ප්‍රේමයේ උමතුවෙන් දිවි නසා ගත් බොලිවුඩ් නළුවා
අදට වඩා එදා කලාකරුවෝ සංවේදී හදවත් සහිත, හැඟුම්බර සෞන්දර්ය වාදී මිනිස්සු වූහ. එය එක් රටකට සීමා නොවූ ලෝකයටම පොදු වූ සත්‍යයක් බව අපගේ හැඟීමයි. එහෙයින්ම බොලිවුඩයේ වේවා හොලිවුඩයේ වේවා, වෙනත් ඕනෑම සිනමාවක වේවා ඇතිවූ පෙම් හබ ආශ්‍රිතව කිසියම් අපූර්ත්වයක් ද තිබිණි. කෙසේ වෙතත් අද මෙන්ම එදා ද ලබාගන්නා ජනප්‍රියත්වය හා ධනය වෙනුවෙන් ඔවුන් යම් මිලක් පෙරළා ගෙවිය යුතු වූයේය. බොහෝ විට ඔවුන් ගෙවූ මිල හදවත් ශෝකයෙන් පුරවා ගැනීමයි.
ගුරු දත්, දෙව් ආනන්ද් හා වහීඩා රෙහ්මාන් තුන්කොන් ප්‍රේමයට පෙර අප ගුරු දත් හා දේව් අතර වූ මිත්‍රත්වය ගැන සොයා බලමු. 1945 පූනේ හි ප්‍රභාත් චිත්‍ර මණ්ඩල් චිත්‍රාගාරයේ දී ඔවුහු හමු වූහ. පසු කලෙක ඔවුහු සමීපතම මිතුරෝ බවට පත් වූහ. 1978 දී ගුරු දත්ගේ ජන්ම සංවත්සරයට දේව් ආනන්ද් මෙන්ම ගුරු දත්ගේ මව ද සහභාගි වී සිටියාය. ඒ වන විට ගුරු දත් මියගොස් වසර 14 ක් ගත වී තිබිණි. සභාව ඇමතූ ගුරු දත්ගේ මව මෙසේ පැවසුවාය.
“මගේ පුතා හරිම සංවේදී කෙනෙක්. එයා තරුණ වියේදී විවිධ ප්‍රශ්න නිසා සිය දිවි හානි කරගන්නට උත්සාහ ගත්තා. එය වැළැක්වූයේ දේව් ආනන්ද්. ගුරු දත් යනු මා උපත ලබා දුන් පුත්‍රයා පමණක් නොවෙයි. දේව් ආනන්ද් විසින් බේරාගත් ජීවිතයයි.”
දේව් නිතරම ගුරු දත්ව හැඳින්වූයේ සිනමාවේත් සැබෑ ජීවිතයේත් තම සමීපතම මිතුරා ලෙසිනි. දේව් සිනමාවට පිවිසි මුල් කාලයේ පටන්ම සැබෑ ප්‍රේමවන්තයෙක් වූයේය. දේව් 40 දශකයේ අග හා 50 දශකය මුල රඟපෑ චිත්‍රපට හතකම ඔහු හා ප්‍රධාන චරිත මැවූයේ සුරයියා ය. විද්‍යා (1948) ජීත් (1949) සහීර් (1949) නිලි (1950) දො සිතාරේ (195...) හා සනම් (1951) එම චිත්‍රපට වන අතර. එකල ඒවා බොක්ස් ඔෆිස් වාර්තා තැබු චිත්‍රපට ද වූයේය. ‘විද්‍යා’ චිත්‍රපටයේ ගීයක් රූගත කෙරුණේ දේව් ආනන්ද් හා සුරයියා බෝට්ටුවක නැගී යන අයුරු දක්වමිනි. වරෙක මේ බෝට්ටුව පෙරළී ගිය අතර දියේ ගිලෙන්නට ගිය සුරයියාගේ ජීවිතය බේරා ගත්තේ දේව්ය.
මෙම සිද්ධිය දෙදෙනා අතර ප්‍රේමයක් ඇතිවන්නට මූලික වූයේය. ‘ජීත්’ චිත්‍රපටය රූගත කරද්දී දියමන්ති මුදුවක් සුරයියාට තිළිණ කරමින් දේව් සිය ප්‍රේමය ප්‍රකාශ කළේය. සුරයියා මුස්ලිම් ජාතික කතක වූ අතර දේව් හින්දු ජාතිකයෙක් වූයේය. එහෙයින් ඔවුන්ගේ ප්‍රේමයට සුරයියාගේ මිත්තණියගෙන් දැඩි විරෝධය එල්ල වූයේය. එම විරෝධයට පිටුපෑ නොහැකිව සුරයියා දේව් ආනන්ද් හා චිත්‍රපටවල රඟපෑම නතර කළාය. ජීවිතය පුරා අවිවාහකව සිටියාය. දේව් ආනන්ද් ගේ චරිතාපදානයේ ඔහු සඳහන් කරන්නේ සුරයියාගෙන් වෙන්වීම දරාගත නොහැකිව තමා දිවි නසා ගනු පිණිස වස පානය කිරීමට ද උත්සාහ දැරුවා කියාය.
1951 දී ගුරු දත් අධ්‍යක්ෂණය කළ ‘බාසි’ චිත්‍රපටයට දේව් ආනන්ද් තෝරා ගැනිණි. නිළියන් වූයේ ගීතා බාලි හා කල්පනා කාර්තික් ය. කල්පනා නවක නිළියක වූ අතර පසු කලෙක ඇය ප්‍රකට වූයේ මෝනං සිං යන නමිනි. දේව් - කල්පනා යුවළ සාර්ථක වූ අතර ඊළඟට දෙදෙනාට එක්ව රඟන්නට බොහෝ චිත්‍රපට ලැබිණි. ඒවා අතරින් ‘ටැක්සි ඩ්‍රයිවර්’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දේව් - කල්පනා යුවළ පෙමින් බැඳිණි. 1954 දී ‘ටැක්සි ඩ්‍රයිවර්’ තිරගතව ආදායම් වාර්තා තබද්දී නිහඬවම දෙදෙන විවාහ වූහ. විවාහයෙන් පසු රංගනය අත්හැරීමට කල්පනා තීරණය කළාය. දේව් - කල්පනා යුවළ අවසන් වරට රඟපෑ චිත්‍රපටය වූයේ ‘නෞ දෝ ග්යාරහ්’ ය.
දේව් ආනන්ද් සංවිධාන කළ සාදයකට ගුරු දත් මෙන්ම ප්‍රකට ගායිකාවක වූ ගීතා රෝයි ද පැමිණ සිටියහ. ඒ වන විට ගීතා ජනප්‍රිය ගායිකාවක වුවද ගුරු දත් කිසිවක් නොකළ අප්‍රකට පුද්ගලයෙක් වූයේය. දේව් ගීතාට ගුරු දත් හඳුන්වා දුන්නේ ‘අලුත් චිත්‍රපට අධ්‍යක්ෂවරයකි’ කියාය.
දේව්ගේ හැඳින්වීම නිවැරදි විය. 1951 දී ගුරු දත්ට ‘බාසි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව ලැබිණි. ඔහු වහා ප්‍රධාන චරිතයට දේව් ද පසුබිම් ගායනයට ගීතා රෝයි ද තෝරා ගත්තේය. ඒ හැර නවක නිළි කල්පනා කාර්තික්ව, (පසු කලෙක දේව්ගේ පෙම්වතිය හා බිරිය) තෝරා ගත්තේ ගුරු දත් ය.
එම චිත්‍රපටයේ ගීත හතක්ම ගායනා කළේ ගීතා ය. චිත්‍රපටය මෙන්ම එම ගීත ද අතිශය ජනප්‍රිය වෙද්දී ගුරු දත් ගීතාට ප්‍රේම කරමින් සිටියේය. දේව් කල්පනාට පෙම් කළේය. ගුරු දත්ගේ පවුලේ අය ද ගීතාට කැමැත්ත පළ කළහ. ඒ අනුව දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුවිය. එහෙත් ගීතා ඇගේ පවුලේ එකම දරුවා වූයේය. ඇය විවාහ කර දී නිවෙසින් බැහැරට යැවීමට ඇගේ දෙමවුපියෝ මැළි වූහ.
1952 දී ගුරු දත් ‘ජාල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම ඇරඹුවේය. එහි සංගීත අධ්‍යක්ෂණය ඕ. පී. නයියාර්ට පැවරුණු අතර ගීත ගායනයට ගීතා රෝයි එක්කර ගැනිණි. මේ චිත්‍රපටය නිර්මාණය කරන අතර තුර ගුරු දත් ගීතාට කීවේ විවාහය තව දුරටත් පමා කළ නොහැකි බවයි. ඒ අනුව සාම්ප්‍රදායික බෙංගාලි විවාහ මංගල්‍යෝත්සවයක් පවත්වමින් ගුරු දත් 1953 මැයි 26 දා ගීතා රෝයි තම පතිනිය කර ගත්තේය. එම විවාහ මංගල්‍යයට නූතාන්, වෛජන්තිමාලා, දේව් ආනන්ද්, මෝතිලාල් වැනි හින්දි සිනමාවේ දැවැන්තයෝ සහභාගි වූහ.
වහීඩා රෙහ්මාන්, ගුරු දත්ගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙන ප්යාසා (1957) හි රඟපෑවේය. ඒ වන විට ඔහු යම් මානසික බිඳ වැටීමකට ලක්ව සිටියේ ගීතා වෙතින් ඔහු පැතු සෙනෙහස නොලැබී යාම නිසාය. බිඳුණු හදැති ගුරු දත් වෙත ළංවූයේ වහීඩා රෙහ්මාන් ය.
ගීතා සමඟ ගෙවන යුග දිවියේ අර්බුද නිසා ගුරු දත් සිය දිවි හානි කර ගන්නට තැත් කළේය. පළමු වතාවේ ඔහුගේ ගැලවුම් කරුවා වූයේ සමීප මිතුරු දේව් ආනන්ද් ය. ඉන්දියාවේ පළමු සිනමාස් කෝප් චිත්‍රපටය ‘කාගාස් කේ පූල්’ ගුරු දත්ගේ නිර්මාණයක් වූ අතර එය 1959 දී තිරගත විය. එහි ගුරු දත් සමඟ වහීඩා හා මීනා කුමාරී රඟපෑහ. ගීතා රෝයි එහි ගීත දෙකක් ගායනා කළාය.
1962 වන විට ගුරු දත් හා ගීතා තීරණය කර තිබුණේ වෙන් වෙන්ව ජීවත් වන්නටය. ඒ වන විට ගුරු දත් ‘සහීබ් බිබි ඕර් ගුලාම්’ චිත්‍රපටය නිර්මාණය කරමින් සිටියේය. වහීඩා ද ඔහුගෙන් ඈත් වෙමින් සිටි හෙයින් සමකාලීනව ඔහු තෙවැනි වතාවට ද දිවි හානි කර ගන්නට උත්සාහ දැරුවේය. ‘සහීබ් බිබි ඕර් ගුලාම්’ චිත්‍රපටයට ද ගීතා රෝයි ගේ ගීත තුනක් ඇතුළත් වූ අතර එය ඇය ගුරු දත්ගේ සිනමා නිර්මාණයක් වෙනුවෙන් ගී ගායනා කළ අවසන් අවස්ථාව ද වූයේය.
‘සහීබ් බිබි ඕර් ගුලාම්’ චිත්‍රපටයේ ද වහීඩා රඟපෑ අතර ඇය කෙමෙන් ගුරු දත් වෙතින් ඈත් වෙමින් සිටියාය. ඊට හේතුව පැහැදිලි නැතත් සමකාලීනව හින්දි තිරයේ ජනප්‍රියම නළු නිළි යුවළ වී සිටියේ දේව් ආනන්ද් සහ වහීඩාය. දේව් ආනන්ද් තම චරිතාපදානය ‘වන් ලයිෆ් මෙනි ලේඩීස්’ හි සඳහන් කර ඇත්තේ තමා තමන්ගේ හොඳම මිතුරා වූ ගුරු දත්ගේ පෙම්වතියක සමඟ ද යහනට නැඟුණා කියාය. සමහර විට ඔහු එසේ සඳහන් කර ඇත්තේ වහීඩා පිළිබඳ විය හැකිය.
1964 ඔක්තෝබර් 10 දා මත්පැන් පානය හා වැඩිපුර නිදි පෙති ගැනීම හේතුවෙන් ගුරු දත් මෙලොව හැර ගියේය. ඊට දස වසරකට පසු 1974 අප්‍රේල් 24 දා වහීඩා සෂි රේඛි හෙවත් කමලා ජීත් නමැති නළුවා හා විවාහ වූවාය. ඒ වන විට වහීඩා හින්දි තිරයේ දැවැන්ත නළුවන් වූ දිලිප්, රාජ් කපූර්, ධර්මේන්ද්‍ර, රාජේන්ද්‍ර කුමාර්, මෙන්ම රාජේෂ් ඛන්නා ද සමඟ රඟපා හින්දි සිනමාවේ අංක එකේ නිළියක බවට පත්ව සිටියාය.
දේව් - වහීඩා ප්‍රේමය එතරම් දුරදිග යන්නට නැත. ගුරු දත් මියගොස් අට වසරකට පසු ඔහුගේ බිරිය ගීතා ද 1972 දී මියගියාය.
කුමාර සිරිවර්ධන
උපුටා ගැනීම සිළුමිණ