පාසල් ශිෂ්‍යයා හැදූ හෙලිකොප්ටරය
නැගෙනහිර දෙසින් වූ සිරිපා අඩවියේ කඳු වළල්ලේ වැදී දෝංකාර දෙන හෙලිකොප්ටර් යානයේ හඬ විදුහල් බිම පසුකර අවට පුරා පැතිර යයි.
‘කුරුවිට ඉස්කෝලේ පිට්ටනියට හෙලිකොප්ටරයක් ඇවිත් වගේ... මේ පැත්තෙන් යනවා ඇහුණේ නෑ.... එහා පැත්තෙන් පාතින් ඇවිත් පිට්ටනියට බාන්න ඇති.....’
කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය අවට පදිංචි කොල්ලෝ කුරුට්ටටෝ වගේම වැඩිහිටියෝ ද කතා වෙති.
‘කොහෙන්වත් ආපු හෙලිකොප්ටරයක් නෙවෙයි... අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් හදපු එකක්. ඒක ඉස්කෝලේ පිට්ටනියේ ඉඳලා ස්ටාර්ට් කරලා තියන සද්දේ ඔය ඇහෙන්නේ.. ඒක හදපු අයියා ඒකේ වාඩිවෙලා ස්ටාර්ට් කරලා තියනකොට හදිසියේ ගොඩබාපු ඇත්ත හෙලිකොප්ටරයක්ම තමයි....’ ඉස්කොලේ දරුවෙක් මේ හඬ ගැන පැහැදිලි කරයි. ‘කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ දරුවෙක් හෙලිකොප්ටරයක් හදලාලු. ඒක උඩ යවන්න අවසර දෙන්නේ නැතුලු’ මේ තොරතුර මුලින්ම වැඩි දෙනෙක් දැනගත්තේ මුහුණු පොත හරහාය. වැඩිදුර තොරතුරු දැනගන්නට විදුහල්පති අතුල සිරිමෙවන් මහතා ඇමතුවෙමි.
‘ඔව් කතාව ඇත්ත. අපේ ඉස්කෝලේ දරුවෙක් හෙලිකොප්ටරයක ආකෘතියක් හදලා තියනවා. මේ දිනවල අපේ ඉස්කෝලේ තාක්‍ෂණ විද්‍යා ප්‍රදර්ශනය වෙනුවෙන් උසස්පෙළ 13 තාක්‍ෂණ අංශයේ ඒ.එල්. තරුෂික දිලංක පුතා ඒක හදලා තියෙන්නේ.’ විදුහල්පතිවරයාගේ පිළිතුර විය. කවුරුත් කතාවෙන හෙලිකොප්ටරය සොයාගෙන කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයට ගියෙමි. විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය දෙසට යද්දී ඈත තියාම දැක්කේ එහි ගොඩබා ඇති නියමුවාට පමණක් ගමන් කළ හැකි කුඩා හෙලිකොප්ටර් යානාවකි. කතරගම යද්දී වීරවිල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති හෙලිකොප්ටරය මට සිහිවිය. හෙලිකොප්ටරය පණගන්වා නොතිබුණ නිසා එහි වූ අවර පෙතිද නිසොල්මනේය. අත්දිග සුදු කමිසය ඇඳ රතු ටයි පටිය පැලඳ ශිෂ්‍ය නායක ලාංඡනය පැලඳගෙන සිනහ මුහුණින් යුතු තරුෂික දිලංක පුතා ආයුබෝවන් කියා අප පිළිගත්තේ හෙළ සිරිතට ගරු කරමිනි. විදුහල්පති අතුල සිරිමෙවන් මහතා ද අප සමඟ එහි ආවේය. දුඹුරු පැහැති කමිසයකින් සහ නිල් දිග කලිසමකින් සැරසුණු කෙසඟ සිරුරක් ඇති අවුරුදු හතළිහක් පමණ වයසැති කාර්මිකයෙක් හෙලිකොප්ටරයේ එංජිමේ යම් අලුත්වැඩියාවක් කරමින් සිට අප දෙස බලා මඳ සිහනවක් පෑවේය.
‘ඒ තරුෂික දිලංක පුතාගේ තාත්තා’ විදුහල්පතිතුමා අපිව දැනුම්වත් කළේය.
‘බැලූ බැල්මට ඇත්ත හෙලිකොප්ටරයක්’ යැයි මේ නිර්මාණය දකින ඕනෑම කෙනෙක් රැවටෙයි. ‘මේක උඩ නංවන්න පුළුවන්නද?’ මගේ හිතේ තිබූ සැකය දුරු කරගැනීමේ අටියෙන් එහි නිර්මාණ ශිල්පියා වූ තරුෂික පුතාගෙන් විමසුවෙමි.
‘උඩ නංවන්න බෑ... මේක හෙලිකොප්ටරයක ආකෘතියක්. හැබැයි පණ ගන්වන්න පුළුවන්. අවර පෙති, පිටුපස තියන පෙති කැරකෙනවා.’ තරුෂිකගේ පිළිතුර විය.
නියමුවාට පමණක් එහි ආසනයක් විය. ආසනයට ඉදිරියෙන් ගියර් ලිවරයකි. ඊට ඉදිරියෙන් වූ පුවරුවේ ස්විච් විශාල ප්‍රමාණයකි. ජීපීඑස් තාක්‍ෂණය ලබාගත හැකි ආකාරයේ උපකරණයක හැඩය ගත් යමක් ද විය. ආසනය කැරකවිය හැකි එකකි.
‘අපේ ඉස්කෝලේ තාක්‍ෂණ විද්‍යා අංශයේ උසස් පෙළ හදාරණ දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයට තමයි තරුෂික පුතා මේක හැදුවේ. එයාගේ තාත්තාත් හොඳ කාර්මික ශිල්පියෙක්. තරුෂික පුතා ශිෂ්‍ය නායකයෙක් වගේම බාලදක්‍ෂ සමූහයේ ක්‍රියාකාරී බාලදක්‍ෂයෙක්’ විදුහල්පති අතුල සිරිමෙවන් මහතා තරුෂික පුතාව හඳුන්වා දුන්නේය.
‘මේ ප්‍රදර්ශනයට හෙලිකොප්ටර් එකක ආකෘතියක් හදන අදහස මගේ හිතට ආවේ ටවුමේ පිට්ටනියේ බාලා තිබුණ හෙලිකොප්ටරයක් දැකලා. හෙලිකොප්ටරයක ආකෘතියක් හදන අදහස කියපු හැම කෙනාම කිව්වේ ඒක අමාරු දෙයක් කියලා. කාර්මිකයෙකු වූ මගේ තාත්තාත් කිව්වේ හැබෑ හෙලිකොප්ටරක් ළඟට දැකලා සහ එහි ක්‍රියාකාරීත්වය නොදන්නා නිසා ඒක අමාරු වැඩක්. නමුත් උත්සාහ කරමු කියලා, තාත්තා මාව දිරිමත් කළා.’ තරුෂික මේ හෙලිකොප්ටර් ආකෘතියේ උපත ගැන සිහිපත් කළේය. හෙලිකොප්ටරක ක්‍රියාකාරීත්වය ගැන අන්තර්ජාලය හරහා තොරතුරු රැස්කර ගැනීම තරුෂිකගේ මූලික කාර්යය විය. ඉන්පසු පියා වූ ඒ.එල්. ගාමිණී පුෂ්ප කුමාර (40) මහතා සමඟ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරුවලින් දැනුවත්ව මේ ආකෘතිය හැදීමට වැඩ ඇරඹුවේය. ‘අපිට මුලින්ම සැකිල්ලක් හදාගන්න ඕනෑ වුණා. ඒ සඳහා යඩක බට යොදාගත්තා. ඒවා වෑල්ඩිං කරලා සැකිල්ල හැදුවා. ඊට පස්සේ තාත්තාගේ වැඩපොළේ තිබුණ යතුරුපැදි එංජිමක් ඒකට සවිකළා. ඒක ජලයෙන් සිසිල්වෙන යතුරුපැදි එංජිමක්. ඒකේ රේඩියටර් එකට ටිකක් ලොකු රේඩියේටර් එකක් තිබ්බා. ඉන්ධන ටැංකියට වෙනත් ප්ලාස්ටික් ටැංකියක් තිබ්බා.’ තරුෂික දිලංක ශිෂ්‍යයා නිර්මාණයේ පටන්ගැන්ම විස්තර කළේය.
‘ආරම්භයේ දී ගැටලු ගොඩාක් ආවා. මම ඉස්කෝලේ බාලදක්‍ෂ සමූහයේ ඉන්න හින්දා ඉන් ඉගෙනගත් උත්සාහය අත්නොහැරිය යුතුය කියන කරුණ මගේ මේ නිර්මාණය අවසානයක් දකින්න හේතුවුණා. ඒවගේම තාත්තාත් මාව උනන්දු කළා. ඉවත දාන රේසර්, මෝටර් වගේ වෙනත් ප්ලාස්ටික් වගේ දේවල් යොදාගත්තේ. සැහැල්ලු තහඩු යොදලා අවර පෙති නිර්මාණය කළා. යකඩ ලීවර, යතුරුපැදිවල එංජිම්වලදී භාවිතයට ගත්තා. චේන් ආදිය භාවිත කරලා පණගැන්වූ විට අවර පෙති කැරකවෙන්න නිර්මාණය කළා. මුළු නිර්මාණයටම ගියේ දවස් එකොළහයි.’ තරුෂික දිලංක තවත් විස්තර කළේය.
‘මේ හෙලිකොප්ටර් ආකෘතියේ වැඩ අවසන් වෙනවිට වැඩ කුලී නොමැතිව දෙලක්‍ෂ පනස් දහසක පමණ මුදලක් ඊට වැය වී ඇති බව’ පැවසුවේ තරුෂිකගේ පියා වූ ගාමිණී පුෂ්පකුමාර මහතායි.
අපේ කතාබහෙන් පසු හෙලිකොප්ටර් යානය පණගැන්වීමට තරුෂික සූදානම් විය. තරුෂික නියමු ආසනයේ වාඩිවූ අතර පියා එක්පැත්තකින් එය අල්ලා ගත්තේය. තවත් සහායකයෙක් එහි වූ යතුරුපැදි එංජිම පණගැන්වීය. ඒ සමඟම අවර පෙති ද කැරකෙන්නට විය. එහි හඬ හැබෑ හෙලිකොප්ටරයක හඬට සමාන විය. විවේක වෙලාවේ පාසලේ තැන තැන සිටි ළමයි පිට්ටනියට දිව ආවේ හෙලිකොප්ටරය ඉහළ නංවන්නට හදනවා යැයි රැවටිලාය. එංජිමේ වේගය වැඩිවෙන විට හෙලිකොප්ටර් ආකෘතිය දෙදරයි. කෙනෙකුට සිතෙන්නේ අහසට නැංවීමට සූදානම් බවකි. එහෙත් තරුෂිකගේ පියා හිස පහත් කරගෙන නියමු කුටිය අසලින් ඇති යකඩ බාර් එකක් අල්ලාගෙන ඊට ආරක්‍ෂකයෙක්ව සිටී.
‘ගොඩාක් අය හිතනවා මේක උඩයන්න පුළුවන් එකක් කියලා. මේක හෙලිකොප්ටර් ආකෘතියක් විතරයි. මේකට හයිඩ්‍රොලික් තාක්‍ෂණයක් යොදලා නෑ. මේ ආකෘතිය හැදුවට පස්සේ අඩි කිහිපයක් හෝ ඉහළට ඔසවන්න පුළුවන් හෙලිකොප්ටර් ආකෘතියක් හැදීමට මගේ ආශාවක් ඇති වුණා. ඒක මීට වඩා ඉහළ තාක්‍ෂණයක්. විද්‍යාත්මකවත් වෙනස් ක්‍රමවේදයක්. මගේ ඊළඟ උත්සාහය ඒක.’ විද්‍යාලයේ තාක්‍ෂණ අංශයේ අංශ ප්‍රධානී ඊ.ඒ.ටී.සී.පී. එදිරිසිංහ, නියෝජ්‍ය අංශ ප්‍රධානී එච්.පී. දන්දෙණිය යන ගුරු භවතුන් ප්‍රධාන තාක්‍ෂණ අංශයේ සියලු ගුරුභවතුන් තරුෂිකගේ නිර්මාණය පමණක් නොව විද්‍යාලයේ තාක්‍ෂණ අංශයේ හැම දරුවෙකුගේම දැනුම වර්ධනයට උදව් කරති. කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ තරුෂික හය වැනි ශ්‍රේණියේ සිට ඉගෙනුම ලබන්නේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේය. තරුෂිකගේ මල්ලී පසඳ සත්සර පුෂ්පකුමාර (12) ද ඉගෙන ගන්නේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේම අට වැනි ශ්‍රේණියේය. මිනාලි නිවර්තනා (08) නංගී හිග්ගස්වත්ත ප්‍රාථමික විදුහලේ තුන් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මව ඩී. ඉනෝකා දිල්හානි වීරකෝන් (39) තරුෂිකගේ නව නිර්මාණවලට උදව් කරන්නීය.
මේ හෙලිකොප්ටර් ආකෘතිය තැනීමෙන් පසු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ගුවන් හමුදාවෙන් යැයි කියූ දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ තරුෂිකගේ සහ ඔහුගේ මව්පියන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ද ඇතුළු පවුලේ සියලු තොරතුරු රැගෙන යාමෙන් පසු යම් තැතිගැන්මකට පත්වූ බව තරුෂිකගේ පියා පැවසුවේය.
‘ඒ ආපු දෙන්නා ගුවන් හමුදාවෙන් කිව්වා මිසක් අපිට අනන්‍යතාව පෙන්නුවේ නෑ. හමුදාව ගැන තියන ගෞරවය නිසා අපි තොරතුරු දුන්නා. ඊට පස්සේ ඉමෝ තාක්‍ෂණය හරහා අපේ නෝනාගේ දුරකතනයට කතාකරලා හෙලිකොප්ටර් ආකෘතිය සම්බන්ධයෙන් තියන වීඩියෝ දර්ශන එවන්න කිව්වා. ඒකෙන් පස්සේ පුතාත් මමත් අපි හැමෝමත් තවත් බයවුණා. පුතා බාලදක්‍ෂයෙක් නිසා පාසලේ බාලදක්‍ෂ සමූහයේ ගුරුවරිය වූ වසන්ති හේමකුමාරි මිස්ට ඒ බව දැන්වූවා. පස්සේ කුරුවිට පොලිසියටත් පැමිණිලි කළා. බාලදක්‍ෂ ව්‍යාපාරයට සම්බන්ධ හැමදෙනාමත්, පොලිසියේ ඕඅයිසී මහත්තයා ඇතුළු නිලධාරීන් ආපු අය ගැන හොයලා අපේ බිය නැති කළා. නැත්නම් ඒ සිද්ධියෙන් පස්සේ පුතා ටිකක් මානසිකව වැටිලා හිටියේ.’ තරුෂිකගේ පියා මේ හෙලිකොප්ටර් ආකෘතිය හැදීමෙන් පසු ඇතිවූ තත්ත්වයක් පැහැදිලි කළේය.
උපුටා ගැනීම ලංකාදීප