ජැක්සන්ගේ වියෝව මට විශාල පාඩුවක්
වාණිජ රැල්ලේ සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝමපීරිස්ගේ පුත් සුදේශ් වසන්ත පීරිස් හුස්ම සිනමා නිර්මාණයෙන් තමන්ගේ ගමන වෙනස් මඟකට යොමු කරගනී. ජැක්සන් ඇන්තනී නමැති රංගධරයාද ප්‍රධාන භූමිකාවට යොදාගෙන චරිත හතරක් වටා ගෙතුණු සීරුවෙන් සිනමා නිර්මාණය ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි. දැන් රට පුරා සිනමාහල්වලදී තිරගත වන ‘සීරුවෙන්’ සිනමා නිර්මාණය ගැන සුදේශ් වසන්ත පීරිස් සමග කළ සංවාදයක් මතු දැක්වේ.
මේ වේලාවේ මොනවගේ අභියෝගයන්ද තිබෙන්නේ?
චිත්‍රපටය පුරාවටම අභියෝග විශාල ප්‍රමාණයක් තිබුණා. චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණාට පසුව සිද්ධවුණා ජැක්සන් අයියාගේ අනතුර. ඒකෙන් මට විශාල පාඩුවක් සිද්ධ වුණා. මොකද එතුමා ජීවත්ව සිටියා නම් ප්‍රේක්ෂකයන් වෙත මුදාහරින වෙලාවෙ ඔහුගෙන් ලැබෙන සහයෝගය ඉතා වටිනවා. මම හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට ඒ අඩුව පුරවලා දෙන්න පුළුවන් කියලා. ඒක හින්දා ජැක්සන්ගේ අනතුර වගේම හදිසි වියෝව මට විශාල පාඩුවක්.
ජැක්සන්ගේ වියෝව ඔබට කොහොමද දැනුණේ?
එතුමා ජීවතුන් අතර සිටියා නම් මට මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න ලොකු වෙහෙසක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයෝ එතුමාගේ වචන විශ්වාස කිරීම, එතුමාට ගරු කිරීම වගේ කරුණු කාරණා හින්දා ප්‍රේක්ෂකයන් අතරට ඉතා පහසුවෙන් ගෙනියන්න තිබුණා. මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී එතුමා මා ගැන තිබූ විශ්වාසය එතුමාගේ හඬින් ප්‍රේක්ෂකයාට අහන්න තිබුණා නම් ගොඩක් වටිනවා.
‘සීරුවෙන්’ රූගත කිරීම් ආරම්භ කළෙත් අර්බුද රැසක් මැද්දේ?
ඇත්තටම මෙහි රූගත කිරීම් ආරම්භ කළෙත් කොරෝනා වසංගත සමය ආරම්භවීමත් සමඟයි. අපිට කාලයක් රට වහලා ඉන්න සිද්ධ වුණා. ඊට පසුව තමයි මෙහි වැඩකටයුතු අවසන් කළේ. එතැනින් පස්සේ ‘සීරුවෙන්’ තිරගත කිරීම් ආරම්භ කරන්න සූදානම් කරනකොටයි ජැක්සන් අයියා අනතුරට ලක්වුණේ. මම ජැක්සන් අයියා හොඳවෙයි කියලා තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. ඔහු ජීවත්ව සිටියා නම් ‘සීරුවෙන්’ සිනමා නිර්මාණයට ලොකු රුකුලක් ලැබෙනවා. අවාසනාවකට එතුමා අපව දාලා ගියා. ජැක්සන් අයියා හින්දමයි කාලයක් බලාගෙන හිටියේ.
සුදේශ් හදපු සීරුවෙන් dont breathහි කොපියක් කියලත් සමහරු කියනවා නේද?
කවියක්, පොතක් හෝ චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ යම්කිසි නිර්මාණකරුවකුට කොහේදි හෝ මුණගැසුණු කරුණු ආශ්‍රයෙන් තමයි. අපේ ලංකාවේ විශිෂ්ට කලාකරුවෝ යැයි කියන අධ්‍යක්ෂවරු කරන නිර්මාණ තිබෙනවා ඕනෑතරම් ලෝකයෙ එහෙන් මෙහෙන් කරුණු හොයාගෙන. ඉතින් මමත් කරලා තියෙන්නේ මට හිතට වැදුණු ප්‍රේක්ෂකයන් වෙත ගෙනියන්න පුළුවන් යැයි හිතපු චිත්‍රපටයක් අරගෙන අපේ ප්‍රේක්ෂකයන්ට ගැළපෙන ආකාරයට නිර්මාණය කිරීමයි. ඉතින් මම මේකේ වරදක් නම් දකින්නේ නැහැ.
පිටපත් කීයක් මුදාහරින්න සුදානම්ද?
මේ වෙනකොට රටපුරා සිනමාහල් 55ක ‘සීරුවෙන්’ ප්‍රදර්ශනය කරන්න තීරණය කරලා තිබෙනවා. තවත් සිනමාහල්වලට ලබාදෙන්න අපි තීරණය කරලා ඉදිරියේ සාකච්ඡා කරනවා.
ජැක්සන් ඇන්තනී වගේ දැවැන්තයෙක් අධ්‍යක්ෂණය කිරීමේදී මුහුණදුන් අභියෝග මොනවගේද?
මම මුලින්ම ජැක්සන් අයියව හම්බවෙන්න යනකොට පිටපතවත් අරගෙන ගියේ නැහැ. ඔහු මගේ හුස්ම නිර්මාණය නරඹලා තිබුණ හින්දා මගේ අලුත් නිර්මාණය ගැන ලොකු විශ්වාසයක් තිබුණා. කතන්දරය කිව්වාම එකහෙළා කැමති වුණා. අන්තිමේ ජැක්සන් අයියා මට කතා කරල ගෙදරටම ඇවිත් පිටපත අරගෙන ගියා. ඇත්තටම චිත්‍රපටය පුරාවටම පිටපත අනුව ඔහු වැඩ කළා. මට අවශ්‍ය පරිදි මගේ පිටපතට අනුව ඔහු විශිෂ්ට රංගනයක නිරත වුණා. ඒ වගේම පිටපතේ තිබුණ කිසිම වචනයක් ඔහු වෙනස් කළේ නැහැ.
වාණිජ සිනමා ධාරාවේ අධ්‍යක්ෂවරයකු වූ ඔබ වෙනස් ධාරාවක් තෝරා ගත්තේ ඇයි?
මම බයිස්කෝප්කාරයෙක්. මම දැනටත් මාව හඳුන්වන්න කැමැති බයිස්කෝප්කාරයෙක් විදිහට. මම දැක්ක සිංහල සිනමාව තුළ වීරයා මගේ තාත්තා වුණු සුනිල්සෝම පීරිස් මහත්තයා. ප්‍රේක්ෂකයන් තුළ තාත්තාට ඉහළම තැනක් තිබුණට අපේ කර්මාන්තය තුළ බයිස්කෝප්කාරයෙක් කිව්වහම පොඩි කොන්කිරීමක් තිබුණා. දැනටත් ඒ කාරණාව අපේ කර්මාන්තය තුළ තිබුණා. ඉතිං මට ඕනෑ වුණා ඒකෙන් ගැලවෙන්න. අනික මම කැමැති නැහැ මාව සුනිල්සෝම පීරිස්ගේ පුතා කියලා හඳුන්වනවාට. එතැනින් මිදෙන්න ඕනෑකමකුත් මට තිබුණා. ඒ කාරණා දෙක හින්දම තමයි මම හුස්ම කියන සිනමා නිර්මාණය හැදුවේ. එතකොට මට ඉහත කියපු කාරණා දෙකෙන්ම ගැලවෙන්න පුළුවන් වාසනාව උදාවුණා. ඉතින් එතැනින් එහාට අඩියක් තියන්න ඕනෑනම් ජැක්සන් අයියත් අරගෙන ‘හුස්ම’ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. මෙතැනින් එහාට මගේ ඊළඟ සිනමා නිර්මාණය නැවත වාණිජ රැල්ලේ හොඳ බයිස්කෝප් චිත්‍රපටයක්.
අධ්‍යක්ෂවරයකු විදිහට කර්මාන්තයේ තිබෙන අර්බුද මොනවාද?
හැම කර්මාන්තයකටම වගේ සිනමා කර්මාන්තයටත් අර්බුද පොදුයි. අපි රසිකයාට අවශ්‍ය නිර්මාණ කරන්නේ නැතිව අධ්‍යක්ෂවරයකු විදිහට අපේ වින්දනයට චිත්‍රපට හදලා හරියන්නේ නැහැ. ප්‍රේක්ෂකයාට බලන්න පුළුවන් වගේම නිෂ්පාදකවරයා රැකගන්න පුළුවන් චිත්‍රපට හදන්න ඕනෑ. හැත්තෑව අසූව දශකය වගේ නෙමෙයි. දැන් මුළු ලෝකයම ඔබේ අතේ ඇති ජංගම දුරකථනයේ තිබෙනවා. ලෝක සිනමාවම ෆෝන්එකේ තියෙනවා. අපේ තරුණ පරපුර ලෝක සිනමාව එක්ක තමයි ඉන්නේ. එතකොට අපේ නිර්මාණය ඒ හා සමානව සංසන්දනය කරන්න ප්‍රේක්ෂකයා උත්සාහ කරනවා. නමුත් අපේ රටේ සිනමා කර්මාන්තය කුඩායි. අපේ රට ඇතුළේ පමණයි තියෙන්නේ. අපිට ලොකු වියදමක් දරලා චිත්‍රපට කරලා ලාභ ලබන්න බැහැ. එතැනදි අපි කල්පනා කරන්න ඕනා පිටරට හා සමානව අපේ රටට හරියන රැල්ලටත් එක්ක හරියන චිත්‍රපට කරන්න ඕනෑ.
පිටරටට සමාන චිත්‍රපට කරන්න පුළුවන් අධ්‍යක්ෂවරු ඕනෑතරම් ඉන්නවා. ප්‍රේක්ෂකයා හඳුනාගෙන නිර්මාණ හැදුවොත් කවදාවත් නිර්මාණ වැටෙන්නේ නැහැ. අපිට තියෙන එකම අර්බුදය සිනමාශාලා අඩුවීම. තව අවුරුදු තුන හතරක් යනකොට ඒ අර්බුදයත් විසඳේවී යන අදහසේ මම ඉන්නවා.
උපුටා ගැනීම දිවයින