පහන් දල්වන්නේ ඇයි?
“පහන්” සිතින් “පහන්” දැල්වීම ඉතාම බලවත් පුණ්‍යකර්මයකි. පන්සලට, පල්ලියට, කෝවිලට ගොස් පහනක් දැල්වීම අපගේ පුරුද්දකි. මේ අප දල්වන “පහන” පිළිබඳ විමසීමේදී අප හමුවේ බොහෝ කරුණු විමසා බැලිය යුතු දිගු කතාවකි. ඒවා අවබෝධයේ පහසුව පිණිස විමසා බලන්න කරුණු පෙළ ගස්වා ගනිමු.
1. පහන් දල්වන්නේ ඇයි? 2. පහන් දල්වන්නේ කාටද? 3. පහන් වර්ග මොනවාද? 4. පහන් දැල්වීමට යොදා ගන්නා තෙල් වර්ග මොනවාද? 5. පහන් දැල්වීමේ ආනිශංස මොනවාද? 6. හැම පහනකින්ම අරමුණ ඉටුවේද මේ කරුණු අනුව මුලින්ම පහන් දල්වන්නේ ඇයිද? යන්න විමසමු
ඕනෑම අයකුගෙන් පහනක් දල්වන්නේ ඇයි?
කියා විමසා බැලුවහොත් ඉතාම සරල පිළිතුරක් ඇත. එනම් “ආලෝකය” ලබාදීම සඳහාය යන්නයි. එය ඔබේ පිළිතුර නම් එය වැරැදියි. පහනක් දැල්වීමෙන් ඊට වඩා පුළුල් අරුතක් බලාපොරොත්තු වේ. “අලෝක පූජාව“ සඳහා බොහෝ දෙනා පහන් දැල්වුවද පහන් දැල්වීම නිසා ආලෝකය ලැබීම පමණක් නොව ඊට වඩා බොහෝ අරමුණු අප තුළ තැන්පත්ව ඇත. එනම් පහන් දල්වන්නේ “නිරෝගී සුවය” ප්‍රාර්ථනා කරමිනි. එසේම පහන් දැල්වීමේදී ආලෝකය සමඟ “ශක්තියද” ජනනය වේ. තාපය සහ ශක්ති ප්‍රභවයන් පහන තුළ ජනනය වේ. මෙහිදී අප පහන් දැල්වීමෙන් පතන “ආලෝකය” කුමන ආකාරයේ එකක්ද? රෝගියකු ඒ පහන දල්වන්නේ නිරෝගී සුවය පතාය. ව්‍යාපාරිකයකු පහන දල්වන්නේ ව්‍යාපාරයේ දියුණුව උදෙසාය. පාසල් සිසුවකු පහන දල්වන්නේ “අධ්‍යාපනය නමැති ආලෝකය” ලබා ගැනීමටය. බැතිමතකු පහන දල්වන්නේ මරණින් මතු ජීවිතයට ආලෝකයක් පතාය. මියගිය අය සඳහා පහන් දල්වන්නේ ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබාදීමටය. මෙසේ පහන් දැල්වීමේ අරමුණු විවිධය. බෝසත් තවුසා බුදු බව ලැබූ මොහොතේ “අලෝකෝ උදපාදී” යනාදී ලෙස මට ඥානය නමැති ආලෝකය පහළ වූ බව පැවැසූ බව සඳහන් වේ. රෑ අඳුර වැටෙන විට දල්වන පහනින් අඳුර නසන ආලෝකයත්, බුද්ධිය නමැති පහනින් ප්‍රඥාව නමැති ආලෝකයත් පහළ වේ.
එසේම යම් කිසිවකු මියගිය විට ඒ මෘත දේහය දෙපස “පහන්” දල්වන්නේ ඊට ආලෝකය ලබා දෙන්න නොව ඒ අවට ඇති විස බීජ නසා දැමීමටය. එතැනදී අද බොහෝදෙනා මෘතදේහය දෙපස පමණක් නොව “තොරණක්” මෙන් විදුලි බුබුළු දල්වා අවට සරසති. ඉන් අවශ්‍ය අරමුණ ඉටුනොවේ. සිදුවිය යුත්තේ දෙපා අසල සහ හිස අසල පොල් තෙල් පහන් දෙකක් දැල්වීමය. ඉන් ඒ අවට ඇති විස බීජ විනාශ වීම සිදුවේ. විදුලි බුබුළු මඟින් විස බීජ විනාශ වීමක් සිදු නොවේ.
පහන් දැල්වීම බුදුන්වහන්සේට, දෙවියන්ට පමණක් නොව යක්‍ෂ, භූත, පිසාච, කුම්භාණ්ඩයන්ට සහ මියගිය ඥාතීන්ටද සිදුකෙරේ. බුදු කුටිය තුළ දැල්වෙන්නේ බුදු පහනය. දෙවියන් සඳහා දේවාලයේදී හෝ දේව රූපය ඉදිරියේ පහන් දල්වමු. නිවාසවල හෝ ව්‍යාපාර ස්ථානවල ඇති භූමි දෝෂ ඉවත් කිරීමට ඔවුන් සඳහා පහන් දල්වමු. මියගිය ඇත්තන් වෙනුවෙන් ඔවුන්ට පින් පිණිස සොහොන් කොත් අවට පහන් දල්වමු. එසේම උත්සව අවස්ථාවල අමුත්තන්ට ගරු කිරීම සඳහා පහන් දල්වති. වෙසක් නත්තල් වෙනුවෙන්ද වෙසක් පහන්, නත්තල් පහන් දල්වමු.
පහන් දල්වන්නේ කාටද?
මේ ගැන ඉහතින් සාකච්ඡා කෙරුණද නැවත මඳක් විමසමු. බුදුන්වහන්සේ වෙනුවෙන් දල්වන පහන බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය වෙනුවෙන්මය. එසේම බුද්ධ ශාසනයේ කොතෙක් මහ රහතන්වහන්සේ සිටියද “සීවලී මහ රහතන්” වහන්සේ වෙනුවෙන් පහන් දැල්වීම සිදුවේ. එසේම “තිස් තුන් කෝටියක්” දෙවිවරු සිටියද අප තෝරාගත් දෙවිවරුන් කිහිප දෙනකු වෙනුවෙන් පහන් දල්වමු. ඉන් අපේ ලග්නයට අනුව හෝ මහ දසාවට අනුව අපේ පිහිට පතා තෝරාගත් දෙවියකු හමුවේ දල්වන පහන විශේෂයි. එසේම බොහෝ දෙනා ධන සම්පත් පතා ලක්‍ෂ්මි මෑණියන්ටද, අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ගණ දෙවියන්ට සහ සරස්වතී මෑණියන්ටද පහන් දල්වති. එසේම “ගුරු දිනයේදී” පාසලේ ගුරුවරුන් වෙනුවෙනුත්, රණවිරු දිනය, නිදහස් දිනය ආදියේදී ඒ සඳහාත් පහන් දල්වති. ඒ අනුව පහන් දල්වන්නේ කාටද? මෙන්ම අරමුණුද අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වේ. බුදුන්වහන්සේට පූජා කරන පහන් බුදුන්වහන්සේගේ, ශ්‍රී නාමයෙන් බුදුන්වහන්සේ පිටදුන් බෝධියට. බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන්වහන්සේ නිධන් කොට ඇති චෛත්‍ය රාජයා මැද පහන් දල්වති. ඒ අනුව බෝධි පූජාවේදීද පහන් දල්වති. එසේම පන්සලේදී පමණක් නොව බුදුන්වහන්සේටත්, දෙවිවරුන්ටත් නිවෙසේදී පහන් දල්වමු. නිවෙසේදී බුදුන්වහන්සේ වෙනුවෙන් පහන් දැල්වීම නොව දෙවිවරුන් උදෙසා පහන් දැල්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත. බෞද්ධයන් ලෙස අප නිවෙසේ කුමන දෙවියන්ට පහන් දැල්වුවද ඒ සැමට පෙර බුදුන්වහන්සේ වෙනුවෙන් පහනක් දැල්වීම අනිවාර්ය වේ. බුදුන්වහන්සේට පහන් නොදල්වා අනෙක් දෙවිවරුන්ට පහන් නොදල්වන්න. එසේම ලක්‍ෂ්මී මෑණියන්ට, ගණ දෙවියන්ට, සරස්වතී දේවියට කතරගම දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට සමන් දෙවියන්ට නිවෙස ඇතුළත පහන් දැල් වුවද කාලි මෑණියන්ට කඩවර දෙවියන්ට පත්තිනි මෑණියන්ට නිවෙසේ ඇතුළත පහන් නොදල්වන්න.
පහන් දැල්විය යුත්තේ කුමන දිශාවටද?
අප බුදුන්වහන්සේගේ සහ අනෙක් දෙවිවරුන්ගේ ප්‍රතිමා හෝ පින්තූර තැබිය යුත්තේ නිවෙසේ උතුර, ඊශාන හෝ නැඟෙනහිර දිශාවේය. අප වන්දනා කළ යුත්තේ ඉහත කී දිශා බලාගෙනය. එනිසා පහන් දැල්වීමද උතුර, නැඟෙනහිර හෝ ඊශාන දිශාභිමුඛව සිදු කළ යුතුය. එසේම ආරක්‍ෂක හෝ ඉෂ්ට කර්ම ආදියේදී පහන් දැල්වීමේදී ඒ ඒ දෙවියන්ට අදාළව පහන් දැල්වේ. එසේම නිවෙසේ ආරක්‍ෂාවේදී නිවෙසේ සෑම දොරක් සහ ජනේලයක් පාමුල පහන් දැල්විය යුතුය. ඒ අතර යක්‍ෂ, භූත, පිසාචයන් සඳහා පහන් දල්වන්නේ නැත. ඒ වෙනුවට පන්දම හෙවත් විලක්කු දැල්වේ. පිරිත් මණ්ඩපය සතර කොන සහ ෙදාරටුව දෙපස පහන් දැල්වේ. දැරියක වැඩිවියට පත් වූ අවස්ථාවේ ඇය ස්නානය කර නිවෙසට පැමිණෙන අවස්ථාවේදීද පහනක් දැල්විය යුතුය. මළ ගෙදරක් සිදුවූ විට ඒ මෘත දේහය නිවෙසින් ගෙන යන තුරු මෘත දේහය දෙපස පහන් දැල්විය යුතුය.
පහන් වර්ග මොනවාද?
පොදුවේ “පහන්” දැල්වීම ලෙස පැවැසුවද මේ දල්වන පහන් වර්ග රාශියකි. බොහෝ සිද්ධස්ථානවල පහන් රාශියක් දැල්වීමට පහසු වන ලෙස “පහන් වැට” ඉදිකර ඇත. එසේම ශ්‍රී පාදය, කිරිවෙහෙර, රුවන්වැලි සෑය ආදී බොහෝ ස්ථානවල අවුරුද්ද පුරා නොනිමෙන “ෙදාළොස්මහේ” පහන ඇත. එසේම මෙසේ දල්වන පහන් මැටි පහන්, පිත්තල පහන් වෙනත් ලෝහවලින් සැදූ පහන් ශෛලමය පහන් (ගල් පහන්) මෙන්ම අෑත අතීතයේදී භාවිත කළා. දැනුදු ග්‍රාමීය ප්‍රදේශවල පිරිත් පින්කම් සඳහා භාවිත කරන විශේෂ පහන් වර්ගයක් ඇත. එනම් ගස්ලබු ගෙඩිය දෙකට කපා ඇට ඉවත් කර පොල්තෙල් දමා පහන් දැල්වීමය. මේවා ඉතාම සුවඳවත්ය. එසේම අතීතයේ මලකැට පහන් වර්ගයක් විය. ඒ කැකුණ මද තළා රෙදි කැබලි සමඟ මුසුකොට තනාගන්නා පහන් විශේෂයකි. මේවා බොහෝ වේලා දැල්වෙන අතර ඉතාම සුවඳය. මදුරුවන් පලවාහරී. වර්තමානයේ පහසුවෙන් දැල්වෙන්නේ විදුලි පහන්ය. මේ පිත්තල පහන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. කිරිවවුල, පමුණුව, ගඩොලාදෙණිය මේ පිත්තල පහන් සෑදීමට ප්‍රසිද්ධය.අඟල් දෙකක් පමණ සිට අඩි හය හතක් උස පිත්තල පහන් නිර්මාණය කෙරේ. එසේම තනි පහනේ සිට පහන් එකසිය අටක් (108) පමණ දැල්විය හැකි සුවිශාල පහන් ඇත. මේ පහන් උස ප්‍රමාණය ගැනද විවිධ මත ඇත. උත්සවයකදී හෝ නිවෙසකදී (බොහෝ නිවෙස්වල අලංකාරය හා ගෞරවය සඳහා තබාගෙන ඇත) මේ පහන් ගෘහ මූලිකයාගේ උසට වඩා උසින් අඩුවිය යුතුය. ඒ අතරම පහනේ මුදුනේ ඇති කුකුළු රූපය ගැනද අදහස් පවතී. හඬලන කුකුළු රුව සහිත පහන් සුබදායක වුවත් මුඛය වසාගෙන සිටින කුකුළු රුව සහිත පහන් අසුබ බවත් සැලකේ.
පහන් දැල්වීමට ගන්නා තෙල් වර්ග :
බුදුන් වහන්සේ වෙනුවෙන් දල්වන පහන් සඳහා පොල්තෙල් යොදා ගන්නා අතර සුවිශේෂී අවස්ථාවල තැඹිලි තෙල් යොදා ගනී. එහෙත් දෙවියන් උදෙසා දල්වන පහන් සඳහා යොදා ගන්නා තෙල් වර්ග වෙනස් වේ. ගණ දෙවියන් හා සරස්වතී මෑණියන්ට දල්වන පහන් සඳහා එළඟිතෙල් යොදාගනී. විෂ්ණු දෙවියන්ටද එළඟිතෙල් යොදාගන්නා අතර ලක්ෂ්මි මෑණියන්ට දල්වන පහන් සඳහා පස්තෙල් යොදා ගනී. ශිව දෙවියන්ට අබතෙල් විශේෂ වන අතර කතරගම සහ සමන් දෙවියන් සඳහා යොදා ගන්නේ පොල්තෙල්ය. මෙහිදී මතක් කළ යුතු දෙයක් ඇත. මේ කිසිදු අවස්ථාවක ඉටිපහන් යොදා නොගන්නා බවය. එසේම නූතන වාණිජ්‍ය ලෝකයේ දකිනට ඇති දෙයක් නම් බොහෝ ආගමික ස්ථාන අසල එළඟිතෙල් පහන් විකිණීමට ඇත. ඒත් අප විමසිලිමත් විය යුතුය. පොල්තෙල්, එළඟිතෙල් ආදිය හිරු එළියේදී උණුසුම් වී දියවීමත් මැටි පහන්වලට උරාගන්නාසුලු බවත්ය. එහෙත් මේ අලෙවියට තබා ඇති පහන්වල තෙල් කුමන උණුසුමකදීවත් උණු වී නැත. ඒ නිසා ඒවායෙ ඇත්තේ එළඟිතෙල් නොව පැරපින් නමැති ඉටි වර්ගයයි. වර්ණ කොට පහන් තුළට දමා කාලයක් තබාගෙන ඇත. ඉටිපහන් බුදුකුටිය, දේව රූපය ඉදිරියේ නොදල්වන්නේ නම් මේ ව්‍යාජ එළඟිතෙල් පහන්ද දැල්වීමේදී ඔබ බුද්ධිමත් වනු අතැයි සිතමි.
පහන් දැල්වීමේ ආනිශංස :
පහන් දල්වා අප ලබා දෙන්නේ ආලෝකය හා ශක්තියයි. ඒ නිසා පහන් දැල්වීමෙන් අපට නිරෝගී සුවයත්, කායික හා මානසික සුවයත් එසේම බුද්ධියත් ලැබේ. අධ්‍යාපනය ලබන දරුවන් පහන් දල්වා පතන්නේ ඔවුන්ගේ බුද්ධිය දියුණු කරදෙන ලෙසය.
පහන් දැල්වීමේ නිවැරැදි ක්‍රමය :
පහන් දල්වන විට පළමුව පහන පිරිසුදු කරගත යුතුය. එසේම අලුත් පහන් තිරයක් දැමිය යුතුය. මෙය විහාරස්ථානවලදී ප්‍රායෝගිකව කිරීමට අපහසුය. ඒ බොහෝ දෙනා එක් අවස්ථාවකට පහන්වලට තෙල් දමන නිසාය. ඒත් නිවෙසේදී හෝ හැකි සෑම විටම පහන දල්වන්නට පෙර එහි ඇති පැරැණි අඟුරු, දැලි ආදිය ඉවත් කර පිරිසුදු කරන්න. එසේම අලුත් තිරයක් දමන්න. ඇතැම් විට මේ දමන තිරයද පරණ පාවිච්චි කරන ලද රෙදි කඩකින් සකසා ගන්නා අවස්ථා ඇත. එය නුසුදුසුය. අලුත් රෙදි කැබැල්ලකින් තිරය තනාගන්න. අද වෙළෙඳපොළේ පහන් තිර ඕනෑ තරම් ඇත. එසේම අද දල්වන පහනේ දැල්ල බුදුන් වහන්සේගේ දිශාවට යොමුවිය යුතුය. අප පහන දල්වා පූජා කරන්නේ බුදුන් වහන්සේට හෝ දෙවියන්ටය. බුලත් හුරුල්ලක් පිළිගන්වන ආකාරයෙන් පහන් දැල්ල බුදුන් වහන්සේ හෝ දෙවියන්ගේ දෙසට යොමු කරමු. අඳුරට ශාප නොකර එක පහනක් හෝ දල්වමු. බාරහාර වන අවස්ථාවල පහන් හතක්, නවයක්, තුනක්, එකසිය අටක් ලෙස පොරොන්දු වෙමු. බුදුන් වහන්සේට පූජා කරන පහන් සංඛ්‍යාවක් නැතත් දෙවියන් උදෙසා මෙසේ ඔත්තේ සංඛ්‍යාවක් පුදන්නට පෙලැඹී ඇත.
විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජේයාතිෂ විද්‍යා ප්‍රසාදිනි)පේරාදෙණියේ එස්. වීරරත්න 0727430179උපුටා ගැනීම මව්බිම පුවත්පත