රාවණා රජු සීතා සැඟවූ නිල් දිය පොකුණ
සොබාදහම විසින් මවනු ලබන සෑම නිර්මාණයකම කිසියම් අපූර්වත්වයක් දක්නට ලැබේ. ඇල්ල කරඳගොල්ලේ පිහිටි නිල්දිය පොකුණ ද එවැනි අපූර්වතම නිර්මාණයකි. අද වන විට දෙස් විදෙස් සංචාරකයන්ගේ පුරවරයක් ලෙස සැලකෙන බණ්ඩාරවෙල, ඇල්ල ආසන්නයේ මෙම නිල්දිය පොකුණ පිහිටා තිබිම නිසා මෙහි අගය වඩාත් වැඩි වි ඇත.
රාවණා රජතුමා දිය නෑමට යොදා ගත් බවට මතයක් පවතින නිසාම රාවණා දිය ඇල්ල නමින් හැඳින්වෙන දිය දහර ගලා බසින කඳු යායේ මෙම නිල්දිය පොකුණ පිහිටා තිබේ. ගුප්තබවක් සමඟම සුන්දරත්වයකින් ද හෙබි නිල් දිය පොකුණ නැරඹීම සඳහා බණ්ඩාරවෙල ඇල්ල හරහා වැල්ලවාය මාර්ගයේ යා යුතුය. කරඳගොල්ල පාසල ආසන්නයේ කිලෝමීටර් 10 කණුව අසලින් අඹවතුයාය පටු මාර්ගය ඔස්සේ කිලෝමීටර් දෙකහමාරක පමණ දුරක් කඳු යායේ ඉහළට ගොස් කැලෑවට ඇතුළු විය යුත්තේ අඩි පාරකිනි. කඳ යායේ බෑවුම දිගේ එම අඩි පාරේ කෙටි දුරක් ගිය පසු ගුහාවට ඇති පිවිසුම් මාර්ගය ගල් පර්වත දෙකක් අතරින් වැටි තිබෙනු අයුරු දක්නට ලැබේ. එය මිහිපිට සිට භුගතව පිහිටා ඇති අලංකෘත නිර්මාණයකි. නිල්දිය පොකුණ නැරඹීමට යන ගමනට අවශ්‍ය ආම්පන්න අතර ඉතාමත් දීප්තිමත් එළියක් සහිත විදුලි පන්දමක් ද සුදානම් කර ගත යුතු වේ.
අඩි දෙක තුනක් පමණ විශාල විශ්කම්භයක් සහිත විවරයකින් ඇතුළු වී අඩි 200ක් පමණ ප්‍රපාතයක පිහිටි උමං මඟ දක්වා එකා පසුපස එකා බැගින් පහතට බැසිය යුතු වේ. මෙය ඉතාමත් අවදානම් ගමනක ඇරඹුමක් ලෙසට හැඳින් වුව ද වරදක් නැත. කෑලි කැපිය හැකි ඝන අඳුරක් සහිත උමං මඟ මරුකපොළුවලින් ගහණය. ඝන අදුර නිසා ඉතාමත් ඉවසිලිමත්ව යායුතු ගමනකි. විදුලි පන්දම් එළිය හැර වෙනත් එළියක් නොමැති නිසා සුළු අත්වැරදීමකින් ප්‍රපාතයට ඇද වැටිය හැකි බැවින් පරිස්සම් විය යුතුය. ප්‍රපාතයට ඇද වැටුණ හොත් ජිවිතය අහිමි විමට ද පුළුවන. වවුලන්ගේ හා වැහිළිහිණියන්ගේ රජ දහනක් බවට මෙම උමං මඟ පත් වී තිබේ. එම නිසාම මෙම පක්ෂීන් නඟන ශබ්දයේ දෝංකාරයෙන් උමඟේ අද්භුත හඬක් ජනිත වේ.
උමං මාර්ගය ආරම්භක ස්ථානයේ සිට මීටර් 400 ක් පමණ ඇතුළට වන්නට මෙම නිල්දිය පොකුණ පිහිට ඇත. ගලින් නිම වි ඇති උමං මාර්ගයේ ඉහළ ගල් අතරින් ජල බිඳු පහතට වැටෙන අයුරු විදුලි පන්දම් එළියෙන් දක්නට ලැබේ. මෙහි තුළ ප්‍රීස්ම හැඩයෙන් යුත් වස්තුන්ගේ උල් පොළොව දෙසට නැමි තිබිම නිසාම එහි ඇති අලංකාරය ඔප් නැංවී තිබේ.
නෙත් සිත් පුදුම කරවන මෙවැනි දසුන් විදුලි එළි ආධාරයෙන් බලමින් මරු කපොළු පසුකරමින් ඉතාමත් ඉවසිලිමත්ව ඉදිරියට ගිය විට නිල් දිය පොකුණ දැකිය හැකිය. නිසොල්මන්ව නිල් පැහැයෙන් යුත්ත ජලාශය දෑස් අදහා ගත නොහැකිය. එහි ඇති ජලයට විදුලි එළිය එල්ල කිරීමේදී මෙම නිල් පැහැය දිස්වේ. මෙම පොකුණ සාමාන්‍යෙයන් අඩි 40 - 50 ක් පමණ විශාලත්වයෙන් යුතු බව පෙනේ. ඉවුරේ සිට අඩි 10 - 15ක් පමණ වන ගල් කුළත් පොකුණත් යාවී ඇත්තේ පියස්සක් ලෙසිනි. තව ද පොකුණේ දකුණු දෙස සිට බලන විට පොකුණේ මධ්‍යයට වන්නට පිහිටා ඇති ගල් බැම්මට එපිට දක්වා පොකුණ විහිදී තිබේ. පොකුණ පත්ල මුළුමනින්ම ගල් කුට්ටිවලින් නිර්මාණය වි ඇත.
පොකුණට ජලය ගලා එන හෝ පිරී ඉතිරී ගලා යන අයුරු ද දකින්නට නොමැතිවිම පුදුම සහගතය. කෙනකුගේ පාදයේ දණහිස දක්වා පමණක් පොකුණේ ජලය පිරි තිබේ. ජලයේ මඩ මිශ්‍ර බවක් දක්නට නැත. එහෙත් පොකුණේදී නිල්පාටින් වර්ණ ගැන්වි පෙනෙන ජලය ගුහාවෙන් පිටතට රැගෙන විත් බලන විට වර්ණය අතුරුදන්ව ඉතාමත්ම පිරිසුදු ජලය ලෙසින් දිස්විම අදහාගත නොහැකිය.
මෙවන් අයුරින් අද්භුත ලෙසට නිර්මාණය වි ඇති භූගත නිල් දිය පොකුණ පිළිබඳව විවිධ මත පළ වන බව පෙනේ. රාවණා රජු විසින් ඉන්දියාවේ සිට ගුවනින් පැහැරගෙන පැමිණි බවට පුරාවෘත්තයේ සඳහන් සීතා දේවිය මෙම නිල්දිය පොකුණ ආසන්නයේ ස්ථානයක ආරක්ෂාව සඳහා නතර කර තිබුණ බවට සඳහන්ය. ඒ අනුව රාවණා රජු කාලයක් ජිවත්ව ඇත්තේ රාවණා ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ බවට පවතින මතයට අනුව සීතා දේවිය මෙම උමං මාර්ගයේ ගල් ලෙනෙහි රඳවන්නට ඇතැයි ද ඇය මෙම දිය ඇල්ලෙන් ජලස්නානය කරන්නට ඇතැයි ද මතයක් පවතී.
කෙසේ වෙතත් මෙම නිල් දිය පොකුණ දැක බලා ගැනීමට යන පිරිස් මෙම අනතුරුදායක භූගත ගමන් මාර්ගයේ යෑමට පළපුරුදු මඟපෙන්වන්නකුගේ සහාය නිතැතින්ම සපයා ගැනීම එක අතකින් ජිවිත ආරක්ෂා කර ගැනීමට උපකාරි වනු ඇත.
උපුටා ගැනීම දිනමිණ