ජාතක පොතෙන් නිග්‍රෝධමිග ජාතකය කරුණාව සමග මෙත් සිත පතුරන්න හැම වෙත
බරණැස් මහ රජතුමා අතොරක් නැතිව එක දිගට පැතිර ගිය ඝන අඳුරු හිමවන් වන පෙදෙස දෙස බලා සුසුම් ලෑවේය. සිහින් ස්‌වරයකින් හමා ආ සිහිල් පවන් රළ වෙල් ඇළ ඉවුරු අතරින් ඈතට ඇදී ගොස් හිමාල වනයට රිංගාගන්නට ඇතැයි රජු සිතුවේය.
සැබවින්ම මේ හිමවත කෙතරම් නම් සුවිසල් වූ මහ බැද්දක්‌ද? මහතුරක මුදුනටම නැග ඒ නිල් වන පියස දෙස බැලුම්ලෑවද එහි අවසානයක් කෙනකුට දැකගත නොහැකිය. එනම් එක දිගට පැතිර පවත්නා රුක් මුදුන් හැර අන් කිසිවක් කිසිවකුට නොපෙනුණු මුළු හිමවතම වන පෙතම දවස තිස්‌සේම ගුප්ත වූ ගැඹුරු නිහැඬියාවක වෙලී සිටියේය. ඒ නිහඬ හා නිසසල වන වියන දෙස බලා හුන් මහ රජුගේ දැස් තුරුණු හා පැහැදිලි බවකින් යුතු නොවීය. හුදෙක්‌ම ඒ මහලු විය රජුගේ ජීවිතයට බොහෝ සෙයින් ළං වී තිබුණ නිසාය. එහෙයින් සඳලුතලාවෙන් බිමට බැස මඟුල් උද්‍යානයේ සිට හිමාල වනයේ දුර ඈත කඳු අද්දර දෙස බොහෝ වේලාවක් බලා සිට බරණැස් රජුගේ දෙඇස රිදුම් දෙන්නට පටන් ගත්තේය. ඔහු වාරු නැති දෙපා අදිමින් හෙමි හෙමින් යළි සඳලුතලයට නගින්නට වෑයම් කළේය.
වෙනදා මෙන්ම ඒ දිනයද පුරුදු පරිදිම ගෙවී ගියේය. එදින සන්ධ්‍යාවේ වියළි පොළොවට කඩා හැළුණු මළ හිරු කිරණ බරණැස් නුවර පුරවරය සිප ගනිද්දී මුළු ලොව නිදිගත් සෙයක් පෙනිණි. දිගු නිහැඬියාවක ගිලී තිබුණු රෑ කළුවර පසුදින හිමිදිරි අරුණාලෝකයට දියවී යද්දී බරණැස් පුරය තවමත් අඳුරු මූසල බවෙක ගිලී තිබිණි. ඉන් ඉක්‌බිතිව වැඩි වේලාවක් කාලය ගලා ගියේ නැත. ජීවිතයේ අගිස්‌සටම ගොස් සිටි මහලු බරණැස් රජතුමා යහන් ගබඩාවේදීම ජීවිතය හැර දමා තිබූ දුක් මුසු පුවත ලැව්ගින්නක් මෙන් මුළු රට පුරා පැතිරී ගියේය.
රජුගේ හදිසි මරණයෙන් පසු දින ගණනක් ගෙවී යන තෙක්‌ම රට පුරා පැවැතියේ තද නිසොල්මන් බවෙකි. මහ බඹදත් රජුගේ මරණයෙන් හිස්‌වූ සිහසුනට අනතුරුව පත්වූයේ රජුගේ පුත් කුමාරයා ය. අලුත් රජ කුමරුවන් තුළ රාජ්‍ය පාලනය පිළිබඳ වූ හසල දැනුම් සයුරක් නොවීය. එහෙයින් ඔහු විසින් යා යුතු වූ මග වැටී තිබුණේ ඈ නොයෙක් අඩු ලුහුඬුකම් නමැති කටු ගස් සහිත අඳුරු වන මැදකිනි. සතුරන්ගේ කුමන්ත්‍රණ සොරකම්, දූෂණ හා වංචා ආදී වූ කුරිරු ඉඩෝරයන්ට හසුවූ රාජතන්ත්‍රය ඒ අනුව තැම්බී ඉරිතලා තිබුණේය.
අප මහා බෝධි සත්වයන් වහන්සේ මෙකල රන්වන් සිරුරක් ඇති මහත්වූ අලංකාරයෙන් යුත් මුව රජකුව ඉපදී සිටියේය. නිග්‍රෝධ නම් වූ මේ මුව රජුට ජීවිතයෙ තනිකමක්, කාන්සියක් දැනුණේ ඉතාම අඩුවෙනි. එය දැනුණේම නැති තරම්ය. එනම් නොයෙකුත් වූ හැකිකම්වලින් යුත් තවත්මුවන් හා මුවදෙනුන් පන්සියයකින් යුත් මහත්වූ සේනාවක් නිග්‍රෝධ පිරිවරාගත්තේය. ඒ පිරිවර එයින්ද සීමා වූයේ නැත. ඒ වනයේම තවත් ශාඛමිග නමින් මුව රජකු ජීවත්වූ අතර ඔහුටද පන්සියයක් වූ සේනාවෝ පිරිවරක් වූහ. එකම වනයේ ජීවත්වුවත් මේ දෙපිරිස අතර කවරදාකවත් කලී කලහ ඇති නොවීය. සැබවින්ම ඔවුහු තිරිසන් යෝනියක උපත ලබා සිටියද කල්‍යාණ ගුණය කුමක් දැයි හරි හැටියෙන්ම වටහාගෙන සිssටියෝය. එහෙයින් ඊර්ෂ්‍යයා, ක්‍රෝධය, වෛරය ඒ ජීවිතවල පළාතකවත් ළං වූයේ නැත.
මුව පිරිවර කෙතරම් ගුණ බරිත භාවයකින් යුතුව වනගත ජීවිතය ගෙවූවද බරණැසවාසී මිනිසුන්ගෙන් ඔවුන්ට සිදුවූ කරදරවල තොරතෝංචියක් නොවීය.
මුව දඩයමට තදින්ම ලොබ බැඳ සිටි රජතුමා දුනු හී රැගෙන වන ගැබට කඩා වැදුණේ මිනිස් සිරි ඉසුලුවද කුරිරු රකුස් වෙස් ගත්තකු පරිද්දෙනි. ඔහු ඇතුළු රාජ පුරුෂයන් වන ගැබ දෙසට ළංවෙත් ළංවෙත් මුවන්ට මරණ බිය දැනුණේ ඉවෙන් මෙනි. දුන්නත් විෂ පෙවූ ඊතලත් මානාගෙන ඔවුන් මහ වනයට ඇතුළු වෙද්දී ස්‌වකීය වූ ජීවිත රැක දෙන්නට මේ මුව පිරිවරට කිසිවකුත් සිටියේ නැත. ඔවුන්ගේ පිහිටට කිසිවක් තිබුණේ නම් ඒ ඔවුන්ගේ දෙපා පමණෙකි. ඔවුහු දෙපා වාරු නැතිවන තෙක්‌ම වනයේ ඒ මේ අත පීරූහ. අවසානයේදී දෙපා වාරු නැතිවී යත්ම ජීවිතය පිළිබඳ වූ ඔවුන්ගේ විශ්සායත්, බලාපොරොත්තුවත් දෙදරුම් කෑවේය. තමන්ගේ ජීවිතවලටත් වඩා මුව රජවරු දෙදෙන තම දහස් ගණනක් වූ පිරිසේ අනාගත ජීවිතය ගැන බියෙන් තැති ගත්හ.
දුක් නමැති ඝෝෂා සහිත කලබල කාලය හෙමි හෙමින් ගෙවී ගියද මුවන්ගේ ජීවිත වලට එල්ලවූ විපතේ තරම හීන් නොවීය. ඊළඟට ඒ විපත වැට පැන කැලයට රිංගා ආවේ තවත් මුහුණුවරකිනි. එනම් කල්යත් යත් රජු මුවන් දඩයම් කරනු පිණිස වනයට යන්නට බෙහෙවින් අලස වූවේය. එහෙත් මුවන්ගේ මාංශ රසය සිත නැගෙත්ම ඔහුගේ කටට කෙළ උනා ඒවා කට දෙකොණින්ද බේරී වැටිණ. ඔහුට තවත් ඉවසිය නොහැකි විය. ඔහු වහා වැද්දන්ද ඇතුළු රාජපුරුෂයන් කැඳවීය. වැද්දන් මෙන්ම රාජපුරුෂයන්ගෙන්ද රජ මාළිගය පිරී ගියේය.
'ඉඳින්, රාජපුරුෂයනි, නුඹලා දන්නවාද? මා නුඹලාට හදිසියෙන්ම කැඳවන්නට යෙදුණු කාරණාව' රජු ඇසීය.
'ස්‌වාමීනි, එය අපි නොදනිමු' සෙස්‌සෝ ඉතා යටහත් පහත් ස්‌වරයෙන් වදන් දුන්හ.
'මට තවත් මුව දඩයමට වනයට යන්න බැහැ. එය ඉතා වෙහෙසකරයි. නුඹලා ඊට කදිම උපායක් යෙදිය යුතුයි. රජු යළිත් ගුගුළේය. වැද්දොaත්, රාජ පුරුෂයෝත් අවසන කදිම යෝජනාවක් ගෙනාවෝය. එම යෝජනාවට අනුව වනයේ සිටි මුවන් සියල්ලෝම විශාල එකම තණ පිටියකට පන්නගෙන විත් ගාල් කෙරිණි. මෙසේ ගාල් කෙරුණු දහස් ගණනක් මුවන් අතරින් ජීවිතය ලැබුණේ නායක මුවන් දෙදෙනාට පමණෙකි. ඔවුන්ගේ අලංකාර රන්වන් සිරුරු ඊට හේතු වූයේය. අනෙක් එක් එක් මුවාට දිනෙන් දින කුරිරු රජ තෙම මරණය නියම කළේය. එය මුවන්ගේ ගැහෙන හදවත්වලට දැනුණු විට මුළු මුව ගාලේම ඇති වුණේ එකම ගාල ගෝට්‌ටියකි. රජුගේ පවිටු කෑදරකම වෙනුවෙන් ජීවිතය දෙනු වස් දංගෙඩිය වෙත යන්ට අකමැති වූ ඔවුහු කලහද කරගත්හ. එයින් ඔවුන්ගේ සිරුරුවල අඟ පසඟ ද බිඳිණි. අන්තිමේදී ඔවුනොවුන් අතර ඇතිවූ කථිකාව එක් එක් මුවා හට සාමකාමී මරණයක් උදාකර දුන්නේය. එනම් ඔවුහු එක් එක් දවසේ එකිනෙකා තම කැමැත්තෙන්ම දංගෙඩියට ගෙල තබන්නට ගියහ.
අඳුරු පරිසරය සිසාරා හැමූ තද වියළි සුළඟින් හිමාල වන ගැබ ගිගුම් දුන්නේය. වධකයන්ගේ අනුකම්පා නැති කඩු පහරවල් වැදී දිනපතාම කැපුණු මුවන්ගේ බෙලි ගණන පන්සියද ඉක්‌මවීය. එදින මරණයට නියමවී සිටියේ ශාඛමිග රජුගේ පිරිසට අයත් මුව දෙනකි. ඈ ඒ වනවිට කුඩා හුරතල් මුව පොව්වකු බිහිකරන්නට තරම් ගැබ්බරියක වී සිටියාය. ඈ මරණය හමුවේ කඳුළු සලා ඉකිබිඳ හැඬුවේ එහෙයිනි. තමා කෙසේ හෝ යළි කැලයට යා යුතුය යන බලවත් හැඟීමත්, ආශාව හා වීර්යයත් ඇගේ සිත තුළ දළුලෑවේය. එහෙත් තරකොට වැට කඩොලු බැඳ දැමූ මේ හිරගෙයින් තමාට පැනගත හැක්‌කේ කෙසේද? එය ඇයට දැනුණේ හරියට හිණක දණ ගා යන්නාක් සේ වූ අසීරු කාරියක් මෙන්ය. දුක්‌බර කල්පනා සයුරට වැටී මහත් සේ වෙහෙසට පත්වූ ඈ අවසානයේදී ශාඛමිග මුව රජතුමා බැහැ දකින්නට පියවර එසවූවාය. මුව රජ හමුවී තමාට උරුම වී තිබෙන දෛවයේ රුදුරු සරදම ගැන සියලු කරුණාවන් විස්‌තර කොට සිටියාය.
'ඔය දුක් ගැනවිලිවලින් මට ඇති වැඩක් නැහැ. ඔබේ දිනයේදී මරණය වැළඳගන්න ඕනෑ ඔබමයි. ඒ වෙනුවෙන් වෙන කිසිම කෙනෙක් ගොමු කරන්නවත්, ඔබේ මරණය කල් දමා දෙන්නවත් මා වැඩකරන්නේ නෑ'.
ගැබ්බර මුව දෙනට ශාඛ මිගගෙන් ලැබුණේ අකාරුණික සරදම් පෙළකි. බොඳවුණු කඳුළු අතරින් එතැනින් ඉවත්වී ගිය ඈ ඊළඟට සිය දුක් ගැනවිල්ලත් හිස පිට බරට තබාගෙන ගියේ නිග්‍රෝධ මුව රජතුමා අභියසටය. තමාගේ නවාතැනට වී මහ හිමාල මන රොදට පිටුපසින් හිරු සැඟවී යන සැටි බලාගෙන සිටි නිග්‍රෝධ මුව රජතුමා ගැබ්බර මුවැත්තියට අත්වී තිබුණු ඉරණම ගැන බොහෝ සෙයින් දුකට පත් වූයේය. මේ මොහොතේ මුවැත්තිය වෙනුවෙන් සිය ජීවිතය දන් දෙන්නට තවත් කිසිදු මුවකු ඉදිරිපත් වන්නේද නැත. එහෙයින් නිග්‍රෝධ අවසානයේ ගත් තීන්දුවෙන් මුළු බරණැසම මොහොතකට සසල වී කම්පාවී ගියාක් මෙන් වී. ඒ මුව රජුගේ අනන්ත අප්‍රමාණ කරුණා ගුණය නිසාය.
'නැගෙණියනි, ඔබ බිය නොවී ඉන්න. මේ මොහොතේ ඔබ වෙනුවෙන් ජීවිතය දන්දෙන්න කෙනෙක් නැහැ. එහෙයින් හෙට මා ඔබ වෙනුවෙන් ජීවිතය දන්දෙන්නම්'. නිග්‍රෝධ ඈ සනහාලීය.
මුවැත්තියගේ මරණ බයට හා තෙහෙට්‌ටුවට නිග්‍රෝධගේ කරුණා බරිත කතාවෙන් උපන් ප්‍රිය විප්‍රයෝගයත්, දුකත් එකතු විය.
එදින සන්ධ්‍යාවේ මියගිය හිරු පසුදා යළිත් නැගෙනහිරින් උපත ලැබුවේය. රන් රුවැති නිග්‍රොධ මුව මහ රජතුමා වධකයා ඉදිරියට ගොස් දංගෙඩිය ළඟ සිටගෙන සිටියේය. මුළු මහත් රජ මැදුරු බිමම මහා ශෝකාන්ධකාරයක ගිලී තිබිණි. ඉන් ඉක්‌බිතිව ඒ අපේක්‌ෂිත පුවත බරණැස් රජතුමාටද දැගන්නට ලැබිණි. රජු වහා දංගෙඩිය අසලට පැමිණියේය. තමා අභයදානය දී තිබියදීත් මෙසේ මරණයට කැපවූයේ ඇයිදැයි මුව රජුගෙන් ඇසුවේය.
මුව රජු සියලු කරුණු රජුට සැලකර සිටියේය. ඒ දුක්‌බර පුවත ඇසූ බරණැස් රජුගේ දැසට කඳුළු ඉනුවේය. තමා මිනිස් භවයක් ලබා සිටියත් මේ තිරිසනුන් සතු ගුණයවත් තමා තුළ නැහැ නොවේදැයි හෙතෙම කල්පනා කළේය. ඉන් පසුව රජු සියලු මුවන්ට අභය ලබාදුන් අතර සත්ව ඝාතනයද තහනම් කළේය.
එකල නිග්‍රෝධ මුව රජුව ඉපදී සිටියේ තමන් වහන්සේ බව සදෙසූ බුදුපියාණන් වහන්සේ ශාඛමිග මුව රජව ඉපදී සිටියේ දේවදත්ත ස්‌ථවිරයන් බවද වදාළ සේක.
කරුණාව හා මෛත්‍රිය නම් මිනිස් හදවත් තුළ බෙහෙවින්ම හැමදා හැම විට පැවැතිය යුතු මහා බෝසත් ගුණාංගයන්ය. ඒ උතුම් ගුණය වියෑකී ගිය කල ලෝකය එකම අපා බිමක් වන්නා සේම ඒ කරණකොටගෙන සත්වයාට සංසාර දුකින්ද කවරදාකවත් එතෙර විය නොහැකිය. එහෙයින් එය කිසිදා නොවිසඳෙන දුක් දාමයකට මුල පුරන්නක් වන අතර එයින් සත්වයා අත මුදවා ගැනීම නිග්‍රෝධ මිග ජාතක කතාකරුවාගේ අරමුණ වූ බව පෙනේ
සුගත් වීරසූරිය
උපුටා ගැනීම දිවයින පුවත්පත