Biz Log
Classifields
Biz Log
Classifields

සීතා රාවණාගේ නැඟණිය ද?

 සීතා රාවණාගේ නැඟණිය ද?

රාවණ යැයි කියූ සැණින් අප සිත්හි මැවෙන චිත්‍රයක් ඇත; අප සිත්සතන් තුළ තැන්පත් වූ රූපකායක් ඇත. අද වන විට ඔහු පිළිබඳ බොහෝ දේ ලියවෙයි; සාකච්ඡා කෙරෙයි; චිත්‍රපට හා ටෙලි නාට්‍ය ද තැනෙයි. මේ සා විශාල කතිකාවකට බඳුන්ව ඇති රාවණ පිළිබඳ ඉතිහාසය මෙන්ම ඔහුගේ බලපරාක්‍රමය පිළිබඳ තොරතුරු පිපාසාවෙන් පෙළෙන්නන් වෙනුවෙන් ලියැවෙන රාවණ පුරාවතේ දෙවැන්නයි මේ. අපගේ කතාබහට එක් වන්නේ, රාජවංශය පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක මෙන්ම, ක්‍රීඩා අමාත්‍යාංශ අනුබද්ධ අංගම්පොර සම්මේලනයේ උප සභාපති සහ අංගම්පොර තාක්ෂණික කමිටුවේ සභාපති ද වන, ප්‍රවීණ චිත්‍රපට අංගම්පොර සටන් අධ්‍යක්ෂ සුමුදු අමල්ක මහතාය.

රාවණා හා රාමාගේ ගැටුමට ප්‍රධානම හේතුව සීතා බව, බැලූ බැල්මට පෙනේ. එහෙත්, ඊට මූලිකව සුපර්ණිකා ද සිටිනා බව අප අමතක නොකළ යුතුය. සීතා යනු කවරෙක් ද? ඉතා කෙටියෙන්ම පවසනවා නම්, සීතා යනු රාවණාගේම නැගණිය ය. රාවණාගේ පියා වූ විශ්‍රවස් මුනිතුමන්ගේ ළාබාලම දරුවා වූ දියණිය සීතාය. ඇගේ වේල පත්කඩයට අනුව, ඇය නිසා රාවණා පවුලම විනාශය කරා ගමන් ගන්නා බව, මුනිතුමන් කල්තියාම දැන ගත්තේය. ඒ අනුව ඔහු, මේ දියණිය පිටුවහල් කිරීමට තීරණය කළේය. අනතුරුව, ඇතුළතට ජලය කාන්දු නොවන ආකාරයට සැකසූ ලී ඔරුවක ඇය ආරක්ෂිතව තබා, මුහුදේ පා කර හැරියේය. මුහුදේ පාවී ගොස් කුණාටුවකට හසු වීමෙන් ගංගා නදිය වෙත ගසාගෙන ගිය මේ ඔරුව, තාපසයකුට හමු විය. ඒ තාපසයා මේ බිලිඳිය, එවකට මිථිලාව පාලනය කළ ජනක රජු වෙත භාර දුන්නේය.

බිලිඳිය මුහුදේ පා කර හරින්නට පළමුව, විශ්‍රවස් මුනිතුමන් ඇගේ සිරුරේ ස්වස්තික ලාංඡනය සලකුණු කර තිබුණි. ඒ වනවිට ජනක රජුට දරුවන් නොසිටි බැවින්, ඇය දරුකමට හදාවඩා ගන්නට තීරණය කළේය.‍ තාපසතුමා බිලිඳිය රැගෙන යන විට, ජනක රජතුමා කුඹුරු සී සෑමේ මංගල්‍යයකට සහභාගී වී සිටි අවස්ථාවක් බැවින්, ඇයට ‘සීතා’ යැයි නම් තැබීය. ඔවුන්ගේ භාෂාවට අනුව සීතා යනු,‘නඟුලෙන් උපන් ලිය’, එසේත් නැතිනම්‘නගුලිය’යන්නය.

විශ්‍රවස් මුනිතුමන්ගේ දියණිය, නැතිනම් රාවණාගේ නැගණිය, මිථිලාවේ ජනක රජුගේ දියණිය සීතා ලෙස හැදී වැඩුණේ, දුටුවන් සිත් වශී කරවන රූප ශෝභාවකින් පිරිපුන්, සුන්දර යුවතියක් ලෙසටය. කල වයස ආ විට, ජනක රජු තම දියණිය විවාහ කර දීමට ස්වයංවරයක් පැවැත්වීය. එහෙත්, මේ ස්වයංවරය තරමක් වෙනස් ආකාරයකට සිදු විය. ජනක රජු සතුව තිබුණු, සිය පරපුරෙන් උරුම වූ අධික බරැති, තද, සවිමත් දුන්න ඔසොවා, එහි දුනුදිය ඇද දැමූ කුමාරයාට, සීතා සරණ පාවා දෙන බවට රජු සංදේශයක් ප්‍රසිද්ධ කළේය. ඒ අනුව පැමිණි කුමාරවරුන් අතරින් එම දුනුදිය ඇද සුදුසුකම් ලැබුවේ, රාම කුමාරයා පමණි. ඒ අනුව සීතා, රාමාගේ බිරිය විය.

රාම කුමාරයා භාර‍තයේම අයෝධ්‍යාවේ රජු වූ දශරත්ගේ වැඩිමහල් පුතාය. රාමාගේ උපතේදීම රාවණා පරාජය කිරීම උදෙසා අපේක්ෂාවක් තිබුණි ද? මේ පිළිබඳ අප විමැසිය යුතුය. ඒ වන විට රාවණ ලැබූ බ්‍රහ්මවරය නිසා, මිහිපිට කිසිවකුට ඔහු පරාජය කළ නොහැකි විය. මේ බලසම්පන්න බව නිසාම, දෙව් ලොව දිව්‍ය ආයුධයකින් හෝ ඔහු පරාජය කළ නොහැකි බව, මුළු ලෝකයම දැන සිටියේය.

රාවණා පරාජය කිරීමට නම්, තවත් එවැනිම දිව්‍ය බලයක් සහිත පුත්‍ර රත්නයක් අවශ්‍ය බව තේරුම් ගත් අයෝධ්‍යාවේ දශරත් රජු, ඊට අවශ්‍ය දෑ සකස් කෙරුවේය. ඒ වන විට දරුවන් නොමැතිව සිටි රජතුමා, රාවණා කළ යාග හෝම ඒ අයුරින්ම කරමින්, දිව්‍ය බලයක් ඇති දරුවකු ලබා ගන්නට කටයුතු කළේය. ඊට සහාය දැක්වූයේ ඔහුගේ පුරෝහිත වශිෂ්ඨය. ඒ අනුව‘සෘෂ්‍යගෘංග්’නම් ඍෂිවරයාගේ උපකාරයෙන් මේ යාග හෝම පැවැත්වීය. මේ යාග හෝම පවත්වන අතරතුර, ගිනිදැල් අතරින් මතු වී ආ ප්‍රතාපවත් පුරුෂයෙක්, ශුද්ධ වූ සහල් සහිත රිදී බඳුනක් රජු අත තබා, නොපෙනී ගියේය. එම සහල්වලින් පිසූ බත්, රජුගේ බිසෝවරු තිදෙනාට කන්නට දුන් පසු, තිදෙනාම ගැබ්බර වූහ.

ඒ අනුව පළමු බිසව වූ කෞෂල්‍ය දේවිය, කුළුඳුල් පුත් කුමරා ලෙස ‘රාම‘කුමරු මෙලොවට බිහි කළාය. දෙවැනි බිසව වූ කෛකාසි දේවිය‘භරත‘කුමරුත්, තෙවැනි බිසව වූ සුමිත්‍රා දේවිය ‘ලක්ෂ්මණ‘ සහ ‘ශතෘග්න‘කුමරුවත් බිහි කළහ.

සීතා යනු තමාගේම නැගණිය බැව්, රාවණ ද දැන සිටියේය. ඒ බව මෙසේ විග්‍රහ කළ හැකිය. සීතා ආරක්ෂිත ලෙස තබාගත යුතු බැවින්, ඈ රටේ විවිධ ස්ථානවල සඟවා තබා ඇත. වරක් සීතාගේ රැකවලට සිටි ත්‍රිජාථා නම් යක්ෂ ගෝත්‍රික සේවිකාව, සීතාගේ ළමැදේ ස්වස්තික ලාංඡනය තිබෙනු දැක, ඒ බව රාවණාට සැල කර තිබේ. ඇගේ ළමැදේ ස්වස්තික ලාංඡනය ඇත්තේ කෙසේදැයි රාවණා සොයා ඇත. කුඩා ළදැරිය මුහුදේ පා කර හැරීමට පළමුව, විශ්‍රවස් මුනිතුමන් ස්වස්තික ලාංඡනය තැබූ බව සොයා ගත් රාවණා, සීතා තම නැගණිය බව සැක හැර දැන ගනියි. ඉන් පසුව ඇයට, රැකවලුන් මැද වුව ද රාජකීය සත්කාර ලබමින්, නිදහස් ලෙස කල් ගෙවීමට ඉඩකඩ සැකසුවේය. රාවණාගෙන් සීතාට කිසිදු අතවරයක් නොවූ බව වාල්මිකී ද ‘රාමායණය‘තුළ සඳහන් කර ඇත. එයට හේතුව, සහෝදර බැඳීම බව ඔප්පුවේ.

ලෝකයේ සියලුම ජාතීන් මෙන්ම, අපේ රට තුළ ද රාවණා පිළිබඳ තිබුණේ වැරැදි ප්‍රතිරූපයකි. මහාවංසයට අනුව අප පැවත එන්නේ, ඉන්දියානු විජය කුමාරයාගෙන්ය. එහෙත්, ඊට පෙර අප රටෙහි පැවැති ඉතා දියුණු තාක්ෂණ ක්‍රමවේද සමඟ කටයුතු කළ රාවණා ඉතිහාසය, හිතාමතා මකා දමා ඇත. මහාවංසයට අනුව විජය කුමාරයා ලංකාවට පැමිණෙන විට 'යක්ෂ ගෝත්‍රික කුවේණී' නම් කාන්තාව කපු කැටීමේ යන්ත්‍රයකින් කපු කටිමින් සිට ඇත.

ඒ වන විට කපු කැටීමේ යන්ත්‍රයක් නිපදවන්නට නම්, එම යක්ෂ ගෝත්‍රිකයන්ට තාක්ෂණ දැනුමක් තිබිය යුතුය. එකල යක්ඛයෝ භාවිත කළ තාක්ෂණික මෙවලම් හෝ දැනුම පිළිබඳ ඉතිහාස මූලාශ්‍ර හෝ හිතාමතා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බව, මේ අනුව විශ්වාස කළ හැකිය.

වර්තමානය වනවිට අප උගෙන ඇත්තේ, 18 වැනි සියවසේ ඇති වූ ‍අමෙරිකානු කාර්මික විප්ලවය සමඟ, 1733දී නූල් කටින යන්ත්‍රය නිපද වූ බවය. 1764දී ජේම්ස් ‍හාග්‍රිව්ස් විසින් මදක් දියුණු කළ යන්ත්‍රයක් සෑදූ බවත්, 1769දී රිචඩ් ආක්රයිට් වඩාත් දියුණු නූල් කැටීමේ යන්ත්‍රයක් නිපද වූ බවත්, ඉතිහාසයේ සඳහන්වේ. ඒත්, කුවේණිය නූල් කටිමින් සිටි යන්ත්‍රය ගැන අල්ප මාත්‍රයක හෝ සඳහනක් නැත්තේ ඇයි? හිතාමතා මකා දමා ඇත්තේ, අපේ සැබෑ ප්‍රෞඪත්වයය. එය සිදු වූයේ කාගේ වුවමනාවට ද? ඒ පිළිබඳ අප තව තවත් නිහඬව සිටිය යුතු ද?

මහාවංසයේ සඳහන් වනවාට වඩා ඈතකට දිවෙන අතීත වටිනාකමක්, දියුණු ඉතිහාසයක්, අපට තිබේ. එය වසර එක්ලක්ෂ විසි පන්දහසක් තරම් ඈතට විහිදී යන බව සහ දකුණු පළාතට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජවෙල ප්‍රදේශයේ ඉරණමඩු සැකැස්මට අයත් ‘බොරළු තට්ටුව’ සාක්ෂ්‍ය දරන බව, පුරාවිද්‍යාත්මක මතයයි.

අප රටේ අතිශය සෞභාග්‍යමත් සමයක්ව පැවැති ඒ උදාර රාවණ යුගය පිළිබඳ නිවැරැදි, පැහැදිලි කරුණු, දැන්වත් අපගේ අනාගත පරපුර වෙත හඬගා කිව යුතුය. අප රාවණා ගැන සිතිය යුත්තේ, වාල්මිකී පවසන ආකාරයට ද? වාල්මිකී රාමායණය නොලිව්වා නම්, තත්ත්වය කුමක් වෙයි ද? වාල්මිකී රාමාට සුදු හුණු තවරමින් රාමායණය තුළ රාමා වීරයකු කර, රාවණා දුෂ්ටයකු කර ඇත්තේ, ඔවුන්ගේ වාසියටය. එසේ නැතහොත්, තවමත් රාවණාට ඇති බිය නිසාය. එසේ නම් අප අපේ රාවණා පිළිබඳ සැබෑ ඉතිහාසය යළි ලිවිය යුතුය.

මහා රාවණා සතුව, ගුවනින් ගමන් කළ හැකි යානයක් තිබූ බව, වාල්මිකී පවා පිළි ගනී. එසේ නම් එය, ලෝකයේ ප්‍රථම ගුවන් යානා තාක්ෂණය භාවිත කළ යුගය නොවන්නේ ද? රයිට් සහෝදරයන් 1905දී ලෝකයේ ප්‍රථම ගුවන් යානය නිපදවූ බව, ඉතිහාසය අපට පවසයි. එහෙත්, 1988දී සොයාගත් ඊජිප්තු පිරමීඩ තුළ වූ රූප හා සටහන්, එය බොරු කර තිබේ. මැටියෙන් තැනූ ගුවන් යානා ආකෘති හතරක් එහි තිබූ අතර, කාබන් පරීක්ෂණයට අනුව එය වසර හාරදහස් පන්සියයකට වඩා පැරැණි බව ඔප්පු වී ඇත. ඒ අනුව ඉතිහාසය විමසා බැලීමේදී, මෙවැනි ගුවන් යානා හමුවන්නේ රාවණා යුගයේදීය. 'රාවණා, සීතා ගෙනා රථයෙන් අහසට නැඟුණේය' යැයි වාල්මිකී ද පිළි ගනියි. රාවණා, සීතා පැහැරගෙන එන්නේ, ‘පුෂ්පක විමානය’ නම් දඬුමොණර යන්ත්‍රයෙන් බව, බොහෝ ඉතිහාස පොත්වල සඳහන් වී ඇත.

රාවණාගේ ගුවන් යානා පිළිබඳ කතා කිරීමේදී, 'විමාන' යන්න පැහැදිලි කරගත යුතුය. 'විමන්' යනු විශාල ගුවන් යානාය. 'බිමින්' යනු සැහැල්ලු ගුවන් යානා විය. ඊට අමතරව පාපැදි ගුවන් යානා, කන්දක සිට තවත් කන්දකට ගමන් කළ හැකි ගුවන් යානා සහ ගිරි මුදුන්වල සිට පහළට බැසිය හැකි ගුවන් යානා ලෙස බොහෝ ප්‍රභේද පිළිබඳ සඳහන්ය.

 සීතා රාවණාගේ නැඟණිය ද?

ස්වස්තික ලකුණ : මේ විමාන යානා, ප්‍රධාන කාණ්ඩ තුනකට අයත්ව භාවිත කර ඇත.

1. කිසියම් බල ප්‍ර‍දේශයක් තුළ, තැනින් තැන ගමන් කිරීම (අභ්‍යන්තර ගුවන් ගමන්)

2. එක් රටක සිට තවත් රටකට ගමන් කිරීම (අන්තර්ජාතික ගුවන් ගමන්)

3. එක් ග්‍රහලෝකයක සිට තවත් ග්‍රහලෝකයකට ගමන් කිරීම (විශ්ව චාරිකා)

විමානයක් චලනය වීම සඳහා, බලශක්ති හතක් උපයෝගී කර ගනියි. එම බලශක්ති නිපදවා ගැනීමට අදාළ විශේෂිත උපකරණ හතක් භාවිත කර ඇත. ඒවා, තෝරාගත් සුදුසු ස්ථානවල සවි කර තිබිණ.

1. තුන්දිල (විමානය ඉහළ නැංවීමට අවශ්‍ය ශක්තිය නිපදවීම)

2. පන්ජාර (ඉහළ ගිය විමානය යළි පහළට ඇදගැනීමේ ශක්තිය නිපදවීම)

3. අම්ෂුපා (සූර්ය ශක්තිය අවශෝෂණය කර ගැනීම)

4. අපකර්ෂක (විමානයේ ක්‍රියාකාරිත්වයට ප්‍රතිවිරුද්ධ බලයක් නිශේධනය කිරීම)

5. සාන්ධානික (සුවිශේෂී බලශක්ති දොළහක් නිපදවීම)

6. දාර්පණික (කුන්තනී ශක්තිය නිපදවීම)

7. ශක්ති ප්‍රසාවක (ප්‍රධාන චාලක ශක්තිය නිපදවීම)

මේ ශක්ති, අද ගුවන් යානා සඳහා භාවිත වන ඛනිජ තෙල් හා සමානය. එදා මේ සඳහා ශාක යොදා සෑදූ තෙල් වර්ග, රසදිය, සූර්ය ශක්තිය, ප්‍රති ගුරුත්ව බලය සහ අක්ෂර බලය (එනම් මන්ත්‍ර) යොදාගෙන තිබිණ.

මේ ගුවන් යානා පදවන්නා ‘දූතක’ලෙස හඳුන්වා ඇත. ඔවුන් ද තනතුරු හතකට බෙදා තිබේ. එක් රටක සිට තවත් රටකට විමාන පැදවීමේ අවසරය ලබන දූතක, ‘විශ්වාම්බර’නමින් හැඳින්වේ. ගුවන් විමන් පැදවීමේ දැනුම, අත්දැකීම් හා පළපුරුද්ද මත මොවුන් වර්ග කර ඇත. ඒවා හැඳින්වෙන්නේ (1) නාරයන (2) ෂෞනක (3) ගර්ඝ (4) වාෂස්පති (5) චක්‍රයානි (6) ධුන්දිනාථ සහ ඉහළම නිලධාරියා ‘විශ්වාම්බර’ලෙසය. මේ ගුවන් විමන් පදවන දූතක, අනිවාර්යයෙන් උගතයුතු රහස් 32ක් පිළිබඳ සඳහන්වේ. උදාහරණයක් වශයෙන් ගතහොත් ‘මාන්ත්‍රික’යනු; විමානයක් නිපදවීමට අමුද්‍රව්‍ය සපයා ගැනීමේ සිට, එය සාදා පැදවීම දක්වා අවශ්‍ය සියලු මන්ත්‍ර ප්‍රගුණ කිරීමය.

මෙවැනි රහස් තිස් දෙකක්, එම දූතක දැනගත යුතුය. එම නම් කෙටියෙන් දක්වතොත් මෙසේය. (1) මාන්ත්‍රික (2) තාන්ත්‍රික (3) ක්‍රීකක (4) අන්තරාල (5) ගූඨ (6) දෘෂ්‍ය (7) අදෘෂ්‍ය (8) පරෝක්ෂ (9) අපරෝක්ෂ (10) සංකෝච (11) විස්කෘත (12) විරූපකරණ (13) රූපාන්තර (14) සුරූප (15) තමෝමය (16) ජ්‍යොතිර්භාව (17) ප්‍රලය (18) විමුඛ (19) මහා ශබ්ද විමෝචන (20) තාර (21) ලංඝන (22) ශාර්ප ගමන (23) චාපල (24) සර්වතෝ මුඛ (25) රූපාකර්ෂණ (26) දික් ප්‍රදර්ශන (27) පර්ශබ්ද ග්‍රාහක (28) ස්ථබ්දක (29) ක්‍රියාග්‍රහණ (30) ආකාශාකාර (31) ජලදරූප (32) කර්ෂණ යනු ඒවාය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආටානාටිය සූත්‍රයට අනුව, ලංකාපුරයෙහි ගුවනින් ගමන් කළ හැකි පිරිසක් විසූ බව කියැවේ.

“කුමාරි වනණන් කත්වාණු යන්ති බිසෝ දිසම්

කුමාර වනණන් කත්වාණු යන්ති බිසෝ දිසම්“

ලෙස සඳහන් වන්නේ, කුමාර සහ කුමරියන් විසින් ගුවන් යානා පැදවූ බවය. එසේම මේ සූත්‍ර දේශනාවේ, අපේ රට ‘උතුරු කුරු දිවයින’ ලෙස හඳුන්වා තිබේ. මෙහි ‘කුරු’යනු ‘සමකය’යි. සමකයට උතුරින් පිහිටි දිවයින යනු, ‘උතුරු කුරු දිවයින’යි.

මීට අමතර ග්‍රීක මහා දාර්ශනික ප්ලේටෝගේ ලේඛනවල ද, මේ බව සඳහන් කරුණු අපට හමුවේ. ප්ලේටෝට අනුව ඉන්දියාවට දකුණින්, සමකයට අංශක 10ක් උතුරින් දිවයිනක් තිබූ බවත්, එම දූපත උතුරු කුරු දිවයින ලෙස හැඳින් වූ බවත්, එම දූපතේ සිටි මිනිසුන් ගුවන් යානා පැද වූ බවත් කියැවේ. තරුණයන් සහ තරුණියන් එම ගුවන් යානා පැදවූ අතර, මිනිසුන් හාරසිය පනහකට පමණ ගමන් කළ හැකිව තිබූ එම යානා, සූර්ය බලශක්තිය උපයෝගී කරගෙන පැදවූ බව ප්ලේටෝ දක්වයි.

මේ නිසා, ආටානාටිය සූත්‍රයටත්, ප්ලේටෝටත් අනුව, එදා තරුණයන් පමණක් නොව, තරුණියන් ද ගුවන් නියමුවන් ලෙස කටයුතු කර ඇති බව විශ්වාසය.

රාවණ සමයේ ගුවන් යානා ඉතිහාසය පිළිබඳ තවත් වැදගත් සාක්ෂ්‍යයක් ලෙස, මහාචාර්ය ආර්නෝල්ඩ් ටොයිම්බිගේ අදහස් දැක්විය හැකිය. ඔහු පවසන ආකාරයට, පොළොව යට නිධන් වී ඇති සියලු සම්පත් (ඛනිජ, ලෝහ ආදී) කැණීම්වලින් පිටතට ගෙන අවසන් වූ දිනෙක, අපට නැවතත් අතීතයට යාමට සිදුවන බව ඔහුගේ මතයවේ. එවිට රාවණා යුගයේ දඬු මොනරය රසදියෙන් ක්‍රියාත්මක කළ‘මර්කරි වෝටෙක්’‍තාක්ෂණය භාවිත කර, ගුවන්යානා පැදවීමට සිදුවන බව ඔහු පවසයි.

මේ වටිනා ඉතිහාසය පිළිබඳ එහෙන් මෙහෙන් නොව, සියලු කරුණු ඒකරාශී කර, විධිමත් ගවේෂණයක් කළ යුතුව ඇත. ගවේෂණයට පළමුව විශ්වාසය අවශ්‍යය. විශ්වාස කරමින් කරන නිවැරැදි ගවේෂණයක් ඔස්සේ, මහා රාවණගේ තාක්ෂණික හා සියලු උත්තරීතර බුද්ධිය පිළිබඳ අපට ස්ථිර කරගත හැකිය.

රාවණයෝ දුෂ්ටයකු කළ ඉන්දියාවෙන්ම දැන් දැන් මේ පිළිබඳ යම් ධනාත්මක තොරතුරු මතු වී ඒම, සතුටට කරුණකි. මෑතකදී නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘ඉන්දීය විද්‍යා සමුළුව’මේ පිළිබඳ නවතම තතු හෙළිදරව් කළේය. මේ පිළිබඳ කතාබහ සඳහා, ඉන්දියාවේ උගත් ප්‍රජාවගේ දායකත්වය වැදගත් වූවකි. ආග්‍රා ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයකු වූ නා‍ගේෂ්වරම් රායි ප්‍රකාශ කර ඇත්තේ, රාවණා රජුට විවිධ මාදිලියේ ගුවන් යානා වර්ග විසි හතරක් තිබූ බවය. එසේම, ඒවා ගොඩබැස්ස වීමට ගුවන් පථ ජාලයක් තිබූ බව ද ඔහුගේ මතයවේ. රාවණයන්ට එරෙහිව ‘දුසේරා’ පූජාව පවා පවත්වන ඉන්දියාවෙන්, එවැනි වටිනාකම් අපට හිමි වෙද්දී, අප වහා ක්‍රියාත්මක වී, මේ ඉතිහාසය ලොවටම හෙළි කළ යුතු නොවේ ද? ඉන්දියාව දුසේරා පූජාව කරන්නේ ඇයි? මේ පිළිබඳ එළැඹෙන සතියේදී සොයා බලමු.

 

භාතිය මදනායක

උපුටා ගැනීම දිනමිණ

Share This Article