Biz Log
Classifields
Biz Log
Classifields

සෙලවෙන සිතුවම් පිටුපස ඉන්නේ බියකරු ආත්මයන්ද?

රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට කාලෙන් කාලයට අලුත් වෙමින් පෝෂණය වෙමින් අතුපතර විහිදුණු මේ කලාව අන් කලාවන් හා සමානවම සුවිශේ්ෂීත්වයක් උසුලන්නේ ඒ නිසයි. සන්නිවේදන මාධ්‍යයක් විධියට භාෂාව බිහිවී නොතිබුණු ප්‍රාග් ඓතිහාසික යුගයේ තම අදහස් ප්‍රකාශ කිරීමට යොදාගත් ප්‍රාථමික සන්නිවේදන මෙවලමක් ලෙස අෑත අතීතයේදී සිතුවම් කලාව යොදාගෙන තිබෙනවා. ප්‍රංශයේ ලැස්කෝ, ස්පාඤ්ඤයේ අල්ටමීරා පමණක් නොවේ අපේ ආදි මුතුන්මිත්තන් වාසය කළා යැයි සැලකෙන තන්තිරිමලේ, බිල්ලෑව, ‍ෙදාරවල් කලෙන ආදී ප්‍රදේශවල ගුහා සිතුවම් අපට ඒ සඳහා හොඳම නිදසුන් ලෙස පෙන්වා දිය හැකියි.

නිශ්චිත උපකරණ හා මෙවලම් භාවිතයකින් තොරව සත්ත්ව රුධිරය, මැටි පස වැනි පාංශු ද්‍රව්‍ය, ගස්වල කොළ, පොතු වැනි ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන නිමැවුණු ඒ චිත්‍ර කලාව අද වෙද්දි රසායනික ද්‍රව්‍ය ආශ්‍රය කරගනිමින් වර්ණ ගැන්වීම දක්වා විකාශනය වෙලා තිබුණත් එහි කලාත්මක බවට නම් ඉන් කිසිදු හානියක් වෙලා නැති හැඩයි. දියුණු ශිෂ්ටාචාර යුගවල, මධ්‍යකාලීන යුරෝපයේ මෙන්ම නූතනයේ බිහිවන කලා කෘතිවල පවා ඇත්තේ එකිනෙකට සම කළ නොහැකි කලාත්මක වටිනාකමක්. ගුහාවලින් පටන් ගත්ත මේ කලාව අද වනවිට ඩිජිටල්කරණය දක්වාම වර්ධනය වීම හරහා සෑම ක්ෂේත්‍රයක්ම තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන තිබෙනවා. ඉතින් සිතුවම් කලාවත් අන් කලාවන් හා සමානවම ජන ජීවිතය සමඟ ගලායන රසාස්වාදජනක කලාංගයක් කිව්වොත් මං නිවැරැදියි.

විවිධ සම්ප්‍රදායන්, කලා ශිල්පීන් තුළින් ලොවපුරා නිර්මාණය වුණ සිතුවම් අතර ලෝක ප්‍රකට වුණ, අති විශාල ගණන්වලට අලෙවි වුණ වගේම අතිශය කතාබහට ලක්වුණ සිතුවම්ද බොහෝමයක් තිබෙනවා. ඒවා අතර ප්‍රධානම තැනක් ගන්න ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් තමයි මොනාලිසා චිත්‍රය. 16 වැනි සියවසේදී ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය වුණු මේ සිතුවම ඒ පිළිබඳ වූ කුතුහලයත් සමඟම වඩාත් ආන්දෝලනාත්මකව ලෝකයේ ලොකු කතාබහකට ලක් වුණ චිත්‍රයක් වුණා. සමහරු කියන විදියට නම් ඩාවින්චි මේ සිතුවම ඒ තරම් කැමැත්තකින් ඇඳපු චිත්‍රයක් නෙවෙයි. ඔහුගේ ජීවිතේ සැ¼දෑ සමයෙන් වසර 16ක කාලයක් වැය කරලා තමයි මේ සිතුවම නිමා කරලා තියෙන්නේ. හැබැයි තවත් සමහරු කියන්නේ ඔහු මේ සිතුවම නිම කරලා නැහැ කියලයි. ඒ අදහසට හේතුවෙලා තිබෙන්නේ මේ චිත්‍රයේ ඇහිබැම, ඇහි පිහාටු මනා නිමාවක් සහිතව සිතුවම් කර නොතිබීමයි. තවත් සමහරු කියන්නේ මේකෙ ඉන්නේ කාන්තාවක් නෙවෙයි කියලයි. මේ වගේ විවිධ මතිමතාන්තර රාශියකට හේතු වුණ චිත්‍රයක් තමයි මොනාලිසා. මේ චිත්‍රය ප්‍රකට වෙලා තිබෙන්නේ ඒකෙ සැඟවුණු සංකේත, හිනාව වගේ කරුණු නිසා බව මේ ගැන අධ්‍යයන කරනවිට වැඩිදුරටත් අනාවරණය වුණා.

අපේ රටේ සිතුවම් කලාව තුළ හමුවන සීගිරි චිත්‍රත් බොහෝම ප්‍රසිද්ධයි. කලක් සීගිරිය ලෝක පුදුම හත අතර රඳවන්න පවා එම සිතුවම්වල සුන්දරත්වය සුළු වශයෙන් හෝ හේතුවෙන්නට ඇති. කාශ්‍යප යුගයේදී ගල් තලාවක ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරපු මේ චිත්‍ර අද දක්වාම පවතින්න කලාකරුවා යොදාගත්ත සුවිශේෂී ක්‍රමවේදය නිසා බව මේ ගැන ඉදිරිපත් වෙලා තිබෙන විද්වත් මතයන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ‘ෆ්‍රෙස්කෝ බුවානෝ’ ක්‍රමවේදය මෙහි මූලික පදනම වී තිබෙනවා.

මෝනාලිසා සිතුවමෙහි නිරූපණය වන දර්ශන ගැන තිබෙන කුතුහලය මෙන්ම සීගිරි සිතුවම්වල නිරූපණය වන චරිත පිළිබඳවත් මිනිසුන් තුළ ඇත්තේ කුතුහලයක්. එදා ඉඳන් අද වෙනකන්ම සීගිරි සිතුවම් පාදක කරගනිමින් තවත් නිර්මාණයන් රැසක් බිහිවන්නේත්, ඒ වෙනුවෙන් උපරිම ජන ආකර්ෂණයක් හිමිවන්නේත් මේ කියන කුතුහලය නිසයි.

මෙන්න මේ විදිහට ලෝකයම මහත් කුතුහලයක ගිල්වූ තවත් අරුම පුදුම සිතුවම් කිහිපයක් ගැන ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

සිතුවමක් කියන්නේ මොන යම් හෝ තැනක ඇදපු නිශ්චල දර්ශනයක්නෙ. සිතුවමේ නිරූපණය වන්නේ පුද්ගලයකු, දරුවකු, ස්වාභාවික දර්ශනයක් වැනි කුමක් හෝ වේවා සාමාන්‍යයෙන් එම සිතුවමේ රූප රාමුවේ චලනයක් අපට බලාපොරොත්තු වෙන්න බැහැනෙ. ඇස්වල පිහිටීම, මුහුණෙ ඉරියව්, හැඟීම් වෙනස් වෙන්නත් බැහැනෙ. ඒවා නිශ්චලව නිශ්චිත දිශාවක් බලාගෙන තියෙන්න ඕනෑ. හැබැයි එමෙ නොවූහ. සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිය අසාමාන්‍ය චිත්‍රත් මේ ලෝකයේ තිබෙනවා. අද අප මේ කතා කරන්න හදන්නේත් කැමරාවල අහඹු ලෙස සටහන් නොවුණා නම් කිසිදා විශ්වාස කළ නොහැකි විදිහේ චලනය වන අබිරහස් සිතුවම් කිහිපයක් ගැනයි. ඇත්තටම චිත්‍රයක එහෙම චලනයක් වෙන්න පුළුවන්ද? හැබැයි එහෙම කැමරාවේ සටහන් වුණු සිතුවම් ගණනාවක් ලෝකයේ විවිධ තැන්වලින් වාර්තා වෙලා තිබෙනවා.

චාබෙල් පල්ලියේ සිතුවම

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ශාන්ත චාබෙල් (Charbel’s Church in Sydney) කියන පල්ලියේ තිබෙන චිත්‍රයක් ගැන තමයි අපි මුලින්ම කියන්න යන්නේ. කතෝලික බැතිමතුන්ගේ නොමඳ ආදරයට හා ගෞරවයට පාත්‍ර වුණ චරිත දෙකක්නෙ කන්‍යාමරියතුමිය සහ ජේසුස් වහන්සේ කියන්නේ. ඉතින් මේ පල්ලියෙන් අල්තාරය සමීපයේ එවැනි පූජනීය සිතුවමක් තැන්පත් කර තිබුණා. බැලූ බැල්මටම ඉතා සාමාන්‍ය පෙනුමක් තිබුණත් එහි විස්මය දනවන සුලු සුවිශේෂීත්වයක් සැඟවිලා තිබුණා. දිනපතාම මේ පල්ලියට වන්දනා කරන්න එන යුවළකගේ කැමරාවේ අහම්බෙන් පටිගත වුණු දර්ශන පෙළක් නිසා තමයි මේ සිද්ධිය කරළියට එන්නේ. සුපුරුදු විධිහට තමන්ගේ යාඥා කටයුතු ඉවර කරන ඔවුන් පල්ලියේ වටපිටාව වීඩියෝ කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අතර පල්ලියේ සිවිලිමට ආසන්නයේ එල්ලලා තිබුණු කන්‍යා මරියතුමිය ළදරු වියේ පසුවන ජේසුතුමාව අතින් දරාගෙන සිටින පින්තූරයකුත් ඔවුන්ගේ කැමරාවේ සටහන් වෙනවා. පසුව මේ දර්ශනපටය නරඹද්දී තමයි ඔවුන්ට මේ පුදුම සහගත සිදුවීම දකින්න ලැබෙන්නේ. ඔවුන් පුදුමයට පත් කරමින් එහි සටහන් වෙලා තිබෙන්නේ මේ පින්තූරයේ කන්‍යා මරියතුමියගේ දෙතොල් සෙලවෙන ආකාරය. ඒ විතරක් නෙවෙයි පියතුමා කරන යාඥාවලට සමාන විදියට කන්‍යා මරියතුමියගේ දෙතොල් සෙලවීම ඔවුන්ව තවත් පුදුමයට පත් කරනවා. කොහොම වුවත් මේක පටිගත කරගත්ත “ක්‍රිස්ටින් කයිරූස් (Kristen Keirouz) කියන තරුණිය එක්තරා දිනක මේ දර්ශන පෙළ එයාගේ ෆේස්බුක් ගිණුමේ පළකරලා තිබෙනවා. මේක බලපු 41,000ට වැඩි පිරිසක් මේ ගැන අදහස් දක්වලත් තිබුණා. ඒ වගේම ඒක හාස්කමක් විදියට පිළිගත්ත අයත් ඒ අතර ඉඳලා තිබෙනවා. වෙන්නේ මොකක්ද කියල අපිට ඇත්තටම පැහැදිලි කරගන්න බැරි වූවත් මේ ගැන අන්තර්ජාලයේ දර්ශන නිරීක්ෂණය කළ විට පින්තූරයේ තියන දෙතොල් නම් ඇත්තටම සෙලවෙනවා කියලා අපිටත් බලාගන්න පුළුවන්. ඇත්තටම කොහොමද එහෙම වුණේ? ඒක තවම නොවිසඳුණු ප්‍රශ්නයක්.

වේදනාවෙන් ඉන්න මිනිසා

ඊළඟට අපි කතා කරන්න යන්නේ වේදනාවෙන් ඉන්න මිනිසා (The Anguished Man) කියලා නම් කරපු චිත්‍රයක් ගැන මේ චිත්‍රය වගේම ඒ ආශි්‍රත පසුබිම් කතාව නිසාම කොහොමත් මේක ලෝකය පුරා ප්‍රසිද්ධ චිත්‍රයක් වෙලයි තිබුණේ. තමනගේ ආච්චි අම්මාගෙන් උරුම වුණ මේ චිත්‍රය අද වෙද්දී අයිති වෙලා තියෙන්නේ “ෂෝන් රොබින්සන්” (Sean Robinson) කියන පුද්ගලයට. ඔහු කියන විදිහට ෂෝන්ගේ ආච්චි අම්මත් තමන්ගේ ගෙදර අට්ටාලේ මේ චිත්‍රය අවුරුදු 25ක් පුරාවට තියාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රය ගොඩක් නපුරු එකක් කියලත් ෂෝන්ගේ ආච්චි අම්මා ෂෝන්ට කිහිප වතාවක්ම කියලා තිබෙනවා.

වාර්තා වෙන විධිහට මේ චිත්‍රය ඇඳපු පුද්ගලයා චිත්‍රය නිර්මාණය කරන්න වැඩිපුරම පාවිච්චි කරල තියෙන්නේ තමන්ගේම රුධිරය. ඒ නිසාම මේ සිතුවම සම්පූර්ණ කරනවත් එක්කම ඒ පුද්ගලයත් මියගිහින් තිබෙනවා. තවත් මතයක් තමයි ඔහු සියදිවි නසා ගත්තා කියන එක. සීමිත අමුද්‍රව්‍ය පමණක් තිබුණ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පස්සේ මෙතරම් අමුද්‍රව්‍ය තිබෙන යුගයකදීත් මිනිස් රුධිරයෙන් සිතුවමක් නිමවීම ඇත්තට පුදුම හිතෙන දෙයක් තමයි. කොහොම වුණත් මෙහි නිරූපණය කරල තිබෙන්නේ බොහොම වේදනාවෙන් කෑගසන ඉරියව්වක්. චිත්‍රයෙන් දර්ශනය වෙන්නේ හිස මුඩු කළ පිරිමි පුද්ගලයෙක්ගේ උඩුකය කොටසක්.

ෂෝන්ගේ ආච්චි අම්මාගෙ මරණයෙන් පස්සේ ඔහුට මේ චිත්‍රය ලැබෙනවා. චිත්‍රය නිවෙසට අරගෙන ගිහින් බිම් මහලේ තැබීමත් සමඟ ෂෝන්ටත් එයාගේ පවුලේ අයටත් අර අඳුරු ඡායාවක් වගේ පුද්ගලයාව පේන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි රාත්‍රි කාලයට අමුතු සද්ද වගේම පුද්ගලයකු වේදනාවෙන් කෑගහන ශබ්දයත් ඇහෙන්න පටන් අරන් තිබුණා. මෙහෙම කතාවක් ෂෝන්ට එයාගේ ආච්චිත් කියලා තිබුණ නිසාම ඒකෙ ඇත්ත නැත්ත දැනගන්න හිතාගෙන ෂෝන් මේ චිත්‍රය කොයි පැත්තටවත් පෙරළෙන්නෙ නැති විධියට බිත්තියකට හේත්තු කරලා කාමරයක් ඇතුළෙ තබා කැමරාවකුත් සවි කරනවා. දවස් පහක් ඔහු මේ කැමරාව නිරීක්ෂණය කරනවා. ඒකෙන් දවස් හතරක්ම කිසිම සිදුවීමක් වුණේ නැතත් පස්වැනි දවසේ කිසිම හේතුවක් නැතිව මේ චිත්‍රය බිමට පෙරළෙනවා සටහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ චිත්‍රය පෙරළෙනවත් එක්කම බිත්තියේ සුදුපාට ඡායාවක් ඇති වෙලා නැතිවෙලා යනවත් පටිගත වෙලා තියෙනවා.

විවිධ අවස්ථා ගණනාවකදීම මේ ගැන සොයා බලන ෂෝන් 2011දී ‘හොල්මන් පින්තාරු කිරීම්’ ද ඇන්ගුෂ්ඩ් මෑන්’ කියලා යූ ටියුබ් වීඩියෝවකුත් අන්තර්ජාලයට මුදා හරිනවා. පැය 8ට ආසන්න කාලයක් නිදන කාමරයක පටිගත කරලා තිබෙන මේ වීඩියෝව චිත්‍රය කාමරයේ තිබිද්දී ‍ෙදාර තනිවම වැසෙන දර්ශන, විශාල පිපිරුම් හඬවල් වගේම සීරීම් හඬවල් විකෘති ශබ්දවලින් සමන්විතයි.

මේ සිදුවීමේ සත්‍යතාව ගැනත් විවිධ පිරිස් ප්‍රශ්න කළා. 2012 ඩිස්කවරි නාළිකාවේදීත් මේ ඇන්ගුෂ්ඩ් මෑන් ගැන අවධානය යොමු වෙලා තිබුණා. එහිදී සෙන්ට් ක්ලෙයාර් කියන අද්භූත විමර්ශකයා ෂෝන්ගේ වීඩියෝව ප්‍රෝඩාවක් කියලා සඳහන් කළත් ෂෝන් එකහෙළාම ඒ මතය ප්‍රතික්ෂේප කරමින් කියන්නේ මේක ව්‍යාජ වීඩියෝවක් නෙවෙයි කියලයි. එතකොට මේ මොකක්ද? කොහොමද මේ චිත්‍රය මෙහෙම දේවල් කරන්නේ? ෂෝන් කරන්නෙ බොරුවක්ද?

Ars Moriendiගේ සිතුවම

18 වැනි සියවසේ එක්තරා ධනවත් පවුලක ‘ආර්ස්මෝරිඑන්ඩ් “(Ars Moriendi or Memento Moril) කියලා හඳුන්වන කුඩා ගෑනු ළමයෙක් ඉඳලා තිබෙනවා. ඇය පුංචි කාලෙදීම හදිසියේ මිය ගිය නිසා ඇයව මතක් වෙන්න කියලා ඇගේ ආලේඛ්‍ය චිත්‍රයක් ඇඳලා තියන්න ඇගේ නිවැසියන් කටයුතු කරලා තිබෙනවා. හැබැයි මේක බලන්න ගියපු අය නම් කියන්නේ ඒක දිහා එකදිගට ටික වේලාවක් බලන් ඉද්දි මේ ළමයා අඬන්න පටන් ගන්නවා. ඇස් හොලවනවා කියලා. මේ කතා  නිසාම ඒ ගැන ගවේෂණය කරන්න හිතපු එක්තරා යූ ටියුබ් නාළිකාවක් කරන කෙනෙක් මේ චිත්‍රය වීඩියෝ කරන්න තීරණය කරලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේ ඔහුගේ කැමරාවේ මේ චිත්‍රයේ ඇස් සෙලවෙනවා පටිගත වෙනවා. අන්න ඒ වීඩියෝ සාක්ෂිය නිසාම මේ චිත්‍රයත් ගොඩක් අබිරහස් සෙලවෙන චිත්‍රයක් කියලා කාටවත් තහවුරු වෙනවා. සමහරු නම් කියන්නේ මේ චිත්‍රයත් එක්ක ළමයගේ ආත්මය බැඳිලා ඇති කියලා. ඇත්තටම කොහොමද මෙහෙම වෙන්නේ කියන එක නම් මේ වෙනකොටත් කවුරුත් හොයාගෙන නැහැ. ඒක තාමත් රහසක්.

ගල්වර්ස්ගේ සිතුවම

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තිබෙන ගල්වර්ස් කියලා හඳුන්වන හෝටලයේ තවත් මේ වගේම චලනය වෙන චිත්‍රයක් ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඇමෙරිකානු විප්ලවය තිබුණ කාලෙ ඇමෙරිකානු සෙබළුන්ට උදවු කරපු ස්පාඤ්ඤ ජාතික සෙන්පතියෙක් වුණ ‘බර්නාඩෝ ඩී. ගල්වර්ස්’ කියන පුද්ගලයා තමයි මේ චිත්‍රයේ ඉන්නේ. ඔහු ඇමෙරිකාව පුරාම ගොඩක් ගෞරවයට පාත්‍ර වුණ කෙනෙක්. මේ හෝටලයට පැමිණි අමුත්තෝ වගේම සේවකයොත් කියන විධියට මේ චිතේ‍ර ඇස් මිනිස්සු එතැනින් යනකොට ඔවුන්ගේ පස්සෙන් ඒ ඒ දිශාවලට හැරිලා බලනවා.

ඒ වගේම ඔහු ජීවත් වෙලා ඉන්න කාලෙත් මේ චිත්‍රයේ ඡායාරූප අවසරයක් නැතිව ගන්නවාට කැමැති වෙලා නැහැ. අදටත් මේක අයිති අයගේ අවසර නැතිව මේකෙ ඡායාරූපයක් ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම බොඳවෙලා යනවා කියලා මිනිස්සු අත්දැකීමෙන්ම කියලා තිබෙනවා. හැබැයි ඉතින් හැමෝම මේ ගුප්ත විද්‍යාත්මක දේවල් පිළිබඳ එකවර විශ්වාස කරන්නෙ නැහැනේ. එලෙස විශ්වාස නොකරන එක්තරා පිරිසක් කතාව බොරුවක් කියලා පෙන්වන්න සිතාගෙන මෑත කාලයේ අධි තාක්ෂණික උපකරණ අරගෙන ඇවිත් කිසිම අවසරයක් නැතිව මේ චිත්‍රය රූපගත කරලා තිබෙනවා. හැබැයි පරීක්ෂා කරලා බලද්දී ඒ එකම ඡායාරූපයකවත් එහි පෙනෙන්නට තිබිලා නැහැ. අන්න ඒ නිසාම මේක බොරුවක් කියලා ඔප්පු කරන්න පැමිණි විද්‍යාඥයන්ටත් ආපසු හැරිලා යන්න සිද්ධවෙලා තිබෙනවා. අන්න ඒ නිසාම මේකත් චලනය වෙන වගේම තවත් අද්භූත දේවල් සිදුවන චිත්‍රයක් කියලා මිනිස්සුන් අතර ආන්දෝලනයට පත්වෙලා තිබෙනවා.

Love Letter

මෙවැනි සිතුවම් අතර තිබෙන තවත් චලනය වෙන චිත්‍රයක් තමයි. “Love Letter” කියලා හඳුන්වන සිතුවම. මේක දැන් තියෙන්නේ ඩ්‍රිස්කිල් කියන හෝටලයේ පස්වැනි මහලේ. රිචඩ් කිං කියලා පුද්ගලයෙක් විසින් තවත් චිත්‍රයක් බලාගෙන ඇඳපු මේ චිත්‍රයේදී ගැහැනු ළමයෙක් එක අතක මල් පොකුරක් තියාගෙන අනෙක් අතේ ලියුමක් තියාගෙන ඉන්නවා තමයි දර්ශනය වෙන්නේ.

සමන්තාගේ සිතුවම

1887 ඇමෙරිකාවේ සෙනෙට් සභිකයෙක් වුණ Temple Lea Houston කියන පුද්ගලයාගේ සිවු හැවිරිදි ‘සමන්තා හූස්ටන්’ කියන දැරිය හෝටලයේ සිටින විට පඩිපෙළකින් වැටිලා මියයනවා. මේ චිත්‍රය ඒ දැරිය සිහි වෙන්න ඇන්දා කියලයි කියන්නේ. තවත් පිරිසක් කියන්නේ මේ ඉන්නේ සමන්තා හූස්ටන් නොවෙයි කියලයි. ඔවුන් කියන්නේ මේක පැරණි ගාර්ලන්ඩ් සිතුවමේ නවීන අනුවාදයක් කියලයි. කොහොම වුණත් මේ චිත්‍රය නරඹන අය නම් කියන්නේ ටිකක් වෙලා බලන් සිටින විට මේ චිත්‍රයේ මුහුණේ ඉරියව් පවා වෙනස් වෙනවා කියලයි. සමහර අවස්ථාවල ඇයගේ මුව සම්පූර්ණ සිනහවක් දක්වා පුළුල් වන බවත් තවත් අවස්ථාවක මුහුණ විකෘති වෙන බවත් පවසනවා. මෙහෙම වෙන්නේ කොහොමද? සමහර විට ඒක නම් අපිට කවදාවත් හොයාගන්න බැරි වෙයි.

ලෝක ප්‍රසිද්ධ මොනාලිසා චිත්‍රයේ සැඟවුණ රහස් පවා තවමත් විද්‍යාඥයන් සොයාගනිමින් ඉන්න එකේ මේ වගේ අබිරහස් දේවල් වෙන පැරණි චිත්‍ර ලෝකයේ තැන් තැන්වල තවත් ඕනෑ තරම් තියෙන්න පුළුවන් නේද? ඒත් මේවා කොහොමද චලනය වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? තවමත් නොවිසඳුණු මේ අබිරහස් සදාකාලිකවම රහස් ලෙසින්ම වැළලී යාවිද?

උපුටා ගැනීම මව්බිම

Share This Article