බෝධි වන්දනාව තුළින් අපල සඵල වන්නේ කෙසේද ?
බෝධි වන්දනාව තුළින් අපල සඵල කර ගන්නා අයුරු මීට පෙර ලිපි කිහිපයකින් ඔබ වෙත අපි ගෙන ආවෙමු. නමුත් කිහිපදෙනෙකුම මෙම අපල සඵල වීම යන වදන ගැන කුකුසක් ඇති බවත් බෝධි පූජා තුළින් අපල සඵල වන්නේ කවර ලෙසකින් ද යන්න පිළිබඳව විචිකිච්චාවක් ඇති බවත් අපගෙන් පසුගිය සතිය තුළ දුරකථනයෙන් කළ විමසීම්වලින් අපට පැහැදිලි වුණි. මෙම ලිපිය එයට පිළිතුරක් සඳහාමය.
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ම අනුදැන වදාළ බෝධි වන්දනාව නිවැරදි සිදුකිරීම තුළින් අපගේ ජීවිතයට විශාල ආශිර්වාදයක් ලබාගත හැකි වේ. එනම් පෙර ලිපි වල අප පැහැදිලි කළ පරිදි අපල යනු අප විසින්ම පෙර ආත්මවල සිදුකරන ලද අකුසල් වේ. එම අකුසල් බලවත් වන කාලය අපල කාලය ලෙසින් ව්‍යවහාර වන අතර එම කාලය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන් අපල තත්ත්වයන් තුළින් වන ඍණාත්මක ප්‍රතිඵල අවම කර ගැනීමට හැකිවේ. උදාහරණයක් ලෙස අපගේ අත්දැකීම් අනුව සෙනසුරු ඒරාෂ්ඨක කාල වලදී බොහෝ ලග්නවලට අපලදායක තත්ත්වයක් ඇතිවේ. එහිදී කකුලක යම් ආබාධ තත්ත්වයක් ඇතිවී දින ගණනක් ඇඳට වී සිටීමට ද බොහෝ දුරට ඉඩ ඇත. එහිදී වම් කකුල විශේෂ වේ. නමුත් මේ තත්ත්වය කල් ඇතිව දැන ගත් අයෙකු නිවැරදිව බෝධි වන්දනා සහ තව තවත් බොදු පිළිවෙත් සිදු කිරීම තුළ එම අපල තත්ත්වයන් ඉතා හොඳින් කළමනාකරණය කර ගත හැකිවේ.
අපල තත්ත්වය නිසා බොහෝ දෙනකු දුකට හා පීඩාවටම පත්වේ. එම දුක තුනී කර ගැනීම පිණිසත් සාර්ථක ලෙස එම කාලය කළමනාකරණය කර ගැනීම පිණිසත් බෝධි වන්දනාව දිගටම සිදු කළ යුතුය. එහිදී දුක තිබෙන කෙනාටම බුදු දහම තුළ පිහිට පිළිසරණ ඇත. ඔබ බඩගින්නේ සිටින විටය ආපනශාලාවක් වෙත යන්නේ. සිරුරේ කුණු තැවරුණු විටය ජලය සොයන්නේ. කාලා බීලා බඩ පුරවාගෙන නැවත කන්නට ආපන ශාලාවලට යන්නේ නැත. හොඳට නාගෙන නැවත නාගන්නට යන්නේ ද නැත. එලෙසම දුක ඇති කෙනාට ය බුදු දහමේ පිහිට පිළිසරණ නොමදව ඇත්තේ.
අපල කාලයන් තුළ අපගෙන් විහිදෙන්නේ ආලෝකයක් නොව අඳුරකි. අඳුර වැඩි තරමට කළ යුත්තේ ආලෝකය වැඩි කිරීමය. ආලෝකය වැඩිවන වැඩි වන තරමට අඳුර ද ටිකෙන් ටික දුරුවීම සිදුවේ. මේ සඳහා අප කුසලය බලවත් කළ යුතුමය. බෝධි වන්දනාව එයට හොඳම පිළිතුරකි. නමුත් සැලසුම් සහගත නොවී හිතුමතයට සිදු කරන බෝධි වන්දනාව තුළින් ප්‍රතිඵල ලැබීම ද බොහෝ දුරට අසීරු වේ. බෝධි වන්දනාවක් සිදු කරන ඔබ අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිතෙහි පිහිටුවාගෙන ශ්‍රද්ධාවකින් එය කිරීමට අමතක නොකළ යුතුමය.
එනම්, “මට මේ සියලු දුකින් මිදෙන්නට මාවත පෙන්වාදුන් ඒ උතුම් ශාස්තෘවරයාණන්ට ද එදා පිහිටවූයේ මෙවැනිම බෝධියක් නේද, සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සියලු දුක් නැති කළේ මෙවැනි බෝධියක් ළඟම නේද, ජීවිතයේ මට තියෙන එකම සරණ බුදුසරණ විතරක්ම නේද, ඒ බුදුසරණ තුළ තියෙන සියලුරෑ බුදුගුණ ඉපදුනේ ද මෙවැනි බෝධියක් ළඟම නේද, එදා මාරයා අවීචි මහා නිරයේ ගිනිදැල් ගෙන එවිට බුද්ධත්වයට පත් නොවී සිටි බෝසතාණන් වහන්සේටත් පහර පිට පහර දෙන විට ඒ බෝධියේ එක් පත්‍රයක් හෝ විනාශ වුණේ නෑ නේද, මෙම බෝධියෙන් වැටෙන පත්‍රයක් අහුලන කෙනාටත් සුගතියම ලැබෙනවා නේද, මම මේ සිදු කරන්නේ සියලු ආමිස පූජා වලට සුදුසු වූ අරහං මුනිඳු උදෙසාම වූ උතුම් ආමිස පූජාවක්ම නේද, යනාදී වශයෙන් එක දිගටම ඔබ සිතිය යුතුය. එහිදී නව අරහාදී බුදුගුණ හා තවත් බුදු බුදුගුණ ඔබගේ සිතට දැනෙන ආකාරයට සිතන්න. තවද ඔබ මෛත්‍රී භාවනාව ද එම කාලය තුළ කළ යුතුම වේ. ඔබ එලෙස බුදුගුණ සිතන වාරයක් වාරයක් පාසා ඔබ තුළ කුසල් බීජයන් දළුලා වැඩෙනවා ඇත. පෙර සංසාරයේ ඔබ කළ අකුසල් ඔබ තුළම ශේෂ වී ඇත්ද ඒ ආකාරයටම බුදුගුණ සිතීමේ පින් බලයෙන් එම අකුසල් ටිකෙන් ටික සේදී සේදී යනු ඇත. එනම් පෙර ආත්මවල ඔබ විසින් කරන ලද මහා බලවත් අකුසල කර්මයන් හැර අනෙකුත් බොහෝ අකුසලයන්, කුසල කර්ම බලවත් වන විට අකුසල විපාක ශක්තින් ද දුබල කළ හැකි වේ. මෙම නිසා දැන් ටිකෙන් ටික ඔබ තුළ කුසලය බලවත් වනු ඇත. ඔබ තුළ කුසලය ටිකෙන් ටික බලවත් වන විට ඔබ තුළ ආලෝකයක් විහිදෙනු ඇත. ඔබ තුළ ආලෝකයක් විහිදෙන විට ඔබව සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම නාග උත්තමයින්ට ද දර්ශනය වනු ඇත. පෙර ඔබගේ යහළු මිත්‍ර ඥාතීන් දිව්‍ය විමාන විමාන වල සිටිනවා නම් ඔවුන් ඔබගේ ඉෂ්ට කාන්ත දෙවිවරු ලෙස ඔබගේ පිහිටට එනවා ඇත . ඔවුන්ගෙන් ද ඔබට ආශිර්වාදය නොමඳව ලැබෙනු ඇත. ඔබ විඳින බොහෝ පීඩාවන්ගෙන් ඔබට ටිකෙන් ටික මිදීමට ඔවුන් දැන් ඔබට මාවත් පෙන්නා දෙනු ඇත. සුදුසු පුද්ගලයන් ද අවස්ථා ද ඔබ වෙත යොමු කරනු ඇත. ඒ තුළින් ඔබගේ ලෞකික ජීවිතය ද දැන් ටිකෙන් ටික සාර්ථකත්වය කරාම යනු ඇත. ක්ෂණික නූඩ්ල්ස් මෙන් ක්ෂණික ප්‍රතිඵල නොලැබුණ ද මෙහි යහපත් ප්‍රතිඵලයන් සසර පුරා ඔබ සමග සෙවනැල්ලක් සේ සිටිනු නියතය.
එසේම මේ අප පසු කරන්නේ මහාභද්‍ර කල්පයකි. මෙම භද්‍ර කල්පයේ බුදුවරු පස් දෙනෙක් පහළ වේ. මෙම භද්‍ර කල්පයෙන් පසුව පැමිණෙන්නේ බුද්ධ ශූන්‍ය අඳුරුම යුගයකි. එය පින් – පව් ලැජ්ජා බය නැමැති බැමි නැති අකුසලයම රජකරන යුගයක්ම වනු ඇත. එහි එහි බුද්ධං සරණං ගච්ඡාමි යන වදන් නොඇසේ. අද අපි පින් පව් නමැති බැමි තුළින් අපගේ ආවේග නතර කර ගනිමු. නමුත් එදාට එම බැමි ද නැත. බොහෝ අකුසල් ද අප අතින්ම සිදුවේ.
එම අකුසල් සැඩ පහරින් සසර අපායවල් පිරි ඉතිරි යනු ඇත. නමුත් බෝධි වන්දනාව තුළ ඔබ ත්‍රිවිධ රත්නය කෙරෙහි මනා ශ්‍රද්ධාවක් උපදවා ගෙන සිටියා නම් ඔබ නිසැකවම සුගතියක යනු නියත.
දෛනික දිවි පෙවෙත තුළ ද ඔබ හොඳ ශ්‍රද්ධාවකින් කටයුතු කරනවා නම් එය අනිවාර්ය වේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තිබෙන කෙනෙකු සතර අපායෙන් මිදෙන බව බුද්ධ දේශනාව ම වෙයි. නමුත් ඒ ශ්‍රද්ධා මාත්‍රයක් බුදු ගුණ මනාව දැනගෙනම වන පැහැදීම් මාත්‍රාවකි. මෙම නිසා ශ්‍රද්ධාව ඔබව ගෙන යන්නේ දුක නැතිකිරීමේ මාවතටම ය. පෙර අප පෙන්වා දුන් පරිදි දුක නැති කළ ඒ උත්තමයන්ට සිදුකරන වන්දනාවේ ප්‍රතිඵලය වන්නේ ඔබගේ දුක තුනි වීමයි. එහි ප්‍රතිඵලය ඔබගේ අපල හෙවත් දුක තුනි වී සියලු දුක් නසන මාවතකට ඔබ පිවිසීමය. ඉතින් යම් අයකු අපලයක් නිසා බෝධි වන්දනාව සිදු කළා නම්, සියලු දුක් නසන මාවතකට ඔහු ප්‍රවිෂ්ට වී ඔහුගේ අපල ද සඵල වී නැද්ද යන්න ඔබම බුද්ධිමත්ව සිතා බලන්න.
මේ සඳහා ඔබ ද උත්සාහ කළ යුතුය. නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරමින්ම බෝධි වන්දනාව සිදු කරන්න. මින් ඇතිවන ශ්‍රද්ධාව හෝ ප්‍රඥාව ඒ ජීවිතයේ අවසන් වන්නක් නොව සසරටම ගෙන යන්නකි. අප මේ ජීවිතය තුළ ඉගෙන ගන්නා බොහෝ දේ මේ ජීවිතයටම පොදුවේ. නමුත් නිවැරදිව ශ්‍රද්ධාව ඇතිකර ගැනීම අවුරුදු උත්සවවල ලිස්සන ගහේ යෑම වැනි නොවේ. එනම් නගින්න නගින්න පහතට නොවැටේ. ටික ටික ඉහළටම ගොස් සියලු දුක් නසන මාවතකටම පිවිසෙයි. එක් අපලයක් සඳහා කළ ප්‍රතිකර්මයෙන් මේ නිසා සසර ගමන ම සඵල වේ. මෙම නිසා ඔබ බෝධි වන්දනා කරන විට ඉතා ශ්‍රද්ධාවකින් යුතුව එය සිදු කරන්නට කිසිදා අමතක නොකරන්න.
උපුටා ගැනීම දිවයින