ගුණ සුවඳින් පිරුණු හයසින්ත් විජේරත්න මාතාව
හයසින්ත් විජේරත්න දයාබර රංගන ශිල්පිනිය අප අතරින් වෙන්වී තෙමසක් ගතවන මොහොතේ ඇගේ ගුණ සුවඳ මෙනෙහි කරමින් කෘතවේදී සටහනක් තැබීම අපගේ යුතුකමයි.
දස වසරක් සපිරෙන වකුගඩු සංගමයේ ප‍්‍රකාශනයක් වන වකුගඩුව පුවත්පතෙහි ඇය ජීවමානාව සිටිද්දී ඇගේ ගුණ යහපත්කම් ගැන ලිපි පළ කර ඇත. අද විශේෂ පිටුවකින් ඇයට උත්තමාචාරය පිරිනමමු. අප මෙසේ ඇයගේ ගුණ ගයන්නේ මන්ද? මෙතුමිය අප සංගමයට සම්බන්ධ වන්නේ මාගේ ආරාධනයෙනි. එපමණක් නොව පුළුල් තිරයේත්, පුංචි තිරයේත් වැඩි වාර ගණනක් බිරිඳ ලෙසින් හයසින්ත් නැගණිය මා සමඟින් චරිත නිරූපණය කළාය. අප අතර පැවැති සහෝදරත්වය අති උතුම් එකක් විය. එමෙන්ම ඇය මාගේ බිරිඳ ශි‍්‍රයාගේ කලණ මිතුරියක් ද වූවාය.
තමා සමග සිටින අය සමග ඉතා සුහදශීලීව හා ලෙන්ගතුව පිළිසඳරේ යෙදුන මේ යහපත් කාන්තාව අන්‍යයන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන තම යුතුකම් ඉටු කිරීමට හයසින්ත් මහත්මිය දෙවරක් හිතුවේ නැත. ‘මා පමණක් සිනාසිසී සිටියාට වැඩක් නැත. අනිත් අයත් සතුටින් කල් ගත කළ යුතුය’ යන පරාර්ථකාමී උතුම් ගුණාංගය ඇය මත දිදුළන ස්වර්ණාභරණයක් බඳුය. ඒ නිසාම මෙතුමිය මානව හිතවාදී කලා ශිල්පිනියක් ලෙසින් හැඳින්වීමට මා පැකිලෙන්නේ නැත. මෙතුමිය අද අප අතර නොමැති නිසා ඇයගේ හිඩැස අපට වැඩියෙන් දැනෙයි. ඒ හිඩැස පිරවීමට වත්මන් සමාජයෙන් වෙනත් අයෙක් සොයා ගැනීමට උත්සුක වීම කළුනික සොයන්නා සේ දුෂ්කර වැනි යැයි මම සිතමි.
ඇය හැම විටම හොඳ දේ ගැන සිතුවාය. හොඳ දේ ගැන පමණක් කතා කළාය. හොඳ දේ කිරීමට ප‍්‍රමුඛත්වය දුන්නාය. වකුගඩු සංගමයේ අසරණ රෝගීන්ගේ යහපත වෙනුවෙන් ඇය තම ධනය පරිත්‍යාග කළේ ඉමහත් සතුටිනි. සංගමයේ අරමුදල් තර කිරීමට අන් කලා ශිල්පීන් හා ශිල්පිනියන් සමග ‘වකුගඩුව’ පුවත්පත අලෙවි කිරීමට පෙරමුණ ගත්තේ අභිරුචියකිනි. ප‍්‍රතිපත්ති ගරුක කිතුණු බැතිමතිනියක් වූ හයසින්ත් විජේරත්න මහත්මිය අප සමග බෞද්ධ ආගමික කටයුතුවලටද පැකිලීමකින් තොරව සතුටින් අත්වැල් බැඳ ගත්තාය. ජීවිතය යනු උපත හා විපත අතර කාල පරාසයකි. එම කාලය අර්ථවත්ව ගත කළ යුතුය යන අදහස ඇය තුළ තැන්පත්ව තිබුණු විශේෂ ලක්‍ෂණයකි.
ඇය ‘පුංචි තිරයේ ආදරණිය අම්මා’ යන විරුදාවලියලත් මෙතුමිය සාමාන්‍ය සමාජයේත් දයාබර මාතාව යන නම දිනා ගැනීමට සමත් විය. ඇගේ ගුණ සුවඳින් අප හදවත් පිරී ඇත්තේ ඒ නිසාය. ඇය නිරන්තරව නිර්ව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන සිටීම සාමාන්‍ය ලක්‍ෂණයක් විය. හදවතේ පිරී තිබුණේ කරුණාව හා දයාවයි. දෑතේ වූයේ දන්දීමේ ගුණයයි. ඊර්ෂ්‍යාව, කපටිකම, අන්‍යයන්ට චෝදනා කිරීම්, පළිගැනීම්, රිදවීම් හා අපහාස කිරීම් ඇය සතුව පැවතියේ නැත. එමෙන්ම ඇය කාන්තිමත් කාන්තාවක් හා ජනපි‍්‍රය කලා ශිල්පිනියක් ලෙසින් හඳුන්වමි. මනුස්සකම නමැති කිරුළින් ඇයගේ හිස සැරසී තිබුණි. ‘වකුගඩුවක’ පුවත්පතක් ලබා ගැනීමටත්, ඇය සමග ඡුායාරූපයක් ලබා ගැනීමට රසික රසිකාවියන් කැලණී විහාර පරිශ‍්‍රයේදී රොද බැඳගත් අයුරු දැනුදු අපට මැවී පෙනෙන්නේය. ආදරය හා ගෞරවය යන කරුණු දෙකෙන්ම රසික රසිකාවියන් ශිල්පිනියක වැළඳගැනීම දුර්ලභය. එසේ වන්නට තමා ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ හදවත් හඳුනාගත යුතුය. හැම මලක්ම ලස්සනයි. හැබැයි හැම මලක්ම සුවඳ නැත. එසේම මනුස්සකම නමැති ගුණ සුවඳ හැම කෙනකුගෙන්ම ලැබෙන්නේ නැත. මිනිසාගේ වටිනාකම ඇත්තේ ධන බලයේ නිල බලයේ හෝ රූපයේ හෝ නොව අවංක කරුණාවන්තකම තුළ බව සනාථ කළ චරිතයක් ලෙසිනි. හයසින්ත් විජේරත්න මානව හිතවාදිනිය හැඳින්වීමට කැමැත්තෙමි.
මිනිස් මනස, ක්ලේශයන් තැන්පත් කරන ගබඩාවක් නොවේ. එය ආදරය කරුණාව, පරිත්‍යාගය සතුට යන සුන්දර මතකයන් ගබඩා කර තබන ස්වර්ණමය මංජුසාවකි. හයසින්ත් ශිල්පිනිය සතුටින් ජීවත් වූ නිසා ඇගේ අනුග‍්‍රහය ලත් වකුගඩු රෝගීන්ද සතුටට පත්වූහ.
බහ තේරෙන කාලයේම හයසින්ත් විජේරත්න නම් වූ අප ආදරණීය ශිල්පිනිය තමා සතු කරගත් සියලූ සම්පත් මරණය සමග ඇයට අහිමි විය. එහෙත් ඇය අන්‍යයන් වෙනුවෙන් කරන ලද පරිත්‍යාග හා කැපවීම් ඇගේ නාමයත් සමග රැඳී තිබේ. නිසි කල ගතවී නටුවෙන් වැටීමට තිබුණ ලස්සන සුවඳ හැමූ මලක් හිරුගේ කර්කෂ රශ්මිය නිසා අකලට මිලින වූවා සේය. එහෙත් ඒ ගුණ සුවඳ අප දිවි තිබෙන තුරාවට මැකී යන්නේ නැත. මිනිසුන්ට කිරීමට ඇත්තේ එකම වැඩකි. ඒ මිනිසුන්ට සේවය කිරීමයි. එම අගනා සේවය කලා ශිල්පිනියක් ලෙසින් ඇය ඉටු කළාය. ඇගේ මේ උතුම් ගුණාංගයන් අන්‍යයන්ටද ආදර්ශයක් වේවායි යන්න මාගේ පැතුමයි. දයාබර හයසින්ත් විජේරත්න මාතාවනි! ඔබ ඇදහූ දහමට අනුව මොක්සුව ලැබේවායි යන්න විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ප‍්‍රධාන සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය වෙනුවෙන් මම ප‍්‍රාර්ථනා කරමි.
කලාසූරී/කලා කීර්ති සතිශ්චන්ද්‍ර එදිරිසිංහඋපුටා ගැනීම දිවයින