දෙවියන් ඇදහීම බෞද්ධකමට හානියක්‌ද?
තම සේවාදායකයකුට කේන්ද්‍රය අනුව අපලදායක කාල සීමාවක් උදා වී ඇති විටෙක එම ගැටලුවලට කළ යුතු පිළියම් පෙන්වාදීම සෑම ජ්‍යොතිෂ්ශාස්‌ත්‍රඥයකුගේම සේවයේ එක් කොටසක් වන්නේය. මෙවැනි පිළියම්වලට ශාන්තිකර්ම යෑයි කියනු ලැබේ. ශූභ මැණික් පැළඳීම, යන්ත්‍ර පැළඳීම, සෙත් පිරිත් කීම, දාන මාන දීම ආදිය ශාන්තිකර්ම ගණයට වැටෙන අතර දෙවියන් මගින් පිහිට පතා කටයුතු කිරීමද ඊට ඇතුළත්ය. එහෙත් "විෂ්ණු කතරගම ආදී දෙවියන් පිහිට පතා කරන යාතිකා කරවීම්, භාරහාර වීම් ආදිය නිසා බෞද්ධකමට හානියක් වන්නේය." යන අදහසක් දැන් දැන් පැතිර යමින් පවතී. බොහෝ බෞද්ධ නිවෙස්‌වල පමණක් නොව විහාරස්‌ථානවලද තිබූ දේව රූප පවා ඒ තිබූ තැන්වලින් රහසේම ඉවත් කොට ඇති බවද අසන්නට ලැබේ. මෙය බුදුදහම සම්පූර්ණයෙන්ම වැරදි ලෙස තෙරුම් ගැනීමත්, විවිධ ජනමාධ්‍ය ඔස්‌සේ වැරදි ලෙස අර්ථකථනය කිරීමක් නිසා ඇති වූ තත්ත්වයක් බව කිව යුතුය. "අත්තාහි අත්තනෝ නතෝ" ආදී වශයෙන් බුදු හිමියන් පවසා ඇත්තේ තමාගේ පිහිට තමාම බවය. මෙයින් වැඩිදුරටත් පැහැදිලි කෙරෙන්නේ දුක නැතිකර ගැනීමේ මාර්ගය තමාම අනුගමනය කර ගත යුතු බවය. එනම් නිවන් මගයි. ඒ සඳහා බුදුන් වහන්සේ පමණක් පිහිට කරගත යුතු බව සත්‍යයකි. තවද නිවන ලබාගැනීම පතා කිසිවෙකු විෂ්ණු, කතරගම ආදී දෙවි පිහිට පතන බවක් අපි නොදනිමු.
සියයට සියයක්‌ම බෞද්ධයන් නිවන් මග පතා බණ භාවනා කිරීම තමන් විසින් කළ යුතු බව දනිති. ඒ සඳහා තෙරුවන මිස වෙනත් සරණක් නැති බව දන්නා බෞද්ධයන් වෙහෙර විහාර කරා ගොස් දන්, සිල්, භාවනා ආදී පින්කම්වල යෙදෙති. එමෙන්ම එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා තෙරුවන් සරණ යා යුතු යෑයි කීම විහිළුවක් වන්නේය. රැකියාවක් ලබාගැනීම ආදී කටයුතු සඳහා මැති ඇමැතිවරුන් වෙතද, වාහනයක් එළවීම් සඳහා රියෑදුරකු වෙතද, ඉගෙනීමට ගුරුවරයකු වෙතද ආදී වශයෙන් ඒ ඒ කටයුතු සඳහා ඒ ඒ අයගේ පිහිට සොයා යා යුතු බව පුදුමයක් නොවේ. මෙයින් බෞද්ධකමට හානියක් වන්නේ යෑයි කිසිවකු කියන්නේ නැත. දෙවි පිහිට පතන්නේද එයින් අපේක්‍ෂා කරන්නේද ලෞකික කරුණු සාර්ථක කර ගැනීමයි. මිනිසුන්ගේ පිහිට ලැබීම හරි නම් දෙවියන්ගේ පිහිට ලැබීම වැරදි විය නොහැකිය.
එහෙත් ගැලවුම්කරු දෙවියකුගේ හෙවත් මැවුම්කරුවකුගේ ආධිපත්‍ය ගැන විශ්වාස කරන ආගම්වල ඉගැන්වෙන පරිදි තමාගේ ගැලවුම්කරුවෙකු සිටී යෑයි සිතීමෙන් පමණක් බෞද්ධකමට හානියක් සිදු වන්නේය.
මේ හැර ගාථා සහ පාඨවල අර්ථය වැරදි ලෙස අර්ථකථනය කරමින් බෞද්ධයන් නොමග යෑවීම කනගාටුවට කරුණකි.
බුදුරජාණන් වහන්සේ දෙවියන් ගැන විවිධ අවස්‌ථාවල කර ඇති ත්‍රිපිටක ගත දේශනාවලින් මේ කාරණය අවබෝධ කර ගැනීම කාලෝචිතය.
බුදුරජාණන් වහන්සේගේ දින චරියාවෙහි එක් කොටසක් දෙවියන්ගේ හමුවීම, ප්‍රශ්න විසඳීම සඳහා යෙදී තිබේ. ඒ බව සූත්‍ර පිටකයට අයත් මංගල, පරාභව ආදී සූත්‍ර රාශියක දෙවියන්ගේ ප්‍රශ්නවලට දුන් පිළිතුරු වීමෙන් පැහැදිලි වේ. අභිධර්මය පවා දේශනා කර ඇත්තේ දෙවියන්ටය. සංයුක්‌ත නිකායට අයත් දේවතා සංයුක්‌තයේ දෙවියන් පිළිබඳ කරුණු රාශියක් දැක්‌වේ. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව ශක්‍ර දෙවියන් විසින් උපුල්වන් දෙවිඳුන්ට පවරන ලද බව මහාවංශයේ සඳහන් වෙයි. ඒ කරුණු සත්‍ය හෝ අසත්‍ය වේවා දෙවියන් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් කරුණු බැහැර කළ නොහැකිය. දෙවියන් වී උපදින්නේ පිං කළ අයයි. කරන ලද පිංකම්වල උසස් පහත්කම අනුව දෙවියන් මහේශාඛ්‍ය හා අල්පේශාඛ්‍ය වශයෙන් දෙකොටසක්‌ව උපදිති. ඇතැම් දෙවිවරුන් මහානුභාව සම්පන්න බවත් පොළොව කම්පා කිරීම වැනි ආශ්චර්යවත් දේ කිරීමේ සමර්ථකම ඇති බවත් මහ පොළොව කම්පාවීමේ හේතුවලින් එකක් දෙවියන් නිසා වන බවත් අංගුත්තර නිකායෙහි සඳහන් වෙයි.
දෙවියන් ගැන මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක් කෙරෙහි වීශේෂ අවධානය යොමු කර බැලීම වටී.
සුනීධ හා වස්‌සකාර මහාමාත්‍යවරු නුවරක් සෑදීමට කටයුතු කරනු දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ පවසයි. ලආනන්ද, මෙහිදී මම මිනිස් බව ඉක්‌ම පවත්නා වූ පිරිසිදු දිවැසින් එක් එක් වර්ගයෙන් දහස බැගින් වූ බොහෝ දේවතාවන් පාටලී ගමේ ගෙබිම්වලට අරක්‌ගෙන සිටිනු දිටිමි. යම් පෙදෙසක ගෙවල් සෑදීමට මහේශාඛ්‍ය දෙවියෝ අරක් ගනිද්දී එහි ගෙවල් සෑදීමට මහේශාඛ්‍ය රජුන්ගේ හා ඇමතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසක නීච දෙව්වරුන් අරක් ගනිද්දී එහි ගෙවල් සෑදීමට නීච රජුන්ගේ හා ඇමැතියන්ගේ සිත් නැමේල ආදී වශයෙනි
මෙයින් අදහස් වන්නේ ගෙබිම්වලට දෙවියන් අරක් ගන්නා බව බුදු හිමියන් දැක ඇති බවත්, ඒ ඒ ගෙබිම්වල ඊට අනුරූප චරිත ඇති මිනිසුන් පදිංචි වන බවත්ය. දෙවියන් කෙරෙහි පිළිපැදිය යුතු සැටිද උන් වහන්සේ වස්‌සකාර මගධ මහාමාත්‍යවරුන්ට මෙසේ දේශනා කරති. ල යම් පෙදෙසක පණ්‌ඩිතයෙක් වසයිද ඔහු එහි සන්සුන් ඉඳුරන් ඇති සිල්වත් බ්‍රහ්මචරීන් වළඳවා එහි යම් දෙවිවරු වූවාහුද ඔවුන්ට පින් දෙන්නේය. එසේ පුදනු ලැබූ ඒ දෙවිවරු ඔහු පුදති. බුහුමන් ලැබූ ඒ දෙව්වරු ඔහුට බුහුමන් කරති. තුටුවන ඔවුහු මව ඖරස පුතාට අනුකම්පා කරන්නාක් මෙන් ඔහුට අනුකම්පා කරති. එසේ දෙවියන්ගේ අනුකම්පාව ලත් පුරුෂයා හැමදා හොඳ දකී.ල
පදිංචි ස්‌ථාන ආශ්‍රිතව දෙවියන් සිටින බවද ඒ දෙවියන්ට පින් දීමෙන්, හා බුහුමන් දැක්‌වීමෙන් හැමදා හොඳ දැකිය හැකි බවද මෙයින් බුදුරජුන් විසින් මනාව පැහැදිලි කර ඇත්තේය. කරුණු මෙසේ තිබියදී දේව පිහිට පැතීම බෞද්ධකමට සුදුසු නැතැයි සිතීම කරුණු වරදවා වටහා ගැනීමක් බව පැහැදිලි වේ.
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
උපුටා ගැනීම දිවයින පුවත් පත