Biz Log
Classifields
Biz Log
Classifields

භාෂා 17ක් එක්ක නියුක්ලියර් තාක්ෂණය කතා කරන වයස නවයේ බණ්ඩාරගම පුංචි හපනා


– මම කැමතියි ක්වොන්ටම් විද්‍යාඥයෙක් වෙන්න. මගේ සැලසුම අනාගතේදී බලශක්ති නිෂ්පාදනාගාරයක් පිහිටුවන්න

– ලංකාව තව අවුරුදු සියයකින් මුළුමනින්ම වතුරෙන් යටවේවි. නැතිනම් න්‍යෂ්ටික බෝම්බයකින් විනාශ වී මිනිස්සු තුන්දෙනෙක් විතරක් ඉතුරු වේවි

ගැලනිගම පිවිසුමෙන් කළුතර බණ්ඩාරගම මාර්ගයේ මඳ දුරක් පැමිණ අතුරු පාරකින් හැරී ගමන් කරමු. මඟ ලකුණු ඔස්සේ පැමිණි ගමන නිමා වන්නේ ගරාවැටුණු කුඩා නිවෙසක් අසලිනි. නිවෙසට ඈඳුණ ඉඩම පර්චස් දෙකක් තරම් යැයි සිතේ. ජනෙල් පියන් රහිත කවුලු අඳුරු කළු පැහැති ඉටි රෙදිකඩකින් වැසී තිබේ. අපව විශ්මයට පත් කළ සහජ දැනුම් සම්භාරයක් මෙන්ම ඉහළ බුද්ධි ඵලයක් සහිත නොදරුවා මේ දුගී නිවෙසේ ජීවත් වෙමින් ඇත. ඒ රැකියාවක් නැති සිය තරුණ පියා සහ මවත් සිය බාල සොයුරන් දෙදෙනාත් සමඟිනි. ගැලවී ගිය සිමෙන්තිය සහිත ඉස්තෝප්පුවේ පුටු කීපයකි. දකින සියලුම දැකුම් අසරණකමේ විලාපයක හඬගා කියනු වැන්න.

අපි කුඩා නිවෙසේ ඉස්තෝප්පුවේ වාඩි වූයෙමු. ඒ පුංචි දරුවා පසෙක හිඳී. ඔහුට දස වසර පිරී ඇතැයි සිතේ. ශාන්ත පෙනුමකි. වැඩි කතාවක් නැත. අප දුටු පරිදි හේ භාෂා 17ක් වහරයි. පුරාණ භාෂා ගණනාවක් ඒ අතර වේ. ලේඛන කටයුතු සඳහා ප්‍රංශ මෙන්ම ඉංග්‍රීසි භාෂාව යොදා ගනී. කතා කරන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ න්‍යායයන් සම්බන්ධවය. ඔහුට සමීපව සිටි පුද්ගලයන් ලෙස ඔහු ප්‍රිය කරන පුද්ගලයන් වන්නේ අයිසැක් නිව්ටන් සහ ගැලීලියෝ ගැලීලි ය. පොඩි එකාගේ විනෝදාංශය පාෂාණ එකතු කිරීමය. මේ පාෂාණවල ප්‍රභවය, වයනය හා සංයුතිය සම්බන්ධ දීර්ඝ විද්‍යාත්මක කථනයක් ඔහු සතුය.

අප විශ්මයට පත් කරන මේ නොදරුවා සමඟ ඔහුගේ මව අසල හිඳී. ඇයගේ ආදරණීය පිළිගැනීම හදවත විනිවිඳින සුළුය. අපි ආගිය කෙටි පිළිසඳරකින් පසු සංවාදය ඇරඹුවෙමු. පුංචි පුතාගේ අම්මා කතාව ඇරඹුවාය. ඇය සුමුදු ප්‍රනාන්දු ය.

“මගේ ගම මොරටුව. මහත්තයා තමයි බණ්ඩාරගම. මම රස්සාවක් කළේ නෑ. මහත්තයා ඒ. අජන්ත. අජන්ත මාළු ලෑල්ලක් තමයි කළේ. ඒත් ඒක පාඩු වුණා. එයා මාළු ලෑල්ල නැවැත්තුවා. ඊට පස්සේ ත්‍රීවිල් එකක් හයර් කරන්න ගත්තා. අපට ආර්ථික ප්‍රශ්න තිබුණා තමයි ඒත් මගෙ ලොකු පුතා ලංකේෂ්වර රිෂිත මිහිඳුල සස්මිත අමුතු දරුවෙක් බව අපිට තේරුණේ එයා නර්සරි යන දවස්වලමයි. අවුරුදු 6ක් වෙනකොට පුතා කිසිම පොත පතක් පරිහරණය නොකර, රූපවාහිනියක් බලන්නෙ නැතිව බාහිර දැනුම් සාධක නැතිව විශාල දැනුමක් ගැන කතාබහ කරන්න ගත්තා. මේක අපිටත් වඩා තේරුණේ මහත්තයගේ ඥාති සහෝදරයකුට. ලොකු පුතා ඉතාම හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරුවනවා. හරිම වෙනස් ඇක්සන්ට් එකකින්. එයා හරිම ආසාවෙන් එංගලන්තේ ගැන හාවර්ඩ් විශ්වවිද්‍යාලය ගැන කතා කරනවා. මේ තත්ත්වය කිසිම කෙනකුට කියන්න අපට අවශ්‍ය වුණේ නෑ. අපිට ඕන වුණේ දරුවට හොඳට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වලා ලන්ඩන් ඕලෙවල් කරවලා ඉක්මනින් පිටරට උසස් අධ්‍යාපනයකට යොමු කරන්න. තියෙන සේසත විකුණලා හරි අපි එහෙම කරනවා කියලා කල්පනා කළා. මාළු ලෑල්ල පටන් ගත්ත කාලෙ ලොකු ආර්ථික අහේනියක් තිබුණෙත් නෑ. දරුවා අවුරුදු හය වෙනකොට ගේ ළඟ තියන ‘නකානෝ‘ ජාත්‍යන්තර පාසලට දැම්මේ ඒ බලාපොරොත්තුව ඇතුව.

ඉස්කෝලෙ යන්න ගත්තට පස්සේ මෙයා කියන්න ගත්තා අපෝ අම්මේ හරිම කම්මැළියි කියලා. එයාට ඒ උගන්වන ඒවා හරිම සරලයි කියනවා. ඒ හින්දා ඉස්කෝලෙ යන්න ආසා නෑ. ඒත් විභාගවලට වැඩිම ලකුණු. ප්‍රශ්න පත්තරයක් දුන්නම විනාඩි 10න් උත්තර ලියනවා. ගුරුවරු කියනවා අම්මා රිෂිත හරිම බුද්ධිමත් දරුවෙක් කියලා. එයාට මේ පන්ති පොඩි වැඩියි වගේ කියලා. ඒ වගේම පුතාට වැඩිය යාළුවො හිටියෙ නෑ. එයා නිශ්ශබ්දයි. එයාගෙ හොඳම යාළුවා විදිහට එකම පුතෙක් හිටියා. හැබැයි ඒ පුතාට පන්තියෙ හැමදාම අඩුම ලකුණු. එයාට ගුරුවරු ගණනාවක් ගෙදරට එක්ක ඇවිත් අමතර ඉගැන්වීම් කරලා තිබුණත් ප්‍රගතියක් පෙන්නලා තිබුණේ නෑ. ඒත් පුතා යාළුවගෙන් අහලා තියෙනවා මම ඔයාට කියලා දෙන්න ද කියලා. ඒ පුතා හා කියලා. දෙන්නා ඉතින් එකතු වෙලා සෙල්ලමට උගන්වනවා. අන්තිම වාරේ ඒ පුතා පන්තියෙ අටවෙනිය වුණා. ඒ අම්මලට හරිම සතුටුයි.“ ඇය කීවේ සිනාසෙමිනි.

එහෙත් ඒ සිනා මුහුණේ කඳුළක බරක් සැඟව තිබෙණු දුටුවෙමි. “ඉතින් රිෂිත දැන් කීය වසරෙද?” මම ඇසුවෙමි. අම්මා මඳක් නිහඬව සිට හඬ අවදි කළාය. “ එයා දැන් ඉස්කෝලෙ යන්නෙ නෑ මිස්” ඇය කීවාය. ඒ කතාව මා තිගස්වනු ලැබුවේය. දරුවාට පාසල් ගමන අහිමිව ඇත. එහෙත් සෑම දරුවකුටම අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වයසේ මේ අසීමිත බුද්ධිඵලයක් සහිත දරුවා නිවෙසට වී සිටින්නේය.

“මොනවා ?… ඇයි දරුවා ඉස්කෝලෙ නැවැත්තුවේ…” ඇය තතනමින් කතා කළාය. “ මහත්තයා හදිසි අනතුරකින් මාස ගාණක් ඔත්පල වුණාට පස්සේ අපිට තිබුණු හැම ආදායම් මාර්ගයම නැති වෙලා ජීවත් වෙන්න විදිහක් නැතිවුණා. පුතා ඉගෙන ගත්තේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. පුතාගේ ස්කූල් ෆීස් ගෙවන්න සල්ලි නැති වුණාම කරගන්න දෙයක් නැතිව ගියා. ඉස්කෝලෙකට යවාගන්න බස් ගාස්තුව හොයාගන්න විදිහක්වත් නෑ. පුතාගෙ එක මල්ලි කෙනකුට අවුරුදු හයයි. අනෙක් මල්ලිට අවුරුද්දයි මාස 08යි.

අපි මොනව ද කරන්නේ…රිෂිත පුතාගෙ අයි. කිව් මට්ටමත් එක්ක මාස කීපයක් ඉස්කෝලෙ ගියෙ නෑ කියන එක ප්‍රශ්නයක් නොවෙන බව විශ්වාසයි. ඒත් දරුවා පුළුවන් ඉක්මනින් නිවැරදි ඉලක්කයට යොමු කරන්න ඕන. එයා ගැන අපි රටට කතා කරන්න හිතුවෙත් ඒ නිසා.” සුමුදු කීවාය. මේ සංවාදය අතරේ රිෂිත ඈත් වී හිඳී. ඔහු මිදුලේ ඇවිදිමින් ගැඹුරු කල්පනාවක වැටි ඇති සේයාවකි.

මම නැඟිට ඔහු අසලට ගොස් ඔහුගේ අතින් අල්ලා ගෙන මා අසලට ළංකර ගතිමි. “පුතේ… පුතා වැඩිපුරම කරන්න කැමතිම දේ මොනව ද?.”

සාමාන්‍ය දරුවකුගෙන් අසන ළෙන්ගතුකමින් විමසුවෙමි. ඔහු මා දෙස නොබලාම උත්තර දුන්නේය. “ Collecting Stones” පොඩි එකාගේ ඉංග්‍රිසි වහර විදේශීය දරුවකුගේ පමණට සුමටය. ඇයි පුතා පාෂාණ එකතු කරන්න කැමති… මම විමසුවෙමි. “ඒක විශ්වයේ සම්භවය දක්වා යන කතාවක් තියෙනවා.” පිළිතුර කෙටිය. ඍජුය. අර්ථ පූර්ණය. අනතුරුව කදිම ඉංග්‍රීසියෙන් ලෝකයේ පාෂාණ විශේෂ සහ එ්වා සමඟ ඇති ආධ්‍යාත්මික බලය සම්බන්ධ ශාස්ත්‍රීයව ඔප්පු නොකළ සංකල්ප පිළිබඳ විශාල විග්‍රහයකි. ඒ විද්‍යාත්මක කථනය අප මවිත කරමින් ඇත. “පුතා කැමතිම රට, ඉන්න කැමතිම තැන කොහෙද ?”

“එංගලන්තයට කැමතියි. ප්‍රංශයට තමයි ගොඩක් ආසා. ලක්සන්බර්ග් මට හුරුයි. එහෙ ස්ටඩිස්වලට ලේසියි. නොමන්ඩිවලටත් කැමතියි.” නොමන්ඩි යනු පාෂාණ විචිත්‍රත්වයක් සහිත උතුරු ප්‍රංශයේ නගරයකි.

මේ දරුවා සමඟ සංවාදයක් ගොඩනඟා ගැනීමට ඇවැසි දැනුම මා සතුව නැත. ඔහු වඩාත් රුචි කරන්නේ ක්වොන්ටම් වාදය පිළිබඳ සංවාදයකටය. සාපේක්ෂතාවාදයේ ඇති න්‍යායාත්මක විඝඨන ඔහු මට කියා දෙන්නට උත්සාහ කරන්නේය. ඔහු ගේ පසෙක වූ සටහන් අතර අමෙරිකානු න්‍යෂ්ටික බෝම්බයක දළ සටහනක් වේ. ඒ පිළිබඳ කෙරෙන සංක්ෂිප්ත විවරණයක් පහතිනි. තවත් කොළයක සාපේක්ෂතා වාදය සම්බන්ධව කළ සංක්ෂිප්තයකි. මේ සටහන් ඉංග්‍රීසි හා ප්‍රංශ බසිනි. ලෝක සිතියමක කළු පැහැයෙන් සලකුණු කළ තෙල් නිධි සහ ගෑස් නිධි සහිත බලශක්ති ප්‍රභව සහිත ස්ථානය. ලෝකයේ වැඩිම ප්‍රහාරක අවදානමක් සහිත ස්ථාන ද ඒ අතර සලකුණු වී ඇත.

අනාගත බලශක්ති ලෝකය සහ එහි අර්බුදය පිළිබඳ ඔහු කතා කරන්නේ අත් දුටු පරිචයක් ඇත්තෙක් ලෙසය. එ් උච්චාරණ මෙන්ම වැඩිමනත් ඔහුට පහසු කථනය ඉංග්‍රීසි බසය.“තෙල් ඉවර වෙනවා. තව අවුරුදු 46කින්. සෝලා පවර් මදි. නියුක්ලියර් පවර් ඕන. මේකට අපිට විසඳුමක් ඕන. සෝලා පවර් සහ නියුක්ලියර් පවර් එක ශක්ති ප්‍රභව දෙකක් විදිහට එකතු කරලා බලශක්තිය උත්පාදනය කරන්න පුළුවන් විදිහක් තියරි එක ඇතුළෙ තියෙනවා.” එය ප්‍රායෝගික වන්නේ කෙසේදැයි වැටහෙන්නේ නැත. එහෙත් දරුවා බලශක්ති අර්බුදයේ ගැඹුර මට කියන්නේය. “ගෑස් තව අවුරුදු 233කින් ඉවරයි. තෙල් අවුුරුදු 46න් ඉවරයි. ගල් අඟුරු තියෙන්නේ තව අවුරුදු 147ක් විතරයි. වතුර පෘථවියෙන් ඉවර වෙන්න නම් තව අවුරුදු බිලියන 5.33 යයි, ඔක්සිජන් ඉවර වෙන්නේ තව අවුරුදු මිලියන 539න්. මේ පෘථවියේ මිනිසුන්ට සත්තුන්ට ආහාරයට ගත හැකි සියලුම ආහාර තියෙන්නේ තව අවුරුදු මිලියන 33යි. ලංකාව ගැන කිව්වොත් තව අවුරුදු සියයකින් මුළුමනින්ම වතුරෙන් යට වේවි. නැතිනම් න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයකින් විනාශ වෙලා මිනිස්සු තුන්දෙනෙක් විතරක් ඉතුරු වේවි. මේ තුන, හය, නවය කියන ඉලක්කම්වලට එන්ෂන් ප්‍රොපටි එකක් තියෙනවා. නිකොලා ටෙස්ලා ඒක විශ්වාස කළා. ඔහුට තිබුණා 225ක අයි. කිව් ලෙවල් එකක්“. ඔයාගේ අයි. කිව් ලෙවල් එක ගැන මොකද හිතෙන්නේ? “170ට වැඩියි හැබැයි 290ට අඩුයි. “ ඔහු කියනු අසා සිටියෙමි.

“පුතාට භාෂා කීයක් පුළුවන් ද?.” “17ක් පුළුවන්. ඒ අතරෙ ඒන්ෂන්ට් ලැන්ග්වේජස් තියෙනවා“ දරුවා ජපන්, ප්‍රංශ, ඉංග්‍රීසි, පෘතුගීසි, ස්පාඤ්ඤ, මැන්ඩරින් භාෂා පරිචය ගැන කතා කළත් ඒ සංවාදය එතැනින් ඉදිරියට ගෙන යෑමේ අවකාශය අපට නැත. අප සතුව ඒ භාෂා දැනුම ශූන්‍ය ය. “යුරෝපීය භාෂා පවුලෙ මූලය රෝමන්. රෝමන් එන්නේ ග්‍රීක්වලින්. ඇලෙක්සැන්ඩර්ගෙ කාලයේ හීබෲ භාෂාවත් ග්‍රීක ආභාසයෙන් වර්ධනය වුණා.” ඔහුගේ වාග් විද්‍යාත්මක පැහැදිලි කිරීම සිත් ගන්නේය.

පුතා හිතන්නේ පුතා ලොකු වෙලා මොනව කරන්න ඕන කියල ද? ඔයා අහන්නේ මගේ ඇම්බිෂන් එක ගැන ද? පොඩි එකා මගෙන් පෙරළා අසන්නේය. මම හිස වනමි. “ මම කැමතියි ක්වොන්ටම් විද්‍යාඥයෙක් වෙන්න. මම කැමැති නාසා යන්න. එ්කෙ අවස්ථා ගොඩක් තියෙනවා. ඒ අවස්ථාවලින් ප්‍රයෝජන අරන් මගේ සැලසුම අනාගතේදී බලශක්ති නිෂ්පාදනාගාරයක් පිහිටුවන්න.“

“ඇයි පුතා හාවර්ඩ් යුනිවර්සිටි එකට කැමති…” මා අසන්නේ ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලය පිළිබඳ වැඩිමනත් අවධානයකින් අවට අය සමඟ කතා කර ඇති හෙයිනි.“ ඒක කියන්න බෑ… මම හිතන්නේ හාවඩර්ඩ් සිලබස් එක අපූරුයි කියලා…. ” මේ පොඩි එකාගේ සිතෙහි බෙහෙවින්ම බරක් ඇතැයි සිතමි. මා දකින්නේ මේ පොඩි එකාට මේ පොඩි වයසින් ඔහුගේ ළමා කාලය අහිමි වී ඇති බවය. එය දරුවකුගේ සුභග ස්වරූපය ඉක්මවා යෑමකි. මේ තත්ත්වය බටහිර විද්‍යාවන්ට තේරුම් කළ හැක්කේ කෙසේ දැයි නොදනිමි.

“ඉස්සරහට කරන්න තියෙන දේවල් පුතා ලියලා තියෙනව ද?” මම අසමි. පිළිතුරු දෙන්නේ මව සුමුදු ය.” “ඉංග්‍රීසියෙනුයි ප්‍රංශ භාෂාවෙනුයි ලියලා තියනවා.” ඇය කියන්නීය. “පුතා නැවත ඉපදීමක් ගැන හිතනව ද?. පුතාට එහෙම මොනව හරි දෙයක් දැනෙනව ද?” “ පුනරුත්පත්තියක් තියෙන්න පුළුවන් ද?. “ පෙරළා ඔහු මගෙන් ප්‍රශ්න කරන්නේය. “කොහොමත් මට එහෙම දැනෙන්නෙ නෑ. එහෙම දේවල් හොයන්න කැමතිත් නෑ”. සුමුදු මා දෙස යටැසින් බලා සිනාසුණාය. මමත් බිම බලාගෙන සිනාසුණෙමි.

“දරුවාගෙ අනාගතේ ගැන මොනවද හිතන්නේ සුමුදු…” මා විමසන විට යළිත් ඇයගේ ඇස් තෙමී ගියේය.

“ මෙයා විතරක් නෙමෙයි.. දෙවැනි පුතත් ඉස්කෝලෙට දාලා උගන්වගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි අපි ඉන්නේ. බැරිම තැන මේ ගේ විකුණන්න දැම්මා. ලොකු පුතා කියනවා එපා කියලා. ඒත් කරන්න දෙයක් නෑ. දරුවා ගැන මේ විදිහට කතා කරන්න හිතුවේ එයාගෙ අනාගතය ගැන මොනව හරි හොඳක් වේවි කියලා.”

ඉස්සර ගුරුවරු ඉස්කෝලෙදි මෙයාට කියලා පන්තියේ ලෙසන්ස් කරනවා. ඊයේ ආවා රුහුනු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්. පුතා එක්ක පැය දෙකක් විතර කතා කළා. ඒ සර්ට හිතා ගන්න බැරිවුණා මේ කතා කළේ අවුරුදු 10ක දරුවෙක් ද කියලා. මේ තරම් අයි.කිව් එකක් තියෙන දරුවෙක් සර්ට හම්බ වුණේ නෑ කිව්වා. සර් කැමැත්තෙන් ඉන්නවා පුතාව රුහුනු විශ්වවිද්‍යාලයට එක්ක ගිහින් එයත් එක්ක පොඩි සංවාදයක් හදන්න.

අද හවස ඉංජිනේරු මහත්තුරු දෙන්නෙක් එනවා පුතා එක්ක කතා කරන්න. “ ඇය කියන්නීය. මේ තත්ත්වය දරුවාට මොනතරම් වෙහෙසක් වනු ඇතිදැයි නොදනිමි. එය දරාගත හැකි තත්ත්වයක ඔහු සිටින්නේ ද? ඔහු තවම දස හැවිරිදි දරුවෙකි. ඔහුගේ දැනුම සැබෑවක් නම් එක එක හැඟීම් රහිත මිනිසුන්ට පරීක්ෂණාගාර මීයෙක් නොකර මේ දරුවා රටක් ලෙස ආරක්ෂා කළ යුතු සම්පතක් නොවේදැයි සිතමි.

මට සිහිවන්නේ ඉන්දියානු ගණිතඥයකු වූ ශ්‍රිනිවාස රාමානුජන්ය. ගණිතමය විශ්ලේෂණය, සංඛ්‍යාවාදය, අපරිමිත ශ්‍රේණි‍ය සහ සන්තත භාග යන ගණි‍ත ක්ෂේත්‍රයන්ට විශාල දායකත්වයක් දැක්වූ රාමානුජන් ශුද්ධ ගණිතය සඳහා ක්‍රමානුකූල පුහුණුවක් නොල ද තරම් වේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ එරොඩ්හි පල්ලිලෙයම් නම් ප්‍රදේශයේ 1817 දී උපන් රාමනුජන් ගණිතයට අත‍්පොත් තබන්නේ දස හැවිරිදි වියේදීය. මා ඉදිරියේ ඉන්නා මේ දරුවාගේ වයසමය.

ඔහු ගණිතයට සහජ දක්ෂතාවක් දැක්වූ අතර වයස අවුරුදු 13 වන විට එස්. එල්. ලෝනි විසින් රචිත උසස් ත්‍රිකෝණමිතිය පිළිබඳ ග්‍රන්ථ සම්පූර්ණයෙන් අධ්‍යයනය කර අවසන් කළේය. මේ වන විට ඔහු තමාගේම ප්‍රමේයය ගොඩනැඟීමට ද සමත්ව සිටියේය. ඔහු පාසලේ දී ද ගණිතයට අසාමාන්‍ය හැකියාවක් පෙන්වමින් තෑගි හා ප්‍රශංසා ලැබීමට සමත් විය. වයස අවුරුදු 17 වන විට රාමානුජන් බර්නූලි සංඛ්‍යා සහ ඔයිලර් මැස්කරෝනි නියතය පිළිබඳ තමාගේම පරීක්ෂණ සිදු කිරීමට සමත් විය.

සිය ජීවිකාව ලෙස මදුරාසි කොටුවේ භාරකාර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී කාර්යාලයේ ලිපිකරුවකු ලෙස සේවය කළ ඔහු 1912 හා 1013 අතර කාලයේ දී සිය ප්‍රමේයන්හි සාම්පල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු තිදෙනකුට යවන ලදී. ඔහුගේ විශිෂ්ටත්වය තේරුම් ගත් ජී. එච්. ගාමි රාමානුජන්ට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තමා යටතේ අධ්‍යයන කටයුතු කිරීමට ඇරයුම් කළේය. තිස් තුන් වැනි වියේ දී ඔහු දිවියෙන් සමුගන්නා විට රාමානුජන් ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ විවිධ ප්‍රතිඵලයන් 3900කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර තිබිණි. අඩුම තරමින් රාමානුජන් ඉස්කෝලෙ ගියේය. එහෙත් රිෂිතට පාසලක්වත් නැත.

රිෂිතගේ දුගීකම ඔහුගේ පාසල් ගමනත් අත්හිටුවා තිබේ. පොඩි දරුවා දෙස බලාගෙන හිඳිමි. ඔහුගේ අනාගතය දීප්තිමත් කළ හැකි ආදරණීය මිනිසුන්ගෙන් මේ සමාජ නොහිස් බව සිතේ. එවැනි විශාල හදවත් ඇති මිනිසුන් රිෂිත හෙට දවසේ තැබිය යුතු තැන වඩාගෙන ගොස් තැබීමට සැරසෙනු ඇති බව පමණක් විශ්වාස කරමි.


උපුටා ගැනීම සිළුමිණ

Share This Article