දානය පුරුදු කරන්න ඉල්ලීම අඩුකරන්න
දානය පිළිබඳව සදහම් සිතුවිල්ලක් ඔබට ඉදිරිපත් කරමි. දානය උතුම් මංගල කරුණක් මෙන්ම යමක් නිතර ඉල්ලීමද අප්‍රසන්න කරුණකි. බෝධිසත්ව උතුමන් මෙන්ම අපද දානය පුරුදු කළ යුතුය. අප යමක් මේ ජීවිතයේ ලබා ඇත්නම් එය සසරෙහි පුරුදු කරන ලද දානයේ ඵල විපාකවල බලපෑමක් ලෙසද මෙනෙහි කළ යුතුය. අපට යමක් ලබන්නට තරම් අවස්‌ථාව නොලැබී ඇත්තේ ද දන්දීම පුරුදු නොකරන ලද නිසාය. අපට පින් හෝ යහපත් කර්මයක් තිබේ නම් සියල්ල නිතැතින්ම ලැබේවි යනුවෙන් පවසා වීර්යයෙන් සහ නුවණින් යුතුව කටයුතු නොකොට අලසව සිටින්නට යෑයි මින් අදහස් නොකෙරේ. පින මතු කරගන්නටද උත්සාහයෙන්ද, වීර්යයෙන්ද නුවණින්ද කටයුතු කළ යුතුය. මම ඔබට මෙසේ ආරාධනා කරමි. ඔබට යමක් ලැබී ඇත්නම්, එනම් ධනවත් නම්. අඩුම තරමේ කාගෙන්වත් නොඉල්ලා තමන්ගේ සහ පවුලේ කටයුතු කර ගැනීමට තරම් ධනයක් තිබේ නම් මෙසේ සිතන්න.
"අපට යමක් ලැබුණේ, ලැබූ දේ ආරක්‌ෂා කරගෙන හෝ වැඩිදියුණු කරගෙන සිටිමින් යම් සැපතක් ලබන්නට හැකියාව ලැබුණේ සසරෙහි දන්දී තිබෙන නිසාය. අනුන්ගේ දේවල් හොරකම් නොකොට සහ වංචා නොකොට හැකි අයුරින් බොහෝ අයකුට උදව් උපකාරකොට ඇති නිසාය. ඒ නිසා මේ ජීවිතයේත් දන් දෙනවා. හැකි අයුරින් අන් අයට උදව් උපකාර කරනවා"
ඔබට යමක් අවශ්‍ය පරිදි නැතිනම්, එනම් අඩුපාඩු බොහෝම නම්, අඩුම තරමේ ජීවත්වන්නට තමන්ගේම කියා ගෙයක් දොරක් නැතිනම්, එදාවේල පිරිමසා ගන්නේ අපහසුවෙන් නම් මෙසේ සිතන්න.
"අපට යමක් නොලැබුණේ සසරෙහි දානය පුරුදු නොකරන ලද නිසයි. යමක් උපයාගන්නට උත්සාහයෙන්ද, වීර්යයෙන්ද කල්පනාකාරීවද කටයුතු කරනවා. මම දුප්පත් වුවත් අනුන්ගේ දෙයක් සොරකම් කරන්නේ නැහැ. වංචා කරන්නේ නැහැ. මම උත්සාහයෙන් කටයුතුකොට ලද දෙයින් සතුටු වෙනවා. මට හැකි අයුරින් තවත් කෙනකුට යමක් දෙනවා. උදව්වෙනවා. අඩුම තරමේ ශ්‍රමදානයක් ලෙස ශ්‍රමයෙන් හෝ උදව්වෙනවා."
මම මෙසේ විස්‌තර කොට සඳහන් කළේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ සංයුත්ත නිකායේ. සුත සහ දුග්ගත සූත්‍ර දෙක අනුසාරයෙනුයි.
ධනවත් හෝ යමක් තිබෙන අය දන්දෙන විට පරිවාර සම්පත්තිය හෙවත් පිරිවර එකතුවෙයි. කීර්ති, ගුණ, ප්‍රශංසා පැතිරෙයි. ලෙඩ දුක් වැනි ස්‌වභාවික විපතකදී පවා බොහෝ අයගේ පිහිට සහ උපකාරය ලැබෙයි. ලැබූ අය ඒවා නිසා සතුටුවෙන විට අපමණ ප්‍රීතියක් හටගනී. දුප්පත් හෝ ආර්ථික වශයෙන් අඩුපාඩුකම් තිබෙන අය සොරකම්, වංචා නොකොට දුසිරිත්වල නොයෙදී ධාර්මිකව ජීවත්වන විට ධනය ඇති අයගෙන් ලැබෙයි. රැකියාව කරන තැනද, ගෙදරක වැඩකට ගියද, ගමේ පළාතේ අහිංසකව සිටියද අන් අයගේ කරුණාවට ලක්‌වෙයි. බොහෝ උදව් උපකාර ලැබෙයි. ඉගෙනීමට හැකියාවන් ඇති දුප්පත් දරුවන්ට උදව් උපකාර කිරීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙති. කොපමණ නැතිවත්, කොපමණ අඩුපාඩුකම් තිබුණත් අපහසුම අවස්‌ථාවක විනා කිසිවකුගෙන් නොඉල්ලිය යුතුය. හැකිතාක් දුරට ඉල්ලීම අඩු කළ යුතුය. ඔබ මෙසේ නුවණින් කල්පනා කරන්න. ගුණවත් සහ නැණවත් දෙමාපියෝ දරුවන්ට දිය යුතු දේ දිය යුතු අවස්‌ථාව ඉතාමත් හොඳින් දනිති. දරුවන් නමුත් නිතරම ඉල්ලන්නේ නම් වරෙක දෙමාපියන් ද එපාවෙයි. ස්‌වාමිපුරුෂයෙක් සහ බිරිඳක් අතරද සොහොයුරු සොහොයුරියන් අතරද හිතවතුන් අතරද, අසල්වැසියන් අතරද එසේමය. පැවිදි පක්‌ෂය සහ දායකයන් අතරද එසේමය. පැවිදි පක්‌ෂය වුවද නිතර නොයෙක් දේ ඉල්ලා දායක ඇත්තන්ට කරදර කරන්නේ නම්, එහි හටගන්නේ කළකිරීමකි. එපාවීමකි. කොපමණ උගත්කමක් පැවැතියද, රූපයක් තිබුණද තනතුරු තිබුණද, ඉල්ලූ විට පහත් බවට ඇද වැටෙයි. පින් දහම් සහ සමාජ සේවා කටයුතු සඳහා යම් යෝජනා ඉදිරිපත් කළ හැකිය. එනමුත් කරදරයක් වන ආකාරයට ඉල්ලීම නම් නොකළ යුතුය. ඔබ මෙවැනි අදහස් සමාජයේ අසා තිබේද? 'ඒ අය නම් කවදාවත් තියෙනවා කියා හෝ ඇතියි කියලා නම් කියන්නේ නැහැ. කට ඇරියොත් කියන්නේ නැහැයි කියලා. නැතිනම් මදියි කියලා. ඔය මිනිස්‌සු නම් කවදාවත් සතුටු වෙන්නෙත් නැහැ. සතුටු කරන්නත් බැහැ. ඔබ දුප්පත් වුවත් ධාර්මික නම්, සිල්වත් නම් එම ගුණය කෙතරම් අගනේද? උත්සාහයෙන්, වීර්යයෙන් යුතුව නැගී සිටීමට ධාර්මිකව කටයුතු කරන්න. 'යථාලාභ සන්තුට්‌ඨි' හෙවත් ලද දෙයින් සතුටුවන්න.
අට්‌ඨසේන ජාතකයෙහි සඳහන් මෙම පුවත කියවා යමක් සිතට ගන්න. තාපසයෙක්‌ව සිටි බෝධිසත්වයන් වහන්සේ කෙරේ පැහැදුණු රජතුමා විසින් රාජ්‍යයද ඇතුළු ඕනෑම දෙයක් අවශ්‍ය නම් ඉල්ලන්නට යෑයි කියා තිබුණද බෝධිසත්ව උතුමෝ කිසිවක් කිසිදා නොඉල්ලූහ. දිනක් රජතුමා මෙසේ බෝධිසත්වයන්ගෙන් ප්‍රශ්න කළේය. මා නොහඳුනන බොහෝ දෙනා මා වෙත පැමිණ බොහෝ දේ මගෙන් ඉල්ලති. කැමැති දෙයක් ඉල්ලන්ට යෑයි මා ඔබවහන්සේට පවසා තිබුණත් කිසිවක් නොඉල්ලන්නේ කවර හේතු නිසාදැයි ප්‍රශ්න කළේය. බෝධි සත්වයෝ මෙසේ පිළිතුරු දෙති.
"ඉල්ලන තැනැත්තා අප්‍රිය වෙයි. ඉල්ලූ විට නොදෙන තැනැත්තා, එසේම අප්‍රිය වෙයි. මේ නිසා අප දෙදෙනා අතර අමනාපයක් ඇති නොවේවායි සිතා මම ඔබතුමාගෙන් කිසිවක් නොඉල්ලුවෙමි"
යි පැවැසූහ. මණිකණ්‌ඨ ජාතකයට අනුව තාපසයෙක් වෙතට නිතර පැමිණීමට පුරුදුව සිටි නාගයෙක් සිටියේය. මෙම නාගයාගේ ගෙලෙහි මාණික්‍යයක් තිබිණි. දිනක් තාපසතුමා එම මාණික්‍යය නාගයාගෙන් ඉල්ලීය. ඊට පසුවදා පටන් නාගයා තාපසතුමා වෙතට නොපැමිණියේය. කෙසේ වෙතත්, යම් කෙනෙක් යමක් ඉල්ලුවේද හැකි අයුරකින් දීම කළ යුතුය. ඉල්ලන ලද තැනැත්තා හෝ තැනැත්තිය මනසින් ඉතාමත් පීඩාවකට පත්ව එම ඉල්ලීම කළ හැකිය. නැතිබැරි කමට යෑයි පවසා ලඡ්ජාව යටපත් කරගෙන යමක් ඉල්ලා සිටිය හැකිය. සත්පුරුෂයෝ එවැනි අවස්‌ථාවල පිහිට වෙති. පරිත්‍යාගය පුරුදු කිරීම පිණිස ඉල්ලන්නා කෙරේ ඔබට මෙසේ සිතිය හැකිය. මේ ඉල්ලන අයමගේ අම්මා වී සිටියා නම්, පියාණන්වී සිටියා නම්. සොහොයුරා හෝ සොහොයුරිය වී සිටියා නම්, දුවෙක් හෝ පුතෙක් වී සිටියා නම් මට කුමක්‌ද සිතෙන්නේ? මෙවැනි සිතුවිලි ඔබගේ සිත මෘදු බවට පත්කොට දානය, පරිත්‍යාගය කෙරේ නැඹුරු කරනු ඇත. දානයේදී ධර්ම දානයද උතුම්ම දානයකි. බුදුදහමට අනුව තමා පංචශීලය ආරක්‌ෂා කරමින් අන් අයද පංචශීලය රකින්නට ආදර්ශයෙන්ම පෙළඹවීම ධර්ම දානය ආරම්භ කිරීමකි. මීළඟට දාන,සීල, භාවනා ප්‍රතිපත්තීහි ඇති වටිනාකමද උතුම් බවද ආධ්‍යාත්මික සුවයද අවබෝධකොට දිය හැකිය. එමෙන්ම "ඒහි පස්‌සිකෝ" නම් දහම් ආරාධනය අනුව මේ ධර්මය වෙතට අවුත් නුවණින් පරීක්‌ෂා කොට බලන්න යෑයි ආරාධනා කළ හැකිය. අභය දානය යම් මනුෂ්‍යයකුට හෝ සතෙකුට ජීවිතය රැකගන්නට උපකාරීවීමයි. එසේත් නැතිනම් මරණයෙන් ගළවා ගැනීමයි. වර්තමානයේ බොහෝ දෙනා ගවයන්ට අභය දානය දෙති. කිසිදු සත්වයකුට හිංසාවක් හෝ පීඩාවක් නොකොට මරණයට පත්නොකොට අභය දානය දියයුතු වන්නේය. මනුෂ්‍යයන් පමණක් නොව සියලුම සත්වයෝ තම ජීවිතවලට ප්‍රිය කරන්නෝය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම්
"සබ්බපාණ භූත හිතානුකම්පී " - සියලු සත්වයන් කෙරේ හිතානුකම්පී වන්න.
යනුවෙනි. තමන් තමාගේ ජීවිතයට දක්‌වන ප්‍රියබව මෙන්ම මෙලොව සියලු සත්වයෝම තමන්ගේ ජීවිතවලට දක්‌වන ප්‍රිය බව සිතා අනුන්ට හිංසා නොකළ යුතුය. ජීවිත නොනැසිය යුතුය. මම ඔබට මෙසේ ආරාධනා කරමි. ආහාර පාන ආදිය දීමෙන් අන් අයගේ ජීවිත රැකගන්නට උපකාරී වන්න. ධර්මය හෙවත් හොඳ සහ නරක කියාදීමෙන් මනුෂ්‍යයන් යහමඟට ගන්න. අන් අයගේ ජීවිතවලට හිංසා නොකිරීමෙන් අභයදානය හෙවත් සියලු දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්වන්නට ඉඩ හරින්න.
ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි
උපුටා ගැනීම දිවයින