ගාන්ධිතුමන්ගේ භෂ්මාවශේෂ කැලණි ගඟේ පාවී ගියදා
මරණයට බිය වීම හරියට පරණ දිරාපත් වූ වස්‌ත්‍රයක් වීසිකර දැමීමට බය වෙනවා වගේය. යනු මහාත්මා ගාන්ධිතුමාගේ කියමන් අතර ශ්‍රේෂ්ඨ කියමනකි.
භාරතයේ පියාණන් වු මහා අහිංසාවාදී මහත්මා ගාන්ධිතුමා 1948 ජනවාරි 30 දා සාහසිකයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මේ අතිශය ෙ€දජනක සිද්ධියෙන් මහා භාරතය පමණක් නොව ශ්‍රී ලංකාවද ඉමහත් කම්පනයට පත්විය. ඒ ෙ€දජනක සිද්ධිය එදා අපේ ගුවන් විදුලිය මගින් නිවේදනය කිරීමෙන් පසු අපේ අසල්වැසි රටේ ජන නායකයෙකු වශයෙන්ද එතුමා අහිංසාවාදියෙකු වශයෙන්ද අපේ රටේ ජනතාව ද ඉමහත් කම්පාවට පත් වුහ. එදා අප රටේ ජාතීන් අතර කිසිදු ජාතික ප්‍රශ්නයක් පැන නැග්ගේ නැත. මෙහි ජීවත් වූයේ එකම සහෝදර ජනතාවක් වශයෙනි. ඒ වකවානුවේ අපේ රටේ තිබුණේ පුදුම අන්දමේ සමගිකමක්‌ය.
මහත්මා ගාන්ධිගේ භෂ්මාවශේෂ (කොටසක්) එවකට සිටි ඉන්දියානු මහ කොමසාරිස් වී. වී. ගිරි මහතා විසින් ලංකාවට ගෙනවිත් අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතා හට භාර දුණි. එතුමා එම භෂ්මාවශේෂ කොළඹ නගරාධිපති වෙත භාර දුණි. පසුව එය මහජන ගෞරවය සඳහා කොළඹ නගර සභාවේ තැන්පත් කර තැබීය.
වර්ෂ 1948 පෙබරවාරි මස 22 වැනිදා පෙරවරුවේ කොළඹ නගර සභාවේ සිට රථ පෙරහැරකින් මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ, දායක සභාවේ සභාපති වශයෙන් ඩී. සී. විඡේවර්ධන මහතා විසින් භාරගෙන කැලණි විහාරයේ ධර්ම ශාලාවේ ඉදි කළ විශේෂ මණ්‌ඩපයක් තුළ තැන්පත් කළේය. මෙහිදී විද්‍යාලංකාර පරිවේනාධිපතිව වැඩ විසූ පූජ්‍ය, කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර මහ නා හිමි ඇතුළු භික්‌ෂූන්වහන්සේලා පණස් නමකින් සමත්විත භික්‍ෂූ සංඝයා විසින් පාංශුකූලය පවත්වන ලදී.
අනතුරුව ක්‍රිස්‌තියානි, හින්දු සහ මුස්‌ලිම් පූජකවරුද ඔවුන්ගේ ආගමානුකූල චාරිත්‍ර පැවැත් වූහ.
ඉක්‌බිති අළු බඳුන රැගත් ඩී. ඇස්. සේනානායක මහතා ඇතුළු සම්භාවනීය පිරිස කැලණි විහාර තොටුපළ අසල ගංතෙර සිට ඔරුවකින් බුදුන් වහන්සේ ජලස්‌නානය කළේ යෑයි විශ්වාස කරන ස්‌ථානයේ ඉදිකළ පාරුවක් මත සිට ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ කැලණි ගඟේ ජලය මතට විසුරුවා හැරියේය.
මේ අවස්‌ථාවට සහභාගි වීමට සහ දැක බලා ගැනීමට ලංකාවේ නන් දෙසින් පැමිණි සිටි ජනකාය පනස්‌දහසකට අධික විය. මේ අතරින් විශාල පිරිසක් ද්‍රවිඩ ජනතාව වූහ.
ඩී. ඇස්. සේනානායක මහතා විසින් එම අළු දිය කර හරින මොහොතේ කිසි දිනක සිදු නොවූ අන්දමේ සිදුවීම් කිහිපයක්‌ම දැක ගන්නට ලැබුණි. හිසමත තෙල් බඳුන්තබාගෙන සිටි ද්‍රවිඩ පොල්තෙල් වෙළෙන්දන් ද හිස මත කඩල බඳුන් තබාගෙන සිටි ද්‍රවිඩ කඩල වෙළෙන්දන්ද, හිස මත රෙදි පොට්‌ටනි තබාගෙන සිටි ද්‍රවිඩ රෙදි වෙළෙන්දන්ද ආදී වශයෙන් වු නොයෙක් භාණ්‌ඩ ගං ඉවුරේ තබා කැලණි ගඟට පැන්නාහ. මේ අන්දමට කැලණි ගඟට පැන්න අයගේ සංඛ්‍යාව දහසකට අධිකය. මොවුන් මෙසේ ගඟට පැන පිහිනා ගොස් අළු උදුරා ගත්හ. උදුරාගත් අළු අනුභව කළෝය. තවත් සමහරු එතැන ගං දිය බීහ. තවත් සමහරු එතැන ජලය භාජනවලට ලබා ගත්හ. මේ ආදී වූ මහත් කෝළාහලයක් එතැන කෙරුණු රාජකාරියට විශාල බාධාවක් වූ අතර ඩී. ඇස්. සේනානායක මහතා ගඟට වැටීමට ගොස් බේරුණේ අනු නවයෙනි. ඩී. ඇස්. සේනානායක මහතාගේ වම් අත ඩී. සී. විඡේවර්ධන මහතා වැරෙන් අල්ලා ගැනීම නිසා එතුමා මෙසේ ගංදියට නොවැටී බේරුණේය.
ගාන්ධිතුමා කෙරෙහි තිබූ අපරිමිත භක්‌තිය නිසාම තම තමන්ගේ ජීවිත පවා පූජා කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් ගඟට පැන්න ද්‍රවිඩ ජනතාව සමහර දෙනකු පිහිනීමට නොහැකි අය වූහ. පිහිනීමට නොහැකි අය බොහෝ දෙනෙක් ගඟේ ගසාගෙන ගොස් මරුමුවට පත්වූහ. ගඟේ ගසාගෙන ගිය බොහෝ දෙනකුට, කවදත් පිහිනීමට දක්‌ෂ කැලණි ගඟ දෙගම්බඩ වැසි ජනතාව විසින් දිවි ගලවා දුන්හ. එදා ඒ අවස්‌ථාවේ කැලණි ගමේ වැසියන් ක්‍රියා කළ ආකාරය ගැන මහත් සේ පසසා අපේ පුවත් පත්වල වාර්තා ද පළවිය.
ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ කැලණි ගඟේද, සමනොළකන්ද පාමුල සීත ගඟුලේද, කතරගම මැණික් ගඟෙහි හා ත්‍රිකුණාමල මුහුද යන ස්‌ථානයන්හි එදින එකම වේලාවක දියකර හැරියේය.
උපුටා ගැනීම දිවයින