නව වසරට සුබ පතා දහමේ ආශිර්වාදයෙන් බෝධි පූජා තබමු
නැවුම් සිතුම් පැතුම්, අලුත් බලාපොරොත්තු, සුබ ප්‍රාර්ථනා සමඟින් නව වසර උදාවට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. කළ කී සියලු අයහපත්, අවැඩදායක දේ අතීතයට පමණක් එක් කර යහපත පමණක් ඉදිරියට ගෙන යන්නට, වැරැදි නිවැරැදි කර ගනිමින් ජීවිතයට අලුත් ඇරැඹුමක් තබන්නට ඔබට, ඒ සුවිශේෂි දිනය ආරම්භයක් කර ගත හැකිය. ජීවිතය වඩාත් සැපවත් වන්නේත් දුක් කම්කටොලු මඟ හැර, තුනුරුවන් ගේ ආශිර්වාදය ලබාගත හැකි වන්නේත් ඔබ ධර්මානුකූල ප්‍රතිපත්තියකට අනුගත වන්නේ නම් පමණි. ඒ ප්‍රතිපත්ති ධර්මයන් ජීවිතයට වඩාත් සවිමත් ලෙස සම්බන්ධ කර ගැනීම සඳහා ආගමික පුද පූජාවන්ට මුල් තැන දීම වඩාත් ප්‍රයෝජනවත් වේ. ඒ ආමිෂයෙන් තොරව ප්‍රතිපත්තිගරුක පැවැත්මක ආරම්භයක් ගැන සිතීම අසීරු වන බැවිනි. බුදු, දම්, සඟ යන තෙරුවන් උදෙසා කරන මල් පහන් පූජාවක්, බෝධි පූජාමය පිංකමක්, බුද්ධ පූජාවක්, පිරිත් පිංකමක්, මේ ආදි කවර ආමිෂ පූජාවකින් වුවද යහපත් වසරකට ආශිර්වාදය, සෙත් ශාන්තිය ලබාගත හැකිය. මේ පුද පූජා පිංකම් අතරින් වඩාත් සුලබව ඇස ගැටෙන්නේ බෝධි පූජාමය පිංකම්ය. අතුරුගිරිය සිවලී අසපුවේ අනුශාසක පදලංගල ධම්මදේව හිමි වතුර කළයකින් හෝ බෝධීන් වහන්සේ නහවා උන්වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා නොකරන බෞද්ධයෙක් නැති තරම් ය. ඒ තම ශාස්තෲන් වහන්සේට සම්බුදු පදවිය, සර්වඥතා ඥානය ලැබීම සඳහා සෙවණ දුන් ඇසතු බෝධි රාජයා සිහිපත් කරමිනි. එදා දඹදිව මධ්‍ය දේශයේ, උරුවේල ජනපදයේ, නේරංජා නදී තෙර පිහිටි ඇසතු බෝ රුක් සෙවණේ පස්මරුන් පරදා සර්වඥතා ඥානය ලද අප තථාගතයන් වහන්සේ තමන් වහන්සේට සෙවණ දුන් ඒ බෝධි රාජයා සෙවණෙහි සත් දිනක් මුළුල්ලෙහි සමවත් සුවයෙන් වැඩ සිටියහ. උන්වහන්සේට සෙවණ දුන් ඒ බෝධි වෘක්ෂය උතුම් පාරිභෝගික වස්තුවකි. බෞද්ධ ජනතාව බෝධි පූජාමය පිංකම්වලටත් අදත් ප්‍රමුඛත්වයක් දෙන්නේ ඒ උතුම් අවස්ථාව සිහිපත් කරමිනි. එහෙත් මේ අතරින් සමහරෙක් කාර්ය බහුල බව නිසා හෝ, නොදන්නාකම නිසා හෝ, බෝධි පූජාමය පිංකමක් කරන්නන් වාලේ කරනවා මිස සැබෑ පැහැදීමකින්, ඕනෑකමකින් ඊට සූදානම් වනු නොපෙනේ. හිස් අතින් ම පන්සලට යන සමහරු පන්සල් දොරටුව අභියස දී මිල දී ගන්නා මල් පහන් පුදා, පන්සලේම ළිඳෙන්, එසේත් නැතිනම් ජල කරාමයෙන් වතුර කළයක් පුරවා බෝධින් වහන්සේ නැහැවීමෙන් ජීවිතයට ආශිර්වාද බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර දෙන ලෙස අයැදිති. එහෙත්, විශේෂයෙන් ආගමික පුද පූජාවනට සහභාගි වීමේ දී ඒ සඳහා මානසික සූදානමක් වීම අත්‍යවශ්‍යය.
සවස් යාමයේ බෝධි පූජා පිංකමක් තැබීමට අදහස් කරනවා නම් ඒ සඳහා ඔබට උදෑසන සිටම යම් සූදානමක් ඇති කරගත හැකිය. ගෙදර නළ ජලය ප්‍රයෝජනයට ගන්නවානම්, නිවසේ වැඩ කටයුතු සඳහා ජලය ගැනීමට පෙර පිරිසිදු බෝතලයකට හෝ වෙනත් බඳුනකට ජලය පෙරා පුරවා තබන්න. ළිං ජලය ගන්නා නිවෙසක නම් සියලු කටයුතුවලට පෙර පළමු වතුර පනිට්ටුවෙන් ගන්නා ජලය පිරිසිදු බඳුනකට පෙරා තබා සවස පූජාවට ගෙන යන්න. පන්සලේදී ඒ වතුර බඳුනෙන් පැන් කළයක් පුරවා බෝධීන් වහන්සේ නහවන්න. මල් ටික වුවද මිලදී ගන්නවාට වඩා නිවෙස අවටින් නෙළා ගැනීම වඩාත් සුදුසුය. තමන් පිංකමක් කරගත්තා යන හැඟීම දැනෙන්නේ එවිටය. බෝධි පූජාවක් සඳහා මල්, තෙල්, හඳුන්කූරු, අෂ්ටපාන, දැහැත් බෙහෙත් ආදි මේ සියලු දේ අන්තර්ගත වේ නම් ඉතා යහපත්ය. එහෙත් තමන්ට ඒ ඒ දේ සපයා ගන්නට මුදල් හෝ වෙනත් පහසුකමක් හෝ නොවේ නම් එය ද ගැටලුවක් නොවේ. තමන්ට හැකි පමණින්, ශක්ති ප්‍රමාණයෙන් පිංකම සිදු කරගත හැකිය. බෝධි පූජාවකදී සූදානම් කරගත යුතු අෂ්ට පාන සඳහා අම්බ (අඹ), ජම්බු, චෝච (ඇටි කෙහෙල්), මෝච (මස් කෙසෙල්), මධූ( අමු මිදි), මුද්දික (වියළි මිදි) , සාලුක (හෝලු ගෙඩි) ඵාරුසක (බොරලු දමනු හෙවත් මසන්)
ආදී පලතුරු වර්ගවලින් සකසා ගන්නා පානය වඩාත් සුදුසුය. කාලයට අනුව පලතුරු වර්ග වෙනස් වීමට ද පුළුවන. පූජා භාණ්ඩ රැගෙන පන්සලට යන ඔබ මුලින්ම කළ යුතු වන්නේ බෝ මළුව ඇමද පිරිසිදු කිරීමය. මල් අසුන්වල ඇති පරමල් ඉවත්කොට පිරිසිදු කළ යුතුය. එය ද ඔබගේ පූජාවේම කොටසකි. මේ සියලු දේ කළ යුතු වන්නේ ශ්‍රද්ධාවෙනි. එකඟ කරගත් සිතෙනි. එවිට මනස නිරවුල් වේ. පූජා ද්‍රව්‍ය බෝධින් වහන්සේට පූජා කිරීමෙන් පසු ගාථා සජ්ජායනා කළ හැකිය. මෙහි දී ගාථා විශාල ප්‍රමාණයක් කීම අත්‍යවශ්‍ය නොවේ. බෝධින් වහන්සේ වන්දනාමාන කරන, බොහෝ දෙනෙක් දන්නා, "යස්ස මුලෙනිසින්නොව... ඉන්දනීලවන්ණපත්ත සේතඛන්ධභාසුරං..."
ගාථා ඇතුළු ගාථා කිහිපයක් වුවද ප්‍රමාණවත්ය. බෝධීන් වහන්සේට පැන් කළයක් පූජා කිරීමේදී ද සිත එක අරමුණක තිබිය යුතුය. පැන් බඳුන දෝතින් ගෙන, තමන් ගේ අරමුණ ඉෂ්ට සිද්ධ වන ලෙස සත්‍ය ක්‍රියාවක් කරමින් බුදු ගුණ සිහිපත් කරමින් බෝධීන් වහන්සේ වටා හත් වතාවක් පමණ ප්‍රදක්ෂිණා කිරීම යහපත් ය. ඉතා වේගයෙන් බෝධීන් වහන්සේ වටා ඇවිද යාම සුදුසු නොවේ. එය සංයමයෙන්, ශ්‍රද්ධාවෙන් සිතට එකඟව කළ යුතුය. බෝධි පූජාවේදී සරල භාවනාවක නිරත වීමෙන් සිත එකඟ කර ගැනීමට හැකියාව ලැබේ. බෝධි පූජාවකට වෙලාවක්, නැකතක් තිබේද යන්නද බොහෝ දෙනාට ගැටලුවකි. බෝධි පූජාවක් සඳහා සවස් කාලය වඩාත් සුදුසු වන්නේ රෑ බෝ වන විට පරිසරය වඩාත් නිහඬ වන බැවිනි. බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවකට කාලයක් වේලාවක් හෝ නැකතක් අවශ්‍ය නොවේ. තමන්ට නිදහස ඉඩකඩ ඇති ඕනෑම වෙලාවක අනන්‍යයන්ට කරදරයක් නොවන සේ පූජාවක් කිරීම වඩාත් සුදුසුය. මෙසේ බෝධි පූජාවක් සූදානම් කර ගැනීම සඳහා නව වසරක් උදාවන තෙක්ම බලා සිටීමද අවශ්‍ය නොවේ. ඉඩ ලද හැම විටෙකම බෝධීන් වහන්සේ නමක් අභියසට ගොස් මඳ වේලාවක් හෝ රැදී සිටිනවා නම්, සරල භාවනාවක් මල් පහන් පූජාවක් කරනවා නම් ඉන් ලැබෙන සුවය ශාන්තිය අපමණය. ඒ සඳහා ගමේ විහාරයේ බෝධීන් වහන්සේ සෙවණටම යාම අවශ්‍ය නොවේ. ඔබ දරුවන් රැගෙන පාසල් යන මවක් නම්, පාසල නිමවන තුරු නොතැනක හෝ කල් ගෙවනවා නම් ළගම ඇති විහාරස්ථානයට යන්න. බෝ මළුව ශුද්ධ පවිත්‍ර කොට සිතිවිලි ඒකාග්‍ර කර ගන්න. බෝධීන් වහන්සේ දෙස බලාගෙන බුදු ගුණ සිහිපත් කරන්න. ගාථා නොකීවත් බෝ පත්වලින් ලැබෙන යහපත් කිරණින් සිසිලසින් ඔබට මහා සැනසිල්ලක් දැනේවි.
අපගේ ශාස්තෘන් වහන්සේට බුද්ධිය සහ ප්‍රඥාව පහළ වූයේ බෝ සමිඳුන් සෙවණේදී ය. ඔබ බෝධි පූජා පිංකමකින් පසු ප්‍රාර්ථනා කළ යුතු වන්නේද ජීවිතයට මුහුණ දීම සඳහා නිවැරැදි අවබෝධය ලැබෙන ලෙසය. බෝධි පූජාවකින් සැබෑ ලෙසම අපල උපද්‍රව දුරු වේද යන්න බොහෝ අයට ඇති ප්‍රශ්නයකි. ඇතැම් විට බලාපොරොත්තු වන සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු නොවුණත්, නිසැකවම යම් යහපතක් සිදු වේ. ඇතැම් අසාධ්‍ය රෝගවලදී වෛද්‍යවරු පවා සුවකළ නොහැකි බව පවසන රෝගීන් සඳහා දිගින් දිගටම බෝධි පූජා පැවැත්වීමෙන් (සතියක් දෙකක් හෝ එසේත් නැත්නම් මාසයක් දෙකක් වශයෙන්) සුවය ලද අවස්ථා බොහෝය. එහිදී රෝගියා සුව වී ඇත්තේ ඖෂධවලින් නොව ශාන්තිකර්මවලිනි. මෙතැනදී සිදුව ඇත්තේ බෝධීන් වහන්සේ පිළිබඳව ඇති කර ගන්නා දැඩි විශ්වාසය නිසා මානසික බලයකින් සුවපත් බවක් ඇති වීමය. නිරෝගීකම අපේක්ෂාවෙන් කරන බෝධි පූජාමය පින්කමකදී බෙහෙත් පූජා කිරීම බෞද්ධයන් ගේ සිරිතකි. එහිදී නොපිසින ලද බෙහෙත් (හාතාවාරිය ආදී පත්‍ර ) පූජා කිරීම සුදුසු නොවේ යන මතය ද ඇතැම් අයගේ මතය වී ඇත. බෝධි පූජාවකදී ඕනෑම බෙහෙත් වර්ගයක් පූජා කිරීම සුදුසුයි. ඒවා නොපිසින ලදැයි ප්‍රශ්නයක් නොවේ. අවශ්‍ය වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ නාමයට පිරිසිදු සිතින් ම පූජා කිරීමය. විශේෂයෙන් බෝධි පූජාවකදී පෙර කී ලෙස කළ යුතු වන්නේ මානසික සූදානමක් ඇති කර ගැනීමය. බෝ සමිඳුන් උදෙසා "අෂ්ට පාන"
පූජාවක් සූදානම් කරනවා නම් ඒ ඒ පලතුරු වර්ග සොයා ගැනීමට අපට යම් කාලයක් ශ්‍රමයක් දැරීමට සිදු වේ එහෙත් එතැනදී වන වෙහෙස මහන්සිය පවා ඔබ සිතෙහි පැහැදීමක්, සුවයක් ඇති කරයි. උදාවන නව වසර සුබදායි හා සුවදායී වන අදිටනින් , ආරම්භයක් තබන්නට, ආගමික වශයෙන් කවර පුද පූජා ඉෂ්ට සිද්ධ කළත් ඉන් නියම ඵල ප්‍රෙයාජන ලබන්නට නම් මේ ආමිස පූජාවන් කරන අතරතුරදීම ප්‍රතිපත්තියකට යා යුතුය. බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංචශීල ප්‍රතිපදාව එනම් පන්සිල් නොරැක කවර පූජාවක් කළත් පළක් වන්නේ නැත. ධර්මය විසින් ආරක්ෂා කරනු ලබන්නේ ධර්මයේ හැසිරෙන පුද්ගලයාම බව සිහි තබා ගෙන අපි ප්‍රතිපත්තිගරුක විය යුතුය. කවර පූජාවකින් වුවද ආශිර්වාදය, සෙත් ශාන්තිය, ළගාකර ගත හැකි වන්නේ එවිටය. බුද්ධ පූජාවක්, බෝධි පූජාවක්, තුනුරුවන් උදෙසා මල් පහන් පූජාවක් තැබීම, බුදුන් වැඳීම ආදිය සුවිශේෂී අවස්ථාවනට පමණක් සීමා නොකළ යුතුය. උදේ, දහවල, රාත්‍රී ආහාර වේල නොවරදින සේ එම පූජාවන් ද පුරුද්දක් ලෙස තබා ගැනීම ඉතා යහපත් ය. ඒ තුළින් ලැබෙන මානසික සුවය ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කර ගන්නට, සාමකාමී බවක් ගොඩ නඟා ගන්නට හේතු වෙයි. අවුරුද්දක් ගෙවී තවත් නව වසරක් උදාවන මේ මොහොතේ අපි සිතිවලිවලින්ද අලුත් විය යුතුය. ‘අලුත් අවුරුද්දකට යනවා‘ යන්නෙහි විශේෂත්වය වන්නේද එසේ අලුත් සිතිවිලි ගොඩ නඟා ගැනීමයි. ගේ දොර ශුද්ධ පවිත්‍ර කිරීම, අලුත් ඇඳුම් පැලදුම් ගැනීම ආදී වශයෙන් භෞතික ලෙස සූදානම් වීම මෙන්ම සිතිවිලිවලින් අලුත් වීම අත්‍යවශ්‍ය වේ. රටක් ලෙස වර්තමානයේ අපි විශාල භෞතික සංවර්ධනයක් ලබා ඇති බව පැහැදිලිවම පෙනේ. මං මාවත් ඉදි වී, ගුවන් තොට නැව් තොට ඉදි වී, ලොකු වෙනසක්, දියුණුවක් ඇති වී තිබේ. මිනිසුන් අධ්‍යාත්මිකව දියුණු වූයේ නැතිනම් මේ භෞතිකව අප ලද සංවර්ධනයෙන් නිසි පයෝජනයක් ගත නොහැකිය. අලුත් ලෝකයකට යන විට අපි අලුතින් සිතන්නට හුරු පුරුදු විය යුතු ය. නිර්මාණශීලී විය යුතුය. ඒ නිර්මාණශීලීත්වය තමන්ටත් පවුලටත් රටටත් ජාතියටත් ආගමටත් අර්ථාන්විත වීම වැදගත් ය. උදා වන නව වසර අර්ථාන්විත වන්නේ එවිටයි.
සාකච්ඡා කෙළේ රමණී සුබසිංහ