සමන් දේව කන්නලව්ව
ඒ මීට වසර දහයකට පමණ පෙර විය යුතුය. "දිවයින" පත්‍රයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඒ කාලයේ බොහෝ ජනප්‍රිය අංගයක් විය. ඒ අනුව රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට අපි සූදානම් කළෙමු.
ඒ සඳහා රත්නපුර නගරයේ පිහිටි සාමාන්‍ය විශාල ප්‍රමාණයේ හෝටලයක් කල්තියා වෙන් කර තැබීම එදා මෙන්ම අදත් රත්නපුරේ මාධ්‍යවේදීන් අතර ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨයා වන ධර්මප්‍රිය ලියනාරච්චි මිත්‍රයාට පැවරිණි. ඔහු එය ඉටුකර තිබිණි. එම වැඩසටහන් සාමාන්‍යයෙන් පවත්වනු ලැබුවේ සෙනසුරාදා දිනවලදීය.
සිරිත් පරිදි රත්නපුරේ සමුළුව සඳහා ද සිකුරාදා සවසම "දිවයිනේ" කට්‌ටියක් කොළඹින් පිටත් වී ගියෙමු. එවකට "දිවයින" ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් එවකට අප සමග සිටි වත්මන් "සිළුමිණ" ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියාරච්චි, ධර්මරත්න විඡේසුන්දර, සිරිමල් ෆොන්සේකා සහ මේ සටහන ලියන මම අපේ කට්‌ටිය විය. අපේ රියෑදුරු වූයේ සෝමදාස නම් එවකට උපාලි සමාගමේ සිටි පළපුරුදු රියෑදුරු මහතෙකි.
එදින සිකුරාදා සවස පහ පමණ වන විට අපි රත්නපුරේ පිහිටි අපිට නියමිත හෝටලයට ගියෙමු. එහෙත් එහිදී අප පිළිගැනීමට සහ අප සමග එම රාත්‍රිය ගත කිරීමට සියල්ල සූදානම් කර සිටි ධර්මප්‍රිය ලියනාරච්චි මහතා හදිසියේ අසනීප වී සිටි බැවින් අප සමග එක්‌වීමට සිටියේ රත්නපුරේ සිටින තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දැල බණ්‌ඩාර මහතාය. සියල්ලටම කලින් අපි කට්‌ටියම රත්නපුරේ රෝහලට ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ධර්මප්‍රියගේ දුක සැප සොයා බැලුවෙමු.
"ප්‍රශ්නයක් නෑ.... මම නැතුවට කමක් නෑ... දැල බණ්‌ඩාර ඔක්‌කොම බලා ගනීවි" කියා ධර්මප්‍රිය අප සැනසීය.
රෑ කෑමට පෙර රසබර කතා කියමින් විනෝදවීමට තව හුග වේලාවක් ඇති බැවින් ඊට පෙර පිරිසිදු වී සමන් දේවාලයට ගිහින් පඬුරක් දමා එමු යෑයි අපි කවුරුත් තීරණය කළෙමු. සෝමදාස රිය පැදවූ අතර දැල බණ්‌ඩාර ද අප සමග එක්‌විය. සමන් දේවාලය ළගට යන විට පොද වැස්‌සක් පැවැතිණි.
"අපි මේ ටික තෙමි තෙමි යමුල යෑයි අප කිව්වත් දැල බණ්‌ඩාර දේවාලයේ කපු මහතකු හමුවී අපේ වෑන් රිය දේවාලයට නගින දැවැන්ත කළු ගල් පඩිපෙළ ළගටම ගැන්මට කටයුතු කළේය."
"වාහනයක් මේ පඩිපෙළ ළගටම ගන්න දෙන්නේ නැහැ. මම කපු මහත්තයාට කිව්වා අපේ කට්‌ටියේ රෝගියෙක් ඉන්නවා. ඒක නිසා වෑන් එක ගන්න ඉඩ දෙන්න කියලා..." දැල බණ්‌ඩාර බොරුවක් කියා ඒ අවසරය ලබාගත් අන්දම අපට රස කර කීවේය.
දේවාලයට ගොස් කපුරු හඳුන්කූරු පත්තු කර පඬුරු දමා දෙවියන් වැඳ පුදා විනාඩි ගණනකින් අපි පහළට බැස්‌සෙමු. මේ වන විට කලින් තිබූ පොද වැස්‌ස මහ වැස්‌සක් බවට පත්වී තිබිණි.
අපි කට්‌ටියම තෙමි තෙමී වෑන් රියට ගොඩවීමට එහි දෙපැත්තේ ඇති දොරවල් හතර ළගටම ගියත් පුදුමයකට මෙන් එක දොරක්‌වත් ඇරගන්නට නොහැක. සෝමදාස අතේ තිබූ වෑන් රියේ යතුරෙන් වෑන් රියේ ඕනෑම දොරක් විවෘත කර ගත හැකි වුවද එක දොරක්‌වත් සෙළවෙන්නේ හෝ නැත. හරියටම දොරවල්වලට සීල් තබලා වැනිය. මේ විදියට විනාඩි දහයක් පහළොවක් පමණ වෑන් රියේ දොරවල් ඇර ගැනීමට මහ වැස්‌සේ තෙමි තෙමී අප දැගලුවද එකම දොරක් හෝ සෙළවුණේවත් නැත.
ඒ එක්‌කම මට යමක් වැටහිණි. මම යළිත් දේවාලයේ පඩිපෙළ ළගට ගොස් දේවාලය දෙස බලාගෙන අප සමග සිටි කෙනකු පැවසූ "බොරුවට" සමා වී මේ වාහනයේ දොරවල් ඇරදෙන ලෙස සුමනසමන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියෙමි. දොරවල් ඇරුණු පසු යළිත් දේවාලයට ගොස් පුද පඬුරු පූජා කරන බවටද පොරොන්දු වීමි. එසේ පොරොන්දු වී මා යළිත් වෑන් රිය ළගට ගියද ඒ වන විට හෝ එක දොරක්‌වත් සෙළවුණේ නැත.
ඉන්පසු මහ වැස්‌සේ තෙමි තෙමී කට්‌ට කරුවලේම මම මහ පාර ළගට දුවගෙන ගියෙමි. මහ පාරේ ටිකක් ඈතට වෙන්නට පුංචි කඩ පිලක කුප්පි ලාම්පු එළියක් දුටු මම එතැනට ගියෙමි. එය පුංචි වින්කලයකි. පාපැදි අලුත්වැඩියා කරන තැනකි. එහි සිටි බාස්‌උන්නැහේ යෑයි සිතිය හැකි වයසක පුද්ගලයාට මම අපේ ප්‍රශ්නය කී විට ඔහු සීතලේ ගැහි ගැහී බොහෝ අමාරුවෙන් මා සමග වෑන් රිය ළගට යැමට එකග විය. ඔහුගේ ආයුධ දැමූ ලටපට මල්ල මම උස්‌සා ගතිමි. තුවායක් හිසේ බැඳගත් ඔහු ගෝනි පඩංගුවක් ද ගෙන හිස වටා දමා ගත්තේය. බාස් උන්නැහේ එක්‌ක මා වෑන් රිය ළගට එන තුරුත් වෑන් රියේ දොරවල් නොවේ ඇරගත හැකිව තිබුණේ. ඉන් පසුව බාසුන්නැහේ එහෙන් මෙහෙන් ආයුධ දමා වැරවීරිය යොදා ලොක් එකක් ගලවා අනික් දොරවල් ඇරදෙන විට රාත්‍රි දහයටත් කිට්‌ටු වී තිබිණි. මම යළිත් දුවගොස් දෙවියන්ට පඬුරු දැමුවෙමි.
සමන් දෙවියන්ට බොරු කියා වෑන්රිය එහි පඩිපෙළ ළගටම ගැනීමේ විපාක පිළිබඳ මාතෘකාව එදින රැය පහන් වන තුරුම අපට අමතක කළ නොහැකි විය.
මාත් එක්‌ක එදා රැ එතනට ආවේ ඇත්තටම වින්කල්කාරයෙක්‌ද නැත්නම් වෙනත් කවුදැයි මට තවමත් සිතා ගත නොහැක.
මෙරිල් පෙරේරා
උපුටා ගැනීම දිවයින පුවත් පත