහ කුසලතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න. 

මං ඉගෙන ගත්තේ කොළඹ ආනන්දයේ. පාසල් කාලේ මං මාව දක්ෂයෙක් ලෙස සලකන්නෙ නෑ. මං ගුරුවරුන්ටත් කරදරයක් වෙච්චි ශිෂ්‍යයෙක්. ජිවිතයේ හැම දෙයක් ම ප්‍රශ්න කරන ගතිය නිසා පාසල් ජීවිතය එතරම්ම රසවත් වුණේ නැහැ. මං ඉගෙන ගත්තේ මට ඕන විදියට. වැඩිපුරම කළේ ස්කූල් කට් කරපු එකයි, ෆිල්ම්ස් බලපු එකයි. මගේ කුසලතාව තිබුණේ ව්‍යාපාර ගැන. ඕ ලෙවල් හොඳින් සමත් වෙච්චි නිසා ඒ ලෙවල්වලට විද්‍යා විෂයන් කරන්න වුණා.

ඔබටම ආවේණික, ක්ෂේත්‍රයට වඩාත් ප්‍රයෝජනවත් වූ ඔබේ ගති ලක්ෂණ මොනවාද? 

‘ඇයි එහෙම වෙන්නේ… ඇයි එහෙම අහන්නේ…’ කවුරු හරි මගෙන් යමක් ඇහුවොත් මං හැම දෙයක් ම පෙරළා ප්‍රශ්න කරනවා. වෙන අයට නොපෙනෙන බොහෝ දේ මේ පෙරළා ප්‍රශ්න කිරීමේ ගතිය නිසා මට පේනවා. දැනෙනවා. ව්‍යාපාරවලදී මට ඒ දේ හුඟක් ප්‍රයෝජනවත්.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද? 

මගේ තාත්තා පශ්චාත් උපාධි කළ කෙනෙක්. අම්මත් එහෙමයි. ඈ ගුරුවරියක්. තාත්තා ලෝක බැංකුවේ සහ ලෝක ආහාර සංවිධානයේ වැඩ කළා. නමුත් ඔවුන් ජීවිතය දෙස බැලුවේ වෙනස් විදියකට. මං නිදහස එතරම්ම වින්ඳෙත් ඒ නිසා. ඒ ලෙවල් මහා බරක් විදියටයි මං සැලකුවේ. ඒක තාත්තා දැනගෙන හිටියා. ඒ කාලේ පෙන්වපු ‘විකෘති ‘ නාට්‍යය මගේ ඔළුවේ හරියට වැඩ කළා. ඒ අධ්‍යාපන ක්‍රමය මට ඇල්ලුවේ ම නැහැ. මං උපරිම නිදහස වින්දා. නමුත් ඒකට මගේ මවුපියෝ බාධා කළේ නැහැ. නිදහස දීලා, මම මං විදියට හැදෙන හැටි ඒ දෙන්නා බලා හිටියා.

ඒක හොඳ තීරණයක් කියලද ඔබ කියන්නේ? 

ඒ නිසා තමයි මං අද මෙතැන ඉන්නේ. විභාග පාස්වීම මට ප්‍රශ්නයක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ විභාග විතරක් නෙවෙයි කියන තැනයි මම හිටියේ. උසස් පෙළ ප්‍රතිඵල C – 2යි. S – 2යි. ඇත්තටම මම චරිතයක් වුණේ, මතු වුණේ මගේ වෘත්තීය ජීවිතයෙන්.

කැපවීම ජීවිතයේ සාර්ථකත්වයට බලපානවා නම් ඔබේ සාර්ථකම කැපවීම ලෙස සලකන අත්දැකීම මොකක්ද? 

පිටකොටුවේ හතර වැනි හරස් වීදියේ පරිප්පු – බොම්බයි ලූනු – කරවල – අල විකුණපු තොග කඩේක වැඩ කරපු කාලය. අඩු Margin එකකට වැඩිම වෙළෙඳාමක් සිදු වන්නේ තොග වෙළෙඳාමේදී. මුදල් රජ වෙන්නෙත්, විනයගරුක ම වෙළෙඳාම සිදු වන්නේත් එතැන. මට ව්‍යාපාර ගැන ඉගෙන ගන්න ඕනෙ කිව්වම තාත්තා මාව එයාගෙ හිතවත් ෆිස්කෝ සමාගමේ තොග කඩයක වැඩට දැම්මා. ඒ තමයි මං හැදුණු තැන. බඩු අලෙවිය විතරක් නෙවෙයි, තොග මිල සංසන්දනය, මිල පාලනය සහ වෙළෙඳාම ගැන ඒ ගැටවර වියේදී මට විශ්වවිද්‍යාලයක් වුණේ එතැන.

එතකොට වෙළෙඳාම ඉගෙන ගැනීම ඇතියි කියලා හිතුණේ? 

තාත්තා මාව කනෙන් ඇදගෙන ඇවිත් විශ්වවිද්‍යාලයට පිටත් කරන කල් අවුරුදු දෙකක් මං ඒ කඩේ බඩු විකිණුවා. හැන්දෑවට ගෙදර යද්දි බස් එකේ මිනිහෙක් වාඩි වෙන්නෑ මගේ ළඟ. කරවල ගඳයි – ලූනු ගඳයි එක්ක දාඩිය ගඳත් එකතු වුණාම උහුලන්න බැහැ. හැබැයි ව්‍යාපාර විතරක් නෙවෙයි මං ජීවිතය ඉගෙන ගත්තෙත් එතැනින්.

ඉහළ රැකියා කරපු ඔබේ අම්මා තාත්තා මේ තත්ත්වය ඉවසුවා ද? 

දරුවෝ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙනවටයි ඒ දෙන්නම කැමැති වුණේ. මං උදේට පිටකොටුවේ කඩේට යන මුළු ගමනෙම හිතන්නේ, අද හම්බ වෙන අලුත් ‘කස්ටමර්ස්ලට’ කොහොමද බඩු විකුණන්නේ… මොනවද වැඩිපුර විකුණා ගන්න පුළුවන්…’ කියලා. අවුරුදු 19දී ඇති වූ ඒ තැති ගැන්ම, චකිතය අලුත් Business එකක් පටන් ගනිද්දි මට අදටත් දැනෙනවා. ඒකම තමයි මේ රැකියාවේ උත්තේජනයත්. ඒ තැති ගැන්ම තිබිය යුත්තක්.

කොහේද ඔබ උසස් අධ්‍යාපනය ලැබුවේ? 

තාත්තා මාව දිල්ලි විශ්වවිද්‍යාලෙට යැව්වා. මං ගත්තේ විද්‍යා උපාධියක්. අවුරුදු දෙකකට පස්සෙ ඇවිත් තමයි CIC කොම්පැනියට බැඳුණේ. ඊට අවුරුදු පහකට පස්සෙ මම ආපහු එංගලන්තෙ Warwick විශ්වවිද්‍යාලයට ගියා. Business Administration, Masters කළේ එහේදී. ඒ ඇවිත් මං ආපහු CIC සමාගමේ වැඩ පටන් ගත්තා. ඒ ගමන තමයි දිරියෙන් කැපවීමෙන් මේ දක්වා ආවේ.

මොනවද ඔබ කැමැති දේ? 

නිවාඩුවක් ලැබුණු ගමන් මං යන්න හිතන්නේ යාල. වන සතුන්ට ගහකොළට වගේම කැලයේ නිශ්ශබ්දතාවට මාත් බිරියත් හුඟක් කැමැතියි. පිටරට සංචාරවලට වුණත් මායි බිරියයි යන්නෙම ඇවිදින්න. සත්තු බලන්න.

එතකොට අකැමැති දේ? 

ක්ලබ් ජීවිතේ, ව්‍යාපාරික සාද මට නුරුස්නාම දේ. නොයාම බැරි එහෙම තැනෙකට ගියත් විනාඩි දහයකට වැඩිය මං රැඳෙන්නේ නෑ. සිගරට් අරක්කු සමාජය මට එතරම් ප්‍රිය නැහැ.

ඔබට ‍ජීවිතය දැනෙන්නේ කොහොම ද? 

ජිවිතේ කියන්නෙ මට චෙස් ගේම් එකක්. ආරම්භයේදි චෙස් ඉත්තෝ තිස් දෙදෙනාට ඉදිරියට යා හැකි ගමන් විධි ලක්ෂ ගාණක් තිබෙනවා. එන්න එන්න ඒ ප්‍රමාණය අඩු වෙනවා. මේක, හැඩතල හිතින් මවා ගනිමින් නුවණින් ඉදිරියට යා යුතු ගමනක්. ඇත්තට ම චෙස් ක්‍රීඩාව තුළින් චිත්ත රූප දකින්න පුළුවන්. මේ තමයි මං යෙදෙන එකම ක්‍රීඩාව.

ඒක කොහොමද ජීවිතයට සමාන වෙන්නේ? 

අපි හැම වෙලාවෙම යමක් ආරක්ෂා කරගන්න හදනවා. ඒ රකින්න හදන දේට එන සියලු බාධකවලින් බේරිලා පරිස්සමට ඉදිරියට යන්නයි අපි බලන්නේ. ජීවිතයේ හැම දේකදීම සිදුවන මේ දේමයි චෙස්වලදීත් වෙන්නේ. අවුරුදු 11 පටන් මම චෙස් ක්‍රීඩාවේ යෙදෙනවා.

ඔබ ෆැෂන්වලට වියදම් කරන කෙනෙක්ද? 

ඇඳුම්වලට වඩා මං වියදම් කරන්නේ පෑන් වෙනුවෙන්. මං බ්‍රෑන්ඩඩ් පෑන් එකතු කරනවා. ‘Montblanc’ තමයි මං කැමැතිම පෑන. පෑනක් ඉවර වෙනකල් ලියලා, කුරු මාරු කරලා නැවත නැවත ලියන එක මට සතුටක්. ඇඳුමකට වඩා ආසාව තියෙන්නේ පෑන්වලට.

ගෙදර ජීවිතයේදී ඔබ කොහොම සැමියෙක් ද? 

මාත් බිරියත් වැඩි කතා බහක් නැති දෙන්නෙක්. ඇය මානව සම්පත් කළමනාකාරිනියක්. වෘත්තීය ජීවිතය පිළිබඳ, ආගම, සමාජ ප්‍රශ්න වගේ බොහෝ මාතෘකා තිබෙනවා අපිට කතා කරන්න. අපේම දරුවො නැති වුණාට, බිහි කරපු වෘත්තීය ගෝල පිරිසක් අපිට ඉන්නවා.

මේ රටේ කෘෂිකර්මාන්තයට යමක් කළා කියන සතුට දැනෙනවද? 

මට තව හිතට මදි. තාක්ෂණික සහ බුද්ධිමය දැනුම තියෙන අය අලුත් විදිහට හිතලා ඒවා ව්‍යාපාර බවට පත්කරන විට මගේ ව්‍යාපාර අත්දැකීම්වලින් ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් වීම ගැන විශාල සතුටක් තිබෙනවා. හැබැයි ඒ අතරේ මම ආයෙත් ශිෂ්‍යයෙක්. මම ඒ අය සමඟ අලුත් තාක්ෂණික දැනුම අත්දකිනවා. ඉගෙන ගන්නවා. මගේ හදවතේ තිබෙන කෘෂිකර්මයට මෙච්චර කල් දායක වුණාට වඩා වැඩියෙන් තව දේ කරන්න පුළුවන් කියන ආත්ම තෘප්තිය දැන් මා තුළ තිබෙනවා. දැන් මගේ සටන කෘෂිකර්මාන්තය වගේම අනෙකුත් අංශවලිනුත් තොරතුරු තාක්ෂණයෙන් අපේ රටේ ඵලදායිතාව නංවාලීමට දායකත්වය දීමයි. ඒක මගේ අවුරුදු දහයක ඉලක්කයක්.

උපුටා ගැනීම සිළුමිණ

Share This Article