මරණයේ මංපෙතෙහිදී ජීවිතය දිටිමි!
කෙනකුට ලොව සිටින සුවිශේෂතම තැනැත්තා වන තම පියාණන්ගේ අවසන් දවස් සහ මරණය ඇසුරු කරගෙන තම සිතෙහි පහළ වූ සිතිවිලි මාලාව මේ ලේඛකයාණෝ ලොව හිත පිණිස මෙලෙස හෙළි කරති. මෙහි මුල් කොටස ඉකුත් කලබේ පළ විය.
කිසිවකුගෙන් තාත්තා ගැන විමසන්නට ද නො සිතෙයි. මා අකැමැති පිළිතුර ලැබීමට ඇති අකැමැත්ත ඊට හේතුව යි. වාට්ටුව සිසාරා බැලුව ද තාත්තා වාට්ටුවේ වෙනත් සයනයක ද නැත. ප්‍රවාහයක් සේ සිතට ගලා එන්නට වැර දරන වියෝගයේ දුක මම යළි යළිත් මහත් ආයාසයෙන් වළක්වාගනිමි.
සංයෝගය වේ නම් වියෝගය ද වෙයි. සංයෝගය හා වියෝගය ද යනු ජීවිතය ම ය. ඉදින්, මම සංයෝගයේ බලාපොරොත්තුව පසෙක ලා වියෝගයේ එළැඹීම පිළිගනිමි. කිසිත් නොපෙනෙන, නොඇසෙන, නොහැඟෙන, නොදැනෙන, කිසිවක් නැති රික්තයක සැණෙකින් මා පා වෙයි; තවත් මොහොතකින් මා මෙතෙක් ලොව දුටු සියලු දසුන් එකවර දකිමින්, ලොව සියලු ඝෝෂාවන් අසමින්, ලොවෙහි සියලු දුක්, වේදනා, පීඩා විඳිමින් මහත් වේගයකින් යමහලක ගිලෙයි. මේ වියෝගය යි; වියෝගයේ දුක යි.
‘පුතා....!’ මා පා වීමෙන් සහ ගිලීමෙන් එකවර මුදවමින් තාත්තාගේ සුපුරුදු කටහඬ මා පසුපසින් ඊළඟ ඇසිල්ලෙහි ඇසෙයි. නිද්‍රාවෙන් අවදි වූ තාත්තා, පරීක්ෂණයක් සඳහා වාට්ටුවෙන් බැහැරට ගෙන ගොස් නැවත රැගෙන එමින් සිටියි.
‘අද-හෙට ම මට ගෙදර යන්න පුළුවන් යැ’ යි තාත්තා පවසයි. සංයෝගයේ ආලෝකය නැවත මසිත පුරා වැටෙයි. සිතට වට ආලෝකය වාට්ටුව පුරා විහිදී රෝහලින් පිටතට ද පැතිර යයි. හිරු බැස ගිය ද මුළු ලෝකය ම ඒ ආලෝකයෙන් එකලු වන’යුරු මට පෙනෙයි. අන් කවරදාකටත් වඩා ලෝකය කොතරම් ලස්සන දැ යි මට සිතෙයි.
ඊට පසු දින තාත්තා නැවත නිවෙසට පැමිණෙයි. ඒ, ප්ලාස්ටික් මූත්‍ර බටයක් සහ මූත්‍ර බෑගයක් සිරුරේ රුවාගෙන ය. ඒ සමඟ ම තාත්තාගේ බාහිර ලෝකය තව-තවත් පටු වෙයි. ඒ කාමරය, සාලය සහ නිවෙසේ ඉදිරිපස කොරිඩෝව යි. අම්මාත්, සොහොයුරියත්, සොහොයුරියගේ සැමියාත් කිහිලිකරුවලින් ඇවිද යෑමට අපහසු තාත්තාට වාරු දෙති; අඩපණ වෙමින් පවතින තාත්තාගේ ලෝකයට ඔවුන්ට හැකි ජීවයක් උණුසුමක් දෙන්නට උත්සහ කරති; තාත්තා ජීවත් කරවන්නට උත්සුක වෙති. දවසේ වැඩි වේලාවක් මිනිසුන් අතර රැඳී දොඩමලු වූ තාත්තාට දැන් ඔවුන් අතරට යා නොහැකි ය. ඔවුන්ට ද නිරන්තරයෙන් තාත්තාගේ සුව-දුක් විමසීමට පැමිණිය නොහැකි ය. දැන් ඇතැමුන් තමා මගහැර යතැ යි තාත්තා සිතයි. එහෙත් සියල්ල වෙනස් වෙමින් පවතින ලොවක කිසිවෙක්, කිසිවක් එක තැන නො රැඳෙයි; එක සේ නො පවතියි.
තාත්තා දැන් ලොවෙහි පුද්ගල සම්බන්ධතාවන්ගෙන් වඩාත් විමසිලිමත් වන්නේ ද සතුටු වන්නේ ද නිවෙසෙහි කුඩා පුතණුවන් හා දියණියන් වෙතිනි. තම සීයා රෝගාතුර ව සිටින බව ඔවුහු හඟිති; දනිති. එහෙත් කිසිදු වෙනසක් නොදක්වා, නොපෙන්වා ඔවුන්ට කළ හැකි දෑ ඔවුහු තම සීයා වෙනුවෙන් කරති. ඔවුන් දැකීමෙන් පවා තාත්තා බොහෝ සේ සතුටට පත් වෙයි.
තාත්තාගේ පැවැති ලෝකයට වඩා පවතින පටු ලෝකය තාත්තාට සිරගෙදරක් මෙන් දැනෙනු හැඟෙයි. ඒ බැව් තාත්තාගේ මුහුණේ ඉරියව් හා වචන මඟින් පැහැදිලි වෙයි. තාත්තාගේ චර්යාව සැම විට ම පදනම් වී තිබුණේ සමාජ සුබසාධනයේ දායකත්වයට ය; ඒවා සැලසුම් කිරීමට ය; ඒ ගැන ක්‍රියා කිරීමට ය. එහෙත් තාත්තාගේ එකී චර්යාව ම විනා තම සිත පුරුදු–පුරුදු කොටගැනීමට, හුදෙකලාවට මුහුණ දීමට ආධ්‍යාත්මික සංවර්ධනයක් කරා යෑමට කිසිදු අරමුණක්, වෑයමක් නො විණි.
එහෙයින් තාත්තා, තම බාහිර ලෝකයේ පුරුදු කරන ලද දෙයෙහි සහ තම අභ්‍යන්තරයේ පුරුදු-පුහුණු නොකරන ලද සිතෙහි ගැටුමට මැදි වෙයි. තාත්තාගේ බෙලහීන භෞතික හදවත, පෙණහලු ප්‍රමුඛ ශරීරය නොහැකියාවෙන්, විඩාවෙන් පෙළෙද්දී තාත්තාගේ හෘදයංගම වූ හදවත තමන් නියැලුණ සමාජ කාර්යයන්හි දසත සරයි; ඒවාහි නිරත වෙයි; සතුටු වෙයි.
තාත්තාගේ මානසික ගැටුම දිනෙන් දින උත්සන්න වෙයි. තාත්තා ප්‍රකෘති මානසිකත්වයෙන් අපගමනය වෙයි; අතොරක් නැති වදන් තෙපලන්නට පටන් ගනියි. තාත්තා නියුතු වූ සමාජ සුබසාධනයෙහි ලා වන සමිති, පුද්ගල සම්බන්ධතා හා කාර්යයන් පිළිබඳ ව කියයි. එය දිවා-රෑ දෙකෙහි දසතට ම ඇසෙන කෑගැසීමක් බවට පත් වෙයි.
අප සියලු දෙනාට තාත්තාගේ කාර්යය ම ප්‍රමුඛ කොටගැනීමට සිදු වෙයි. අනෙක් සියලු කාර්යයන් අඩපණ වෙයි. අනුකම්පාව, කරුණාව සේ ම පසුතැවිල්ල, කලකිරීම, දුක, කෝපය, තරහව ද මානසික හා කායික වෙහෙස ද ආදි පොදු මිනිස් භාවයන් මතු ව එයි; යටපත් වෙයි.
තාත්තා අර්ධ ප්‍රකෘති මනසකින් ක්‍රියා කරන්නට පටන් ගනියි. කායික අනතුරු ඇති වීමේ අවදානමක් ද එතැන් සිට මතු වෙයි. මානසික රෝගී භාවයට ඖෂධ ලබාදීම ඇරඹෙයි. එහෙත් එම රෝගී තත්ත්වය ද දිනෙන් දින උග්‍ර වෙයි.
“රෝගී පියකුට කළ හැකි උපස්ථාන කිරීම අපට මේ මොහොතේ ඔහුට කළ හැකි උපරිම දෙය යි. අප, අපට ඉන් කරගත හැකි දේ නම් මේ සිදුවීම් දෙස ධර්මානුකූල ව බැලීම යි; ප්‍රශ්නවලින්, බාධකවලින්, ආකුල–ව්‍යාකුල තත්ත්වයෙන් යුතු පරිසරයකදී ඒවා දරාගැනීම, උපේක්ෂාව, කරුණාව, මෛත්‍රීය පුරුදු-පුහුණු කොටගැනීමට අප ඒවා ‘නිමිති’ සේ යොදාගැනීම යි. සිදු වන දෙයහි ඇලීමෙන් හෝ ගැටීමෙන් වැළකී, ඒ දෙස ප්‍රඥාවෙන් බැලීමෙන් අපට ධර්ම මාර්ගයට පිවිසිය හැකි යි. එකී අවස්ථා ‘ක්ෂණ සම්පත්ති’ එනම් ‘ගුණ වඩන්නට ඉවහල් වන අවස්ථාවන්’ ලෙස දැකීමෙන්, ගැනීමෙන් අපටත් ලෝකයටත් යහපත් දෑ කිරීම සඳහා උපයෝගී කොටගත හැකි යි. එවිට අපට, එකී සිදුවීම්වලින් මානසික අසමතුලිතතාවකට නොගොස් නොවැටී, නොකලකිරී ජීවත් විය හැකි යි.”
එළැඹ සිටින අවස්ථාව දෙස බැලිය යුතු ආකාරය පිළිබඳ ව බෞද්ධ දැක්ම පූජ්‍ය සුදස්සී හිමියෝ එලෙස පැහැදිලි කරති.
ලොවෙහි භෞතික වූ දැනුමකින් ප්‍රායෝගික ව කළ හැකි බොහෝ දෑ වෙයි. භෞතික කයෙහි සුඛවිහරණය, සෞඛ්‍යසම්පන්න බව සහ රෝගී බව උදෙසා කළ හැකි දෑ ඒ අතර වෙයි. එහෙත් විඩාබර, නොයිවසිලිමත්, බෙලහීන, ගැටෙන, ඇලෙන, දුර්මුඛ වන මනස සඳහා ඉන් ඇත්තේ කවර පිළියමක් ද?
එළැඹි තත්ත්වයනට මුහුණදීමට හැකි සෑම විට ම දහමෙහි දැක්ම පැහැදිලි කරන පූජ්‍ය සුදස්සී හිමියන්ගේ මගපෙන්වීම්, පැහැදිලි කිරීම් අඳුරු, ගැඹුරු අගාධයක යමක් සොයමින් සිටි අයකුට මහත් එළියක් ලැබෙන’යුරින් අප සිත පත් වෙයි. එකී ආලෝකයෙන් අගාධය සිසාරා දකින අපට එහි සෙවිය යුතු කිසිවක් නැති බවත් කළ යුත්තේ වැටී හිඳින අගාධයෙන් ගොඩ ඒම බවත් හැඟෙයි. ඉදින් අඳුරේ සෙවීම නතර කොට අගාධයෙන් ගොඩ ඒම සඳහා ප්‍රයත්න දැරෙයි.
රාත්‍රිය පුරා තාත්තාගේ කෑගැසීමත්, තාත්තා සයනයෙන් නැගිට යෑමට උත්සාහ කිරීමත් නිසා නිදි වර්ජිත දින නිතිපතා අප වෙත එළැඹෙයි; පසු වෙයි.
තාත්තාගේ ආරක්ෂාව සඳහා කාමරයේ දොර වරින් වර වසා තැබීමට සිදු වෙයි. දිනක් මධ්‍යම රාත්‍රියෙහි තාත්තා බොහෝ වේදනාවෙන් කෑගසනු ඇසෙයි. තාත්තා කාමරයෙහි සියලු බඩු-භාණ්ඩ පෙරළාදමා ඇත. මූත්‍ර බෑගය ඉරාදමා ඇත. තමා හැඳ සිටි වස්ත්‍ර ද ගලවාදමා, මූත්‍ර ගොඩක හොවින තාත්තාගේ තොල පුපුරා හිස පැළී ලේ ගලයි.
එතැන් සිට නින්දට පෙර මගේ දවසේ අවසන් කාර්යය, සයනයෙන් වැටී තුවාල සිදු කොටගත නොහැකි වන පරිදි තාත්තා සයනයට බැඳීම ය; ඒ ගැන ඔහුට කිසිදු අවබෝධයක් ද දැන් නැත. අලුයම අවදි වූ සැණින් මගේ පළමු කාර්යය වන්නේ එලෙස බැඳි බැමි ලිහාදැමීම ය. පුතකු විසින් තාත්තකුට කරනු ලබන කාර්යයක් ලෙස නො ව, පුද්ගලයකු විසින් සද්භාවයෙන්, අනුකම්පාවෙන් රෝගියකුට කරන කාර්යයක් ලෙස මගේ හදවත ද මොළය ද එය තේරුම් ගනියි. එහෙයින් ඉන් මසිතට කිසිදු පීඩාවක් ඇති නො වෙයි. කළ යුතු අවස්ථාව අනුව විය යුතු කාර්යය එය යි. එහිදී පුද්ගලයා වැදගත් නො වෙයි; වැදගත් වන්නේ ක්‍රියාව හා එයට පදනම් වන චේතනාව යි.
බොහෝ විඩාබර වී අඩ නින්දේ සිටි මට අලුයම අවදි වූ නිවැසියන්ගේ සතුටු සිනා හඬ සවන් වැකෙයි. වරින් වර තාත්තාගේ සුපුරුදු කෑගැසීම් ද ඇසෙයි. කිරිබත් සුවඳක් නිවෙස සිසාරා පැතිර යයි. සිහිනෙන් මෙන් අවදි වන මම ඔවුන් වෙතට යමි. සොහොයුරියගේ දියණිය පෙර පාසල් යන පළමු දිනය අද යි. ඇයත් ඇගේ සොහොයුරාත් ප්‍රීති ප්‍රමෝදයෙන් වෙළී ඒ සඳහා සූදානම් වෙති.
සෝදා පවිත්‍ර කරන ලද තාත්තා තම දෑතින් ඔසොවාගත් සොහොයුරියගේ සැමියා, තාත්තා නැවත කාමරයට රැගෙන එන අයුරු මට පෙනෙයි. තනි ව ඉපදෙන මිනිසකු තනි ව මිය ගිය ද ඒ අතරතුර කාලයේදී හෙතෙම ලෝකයෙන් කොතරම් උදවු-උපකාර ලබාගන්නේ ද? ඒ වෙනුවෙන්, මිනිසකු විසින් ලෝකයට නැවත ලබාදෙන්නේ කවරක් ද? තම ජීවිත කාලය පුරා පුද්ගලයකු විසින් ලෝකයෙන් ලබාගන්නා දෑ සඳහා ඔහුට නැවත ලෝකයට දිය හැකි දෑ ප්‍රමාණය කොතරම් අල්ප ද? ඉදින් යමකුට ඒ සඳහා අල්ප වූ හෝ අවස්ථාවක් උදා වේ ද, ඉන් ප්‍රයෝජන ගත යුතු ය. එහි ප්‍රතිඵලය ලෝකයට ම ය; තමාට ම ය.
තාත්තා දිනෙන් දින තව-තවත් දුර්වල වෙයි; හේතුව ඝන ආහාර ප්‍රතික්ෂේප කොට දියර ආහාර මත ම යැපීම යි. තාත්තාගේ ජීවිතයෙහි සතුටට වඩා දුක බොහෝ වැඩි වන බව පෙනෙයි.
කෙසේ වෙතත් තාත්තාගේ බෙලහීන බවට හෝ දුකට හෝ අපහසුතාවන්ට හෝ ඇතැම් විට කිසිවක් අපට කළ නොහැකි ය. තාත්තාගේ යම් සතුටක් සඳහා අපට කළ හැක්කේ අල්ප වූ යමක් පමණි.
අප සැම විට ම උත්සුක වන්නේ ජීවිතයේ අපට හැඟෙන, දැනෙන, සිතෙන අයුරින් අප කැමැති දේ සතුටින් බාර ගැනීමටත් අප අකැමැති දේ අත්හැරීමට, ඉන් පලා යෑමට උත්සාහ කිරීමටත් ය.
එහෙත් අප කැමැති දේ දිගට ම අප කෙරෙහි පවත්වාගැනීමට ද අප අකැමැති දේ කෙරෙන් දිගින් දිගට ම පලා යෑමට ද අපට නොහැකි ය. ඒවාහි ප්‍රතිඵලය ගැටුම යි; කලකිරීම යි; දුක යි; වේදනාව යි.
ඉපදීම, ජීවත් වීම, වයසට යෑම, ව්‍යාධියට පත් වීම, මරණය යනු එකිනෙකට බැඳී ඇති අවිච්ඡින්න, අනවරත සිදුවීම් ය. එහෙයින් ඒ එක එකක් වෙන ම ගෙන ජීවිතයෙන් වෙන් කළ නොහැකි ය. එහෙත් පෘථග්ජන මිනිසුන් වන අපගේ ස්වභාවය ඒ ඒ දේ අපට හැඟෙන, දැනෙන, පෙනෙන පරිදි විච්ඡින්න කොට ගැනීම ය; එසේ ගෙන ඒවා නිරපේක්ෂ, නිශ්චිතාර්ථ ලෙස සිතීම ය; ඒවාහි එල්බගැනීම ය. ප්‍රතිඵලය කුමක් ද? උපතේදී බොහෝ සතුටට පත් වීමත් මරණයේදී හඬාවැලපීමත් ය; එලෙස සතුට හා දුක වෙන වෙන ම ගෙන භුක්ති විඳීම ය. එහෙත් ඒ හඬා වැලපීම, දුක යනු සතුටට හේතු වූ දෙයෙහි ම ප්‍රතිඵලය බව අපට නො සිතෙයි; නො හැඟෙයි.
වියෝගය අප හා සංයෝග කළ තාත්තා, වියෝගය හා සංයෝග වෙමින් එක් දිනක උදෑසන මිය ගියේ ය. එකදු ගසක් හෝ නොකපා, සැරසිලි නොකොට, පින් දහම් සහ සමාජ සුබසාධනයට අවස්ථාවක් කොටගනිමින් මිනිසුන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් ඉතිරි කරමින් හැකි තාක් ඉක්මනින් තම මළමිනිය නිවෙසින් බැහැර කොට එය සමාජ යහපත සඳහා යොදාගැනීමට වෛද්‍ය පීඨයට භාර දෙන ලෙස තාත්තා විසින් වසර කිහිපයකට පෙර ලියා තිබූ අවසන් කැමැති පත්‍රයට සහ ඉල්ලීමට අනුව එලෙස ම තාත්තාගේ අවසන් කටයුතු සිදු කරනු ලැබිණි.
මෙලොව උපන් කිසිවකුටත් තම මරණය ජය ගත නොහැකි ය. එහෙත් ඕනෑ ම අයකුට තමාට හැකි පරිදි තම ජීවිතය ජය ගත හැකි ය. ඒ තම බුද්ධිය, දැනුම, ශක්තිය, දැක්ම, සම්පත් ආදිය ලෝකයේ සහ තමාගේ යහපත වෙනුවෙන් ජීවත් ව සිටියදී යොදාගැනීමෙනි.
එවැන්නකුගේ උපත කවරක් හෝ වේ වා, මරණය කෙලෙස හෝ සිදු වේ වා හෙතෙම තමන් ලද මනුෂ්‍යත්වය උත්තරීතරත්වයට පත් කළ මිනිසකු බවට නිතැතින් ම පත් වෙයි. ඔහු මිය ගිය ද මිනිසුන්ගේ සිත්සතන් තුළ නිරන්තරයෙන් ජීවත් වන්නෙක් වෙයි; තම උපත පෞද්ගලික වුව හේ තම ජීවිතයෙන්, මරණයෙන් සහ සුවිශිෂ්ට වූ මනුෂ්‍යත්වයෙන් ලෝකයට ම පොදු මිනිසකු බවට පත් වෙයි.
වෛද්‍ය ලලිත් විජේසිංහ
උපුටා ගැනීම නමස්කාර සඟරාව