පමුණුව රෙදි නොකියන සුබසේන ජයරත්නගේ කතාව....
රෙදිපිළි, අතීත ලංකාවේ ජනයාගේ කලාත්මක භාවිතය පිළිබඳ විශිෂ්ට නිදර්ශන සපයන බව රහසක් නොවේ. මහනුවර යුගයේ රාජකීයයෝ කලාත්මක රෙදිපිළි භාවිතය පිළිබඳව මහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූහ. සිල්ක්, ලේස්, බ්‍රොකේඞ්, සැටින්, මස්ලින් හා වෙල්වට් ආදී ආනයනික රෙදිපිළි සඳහා එකල ඉහළ ඉල්ලූමක් පැවතිණ. සිල්ක් චීනයෙන් ද සෝමාර, බෙනාරිස් හා කපු පිළි ඉන්දියාවෙන් ද ගෙන්වන ලදී. දහසය වැනි සියවසේ මෙරටට බහුලව ආනයනය කළ ද්‍රව්‍යයක් වූයේ රෙදිපිළි ය. පළමු වැනි විමලධර්මසූරිය රජතුමාගේ යුගයේ දී බිංතැන්න රෙදි වෙළෙඳාම සඳහා ප‍්‍රකට වරායක්ව පැවති බව ක්වේරෝස් සඳහන් කරයි. කෙසේනමුත් ආනයනික රෙදිපිළි රජුගේ ඇඳුම් සැකසීම සඳහා පමණක් භාවිත කරන ලදී. සැටින්, සිල්ක් වැනි රෙදි සාමාන්‍ය ජනයාගේ පරි භෝජනයට තහනම් විය. ලංකාවේ රජුට සියම් රජු වටිනා රෙදිපිළි ත්‍යාග ලෙස එවූ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. එහෙත් අද අපේ අවධානය යොමුවන්නේ මහනුවර රාජකීයන්ගේ ඇඳුම් ගැන නොව පොදු ජනයාගේ ඇඳුම් වෙළෙඳ පළ වන කවුරුත් දන්නා පමුණුව පිළිබඳවය.
පමුණුව වූ කලී මහරගම පරණ පාරෙන් පටන්ගෙන දුම්රිය පළ දුම්රිය මාර්ගය හරහා කොළඹ ජයවර්ධනපුර රෝහල දක්වා දිවෙන පාරේ පමුණුව තුන්මන් හන්දිය කේන්ද්‍ර වූ ගම්මානයකි. එහෙත් රෙදි සම්බන්ධයෙන් පමුණුව යැයි කී විට හැෙඟන්නේ මහරගම සිට පමුණුව හන්දිය දක්වා වූ කිලෝමීටරයක් තරම් වූ දුරක පිහිටි පාර දෙපස රෙදි කඩ වෙළඳසල් සියල්ලයි. ලක් වැසි සියල්ලෝම ජාති ආගම් භේදයකින් තොරව පමුණුවට රෙදි ගන්නට ඇදී එන්නේ පමුණුව රෙදි හොඳ නිසාම පමණක් නොව, කොළඹ ඇතුළු ලංකාව පුරා විවිධ නගරවල විවිධ නම්වලින් යුතු වෙළෙඳ සල්වල එක එක නම්වලින් විවිධ ලේබල් යටතේ විවිධ මිල ගණන්වලට අලෙවි වන නිමි ඇඳුම්වල ඇත්ත නිජබිම පමුණුව වන නිසාය. ඇත්තෙන්ම පමුණුවේ රෙදි කතාව පිටුපස ඇති ඉතිහාසය ගැන සෙවීමේදී මුලින්ම සිහිකළ යුත්තේ වාමාංශික ක‍්‍රියාධරයෙකු වූ සුබසේන ජයරත්න මහතාය. ඔහු නොවෙන්නට පමුණුවේ කතාව වෙනත් ආකාරයකින් ලියවෙන්නට ඉඩ තිබිණි. ජයරත්න මහතා නෝර්ටන්බි‍්‍රජ් ජල විදුලි බලාගාරයේ විධායක නිලධාරියෙකු ලෙස සේවයේ කළ අතර 1946 දී දියත් කෙරුණු වැඩ වර්ජනයේදී තමන් අනුදත් දේශපාලනය තුළ නිරත වීම නිසා රැකියාව අහිමි වන්නේය. එයින් පසු ඔහු නුවර සිට දරුපවුල සමග නාවින්නට සංක‍්‍රමණය වෙයි. කොළඹට පැමිණ විවිධ රැුකියාවල නිරතවන ජයරත්නට දිනක් ගරාජ සේවකයකු මජං පිස දමමින් සිටින ආකාරය දැක අපූරු අදහසක් පහළ වෙයි. කොහුවල බර්නාඞ් ඇඟලූම් කම්හලින් ඉවතලන කෑලි රෙදි ඔහුගේ සිහියට නැඟින. මජං පිස දැමීමට එම කෑලි රෙදි වඩා යෝග්‍ය නොවේදැයි ඔහුට කල්පනා විය. කොහුවලට පැමිණ බර්නාඞ් ඇඟලූම් කම්හලෙන් ඉවතලන කෑලි රෙදි ගෝනිවලට පුරවාගත් ජයරත්න ඒවා රැගෙන පමුණුවට ආවේය. මේ අතීත කතාව සැකවින් අසන්නට අපි සුබසේන ජයරත්න මහතාගේ දියණිය හමු වීමු. පමුණුව පස්වන පටුමගේ චන්දන උද්‍යානයේ වසන ඇය අනුලා සේනාරත්න මහත්මියයි. තිදරු මවක් වන ඇගේ දරුවෝද රෙදිපිළි ව්‍යාපාරයට සම්බන්ධ අතර එක් පුතෙකු වන්නේ මහරගම නගර සභාවේ නාගරික මන්ත‍්‍රී රුවන් සේනාරත්න මහතාය. ඔහු වසර තිස්පහක පටන් රෙදිපිළි ව්‍යාපාරය හා සම්බන්ධව සිටී. පමුණුවේ රෙදි ඉතිහාසය ගැන අනුලා මහත්මිය මෙසේ මතකය අවදි කරයි.
අපේ තාත්තාගේ ගම ගාල්ල. අපි නුවර ඉඳලා ගෙවල් අරන් ආවේ නාවින්නට. තාත්තාට ඒ කාලේ නුවර ලොරි තිබ්බ පොල් අදින. 1951 එකේ තමයි නුවර ඉඳලා ආවේ. ඒ කාලේ ගරාජ් වලට අත පිහිදාන රෙදි පවා ගෙනාවේ ඉන්දියාවෙන්. ඒක වෙනස් කළේ අපේ තාත්තා. වෙලෝනා එකෙන් අයින් කරන රෙදි කැබලි අරන් ඇවිල්ලා අත පිහිදාන්න පුළුවන් විදහට මැහුවා. මේවා රට පුරාම ගරාජ් වලට සර්විස් ස්ටේෂන් වලට යැව්වා. ඒ කාලේ යාපනේ මිනිස්සු පවා පමුණුවට ඇවිල්ල මේවා අරගෙන ගියා මතකයි. වෙලෝනා එකේ අධිපති රස්කින් ප‍්‍රනාන්දු මහතා තාත්තාට ගොඩක් උදව් කළා. ඇත්තටම පමුණුවේ රෙදිපිළි ව්‍යාපාර ආරම්භ වෙන්නේ 1958දී. ඒ වසරේදී තමයි අපි පමුණුවට ආවේ. ඉස්සර පමුණුවෙ සමහර පැතිවල නරි පවා හිටියා. අපේ පවුලේ 11 ක් ඉන්නවා. අනෙක් අය රජයේ රැුකියාවලට ගියත් මගේ කැමැත්ත තිබුණේ මේවාට තමයි. තාත්තා මට මැෂින් එකක් අරන් දුන්න ඒ නිසාම. මැෂින් 09ක් දාලා රෙදි කෑලි වලින් ඇඳුම් මහන්න ගත්තාම ප‍්‍රදේශයේ අනෙක් අයත් මේ වැඬේට සම්බන්ධ වුණා. පතිරගොඩ ඉඳලා පමුණුවට එන්න තිබ්බේ නියරකින්. පතිරගොඩින් ඇඳුම් මහන්න එන කට්ටියට පහසුවෙන්න තාත්තා ජිනදාස නියතපාල මහතා සමග එක්වෙලා පාරක් හැදුවා. වෙළඳාම දියුණු වුණු නිසා තාත්තා ඉසෙඞ් 719 රථයක් මිලදී ගත්තා. ඒක තමයි රෙදි වෙළෙන්දෙක් ගත්ත පළමු රථය. ඒ කාලේ ලොකු රෙදි රාත්තලක් සත විස්සක් වුණා රෙදි රාත්තලක් මසා නිම කර දීමට රුපියලක් අය කළා. කොහොම හරි 1970 දී අපේ තාත්තා නැති වුණා. එයින් පස්සේ අම්මා තමයි මේ ව්‍යාපාරය ඉදිරියට අරගෙන ගියේ. අපේ අම්මා රෙදි කෑල්ලක් බිම වැටිලා තියනවා දැක්කොත් කියනවා මේවා මෙහෙම දාන්න එපා උඹලව උස්මහත් කළේ මේවයින් හම්බකරපු දෙයින් තමයි කියලා. අපේ අම්ම තමයි සුමනාවතී ජයතිලක. අම්මා කියනවා මැතිනියගේ කාලේ පමුණුවට හොඳ බිස්නස් තිබ්බ කියල. ඇත්තටම මුල් කාලයේ කාන්තා, පිරිමි, යට ඇඳුමක් පමුණුවේ විකුණා තියෙන්නේ ශත පහකටය. හොඳ ටී ෂර්ට් එකක මිල ශත විස්සක් හෝ විසිපහක් වුණා අපේ තාත්තා අඩුමිලට ඇඳුම් විකුණූ නිසා ඒවා මිලදී ගැනීමට රට හැමතැනින්ම මිනිස්සු ආවා.
අනුලා මහත්මිය ඉතිහාසය සිහි කරද්දී අපේ හමුවට එක්වූ මහරගම නාගරික මන්ත‍්‍රී රුවන් සේනාරත්න මහතා පැවසුවේ සිය සීයා ආරම්භ කළ මේ ව්‍යාපාරය නිසා අද දහස් ගණනකට රැකියා මෙන්ම හොඳ ජීවන තත්ත්වයක් ගත කිරීමට හැකියාව ලැබී ඇති බවයි. ”මෙහෙ ව්‍යාපාර කරලා ප‍්‍රකොටිපතියෝ වුණු අය ඉන්නවා. ඒ සිංහල ව්‍යාපාරිකයෝ අද මන්ත‍්‍රීවරු පවා වෙලා තියනවා. ඇත්තට පමුණුවේ පර්ච් එකක් ලක්ෂ 40 පනිනවා. මෙහෙ පමුණුව පාර අයිනේ පර්ච් එක ලක්ෂ අසූව පැනලා. මෙහෙම වුණේ එදා අපේ සීයා ආරම්භ කරපු ව්‍යාපාරය නිසයි. පමුණුවේ රෙදිපිළි වෙළෙන්දන්ගේ අයිතීන් වෙනුවෙන් මම හැමදාම පෙනී ඉන්නවා. ඒ නිසා තමයි මාව පමුණුවේ ජනතාව නගර සභාවටත් පත් කරලා තියෙන්නේ” යනුවෙන් සේනාරත්න මහතා කියයි.
පසුගිය දිනවල මහරගම උණුසුම් වී තිබුණේද පමුණුවේ රෙදි වෙළෙන්දන්ගේ භූමියක ප‍්‍රශ්නයක් නිසාය. මහරගම ජනාකීර්ණ වන්නේ පමුණුව නිසාය. පමුණුවද මහරගමද වෙන්කළ නොහැකිය. ඔවුහු දෙබිඩි දරුවෝය. මහරගම වැසි පමුණුව නම් වාසගම ඇති මට පමුණුවේ රෙදි ඉතිහාස කතාව ලියන්නට ලැබීමද අභාවාචක සිද්ධියකි.
උපුටා ගැනීම දිවයින