Biz Log
Classifields
Biz Log
Classifields

මැෂින් හදන්න ආපු මම නුවර මහපොළේ කුඩ විකුණලත් තියෙනවා


තමන්ගේම ව්‍යාපාරය තුළ සේවකයකු වීමේ දුෂ්කරබව ඔහු ඕනෑවටත් වඩා අත්වින්ඳේ ය. අත්හරින්නට හිතුණු බොහෝ තැන්වල අල්ලාගෙන සිටියේය. තාත්තා ගොඩනැඟූව ද, දෝතට පිදූ ව්‍යාපාරයක් නොවී, දිරියෙන් ධෛර්යයෙන් ඉදිරියට ගෙන ආ ව්‍යාපාරයක සතුට ඔහු අත්විඳින්නේ එහෙයිනි. එම්. ටී. එම්. නෞෂාඩ් සහ කඳුරට කුඩ සමාගම බොහෝ දුර පැමිණ තිබෙන්නේ ඒ සියලු අත්දැකීම් මතිනි.

ඔබ පළමු වතාවට ලංකාවේ කුඩ කර්මාන්තයට වෙනස්කම් කිහිපයක්ම එක් කළ නිපැයුම් කරුවෙක්…

ඔව්. මෙච්චර කාලයක් ලංකාවට කුඩ ෆ්‍රේම් එක චීනයෙන් තායිවානයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වූයේ කන්ටේනර් ගණනින්. දැන් අපි මේ එක කුඩ නණයක් ගාණේ ලංකාවේ හදනවා. වෙනත් කුඩ කර්මාන්ත කරන අයත් දැන් අපෙන් කුඩ සැකිල්ල ගන්න පටන් අරන්.

ඒකෙන් ශ්‍රී ලංකාවට තවත් කර්මාන්තයක් එකතු වුණා. කුඩ නණ නිෂ්පාදනය විතරක් නෙවෙයි, ඒවා මලකඩ නොකන ලෙස රන් පැහැය ආලේප කරන ප්ලේටින් මැෂිමක් පවා ලංකාවට තිබුණේ නැහැ. මේ ප්ලේටින් කිරීම අපත් කර ගත්තේ ඉන්දියාවෙන් හෝ චීනයෙන්. අපි ප්‍රථම වරට ලංකාවට හඳුන්වා දුන් මේ ප්ලේටින් තාක්ෂණය නිසා කුඩ ෆ්‍රේම් නිෂ්පාදනය පමණක් නෙවෙයි. ප්ලේටින් කිරීමත් කරන්න පුළුවන් ඒ අනුව දවසකට කුඩ දුසිම් 14,000ක් හදන්න සහ ප්ලේටින් කරන්න පුළුවන්. ඒ කියන්නේ, ලංකාවටම අවශ්‍ය මාසික කුඩ නිෂ්පාදනය අපිට දවස් දෙකෙන් නිපදවන්නට පුළුවන්.

ඇත්තටම ලංකාවේ කුඩ අවශ්‍යතාව කොපමණක් ද?

මාසිකව කුඩ දුසිම් 30,000-40,000 අතර ප්‍රමාණයක් අවශ්‍යයයි. ඒ කියන්නේ කුඩ 425,000ක් පමණ. එවැනි ධාරිතාවක් සහිත නවීන තාක්ෂණයෙන් යුතු කුඩ නිෂ්පාදනයට අදාළ කිසිදු මැෂිමක් මෙතෙක් අපේ රටේ තිබුණේ නැහැ. අනික මේ මැෂින් එකෙන් අපිට අවශ්‍ය සෑම ප්‍රමාණයකම සුදු යකඩ බට නිෂ්පාදනය කරන නිසා එහි ගේජ් එක හෙවත් ඝනකම අඩු වැඩි කරමින් අපට ඕනෑම නිෂ්පාදනයක් කරන්නට පුළුවන්. සුදු යකඩ ඇඳුම් රාක්ක නිෂ්පාදනයත් එහි ප්‍රතිඵලයක්. ලංකාවේ නිපදවන කොස්සට අවශ්‍ය කොහු මිට පවා ගේන්නේ පිට රටින්. දැන් අපි ඒ කොහු මීටත් නිෂ්පාදනය කරනවා. අනික ඒ කාලේ අපි කුඩ මිට, බටය, නණය මේ හැම දෙයක්ම පිටරටින් කන්ටේනර් ගාණට ගෙන්වද්දී ගාණ කීය වුණත් ගන්න වුණා. ඒ වගේම, අපිට කන්ටේනරයකට අල්ලන ප්‍රමාණයක් විතරයි ගේන්න පුළුවන් වුණේ. දැන් අපි සුදු යකඩ ෂීට් එක පමණක් ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙස ගේන නිසා අපිට වැඩි ප්‍රමාණයක් එකවර ආනයනය කරන්නට පුළුවන්. ඕනෑ තරම් නව නිර්මාණ බිහි කරන්නට පුළුවන්. ව්‍යාපාර අවස්ථා පුළුල් කරන්න පුළුවන්. කර්මාන්තයක් ලෙස ඉදිරියට යන්නට පුළුවන්.

කඳුරට කුඩ සමාගම…. නමේ තිබෙන්නේ දේශීය හැඩයක්?

ඔව්. 1979 මගේ තාත්තා කඩුගන්නාවෙන් හතර දෙනකුගෙන් පොඩියට අරඹපු ව්‍යාපාරයක්. මං හැදුණේ කුඩ ගොඩේ. මං පොඩි කාලේ කුඩ මිටි ගණන් බැඳලා තියෙනවා. කුඩයක් හැදෙන තැන ඇණ මුරිච්චියේ, කුඩ රෙද්දේ ඉඳලා හැම දෙයක්ම මම දන්නවා. තාත්තා පුංචියට පටන් ගත්තු දේ මේ රටේ බ්‍රෑන්ඩ් එකක් කරන්න, බාප්පා මල්ලි සහ මම ගොඩක් මහන්සි වුණා. අද මේ රටේ කුඩ අවශ්‍යතාවෙන් 78%ක් සපුරන්නේ අපි. කන්ද උඩරටින් අරඹපු නිසයි තාත්තා ඒ නම දැම්මෙ. ඇත්තටම ඒ නම අපිට ආශීර්වාදයක්. කඳුරට කුඩ කර්මාන්තශාලාව බවට පත්ව තිබෙන්නේ, කඩුගන්නාවේ එකල අතිශය ජනප්‍රියත්වයට පත් ව තිබූ කීර්ති සිනමා ශාලාව. අපි ඒ සිනමාශාලාව අදටත් පාවිච්චි කරන්නේ එලෙසින්මයි. ඉවත් කළේ පුටු පමණයි. චිත්‍රපට ප්‍රොජෙක්ටරය තැබූ විශාල කාමරය තමයි අද මගේ ඔෆිස් රූම් එක බවට පරිවර්තනය කළේ. මේක ඇතුළේ පමණක් සියයට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ගම්පොළ අපේ අනෙක් කර්මාන්ත ශාලාවේ 500කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා.

ඔබේ සමාගම මේ රටට මොන තරම් රස්සා හදා තිබෙනවද?

ඍජුව හා වක්‍රව 2,000කට වැඩියි. අපේ ලොකුම තරගකාරයා චීනෙ. චීනෙ හිතන්නේ ඒ අයගෙ භාණ්ඩ ලෝකෙ හැම රටකම තිබිය යුතුයි කියලා. හැබැයි ලංකාවෙ කුඩ මාකට් එක නම් චීනෙට අල්ලන්න බැරි වුණා. හේතුව චීනෙට වඩා අපේ රටේ කුඩ මිලෙන් අඩුයි. චීනෙට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ලේබර් කොස්ට් එක. නමුත් අපිට ඕනෙ තරම් ගම්වල මිනිස් ශ්‍රමය තිබෙනවා. අපේ ආයතනයේ විශේෂත්වය තමයි, 95%කට වඩා මේ කර්මාන්තයේ යෙදී සිටින්නේ ග්‍රාමීය කාන්තාවන් වීම. නුවර සහ ගම්පොළ අවට ගම්මානවල කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මෙහි සේවයේ නියැළෙනවා. තරුණ වියෙන් පටන් ගත්තම අවුරුදු 65 ඉක්ම වූ අය පවා සේවය කරනවා. ඒ බොහෝ අය අවුරුදු 36, 37 මේ ආයතනයේ සේවය කරන අය.

කඳුරට කුඩ පිටරටත් යනවද?

අපේ රටේ කාන්තාවන් අතින් හැදෙන කුඩ කලක් එංගලන්තයට ගියා. දැන් ඉන්දියාවට යනවා. ඉස්සර ලස්සන සහ වැඩිම කුඩ ප්‍රමාණයක් හැදුවෙ ජපානයේ. නමුත් අද ජපානයේ කුඩ හදන්නේ නැහැ. ලේබර් කොස්ට් වැඩියි. ඒ නිසා ඒක තායිවානයට ගියා. අද තායිවානයෙන් චීනයට ඇවිත්.

ලංකාවේ කුඩ කර්මාන්තය පවතින්නේ කිහිපදෙනෙක් අතරේ විතරයි. ඇයි මේ, මාෆියාවක්ද?

නැහැ. කවුරුවත් මේ කර්මාන්තයට වැඩිය අත නොඟන්නේ අවදානම නිසා. බදු ප්‍රශ්න එකක්. අනික තමයි, කුඩ අලෙවිය පවතින්නේ කාලගුණය මත. වහින කාලෙට සරුයි. පායන කාලෙට අපිටත් නියං. වැස්සට කොහොම හරි කුඩයක් ගත්තට, මිනිස්සු පිච්චි පිච්චි හරි අව්වේ යනවා. අව්වට කුඩයක් ගෙනියන්න ඕනකම් කරන්නෑ. සමහර විට අමාරුකම නිසා වෙන්න ඇති. වැහි කාලය තමයි අපිට සීසන් එක. දවසකට කුඩ දුසිම් 1100 ක් හදනවා. ඒ වගේමයි, පායන කාලෙට 500ට බහිනවා.

කඳුරට කුඩ සමාගම පවුලේ ව්‍යාපාරයක් ද?

තාත්තා හදපු, බාප්පා දියුණු කරපු, මමයි මල්ලියි වෙනසක් එක්ක ඉදිරියට ගෙනාපු පවුලේ ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය අපිට බඳුනක තියලා පිදුවේ නැහැ. බොහෝම ධෛර්යයෙන් දුක් විඳගෙන කට්ට කාගෙන, වැටීම්, එපා වීම් මැද වැඩ කරලා ආපු ගමනක්. අත්හරින්න හිතුණු තැන්වල දාලා ගියා නම් අද මේ සමාගම නැහැ. ඒ නිසා මේක තාත්තගෙන් පුතාට ලැබුණු සම්ප්‍රදායේ ව්‍යාපාරයක්ම නෙමෙයි. සිද්ධික් මගේ බාප්පාගෙන් තමයි මම නිෂ්පාදන කටයුතු ඉගෙන ගත්තේ. ඩීන් කියන්නේ, මට මාකටින් ඉගැන් වූ මගේ අනෙක් බාප්පා. මේ හැමෝම ඉදිරියේ මම අමාරු වැඩ ඕනෑතරම් කර තියෙනවා. මගේ පොඩිම මල්ලී එයාගේම දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයක. නංගිලා දෙන්නා විවාහ වෙලා. මමයි නවුෆල් මල්ලියි තමයි සමාගම ගෙනියන්නේ. ඊළඟ පරම්පරාව විදියට මගේත් නවුෆල් මල්ලිගේත් දරුවෝ කඳුරට සමාගම ඉදිරියට ගෙන යාවි. මම සභාපති හැටියටත් මල්ලි MD හැටියටත් ඉතාම පැහැදිලිව ඒ දේවල් හදලා තියෙන්නේ.

කඳුරට සමාගම හදන්න තාත්තා දරපු වෙහෙස දන්නවද?

ඔව්. අම්මා තවමත් මතක් කරනවා තාත්තා ගෙදර හදපු කුඩ. මිටි බැඳලා කරේ තියාගෙන තමයි බස් එකට අරන් යන්නේ. බස් එකෙන් පිටකොටුවට ගිහින් විකුණලා, ආපහු බස් එකේම ගෙදර එනවා. කුඩ ඕඩරයක් ලැබුණා ම රෑ දවල් නැතිව වැඩ කරනවා. මුලින් තාත්තාට මහන මැෂිමක්වත් තිබුණේ නැහැ. ඒකත් කරගත්තේ කුළියට.

කුඩ කර්මාන්තයේ වෙනස් වූ ප්‍රවණතා තිබෙනවා ද?

ඉස්සර වැඩිපුර ටැෆටා, නයිලෝන් පොලියෙස්ටර් රෙදිවලින් මහපු කුඩ දැන් පොන්ජිවලට මාරුවෙලා, හොඳ කුඩයක් වෙන්න නම් ඒ කුඩය තුන්පාරක්වත් වෝටර් පෲෆ් කර තිබෙන්න ඕනේ. අව්වට වෙනමයි වැස්සට වෙතමයි කියලා කුඩ තිබෙනවා. නමුත් අපේ රටේ මේ දෙකම එකයි.

මොනවද අව්වට තිබෙන කුඩ?

UV කුඩ. ඒ කුඩවලට UV රෙප්ලන්ට ආලේපනය ගල්වා තිබෙනවා. අව්වට හොඳම පාට තමයි සිල්වර් පැහැය. නමුත් වැඩි දෙනෙක් ගන්නේ කළු.

එතකොට ඇති හැකිකම් අනුවත් කුඩ මිලදී ගන්න පුළුවන්ද?

දුප්පත් ඔළුවක් වුණත් පොහොසත් ඔළුවක් වුණත් කුඩයක් හෙවණ දෙන්නේ එකම විදියට. පෝසතුන් සහ ධනවතුන් සඳහාය කියලා ඉස්තරම්ම කුඩ රෙදි ඇත්තෙත් නැහැ. ලෝකෙ කොහේ වුණත් කුඩ හදන්නේ ටැෆටා – නයිලෝන්,පොන්ජි රෙදිවලින්. රන් හෝ රිදී ආලේපනවලින් තමයි විශේෂත්වයක් එකතු කරන්නේ.

එතකොට ලෝක කුඩ කර්මාන්තයේවත් අලුත්වීමක් නැද්ද?

ඇයි නැත්තේ. Car umbrella කියලා අලුත් සංකල්පයක් තිබෙනවා. මහ වැස්සේ වාහනයකට නඟිනකොට වාහනේ ඇතුළට ඇකිළෙන විදියට හදපු කුඩයක්, ආරක්ෂිතව වතුර කුඩේ ඇතුළට එකතු වෙන්න රෙද්ද ඩබල් කරලා මහලා කියෙන්නේ. තාක්ෂණය සම්පූර්ණයෙන් වෙනස්.

මේ ව්‍යාපාරය පහු කළ දුෂ්කර ම කාලය මොකක් ද?

නියඟය. අපිත් ගොවියො වගේ. නියං කාලයක් අල්ලලා හිටියොත් අපි අමාරුවේ. සම්පූර්ණයෙන්ම ව්‍යාපාරය පහු බහිනවා. වැහි කාලෙ බලාගෙනයි අපි කුඩ හදන්නේ. වැස්ස ආවේ නැහැ කියන්නේ කුඩ ස්ටොක් එක එහෙමමයි. වැස්ස තමයි කුඩ ව්‍යාපාරයකට ආශිර්වාදය,

ඇයි ඉතින් ඊට වඩා ලාභ ලබන ව්‍යාපාරයකට නොයන්නේ?

කර්මාන්තයක් කිරීම මට ඇඟේ තිබෙන උණක්. මගේ තාත්තටත් ඒ පැෂන් එක තිබුණා. කර්මාන්තයක් හදනවා කියන්නේ රටට රස්සා හැදෙනවා. අපිට බදු ප්‍රශ්න, කාලගුණය… ස්ට්‍රෙස් තමයි. ඒ වුණාට, බිල්ඩින් හදලා කුළියට දීලා පැත්තකට වෙලා හිටියොත් කරදරයක් නැතිව සල්ලි එයි. නමුත් මේ සතුට ඇඟට එන්නේ නැහැ. අපි ෆැක්ටරි අරින්නෙම ගම්වල. ඒවායේ වැඩට එන බහුතරය ගමේ උදවිය.

එතකොට ඔබ මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ?

මැෂින් හදන කෙනෙක් හැටියට, මං ITS එකේ බිස්නස් මැනේජ්මන්ට් කරමින් හිටි කාලෙ බාප්පා මට කිව්වා, දැන් ඔයා බිස්නස් එකට එන්න කියලා. ඒ කියලා මට භාර දුන්නෙ මැෂින් හදන්න. පුංචි කාලේ ඉඳලා අතපත ගාපු මැෂින් ගැන මං හොඳට දැනගෙන හිටියා. ඒ නිසා ඒ රාජකාරිය මං හිතුවට වඩා හොඳට කළා.

සභාපති, ඕල්රවුන්ඩර් කෙනෙක් නොවුණොත් ප්‍රශ්න ගොඩයි… එකඟද මේ කතාවට?

මාත් ඕල් රවුන්ඩර් කෙනෙක් තමයි. කුඩ මහන්න-හදන්න පුළුවන් වුණාට, ෆැක්ටරියේ ඕන මැෂිමක් කැඩුණම හැදුවේ මං. මැනේජර්ලා හැමෝට ම සීට් තිබුණා. හැබැයි මට සීට් එකක්වත් තිබුණේ නැහැ. පස්සේ වැඩි කළාට මගේ මුල්ම පඩිය 1300යි. අපේ ම තැන මට මෙහෙම වුණා කියලා අසතුටින් වැඩ කළෙත් නැහැ. මං ඩිරෙක්ටර් කෙනෙක් වුණෙත්, පස්සේ සභාපති වුණෙත් නිෂ්පාදනයේ අලෙවියේ හැම අංශයකම අත්දැකීම් එක්ක.

සාම්ප්‍රදායික කුඩ කර්මාන්තයෙන් එපිටට ගිහින් අපේ බෙදා හරින වෑන් රථවල වියදම අවම කර ගත හැකි ක්‍රමයක් අපි කල්පනා කළා. මුලින්ම අපි ඒ සඳහා එකතු කළේ මදුරු දැල් නිෂ්පාදනය. ඊළඟට උණ බට කෙඳිවලින් අපි මේස් නිෂ්පාදනය ආරම්භ කළා. මේ නිෂ්පාදන දෙකටම ඉතා හොඳ ඉල්ලුමක් හැදුණා. දැන් අපි මාසෙකට දුසින් 20,000 කට වැඩි ප්‍රමාණයක් ඒ උණ කෙඳි මේස් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන් කකුලේ දහඩිය තෙත උරාගෙන ඇන්ටිබැක්ටීරියල් එකක් ලෙස ක්‍රියාත්මක වනවා. ඇත්තටම එය දියවැඩියා රෝගීන්ට සහ කකුලේ සමේ ප්‍රශ්න ඇති අයට නිපදවූ නව නිපැයුමක්.

මම ලංකාවේ හැම පළාතකම අපේ නිෂ්පාදන අලෙවි කරන කඩයක් ගාණේ ගිහින් තියෙනවා. ඇත්තටම මම ඒ ගමන් යන්නේ සභාපතිවරයෙක් විදියට නෙවෙයි. ඒ අය හිතන්නේ මං අලුත් සේල්ස් රෙප් කෙනෙක් කියලා. මමත් ඒ විදිහටම හැසිරෙනවා. අලෙවිය පිළිබඳ විමසන එක, වෙළෙඳපොළ අවස්ථා අධ්‍යයනය කරන එක මගේ සිරිතක්. වෙළෙඳපොළ හරිම තොරතුරු ගන්න, ඒක තමයි හොඳම ක්‍රමය. එහෙම ගිය ගමන්වලදී ආපු බිස්නස් අයිඩියා එකක් තමයි සුදු යකඩ ඇඳුම් රාක්ක නිෂ්පාදනය.

මොකක්ද ඔබේ Turning point එක?

දෙකක් තිබෙනවා. මං බාප්පා යටතේ වැඩ කරන කාලේ මට ඕනෙ වුණා මගේ ම බිස්නස් එකත් කරන්න. මං මදුරු දැල් ගැන හෙව්වා, අධ්‍යයනය කළා, බාප්පත් එක්ක කතා කරන්න හොඳ මුඩ් එකක් එනකල් මාස හතරක් බලාගෙන හිටියා, කල් යල් බලලා නෙට් ගැන මගේ යෝජනාව කිව්වා. සේරම අහගෙන ඉඳලා, ‘ඔයාට අතින් කන්න තියෙද්දී උලාකන්න හදන්නේ මොකට ද?’ එව්වරයි මගෙන් ඇහුවේ. එතැනින් එහාට සියල්ල ඉවරයි. ඒ වුණාට එදා මං හිතා ගත්තා කවද හරි මං නෙට් හදනවාමයි කියලා. අවසානයේ මං මදුරු නෙට් එක අපේ ලාභ ලබනම ප්‍රඩක්ට් එක කළා.

අනික තමයි එක අවස්ථාවක මගේ චීන සැපයුම්කරු බට ඇතුළු කුඩ නණ ඕඩරය සම්පූර්ණයෙන්ම නොදී ඇරියා. ඒක සීසන් එකක්. දුසින් 50,000ක් හදන්න අවශ්‍ය බඩු. එදා තමයි මං හිතුවේ මම චීනෙ මත යැපෙන්නේ නැහැ. චීනෙට දෙවැනි වෙන්නෙත් නැහැ කියලා. මේ නවීන තාක්ෂණය ලංකාවට ආවේ ඒ අඳුරු අත්දැකීමේ ප්‍රතිඵලයක් විදියට.

හැම සාර්ථක ව්‍යාපාරිකයෙක්ම අතීතයේ දවසක ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඔබත් එහෙමද?

ඔව් එදා නෙට් යෝජනාව කරපු තැනදි ම මාව ප්‍රතික්ෂේප වුණා. ඒ කියන්නේ මම ෆේල්. යමක් පටන් ගන්න හිතන කොට ම ෆේල් වීම හිතට මොන තරම් දුකක් ද, ඒ වුණාට අභියෝග හඹා යන හිතක් උපදින්නෙත් ඒ සිදුවීමෙන්. මම රෙපින් කරන කාලෙ රට වටේ ම කඩවලට යනවා. අනන්තවත් මුදලාලිලාගේ කතා අහලා තියෙනවා. ආඩම්බර බලලා තියෙනවා. ඒකම තමයි පන්නරයත්.

කවුද ඔබේ Role Model?

මගේ තාත්තාගේ තව මල්ලි කෙනෙක් ඩීන්. ඩයමන්ඩ් ගිනිපෙට්ටි සමාගම එයාගේ. මාකටින්වල දි මිනිසුන් හා ගනුදෙනුව, මනුස්සකම් රැකගෙන බිස්නස් කරන හැටි මං ඉගෙන ගත්තෙ ඩීන් බාප්පාගෙන්. පරිභෝගිකයා විතරක් නෙවෙයි, පිටකොටුවෙ නාට්ටාමිලා එක්ක පැහෙන හැටිත් මං ඉගෙන ගත්තේ ඒ බාප්පාගෙන්.

ජීවිතේ මුහුණ දුන් අභියෝග මතකද?

මට අභියෝග තිබුණෙ අපේ කර්මාන්තශාලාව සහ ෂෝ රුම් එක ඇතුළෙමයි. හැම වෙලාවෙම මං කරපු හුඟක් වැඩවලට බාප්පාගෙන් ලකුණු දාගත්තේ මැනේජර්ලා. ඒකට මං හිත රිදවා ගත්තේ නැ, මට වාහනයක් ලැබුණෙ ඒ හැමෝටම ලැබුණට පස්සේ. කාලයක් මං පිටකොටුවේ ෂෝරූම් එකේ පාර්සල් කවුන්ටරයේ කුඩ පාර්සල් බැන්ඳා. එතැන වෙනම පිරිසක් මං එතැන වැඩට ගියාම, අට දෙනෙක් ම එක පාර නිවාඩු දැම්මා. මම අවුල් වුණේ නැහැ කවුරු නැතත් මං මගේ වැඩේ ඉහළින් ම කළා.

අද ඔබ සේවකයන් ගැන හිතන්නෙ මොනවද?

එයා නැත්නම් කොම්පැනියට පාඩුයි. සේවකයන් ගැන සමහරු කියන ඒ කතාව, මගේ ලයිෆ් එකේ නැහැ. කවුරු ගියත් මෙතැන වැඩේ කෙරෙනවා. මට හැමදේටම Backup plans තියෙනවා. හොඳම අය අපෙන් යන්නෙම නැති නමුත් හොඳම කෙනා යනවා කිව්වත් ‘ඕකේ. ඕල් ද බෙස්ට්…’ කිව්වා. එව්වරයි. මං කවුරුවන් මත යැපෙන්නේ නැහැ.

ඇණ මුරිවිච්, රෙදි, ෆ්‍රේම්ස්, හැන්ඩ්ල් දුන්නොත් ඔබට පුළුවන්ද තනියම කුඩයක් හදන්න?

අපෝ පුළුවන් අවුරුදු පහළොව වෙනකොට මං ඔය සියල්ල දන්නවා, කුඩ ගොඩේ හැදුණු මං, එහෙම නොවුණා නම් තමයි පුදුමය.

කොහේද ඔබ ඉගෙන ගත්තේ?

එකේ ඉඳන් තුන වෙනකල් මාවනැල්ලේ මයුරපාද විද්‍යාලයට. ඊට පස්සේ මහනුවර ට්‍රිනිටි කොලෝජ් එකේ. මට හිටි බහුතරය සිංහල යාළුවෝ. කවදාවත් ජාති ආගම් වෙනසක් අපිට දැනුනේ නැහැ. මගේ මුළු පාසල් අධ්‍යාපනයම සිංහල මාධ්‍යයෙන් සිංහල ඉස්කෝලවල. ඉස්කෝලෙදී මං බුද්ධාගම ඉගෙන ගත්තා මං ගාථා දන්නවා. ගේ තිබුණේ අස්ගිරිය පන්සල ළඟ. අපි යාළුවො එක්ක කොච්චරවත් පන්සලේ. අපිට හාමුදුරුවෝ කෑම දෙනවා. මටත් නවුෆල් මල්ලිටත් වැඩිපුර ඉන්නේ සිංහල යාළුවෝ. ක්‍රීඩා කරද්දි අපි හැමෝම එකයි. ටීම් වර්ක් මිස ජාති භේදයක්, අපි හැඟීමකින්වත් දැනගෙන හිටියේ නැහැ.

අරපිරිමැස්ම දරා ගැනීම ජීවිතයේ කවද හරි විඳලා තිබෙනවද?

පුංචි කාලෙ මට පොකට්මනි කියලා ජාතියක් ලැබිලා ම නැහැ. නවුෆල් මල්ලි නම් අම්මගෙන් කොහොම හරි ඉල්ලා ගන්නවා. මං ඉල්ලන්න කැමැති නැහැ. ඒ නිසා ලැබුණෙත් නැහැ. මං මට කීයක් හරි හම්බ කරගන්න පුළුවන් විදියයි හැම වෙලාවෙම කල්පනා කළේ.

ඉතින් මොනවද ඒ වෙනුවෙන් කළේ?

ඕ ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න දවස්වල මං නුවර මහපොළේ කුඩ විකිණුවා. ෆැක්ටරි මැනේජර්ට කතා කරලා ණයට කුඩ ටිකක් ඉල්ලා ගත්තා. යාළුවෙකුත් එක්ක එකතු වෙලා පොඩ් ස්ටෝල් එකක් අරගෙන ඒකෙ කුඩ විකුණුවා. රුපියල් 8,000ක ලාභයක් ලැබුණා. මං ණයත් බේරුවා. ඉතිරි සල්ලිවලට තව කුඩ අරන් දුර තියෙන මහපොළවලට පවා ගියා. මහපොළේදී මට නිතර හම්බ වුණේ පේමන්ට් වෙළෙන්දෝ, මං රිටේල් වෙළෙඳාම තනියම ඉගෙන ගත්තේ මහපොළෙන්.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද?

ගෙදර ටීවී එක හයි කරද්දී කරන්ට් එක වැදිලා අපේ තාත්තා නැති වුණේ අම්මයි මායි ඉස්සරහ දීම යි. අම්මාට වයස 33යි. මට 5යි. නංගිට හතරයි. නවුෆල් මල්ලිට අවුරුදු දෙකයි. ඒ නිසා තාත්තා එක්ක හුරතල් වෙන්න අපිට කාලයක් ලැබුණේ නැහැ. අම්මා ළමයි තුන් දෙනෙක් එක්ක තනි වුණා. ඊට පස්සෙ තාත්තාගේම මල්ලි අම්මව විවාහ කරගත්තා. ඒ බාප්පගෙන් තව නංගියෙකුයි මල්ලියෙකුයි ඉපදුණා. තාත්තා හදපු බිස්නස් එක බාප්පා ඉදිරියට ගෙනාවා. මං හැදුණේ වැඩුණේ මේ සියලු අත්දැකීම් එක්ක. හැබැයි මං ඉවසන්න පුරුදු වුණේ අම්මාගෙන්.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශය කුමක් ද?

මම ජීවිතේ හැම දෙයක්ම භාර ගන්නේ පාඩමක් විදියට. ලැබීම් – නොලැබීම් ඉදිරියේ කවදාවත් මං වැටෙන්නේ පරදින්නේ නැහැ. මං යන පාර වැහිලා නම් මං තව පාරක් හොයා ගන්නවා. අවසන් ප්‍රතිඵලයයි මට වැදගත්. මං මගේ දරුවන්ට කියලා දෙන්නෙත් ඒ දේයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
උපුටා ගැනීම සිළුමිණ

Share This Article