Biz Log
Classifields
Biz Log
Classifields

බැරි වෙලාවත් අපේ ජීවිත නැති වුණා නම් එහෙම කවුරුත් ඒ පිළිබඳ වග කියන්නෙත් නෑ

බැරි වෙලාවත් අපේ ජීවිත නැති වුණා නම් එහෙම කවුරුත් ඒ පිළිබඳ වග කියන්නෙත් නෑ

මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ. මම භාරගන්නේ ගන්නේ මම කැමති වැඩ විතරයි. ඒ තෝරා ගැනීම මාර තෝරා ගැනීමක් නෙමෙයි. රඟපාන චරිතවලට වැඩිය ප්‍රතික්ෂේප කරන චරිත වැඩියි.

කවදහරි පසුතැවිලා නැද්ද එහෙම ප්‍රතික්ෂේප කරපු චරිතයක් නොකෙරුවෙ අපරාදේ කියලා?

නැහැ. හැබැයි සමහර වැඩ බාර ගත්ත එක පිළිබඳ නම් පොඩි පසුතැවීමක් තියනවා.

ඇයි එහෙම කියන්නේ?

අපි සමහර අවස්ථාවන්වලදී පෞද්ගලික දැන හැඳුණුම්කම් මත නිර්මාණ බාර ගන්නවා. එතකොට අපි පිටපත බලන්නේ නැහැ. ඒ පුද්ගල විශ්වාසය නිසා. නමුත් වැඩේ පටන් ගනිද්දි සිදුවෙන්නේ වෙනම ආකාරයකට. පිටපත අරගෙන බැලුවාම ඒක හිතුව තරම් හොඳ නිර්මාණයක් නෙමෙයි. අන්න ඒ වෙලාවන්වලදී යම්කිසි කලකිරීමක් තියෙනවා අපි විශ්වාසෙන් බාර ගත් වැඩත් එලෙස නොවීම පිළිබඳ. ඒ වගේම සමහර වැඩ තියෙනවා ලොකු පම්පෝරියක් ගහලා පටන් ගන්නේ. එත් වැඩේ පටන් ගත්තට පස්සේ වැඩේ ඇතුළෙ අවුල්. අන්න ඒ වගේ වැඩ බාර අරගෙන කරගෙන යද්දි තමයි හිතෙන්නෙ අපරාදේ මේ චරිත භාර ගත්තේ කියලා.

ඒ කියන්නේ හර්ෂ සමහර අවස්ථාවන්වලදී ඇන්දිලා තියෙනවා?

ඔව්. ඒකට නැහැ කියන්න බැහැ. රඟපාන එක ඇත්තටම මොකද්දෝ කැහිල්ලක්. තවත් විදියකින් කිව්වොත් ඒක පට්ට උණක්. ඒක ඇතුළේ ඇති හැඟීම් එක්ක ඇතැම් අය විහිළු කරනවා. අපේ තියන වුවමනාවත් එක්ක මිනිස්සු සෙල්ලම් කරනවා. එතකොට වෙන්නේ වක්‍රාකාරව ඇතැම්විට අපි ඇන්දෙන එක.

ලංකාව තුළ නළුවෙකුට සුරක්ෂිතභාවයක් නෑ කියලා ඔබ විශ්වාස කරනවද?

ඔබ කියන කතාව හරි. නළුවෙකු විදිහට මම රිස්ක් ගත් අවස්ථා බොහොම තියෙනවා. ඔබට මතක ඇති ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ කකුල කැඩුණා රඟපාන්න ගිහිල්ලා. මාස ගණනාවක්ම බෙහෙත් කළා. නමුත් කවුරුත් ඒ පිළිබඳ වැඩිය හොයා බැලුවේ නැහැ. අපිත් එහෙමයි. ඇතැම් අවස්ථාවන් තියෙනවා ජීවිතය පරදුවට තියලා රඟපාන. ඉන්දියාවේ වගේ ඒ නිර්මාණ හැදුණා නම්, කේබල් තාක්ෂණය භාවිත කරනවා. ඒත් එහෙම කේබල් මොකවත් නැතිව අපි ඉතා අවදානම් තත්ත්වයන් යටතේ රඟපාලා තියෙනවා. එක් වතාවක මම වතුරේ ගිලෙන්න ගියා. බැරි වෙලාවත් අපේ ජීවිත නැති වුණා නම් එහෙම කවුරුත් ඒ පිළිබඳ වග කියන්නෙත් නෑ. අඩුම තරමේ අපි ගිහිල්ලා අභියෝග බාර අරගෙන රඟපාලා ඒවා වැරදුණොත් එහෙම කිසි කෙනෙක් බලන්නේ නැහැ කියලා මම දන්නවා. වරදින්න ඕනේ මිනිස්සු අදුරගන්න. මම ඒ පිළිබඳ වැඩිදුරටත් කතා කළොත්, අපේ සංගම් බොහෝ ගණනක් තිබුණත් කලාකරුවන්ට ලැබෙන ලෝන් එකවත් හරියට බෙදා ගන්න හම්බුණේ නැහැ. ඒක ගන්න මනුස්සය කොහොම හරි ගත්තා. ඒත් අවශ්‍ය කෙනාට නියමාකාරයෙන් ඒවා ලැබුණේ නැහැ. ඉතින් කොහොමද කලාකරුවා කියන චරිතය සුරක්ෂිත වෙන්නේ?

දේශපාලන වේදිකාවට ගොඩ වෙන්න කියලා ඔබට ආරාධනා ලැබෙන්න ඇති පසුගිය කාලේ?

අනිවාර්යනේම. මට එහෙම ලැබුණා. ඒත් මම පක්ෂ දේශපාලනය කරන කෙනෙක් නෙමේ. අඩුම තරමේ ඡන්දයවත් මම පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මම හිතනවා ලංකාව ඇතුළේ දේශපාලනය කිරීම කලාකරුවාට සුදුසු නැහැ කියලා.

ඔබ ඔබේ මුහුණු පොත හරහා ආවේගශීලී අදහස් දක්වලා තිබුණා. ඇතැම් විට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබේ ෆේස්බුක් එක හැක් කරලදෝ කියලා?

නෑ. ඒ මමම තමයි ඒ අදහස් දැක්වූයේ. මේ කොවිඩ් කාලය කියලා කියන්නේ මිනිස්සුන්ව පිස්සු කරන කාලයක්. මමත් නළුවෙක් වුණාට සාමාන්‍ය මනුෂ්‍යයෙක්. අඩුම තරමේ මම ෆේස්බුක් එකේවත් දාලා නැහැ මගේ වෘත්තිය රංගනය හෝ නළුවෙක් කියන වග. සමහරවිට අපේ තිබෙන මානසිකත්වය ඔස්සේ අපි කරන්නෙ සෘජුව අදහස් දක්වන එක. ඒක මම කරන්නේ නළුකම පැත්තකින් තියලා. මොකද මම ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක් විදිහට තමයි ජීවත් වෙන්න කැමති. අපිටත් හැඟීම් දැනීම් කියන දේවල් තියෙනවනේ. ඉතින් ඒ මුහුණු පොතට අදහස් දැක්වූවේ මමම තමයි. ඇතැම් විට කෙනෙකුට ඒ අදහස් නොගැළපෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ එතකොට මගේ ෆේස්බුක් එකෙන් ඒ අය අයින් වෙලා යයි.

ඔබ පෙර සඳහන් කළා රඟපාන්නේ තෝරා බේරාගෙන කියලා. ඒ නිර්මාණය ඇතුළේ වෙළෙඳ දැන්වීම් හෝ ගීතමය රූප රචනා නැහැ නේද?

මම සාමාන්‍යයෙන් වෙළෙඳ දැන්වීම් කරන්නේ නැහැ. එකක් දෙකක් වගේ කෙරුවා. පස්සේ ඒක අත හැරියා. ගීතමය රූප රචනා කරන්නේ නැහැ. මොකද රංගන ශිල්පියෙක් විදිහට ගීතමය රූප රචනාවකට දායක වුණා නම් ඒ විනාඩි තුන ඇතුළේ අපි උපරිමයෙන්ම රඟපානවා. එතකොට ඒ රඟපාන කෑල්ල මට වෙනත් නාට්‍යයකට භාවිත කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද මම හිතනවා ගීතමය රූප රචනාවක් තුළ රංගන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ හැකියාවෙන් සියයට අනූවක් විතර තියෙනවා කියලා. අනික රූප රචනා මං දැකලා තියෙනවා බස්වල පවා ප්‍රචාරය වෙනවා. ඉතින් මිනිස්සු නිතර දකිද්දි-දකිද්දි ඒ රූප රචනාවේ හිටිය නළුවාගේ රංගන ටෙක්නික්ස් වෙනත් චරිතයකින් දකින්න පුළුවන්. ඒකට මම එච්චර කැමති නෑ.

ප්‍රසාද් සමරතුංගඋපුටා ගැනීම saaravita.lk

Share This Article