ජය ශ්‍රී මහා බෝධිය හැරුණු කොට දිනපතා තේවාවන් පවත්වමින් පුද සත්කාර කෙරෙන තවත් ගහක් තියෙනවාලු
රත්නපුර - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ නගරය පසුකර මඳ දුරක් ගමන් කළ විට හමුවන ප්‍රදේශය හැඳින්වෙන්නේ ඉඹුල්පේ යනුවෙනි. එම ප්‍රදේශයට පිවිසෙන ඕනෑම අයෙකුට මුලින්ම ඇස ගැසෙන්නේ දැවැන්ත මකර තොරණක් බඳු වාහල්කඩකි. “උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය” යනුවෙන් එම වාහල්කඩ මුදුනේ සටහන් කර තිබේ.
මේ වාහල්කඩ යටින් කිලෝමීටරයක් පමණ දුරට විහිදෙන පටු මාර්ගය කෙළවර වන්නේ අලුත්නුවරෙනි. ඓතිහාසික උග්ගල් කතරගම දේවාලය පිහිටා ඇත්තේ ඒ බිමේය. කඳ සුරිඳුන් උදෙසා පුද පූජාවන් හා පෙරහර පැවැත්වෙන අලුත්නුවර දේවාලය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේවාල 31 අතුරින් ප්‍රධානතම දේවාලයකි. කඳ සුරිඳුන් උදෙසා කැපවුණු දේවාල කිහිපයක්ම අප රටේ පිහිටා ඇතත් උග්ගල් අලුත්නුවර දේවාලය ඒ සියලු දේවාල අතුරින් සුවිශේෂත්වයක් ගනී. ඒ නම් අනුරාධපුර මහමෙවුනා උයනේ ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැරුණු කොට දෛනිකව රාජකාරි හා තේවාවන් ඉටු කෙරෙන එකම වෘක්ෂය පිහිටා ඇත්තේ මෙම දෙවොල් බිමේ වීමය. එම පූජනීය වෘක්ෂය අදින් වසර 750ක් පමණ පැරණි සුවිසල් කොස් ගසක් වීමද තවත් සුවිශේෂී කරුණකි.
අලුත්නුවර කතරගම දේවාලයේ පුද පූජා ලබන, බාරහාර ඔප්පු කරවන මෙම කොස් වෘක්ෂය බලංගොඩ වැසියන් හඳුන්වන්නේ “කොස් රුප්පය” යනුවෙනි. වසර සියගණනක් තිස්සේ බැතිමතුන්ගේ වන්දනා මානයට ලක්වෙන මෙම කොස්ගස පූජනීයත්වයට පත්වීම පිටුපස ඇති ඓතිහාසික සිදුවීමද රසවත් කතාවකි.
අතීතයේ සබරගමුවේ ප්‍රාදේශීය පාලකයෙකු වූ සූර්යවංශික යාපා රජතුමා අවස්ථා කිහිපයකදීම සීතාවක රාජසිංහ රජතුමා සමග යුද වැදී තිබේ. වරින් වර සිදුවන මෙම යුද ගැටුම්වලින් දෙපාර්ශ්වයේම විශාල පිරිසක් මිය ගියහ. යුද්ධය හේතුකොට ජනතාවටද මහත් ගැහැට විඳීමට සිදුවිය. මේ පිළිබඳව කළකිරීමට පත් යාපා බණ්ඩාර රජතුමා අවසන් වරට යුදබිමට යන අවස්ථාවේ තම ගමන් මගෙහි එක්තරා ස්ථානයක පිහිටි හොඳින් වැඩුණු කොස් ගසක් අසලදී ඇතු පිටින් බැස ප්‍රාර්ථනාවකට එළැඹ තිබෙන බව ජනකතාවල සඳහන් වේ. ඒ තමන් මෙවර යුද්ධයෙන් ජයගතහොත් නැවත කිසිදා යුද්ධයකට නොයන බවත්, යුද ජයග්‍රහණයත් සමගම අලුත්නුවරක් ඉදිකරවා ඒ මධ්‍යයෙහි කඳ සුරිඳුන් උදෙසා දෙවොලක් ඉදි කරවන බවටය. එයින් නොනැවැතුනු යාපා බණ්ඩාර රජතුමා එම ප්‍රාර්ථනාව දෙවියන් උදෙසා බාරයක් බවට පත් කොට පෙර සඳහන් කොස් ගසෙහි පඬුරක්ද ගැට ගසා යුද බිමට ගොස් තිබේ.
අවසන් වරට හුණුවළ වෙල්යායේදී පැවැති යුද්ධයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු පරදවා යාපා බණ්ඩාර රජු ජයගෙන තිබේ. ඉන්පසු දෙදෙනා නැවත යුද නොවදින බවට සාම ගිවිසුමකට එළැඹුණු බව ඉතිහාස තොරතුරුවල සඳහන්ව තිබේ. යුද්ධයෙන් ජයගත් යාපා බණ්ඩාර රජතුමා කොස් ගසට වූ බාරය ඔප්පු කරමින් අලුත් නුවරක් සාදා උග්ගල් කතරගම දේවාලය ගොඩනැගූ බව දේවාලය සතු සන්නසෙහි සඳහන් වේ. දේවාලය ඉදිකිරීමෙන් නොනැවතුනු රජතුමා තමන්ට පිහිටවූ කොස් ගස වෙනුවෙන් පුදසිරිත් පැවැත්වීමට රාජකාරිකරුවන්ද පත්කොට ඔවුන්ට නින්දගම් පවරා දී ඇත. එතැන් පටන් අලුත්නුවර කොස් ගස පූජනීයත්වයට පත් විය. වසර 750ක් තිස්සේ රාජකාරිය හා දේවකාරිය කඩ නොකොට අලුත්නුවර වැසියෝ කොස්ගසට රාජකාරි ඉටු කරති.
අලුත්නුවර කතරගම දේවාලයේ අතීතයේ පටන්ම රාජකාරි පංගු 94ක් වේ. එයින් එක් රාජකාරි පංගුවක් නම් දෙවියන් උදෙසා පිරුවට බඳින “රත්නහලු පංගුවයි”. මෙම රාජකාරි පංගුවේ ඇත්තන් වසරකට වරක් අලුත්නුවර දේවාලයේ ඇසළ මංගල්‍යයේද මහ දේවාලයේ පිරුවට බැඳ පසුව කොස් ගසට පිරුවට බැඳිය යුතුවේ. එය දේවාලය සතු 1870 අංක 04 දරන වැඩ ලේඛනයේද සඳහන් වී තිබේ.
මේ අනුව බලන කල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැරුණු කොට එලෙස පුද සත්කාර කෙරෙන එකම වෘක්ෂය වන්නේ අලුත් නුවර දේවාලයේ ඇති මෙම කොස් රුප්පයයි. වර්තමානයේදී මෙම පූජනීය කොස් රුප්පය වටා බැමි බැඳ ආරක්ෂක වැටක් ඉදිකර තිබේ. එපමණක් නොව කොස් රුප්පය පිළිබඳ ඉතිහාස කතා පුවත සෙල් පුවරුවක කොටා එම ස්ථානයේ ස්ථාපිත කර ඇත්තේ මතු පරපුරේ දැන ගැනීම උදෙසාය.
බලංගොඩ අලුත්නුවර කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේදී කොස් ගසට ලැබෙන්නේ ඉහළම සැලකිල්ලකි. මන්දයත් පෙරහර ආරම්භ කිරීම සඳහා කප් සිටුවීමට යොදා ගන්නේද කොස් කඳකි. අදින් වසර 600කට පමණ පෙර දේවාලයට පූජා කර ඇති අක්කර 40ක පමණ වපසරියකින් යුත් කුඹුරු යාය හැඳින්වෙන්නේ “වරකාවෙළ” යනුවෙනි. වරකා කොස්ගහක ලීයක් කප් සිටුවීම සඳහා යොදා ගැනීම මෙම දේවාලයේ සම්ප්‍රදායකි.
දේවාල බිමේ පුද සත්කාර ලබන කොස් රුප්පයේ හරි අඩක් පමණ මේ වන විට බෙනයක් බවට පත් වී ඇත්තේ කාලයාගේ ඇවෑමෙනි. එහෙත් ඉතිරි කොටසේ තවමත් මනාව දලුලා වැඩේ. අදටත් එහි ඵල හට ගනී. නමුත්
අලුත්නුවර වැසියන් කිසිවකුත් මෙම පූජනීය කොස් රුප්පයේ හටගන්නා ගෙඩි ආහාරයට නොගන්නා බවත් මෙම කොස් ගසේ ගෙඩිවල ඇට පැළ කිරීමට නොහැකි බවත් ගම්වැසියෝ පවසති.
ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල් බොහොමයක ජනතාව තම බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා වෘක්ෂ වන්දනා කරන්නේ වසර දහස් ගණනක සිටය. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ වැසියන් දරුඵල බලාපොරොත්තුවෙන්ද, තරග විභාග ජය ගැනීම සඳහාද, අපල උපද්‍රව දුරුකර ගැනීම සඳහාද බෝ වෘක්ෂ, නුග, නා වෘක්ෂ, කොහොඹ ආදී ගස්වලට බාරහාර වීම හා පුදපූජා කිරීම රජකාලයේ සිට පැවත එන සිරිතකි. එනමුත් කොස් ගසකට බාරහාර වන, ඒ සඳහා පුද සිරිත් ඉටු කරන ස්ථානයක් ලෝකයේ ඇත්නම් ඒ බලංගොඩ අලුත්නුවර දේවාලයේ පමණකැයි සිතේ.
මෙම දේවාලයේද දිවයිනේ සෙසු දේවාලයන් හි මෙන් වාර්ෂිකව මංගල්‍යයන් හතරක් පැවැත්වේ. ඉල්මහ කාර්තිය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ මහා මංගල්‍යය හා අලුත් සහල් මංගල්‍යය ඒ මංගල්‍යයන් හතර වේ. අලුත් නුවර දේවාලයේ අලුත් සහල් මංගල්‍යය සඳහා කරල් කපා ගැනෙන්නේ හුණුවළ වෙල්යායෙනි.
අලුත්නුවර සිට හේවිසි, හොරණෑද සහිත පෙරහැරකින් හුණුවළ වෙල්යාය දක්වා කරල් කැපීමේ පෙරහැර ගමන් ගනී. අතීතයේ යාපා බණ්ඩාර රජු අලුත්නුවර සිට හුණුවළ වෙල්යාය වෙත චතුරංගනී සේනාව සමගින් යුද්ධයට යාම මේ මගින් සංකේතවත් කරන්නේද යන්න විමසා බැලිය යුතු කරුණකි. අලුත්නුවර උග්ගල් කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසුන්දර බණ්ඩාර පවසන්නේ මෙවැනි කතාවකි.
මේ දේවාලය කඳ සුරිඳුන් උදෙසා කැපවූ ස්ථානයක්. මේ පුදබිමට වසර 700ක පමණ ලිඛිත ඉතිහාසයක් තියෙනවා. මෙහි විශේෂත්වය වන්නේ වෙනත් තැනක නැති විදිහට “කොස් රුප්පයකට” රාජකාරි ඉටුකිරීමයි. මේ වසරේ ඇසළ පෙරහර මංගල්‍යයේ මහ පෙරහර ඔක්තෝබර් 14 වන දින ආරම්භ වී 18 වනදා නිමාවට පත් වෙනවා. මහ පෙරහර පැවැත්වෙන දින පහ තුළ දේවාලයට අමතරව මෙම පූජනීය කොස් රුප්පයටද සුදු පිරුවට බැඳීම චාරිත්‍රයක්. මේ වසරේදීත් ඒ “රත්නහලු පංගුවේ” උදවිය එම රාජකාරිය ඉටු කිරීමට සූදානමින් සිටිනවා. අදටත් දිනපතාම පාහේ මෙම කොස් ගසට බාරහාර වී පඬුරු බැඳීමට එන පිරිස දකින්නට පුළුවන්. මෙම කොස් ගසෙහි පිහිට ලැබූ ඇතැම් අය කොස් ගස ඉදිරියෙන් හිස් වැසුම් හා පාවහන් පැළඳගෙන ගමන්බිමන්වත් යන්නේ නෑ. ඒ තරමටම බලංගොඩ අලුත්නුවර ජනතාව මේ කොස් රුප්පයට පූජනීයත්වයෙන් සලකනවා”. ඔහු කීවේය.
බුද්ධික රත්නකුමාර
උපුටා ගැනීම ලක්බිම පුවත්පත