දැන් ආයෙත් හොඳ නිර්මාණයක රඟපාන්න ඕනෑ - ප්‍රවීණ රංගවේදී සොමී රත්නායක
සොමී රත්නායක යැයි කියු සැණින් මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය තුළ මැවෙන වෙනම ප්‍රතිරූපයක් ඇත. ඒ ප්‍රතිරුපයේ හිමිකරුවා වර්තමානයේ සිනමාව තුළ දක්නට නැතත් පුරා දශක ගණනාවක් මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය තුළ මැවූ අපූර්ව භූමිකා නිසා කිසිදා නොමැකෙන නාමයක් ප්‍රේක්ෂකාගාරය තුළ ඇති කළේය. 70 දශකයේ මෙරට සිනමා ප්‍රේක්ෂගාගාරයට පිවිස ඔහු ඉතිරිකර ගිය මතක අදටත් මෙරට සිනමා රසිකයන්ගේ සිත් සතන් ඔහු කෙරේ ආකර්ෂණීයව පවතින්නේය. ඔහු සිනමා ප්‍රේක්කාගාරය තුළ ඔහුටම ආවේණික රංග ශෛලියක් නිර්මාණය කර ගත්තේය. ඒ රංග ශෛලීය සොමී රත්නායක යන නාමය මෙරට සිනමාව තුළ කිසිදා නොමියෙන නාමයක් ලෙසින් ස්ථාපනය වන්නට හේතුවක් වූයේය.
රංගනය උදෙසා සොමී රත්නායකයන්ට මුල්ගුරු වනුයේ වේදිකාවය. එහෙත් ඔහු දීර්ඝ කාලීනව සිය අනන්‍යතාවය රඳවා ගැනීමට සමත් වූයේ මෙරට සිනමාව තුළය. ඒ සඳහා ඔහුට වේදිකාවෙන් ලැබුණු පන්නරය සහ පුහුණුව එක්තරා අන්දමකට හේතුවක් වෙන්නට ඇත. නමුත් ඔහු වේදිකාව තුළ වේදිකා රංගන ශිල්පියෙකු ලෙසත් සිනමාව තුළ සිනමා රංගන ශිල්පියෙකු ලෙසත් හැසිරීමේ කලාව හොඳීන් දැන සිටියේය. මාධ්‍ය ද්විත්වයේ ආභාසය ඔහුගේ ගමන් මඟ දෙආකාරයෙන් ප්‍රතිපෝෂණය කිරීමට හේතුවක් වුවත්, අදටත් සිනමා ප්‍රේක්ෂකාගාරය තුළ ඔහුට වන්නාවූ ආකර්ෂණයේ අඩුවක් නැත්තේය.
මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය තුළ අතිශයින්ම ජනප්‍රිය සහ කාර්ය බහුලම නළුවෙකු ලෙසින් සිටියදී ඔහු සිනමාවෙන් සමු ගත්තේය. එය ඔහුගේ පෞද්ගලික දිවියේ හේතු කාරණා සම්බන්ධයෙන් ගත් තීන්දුවක් වුවද, එයින් අපමණ පාඩු සිදුවූයේ මෙරට සිනමාවටය. මේ දක්වා ඔහු රංගනයේ නියුතු වූවානම් තව කොතෙක් නම් චරිත නිරූපණයන් ඔහු අපට ඉතිරි කරයිද? මේ වනවිට වසර ගණනාවක් මෙරට සිනමාවෙන් ඈත් වී දුරු රටක වෙසෙන ඔහු පසුගියදා නැවත ලංකාවට පැමිණ තිබුණේ කෙටි නිවාඩුවක් සඳහාය. සරසවිය පාඨකයන් වෙනුවෙන් මෙවර අපි ඔහු කැඳවා ගත්තේ සිය අතීත සිනමා දිවියේ මතක සමරන්නට සහ ඔහුගේ දිවියේ නවතම තතු පිළිබඳ විමසන්නටය. මේ ඔහු හමුවුණු මොහොතක කල කතා බහකි.
මෙවර ඔබ ලංකාවට පැමිණියේ කිසියම් කලා කටයුත්තක් වෙනුවෙන්ද?
මම මේ පාර ලංකාවට ආවේ නිවාඩුවක් ගත කරන්න. ඒ වගේම මගේ පෞද්ගලික වැඩ කීපයක්ම තිබුණා කර ගන්න. ඒ වෙනුවෙන් තමයි මේ පාර ලංකාවට ආවේ. මේ වැඩ කටයුතු ටික කරගන්නකොට මට නිවාඩුවක් ගත කරන්න කාලයක් නැතිව ගියා.
ඔබ ලංකාවේ පදිංචිය අතහැරලා දැන් කොච්චර කාලයක් වෙනවද?
මම ලංකාවෙන් ගියේ 1995 අන්තිමට වගේ. දැන් අවුරුදු 27ක් විතර වෙනවා. ඒ ගියාට පස්සේ මම ඉස්සරවෙලාම ලංකාවට එන්නේ 2009 දි විතර. යුද්ධය ඉවර වෙලා මාස කීපයකින් විතර. ඊට පස්සේ මට වරින්වර ලංකාවට එන්න සිද්ධ වෙනවා 2011 දී 2012දි වගේ. අන්තිමට මම ලංකාවට ආවේ 2014 දී . ඉන් පස්සේ මම ලංකාවට ආවෙම නෑ. දැන් 2024 අවුරුදු දහයකින් තමයි මම ලංකාවට ආවේ. මම 2018 දි උත්සාහයක් දැරුවා ලංකාවට එන්න. නමුත් කොවිඩ් නිසා ඒක කර ගන්න බැරිව ගියා. ඊට පස්සේ හැම අතින්ම කරදර වුණානේ. දැන් ඉතින් තත්ත්වය ටිකක් හොඳ නිසා ඇවිත් යන්න ආවා. ඒත් මේපාර මම තනියම ආවේ. මගේ බිරිඳ හෝ දරුවන් ආවේ නෑ. ඒ සියලු දෙනාම එක්ක අවුරුද්දේ අන්තිමට එන්න බලාපොරොත්තුවක් තියනවා.
ඔබ දීර්ඝ කාලයක් ලංකාවේ හිටියේ නෑ වගේම සිනමාවේත් හිටියේ නෑ. දැන් ආපස්සට හැරිලා බලත්දි ඔබට මොනවද හිතෙන්නේ? අපරාධයක් කියලා හිතෙන්නේ නැත්ද ලංකාවෙන් ගිය එක?
ඕක අපට විග්‍රහ කරන්න පුළුවන් කාරණා කීපයකින්. මම ලංකාවෙන් 96 දි යනකොට ඒ කාලේ ලංකාවේ හිටිය වැඩ වැඩිම නළුවා. මම සිනමාවේත්, වේදිකාවේත් රූපවාහිනියේත් විවිධ වැඩ ගොඩක ඒ දවස්වල නියැළෙමින් හිටියා. මම ලංකාවෙන් ගියාට පස්සෙත් හුඟ දෙනෙක් ඇවිත් තිබුණා මාව මුණ ගැහෙන්න විවිධ නිර්මාණ සඳහා දායක කර ගන්න. නමුත් ඒ වෙලොවේ අපේ රටේ තිබුණ තත්ත්වය නිසා මම පෙලඹුණා රට දාල යන්න. යුද්ධය නිසා සිනමාවේ ඇතිවුණ කඩා වැටිමත් මේකට දැඩි විදියට බලපෑවා. සිනමාව ගොඩ ගන්න බැරි තැනකටම වැටුණා. හුඟක් නිෂ්පාදකවරු ආයෝජනය කරන්න බය වුණා. කීපදෙනක් සිනමාවේ හිටියත් ඒවා කොහොම හරි කරන චිත්‍රපට බවට පත්වුණා. මම වෘත්තීය නළුවෙක් නිසා වෘත්තීයක් විදියට මෙක කරන්න බැරි තත්වයක් උදා වුණා. වෙන අය මේ වෘත්තිය කළේ වෙන වැඩ කරන ගමන්. නමුත් මම වෘත්තියමය නළුවෙක්. මට වෙන රැකියාවක් තිබුණේ නෑ. එහෙම කෙනෙකුට හුඟක් අමාරුයි පවත්වාගෙන යන්න. මම නළුවෙක් විදියට හොඳ නිර්මාණ වලට දායක වෙලා ඉදිරි ගමනක් යන්න බලාපොරොතතුවක් තිබුණත් අර වකවානුවේ ඒකට ඉඩක් තිබුණේ නෑ. අනිත් පැත්තෙන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවානේ. මම ඒ අයගේ අනාගතය ගැනත් බලන්න ඕනනේ. එතැනදි තමයි මම ඒ දැඩි තීන්දුව ගත්තේ.
කලාව හැරදා යෑම කලාකරුවෙකුට පහසු දෙයක් වෙන්න නැතුව ඇති?
අනිවාර්යයෙන්ම. මට ඒ තීන්දුවට එන්න හුඟාක් අමාරු වුණා. මම යන බව වුණත් මම වැඩි දෙනෙකුට කිව්වෙ නැහැ. මගේ සමීප හිතවතුන් කිප දෙනෙකුට විතරයි කිව්වෙත්. නමුත් පවුලක් හැටියට හිතලා බලනකොට මට ඒ තීන්දුව ගන්න සිද්ධ වුණා. කලාකරුවෙක් විදියට මට කොහොම හරි පැවැත්මක් තිබුණත් මගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් මට පෙනුණා.
මේ ගමන නිසා ඔබ ඔබේ කලා ජිවිතය පසුගාමී තත්වයකට පත්කර ගත්තත් පෞද්ගලික ජිවිතය ජයග්‍රහණය කරන්න ඇති නේද?
ඔව් අනිවාර්යයෙන්ම. මම ඒ පැත්තතේන උපරිම තෘප්තිමත්. නමුත් මගේ හිතේ පොඩි පාළුවක්, කාංසියක් තියෙනවා. වරින්වර වරින්වර ඒක මතුවෙනවා. මගේ කලා ජිවිතය පිළිබඳ.
ලංකාවෙන් ගියාට පස්සේ කලා කටයුත්තකට සම්බන්ධ වුණේම නැත්ද?
මට හුඟාක් ආරාධනා ලැබුණා . ගියාට පස්සෙත් . නමුත් මම 2012 ලංකාවට ආවට පස්සේ චිත්‍රපට දෙකකට විතර සම්බන්ධ වුණා. ඒ ආරාධනාවක් අනුව. නමුත් වෘත්තියමය වශයෙන් ආයෙත් රඟපාන්න වුණේ නෑ. ඊට පස්සේ මට ආයෙත් කල්පනා වුණා මොකටද තව දුරටත් මේ කාලය මේ වෙනුවෙන් කැප කරන්නේ කියලා. නමුත් නළුවා කියන එක මගේ හිතින් කවදාවත් යන්නේ නෑ. මට තාමත් හිතෙන්නේ මට පුළුවන් කියන එක. මිනිස්සු වයසට යනවා. වයසට යනකොට හැමදෙනාටම එන මූලික ගැටලු තියනවා. කායික වශයෙන් මානසික වශයෙන්. ඒ හිටපු තැනම මම ඉන්නවා කියලා මට හිතෙනවා.ඒ නිසා ආපහු රඟපෑමට ආවොත් මට එහෙම කරදරයක් වෙයි කියලා මට හිතෙන්නෙ නෑ. ඒ අනුව මම කල්පනා කරනවා මොකක් හෝ හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණොත් හොඳයි නේද කියලා හිතෙනවා.
ඔබේ නිර්මාණ ජිවිතේ දිහා ආපස්සට හිතලා බැලුවොත් ඔබට මිදෙන්න බැරි සුවිශේෂි චරිත මොනවද?
මට සිනමාවේත් වේදිකාවෙත් තිබුණේ හොයමින් යන ගමනක්. කොච්චර රඟපෑවත් ඒකෙන් සෑහීමකට පත්වෙන්නේ නැති ගතියක් තිබුණා. ඒ සෑහීමකට පත්වෙන්නේ නැති ගතිය තාමත් තියෙනවා. මගේ පරණ චිත්‍රපටයක් දැක්කත්, වෙන කෙනකුගේ රඟපෑමත් දැක්කත් එහෙම ගැප් එකක් තියනවා කියලා හිතෙනවා.
ඔබේ සිනමා ජිවිතයේ ඔබ රඟපෑ, ඔබ ආස කරන චරිත විදියට ගත්තොත් ඒ අතර තියෙන්නේ මොනවද?
චරිත විදියට ගත්තොත් මම තාමත් ‘උතුමාණෙනි’ චිත්‍රපටයේ මගේ රංගනයට කැමැතියි. ඒ තරම් අත්දැකීමක් නැති කාලෙක මම කරපු නැවුම් රඟපැමක් එක්ක. ඒක ආපහු අල්ලගන්න අමාරුයි. ඒ වගේම සුරබිදෙන චිත්‍රපටයේ කරපු රඟපෑම. අනිත් පැත්තෙන් ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේ කරපු රඟපෑම. මේ ඊයේ පෙරේදා දවසක මම සුද්දිලාගේ කතාව චිත්‍රපටය නැරඹුවා. මට හිතුණා ෂා මම හරි ෂෝක්නේ කියලා. මම හොයනවා මගෙන් මොනවද අඩුපාඩු වුණේ කියලා. මට මාව දැකීමත් සතුටක්. ඒක ඉතින් මම මැරෙනකම්ම තියෙයි. ඒවගේම දොළොස්මහේ පහන චිත්‍රපටය, දඩයම, පූජා වගේ චිත්‍රපට තව තියනවා. පූජා වගේ චිත්‍රපටයක් ගැන හිතනකොට මට හිතෙනවා ඒ චරිතයට මම තව සුදානම් වුණා නම් කියලා. මොකද ඒ කාලයේ මම එකම කාලයේ චිත්‍රපට 4 රඟපානවා. එතකොට ඉතින් කොන්ටිනියුටි එක පිළිබඳ එහෙම වැඩියෙන් හිතන්න ඕන. දැන් මට හිතෙනවා පුජා සඳහා මට තව ටිකක් සුදානම් වෙන්න තිබුණා කියලා. දැන් අපි හොලිවුඩ් චිත්‍රපට බලනකොට හිතෙනවා මේ නළුවන්ගේ රඟපෑම කොයිතරම් අපූරුද කියලා. නමුත් ඒ නළුවන් සමහර වෙලාවට අවුරුද්දටම කරලා තියෙන්නේ එක චිත්‍රපටයයි. ඒ නිසා ඒ අයට මුළු කාලයම ඒ වෙනුවෙන් වැය කරන්න පුළුවන්. අපි වගේ ආර්ථිකයක, අපේ වගේ රටක, අපේ වගේ පුංචි කර්මාන්තයක නළුවෙකුට එන චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නෑ. ඒක නිසා ඒ තුළ මඟ හැරෙන දේවල් තියෙනවා. කර්මාන්තයක් හැටියට හොඳ සිනමාවක් බිහිවුණොත් මේවයින් ටිකක් ගැලවෙන්න පුළුවන්.
සුරබිදෙන වගේ චිත්‍රපටයක් කරත්දි ඔබේ සූදානම කොයි වගේද?
මාපිටිගම සහ මම හුඟාක් කිට්ටු මිත්‍රයෝ. මේ චිත්‍රපටයේ මුල් වස්තු බීජය ආපු ගමන්ම ඔහු කතා කළේ මාත් එක්ක. අපි නොයෙකුත් තැන්වල එය චිත්‍රපටය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවා. මේ චිත්‍රපටයට අපි බොහෝ කල් ඇතුව ලෑස්ති වුණා. ඊබට් විජේසිංහ තමයි මේක් අප් කළේ. ඔහු නළුවකුගේ චරිතයක් වෙනුවෙන් බොහෝ වෙහෙසෙන මේක් අප් ආටිස්ට් කෙනෙක්. ඒ කාලේ ඇතුළත මම වෙන කිසිම දෙයකට සම්බන්ධ වුණේ නෑ. ඒවෙනුවෙන්ම කැප වෙලා හිටියා. ඒ රඟපැම පිළිබඳ ආශ්වාදයක් අදටත් මට තියෙනවා. ඒ කැප කිරීම් චිත්‍රපටය තුළිනුත් පිළිබිඹු වුණා.
ඔබේ රංගන ජීවිතයේ ඔබට පුර්වාදර්ශ වුණු ඔබ රංගනයේදි අධ්‍යයන කළ නළුවන් සිටිනවාද?
ඔව්. ලංකාවේ ඒ කාලයේ අපට තිබුණේනෑනේ රංගන පාසල්. මට තිබුණු එකම අභ්‍යාසය තමයි මම වේදිකාවේ කල රංගනය. වේදිකාවෙන් මට ලොකු පුහුණුවක් ලැබුණා. ඒවායින් සිනමා රංගනයටත් යම් යම් දේවල් ගන්න පුළුවන් වුණා. ඊට අමතරව සිනමා රංගනය පිළිබඳ අපට ගැටලුවක් තිබුණා. ඒ සඳහා අපි කරපු එකම දේ තමයි චිත්‍රපට නැරඹීම. විශේෂයෙන්ම මම බැලුවේ ඉංග්‍රිසි චිත්‍රපට තමයි. හින්දි සිනමාව නම් මම එච්චර ඇසුරු කරලා නෑ. නමුත් මම දිලිප් කුමාර්ට සෑහෙන කැමැත්තක් තිබුණා. ලංකාවේ ඉතින් අපට හිටියේ ගාමිණි ෆොන්සේකා ජෝ අබේවික්‍රම වැනි අය තමයි. ඔවුන්ගේ රංගනයන්, ඔවුන් කතා කරපු දේවල් තමයි අපට ප්‍රයෝජනනවත් වුණේ. ඔවුන්ගේ චිත්‍රපට අපි වැඩි වැඩියෙන් නැරඹුවා. මගේ රංගනයට මේවා තමයි පුර්වාදර්ශ වුණේ. පසුකාලීනව ටිකෙන් ටික හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට බැලුවා. ඒවායින් අපට යම් යම් දේ ලබා ගන්න පුළුවන් වුණා.
ඔබ වේදිකාවෙන් උපන් නළුවෙක් වුණාට ඔබ සිනමා නළුවෙක් හැටියට තමයි ප්‍රසිද්ධවුණේ, ඔබේ කැමැත්ත මොකක්ද?
මම සිනමා නළුවෙක් කියලා කියනවට මම වඩා කැමැතියි. මම වේදිකාවෙන් තමයි ආවේ. ඒ වුණාට මම සිනමා නළුවෙකු හැටියට මාව හඳුන්වා දෙනවට මම කැමැතියි.
වර්තමානයේ ලාංකේය සිනමාව ගැන ඔබට අදහසක් තියෙනවද?
වර්තමානයේ සිංහල චිත්‍රපට නම් අඩුවෙන් තමයි බලන්න ලැබෙන්නේ. ටෙලි නාට්‍ය නම් ටිකක් නරඹනවා. චිත්‍රපට කර්මාන්තය නැති තත්වයට පත්වුණා නේද කියන හැඟිමකුත් තියනවා. සිනමාව කර්මාන්තයක් හැටියට තියාගන්න සිනමාවට සම්බන්ධ හැම දෙනෙකුගේම වගකිම. ඒක එක්තරා සංවිධානාත්මක ජාලයකින් තමයි සිද්ධ වෙන්නේ. ඒක අපේ රටේ තාම පෙනෙන්නනෑ. ඒක කරන්න බැරි දේකුත් නොමෙයි. මම විශ්වාස කරනවා ඒක ඉදිරියේදිවත් සිද්ධ වෙයි කියලා. අද අපේ පරපුරේ බොහෝ දෙනෙක් සිනමාවේ නෑ. සමහරුන් වයෝවෘද්ධයි. සමහරුන් ජිවතුන් අතර නෑ. ඉතින් අනාගත පරපුර තමයි මේ ගැන වැඩි වැඩියෙන් හිතන්න ඕන.
තාමත් ඔබට සිනමා රංගනයට ආරාධනා ලැබෙනවද?
ඔව් තාමත් ලැබෙනවා. තාමත් මට ආරාධනා ලැබෙන්නේ ප්‍රධාන චරිත වලට මගේ හිතේත තියනවා මම චිත්‍රපටයක් කළෙතේ හොඳයි කියලා. හුඟාක් දක්ෂ තරුණ අධ්‍යක්ෂවරු ලංකාවේ ඉන්නවා. කොහොමත් රංගනය පිළිබඳ ඇල්මක් මගේ හිතේ තියනවා. අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. නමුත් මගේ හිතේ තියෙනවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න නම්.
සිනමාවේ හිටපු කාලේ ඔබෙන් ප්‍රයෝජන ගත්තා කියල ඔබට හිතෙනවාද?
ඇත්තටම මම සිනමාවේ ඉඳලා තියෙන්නේ අවුරුදු 21යි. අවුරුදු 21ට මම චිත්‍රපට 104ක් කරලා තියෙනවා. ඒ ඔක්කොම බොහොම ජනප්‍රිය චිත්‍රපට ඒ චරිත තාමත් නමින් මතකයි. ආචාර්ය පීරිස් ගේ සිට ඒ කාලේ හිටපු අලුත්ම අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කරලා තියෙනවා. මගේ තිබුණු කැපවීම, උත්සාහය උනන්දුව මත තමයි මේ තරම් දුර ගමනක් මම ආවේ.
උපුටා ගැනීම සරසවිය