දෙමළ බසින් රට ඇල්ලූ සිංහල යුවතී
නළලත මැද පුංචියට තබා ඇති මෙරුන් පැහැ තිලකයකි. රත් පැහැ සාරියටම ගැළපෙන ඉන්දියන් කූඩු කරාඹු ජෝඩුවකි. අපූරුවට ගෙතුණු කේශ කලාපය හැඩ කළේ අපූරු පිච්චමල් දමකිනි. ඇයට තිබුණේ දමිළ තරුණියන්ට උපතින්ම හිමිවන දමිළ චතුර වාග් විලාසයක්. පෙනුමින් ඇය දමිළ තරුණියක්මයි. හැබැයි ඇය දමිළ තරුණියක් නොවේ. ඇය දමිළ කතා කරන දමිළ සංස්කෘතියට ආදරය කරන සිංහල තරුණියක්. ඒ නිසාම දකුණේ වගේම උතුරේත් ඇයට ඇත්තේ පුදුම ළෙන්ගතුකමක්. ඇය සචිනි චතුරංගනි. නම ඇසුණු පමණින් ඔබට ඇය මතකයට නැගේවි. ඔව් මේ ඇය. දමිළ භාෂාවෙන් ටික් ටොක්කර සමාජමාධ්‍යයේ නමක් රැන්දූ සිංහල තරුණිය. අද මේ කතා බහ ඇයත් සමඟයි.
ඉතින් කොහොමද සචිනි ?
සතුටින් හොඳින් ඉන්නවා.
සචිනි කියන්නේ කවුද?
මගේ නම සචිනි චතුරංගි. වයස 25යි. මගේ උපන් ගම මීගමුව. පොඩි කාලේ ඉඳන් මේ වෙනතෙක්ම හැදුණේ වැඩුණේ එහෙ. අධ්‍යාපනය ලැබුවේ වෙන්නප්පුව හෝලි ෆැමිලි කොන්වන්ට් එකෙන්. පවුලේ ඉන්නේ මමයි මල්ලිලා දෙන්නයි තාත්තයි. අම්මා නැති වෙලා දැන් අවුරුදු 7ක් වෙනවා. මම විවාහකයි. දෙමළ වීඩියෝ හදන සිංහල කෙල්ල කියලා තමයි ගොඩක් අය මාව දන්නේ.
සිංහල තරුණියක් වෙලා, හරි හරියට දෙමළ භාෂාව කතා කරන්න ඉගෙන ගත්තේ කොහොම ද?
පාසල් යන කාලේ ඉඳලා සාමාන්‍යයෙන් හැමෝම දෙමළ භාෂාව ඉගෙන ගන්නවනේ. ඉතින් ඒ කාලේ ඉඳලම මම දෙමළ භාෂාවට හරිම කැමැතියි. ඉතින් මම ඒ කාලේ ඉඳලම දෙමළෙන් කතා කරන්න උත්සාහ කළා. ඒ වගේම මම දෙමළ චිත්‍රපටි හරියට බලනවා. මම නොබලපු දෙමළ චිත්‍රපටියක් නැති තරම්. ඒ දේවල් එක්ක දෙමළ භාෂාව මට හරිම සාමාන්‍ය දෙයක් බවට පත් වුණා.
එතකොට දෙමළ භාෂාව යොදා ගනිමින් වීඩියෝ නිර්මාණය කරන්න පටන් ගත්තේ කොහොම ද?
මට හිතුණා මම දන්න දෙයින් වැඩක් කරන්න ඕනේ කියලා. ඉතින් මම තනියම දෙමළ භාෂාව අන්තර්ගත නිර්මාණ කරන්න උත්සාහ කළා. දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා මම වීඩියෝස් නිර්මාණය කරන්න අරගෙන. 2018 වර්ෂයේදී වගේ තමයි ලංකාවට ටික් ටොක් එන්නේ. ඉතින් මම ඒ කාලේ ඉඳලම උත්සාහ කළා එක එක වීඩියෝ කරන්න. මුලදී මගේ ගෙදරින් මේකට කැමති වුණේ නැහැ. මම හදපුවා බැලුවට පස්සේ ගෙදර අයයි සැමියයි මගේ දක්ෂතාවය හඳුනා ගත්තා. ඉතින් මහත්තයගේ උදවුවත් එක්ක තමයි පටන් ගත්තේ. මුලින්ම පොඩි ෆෝන් එකකින් තමයි වීඩියෝ කළේ. ඊට පස්සේ මහත්තයා ලොකු සහයෝගයක් දුන්නා හොඳ නිර්මාණ හදන්න.
ඔබේ වෘත්තිය ගැන කතා කළොත්?
මම මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන අවසන් වසරේ ශිෂ්‍යාවක්. මේ වෙනකොට මම කැලණිය ගුරුකුල විද්‍යාලයේ ගුරුවරියක් විදිහට පුහුණු වෙනවා. ඒ අතරතුර තමයි මේ වීඩියෝස් කරන්නේ. මම හරිම කැමැති සිනමා ක්ෂේත්‍රයට. රඟපාන්න..නැටුම් ගැයුම්වලට ඒ හැමදේටම. ඉතින් මේ වීඩියෝ නිර්මාණය කරන්නේ මගේ සතුට වෙනුවෙන්. ඒක එක්තරා විදිහක විනෝදාංශයක්.
ගුරුවරියක් මේ විදිහට ටික් ටොක් කරන එකට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
ගුරුවරියක් ටික් ටොක් කරන එක සමාජය පිළිගන්න දෙයක් නෙවෙයි. මම උගන්වන පාසලේ ගොඩක් අය මම මෙහෙම වීඩියෝ කරන කෙනෙක් කියලා දැනගෙන හිටියේ නැහැ. මගේ වීඩියෝ වයිරල් වෙනවත් එක්කම එයාලා මා ගැන දැනගත්තා. ඒ වෙලාවේ මම හිතපු නැති විදිහට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය මට ප්‍රශංසා කළා. මාව දිරිගැන්නුවා. මම සෝෂල් මීඩියාවල ඉන්න කෙනෙක්ට වඩා දක්ෂ ගුරුවරියක් හැටියටයි එයාලා මාව දකින්නේ. හැබැයි ගමේ අය නම් මුලදි අපිට හිනා වුණා. මේ වගේ වීඩියෝස් කරන්නේ ඇයි ඔයාලට පිස්සුද කියලත් ඇහුවා. දැන් ගමේ අයත් අපිට හැම දේකින්ම උදවු කරනවා අඩුම ගානේ ලයිට් එකක් අල්ලන්න හරි.
මේ හැමදේටම හෙවණැල්ල වගේ ඉන්න සැමියා ගැනත් කතා කරමු.
අලුත් නිර්මාණ හදන්න ඔහු ගොඩක් උදවු කරනවා. ඔහු ශේෂාන්. ඔහුත් සමාජමාධ්‍ය ක්‍රියාකරුවෙක් විදිහට වැඩ කරනවා. අපි දෙන්නා අවුරුදු 7ක හොඳම යාළුවෝ. අපි හමුවන්නේ යොවුන් සේනාංක පාඨමාලාවේදී. ඉතින් පාඨමාලාව ඉවර වෙද්දි අපි දෙන්නාගෙ මිත්‍රත්වයත් ඈත් වෙලා යනවා. ආපහු අපි හමුවන්නේ සමාජමාධ්‍ය හරහා. ඔහු යූටියුබ් චැනල් එකක් පවත්වාගෙන යනවා. ඊට පස්සේ අපි යාළුවෝ වගේ ඉඳලා ඒක ආදරයකට පෙරළුණා. විවාහ වෙලා අවුරුදු දෙකක් වෙනවා. එයා ලැබීම මගේ වාසනාවක්.
වීඩියෝ වලට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
වීඩියෝ කරපු මුල් කාලයේදී සිංහල අය අතර මාව වැඩි ජනප්‍රියත්වයක් තිබුණේ නැහැ. දෙමළ අය අතර තමයි මාව ජනප්‍රිය වුණේ. මොකද දෙමළ අයට ලොකු පුදුමයක් වුණා සිංහල කෙනෙක් කොහොමද මෙහෙම දෙමළ කතා කරන්නේ කියලා. ඒ අතර සමහර අය මට කමෙන්ට් කළා ඔයා දෙමළ කතා කරන්න එපා දෙමළ කතා කරනවා කැතයි කියල බැණලත් තිබුණා. ඉතින් මම ආයේ වීඩියෝ දාන්න බය වුණා. මහත්තයා තමයි දිරි ගැන්නුවේ. හැබැයි පස්සේ එයාලත් මගේ වීඩියෝවලට ආදරය කරන්න ගත්තා. හැබැයි මේ කාලයේදී තමයි සිංහල අය අතර මාව ජනප්‍රිය වුණේ. ඉතින් සිංහල දෙමළ භේදයක් නැතුව හැමෝගෙම ආදරය වැඩිපුර ලැබෙනවා. දෙමළ අය මාව දකින්නේ මම එයාලගෙම කෙනෙක් විදිහටයි.
ජීවිතයේ කඩා වැටුණු තැන් තිබිලා නැද්ද?
මගේ අම්මා නැති වීම තමයි මගේ ජීවිතයේ ලොකුම කඩා වැටීම. ඒකත් එක්ක මගේ අධ්‍යාපනය, මානසික මට්ටම ඒ හැමදේම කඩා වැටුණා. ඒ වෙලාවේ පාසලේ හිටපු සර් කෙනෙක් මගේ මනස හදාගන්න ගොඩක් උදවු කළා. ඒ තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ආයේ නැඟිටින්න නම් අපි බිංදුවටම වැටිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මගේ මහත්තයා මට මුණ ගැහෙනවා. ඔහු තමයි දැන් මාව හැම දේකදිම දිරිගන්වන්නේ.
අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මට හරි සතුටුයි. මම මුලින් හිතුවෙ නැහැ මට කවදාවත් මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා. මගෙ අම්මා නැති වෙනවා. අපිට ඉන්න තැනක් නැති වෙනවා. කන්න කෑම ටිකක් නැතුව ඉඳලා තියෙනවා. අඳින්න ඇඳුම් නැතුව ඉඳලා තියෙනවා. ගොඩක් වැටීම් මට තිබිලා තියෙනවා. අම්මා නැති වෙද්දි ගමේ මිනිස්සු කිව්වා අපිට මඩම්වලට යන්න. ඉගෙන ගන්න එපා කියලා. අම්මා නැති වුණේ පිළිකාවකින්. මට මතකයි අම්මා හොස්පිටල් එකේ ඉද්දි හැමෝම එයාට කිව්වේ මුළු වෝඩ් එකේම ඉන්න ලස්සනම ලේඩි කියලා. ඒ හැම වෙලාවකම මම හිතුවේ මට පුළුවන් උපරිමයෙන් මම කරනවා කියලා. අද වෙද්දි මට හැමෝගෙම ආදරය ලැබෙනවා. සල්ලි ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ ආදරය ලැබෙන එක මට හරි ලොකුයි.
උපුටා ගැනීම තරුණී