Biz Log
Classifields
Biz Log
Classifields

කොමඩි කරනවා කියන්නේ මාරම වැඩක්…

  • දිගටම ජෝක් එක්ක වෙයිද කියන එකයි බය…

  • මුලදි මුලදි කළේ පොඩි කෑලි…

  • තවම පෙම්වතියක් වෙලත් නෑ…

පසුගිය දිනවල කා අතරත් කතාබහ වෙන සුවිශේෂී චරිතයක් තමයි ‘අනා.’ ඇත්තටම කවුද මේ ‘අනා’ කියන්නේ. ඇය අපට හමුවන්නේ හර්ෂ උඩකන්දගේ ‘ලොක්කි’ ටෙලිනාට්‍ය තුළින්. විවිධ චරිත නිරූපණය කරමින් කලාවේ දිගු ගමනක් යෑමට සිහින දකින මොහොතක ‘අනා’ ලෙසින් ඔබට සමීප වුණු ඇය තමයි ඩිලුක්ෂි වීරපෙරුම. ‘ලොක්කී’ තුළ ‘අනා’ ජීවය දුන්න විදිය ගැන අපි මේ විදියට ඇය සමග කතා කළා…

ඩිලුක්ෂි මේ දවස්වල ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. කියමුකෝ බලන්න ඒ ගැන..?ඔව්. ‘ලොක්කි’ ටෙලිනාට්‍යයේ මම වෙනස්ම විදිහේ චරිතයක් තමයි රඟපෑවේ. මම හිතන්නේ ‘ලොක්කි’ ටෙලිනාට්‍යය බැලුවනම් ඒ වෙනස තදින්ම දැනෙයි. මම නිරූපණය කරන ‘ප්‍රවීනා’ චරිතයට විවිධ නම්වලින් මාව අමතනවා. ‘චූටි’ කියනවා එහෙමත් නැත්නම් ‘අනා’ කියනවා.

‘ප්‍රවීනා’ තුළින් ඉස්මතු වුණු දෙබසක් නේද ‘අනා’ කියන්නේ?ඔව්… මම ඉතින් ඉංග්‍රීසි වචන දාලා කතා කරන කෙනෙක්. ඒ චරිතය තුළ ‘ප්‍රවීනා’ට ලොකුවට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ කියන වචනවලින් වැඩිපුරම මගේ කටින් පිටවෙන්නේ ‘අනා’ කියන වචනය. දැන් ඉතින් හැමෝම මාව අඳුරන්නේ ‘අනා’ කිවුවොත් තමයි. මාක්ස් දාලා එළියට බැස්සත් මාව අඳුරගන්න පුළුවන් තත්ත්වයක් දැන් උදාවෙලා.

ඔබව ගොඩදෙනෙක් දැන හඳුනන්නේ දඟකාර චරිත තුළින්. නමුත් ‘ප්‍රවීනා’ චරිතය තුළින් ඔබේ රංගනය වෙනස් පැත්තකට යොමුවෙනවා?ඇත්තටම… එවැනි චරිතවලින් මිදෙන්න මට ලොකු වුවමනාවක් තිබුණා. හිතුවේ නැහැ මම මෙවැනි චරිතයක් රඟපායි කියලා. ඒ වගේම කොමඩි චරිතයක් නිරූපණය කිරීම මටත් ලොකු අභියෝගයක් වුණා. මට ආරාධනා කළාට පස්සේ මම මේ චරිතය කරන්න බැහැ කිවුවා ඒ තිබුණු අභියෝගයට ඒත් මට සියලුම දෙනාගෙන් ලැබුණු සහායත් එක්ක ‘ප්‍රවීනා’ට සාධාරණයක් කරන්න පුළුවන් වුණා. මොකද මිනිසුන් හිනස්සන්න හැමෝටම බැහැ.

ඉදිරියේදී ඔබව විකට රංගන ශිල්පිනියක් වෙයිද මේ යන විදියට..?මටත් ඒක තමයි තියෙන බය. හැබැයි. ඒ විදියට මම යන්න ගියොත් මට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම තවම පෙම්වතියගේ චරිතයක් රඟපාලා නැහැ. ගොඩාක් ආශාවෙන් ඉන්නවා එවැනි චරිතයක් නිරූපණය කිරීමට. මේනක රාජපක්‍ෂ අධ්‍යක්‍ෂණය කරන අලුත්ම ටෙලිනාට්‍යයේ මම ගැමි චරිතයක් නිරූපණය කරනවා. එයත් මට වෙනස්ම අත්දැකීමක්. මම හිතනවා මාව කොටුනොකර විවිධ චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලැබෙයි කියලා.

‘ඇවිද්ද පය දහස් වටී’ කියනවා වගේ ඔබ ආපු මේ ගමන සුන්දර ගමනක් නෙවෙයි නේද?මම ලොකු කට්ටක් කාලා තමයි මේ ගමන ආවේ. මම මුල් කාලයේ සුළු චරිත පවා රඟපෑවා. එහෙම කළේ මට රංගනය කියන දේ ඉගෙනගන්න ඕනෑ නිසා. කවදාහරි දවසක වේදිකාවේ මට සම්මානයක් ගන්න වාසනාව ලැබුණොත් මම බය නැතුව එදාට කියනවා මම මේ ආපු ගමන කොයි වගේද කියලා.

සමහර අවස්ථාවල ඩිලුක්ෂි’ව ප්‍රතික්‍ෂේප කරපු වාර අනන්තයි නේද?සම්මුඛ පරීක්‍ෂණවලට ගියාම මම කළුයි, එහෙමත් නැත්නම් මම කොටයි කියලා ඒ චරිතයට ගැළපෙන්නේ නැහැ කියලා ප්‍රතික්‍ෂේප වුණා. අපේ ටැලැන්ට් එක නෙවේ බැලුවේ. අභ්‍යන්තරය බලලා තමයි චරිතවලට තෝරාගන්න උත්සාහ කළේ. ඒ අවස්ථාවලදී මට ගොඩාක් දුක හිතුණා එහෙම කියද්දී.

සංවේදී කෙනෙක් කොහොමද මේ විදියට මිනිසුන් සතුටු කරන්නේ?මගේ සාමාන්‍ය ජීවිතය මෙයට වඩා ගොඩාක් වෙනස්. ගෙදර මගේ කාමරයට ගියාම තමයි මගේ සැබෑ ස්වරූපය ඉස්මතු වෙන්නේ. නමුත් එළියට ආවට එයට වඩා වෙනස් විදියට මම ජීවත් වෙන්නේ. මිනිසුන් විවිධ ප්‍රශ්නවල ඉන්නේ ඉතින් මම කොහොමද මගේ වේදනාවක් ඒ අයට කියලා තවත් අසරණ කරන්නේ.

‘ලොක්කි’ සමග බැඳුණු බැඳීම කොයි වගේද?අම්මෝ… මෙච්චර කාලෙකට මේ තරම් එකමුතුව, සතුටින් වැඩ කරපු කණ්ඩායමක් මට හමුවෙලාම නැහැ. කිසිම කෙනෙක් අපහසුතාවන්ට පත්කළේ නැහැ ‘ලොක්කි’ කණ්ඩායම. අපි හරිම සතුටින්, එකා වගේ වැඩ කළා. ‘ලොක්කි’ සාර්ථක නිර්මාණයක් වීමට විශේෂ හේතුව මෙයයි. හර්ෂ උඩකන්ද ඇතුළු සියලුමදෙනාට ස්තුති පුද කරනවා. මාව මේ නිර්මාණයට තෝරාගත්ත එකට. මොකද මාව ගොඩාක් ප්‍රේක්‍ෂකයන් අතරට යන්න ලැබුණේ ‘ලොක්කි’ ටෙලිනාට්‍යය හරහායි. මගේ වාසනාවකට මේ නාට්‍යයට මාව තෝරාගත්තේ.

වසන්ත විතාරණගේඋපුටා ගැනීම මව්රට

Share This Article