Biz Log
Classifields
Biz Log
Classifields

ප්‍රඥාව වැඩෙන්නේ සන්සුන් සිතක් තුළයි සන්සුන් බව ඇතිවන්නේ නිහඬ බව තුළයි

ඔබේ හිත සන්සුන්ද? එහෙම නැත්නම් නොයෙකුත් ප්‍රශ්න නිසා හිත නොසන්සුන්ද? මං හිතන්නෙ බොහෝ දෙනෙක් ඉන්නෙ ඔය අන්ත දෙක අතරෙ. සීයට සීයක්ම හිත සන්සුන් අය නෑ. වෙලාවකට හිත සෑහෙන්න සන්සුන් වෙනව. තවත් වෙලාවක පුදුම විදිහට හිත නොසන්සුන් වෙනව. කලබල ගතියකින් හිත පිරෙනවා. සමහර වෙලාවට කුලප්පු වෙලා වගෙත් වැඩ කරනවා. හිත සන්සුන් කරගැනීමයි නිහඬ බවයි අතරෙ වචනවලින් කියන්න බැරි තරමෙ සම්බන්ධයක් තියනවා. සන්සුන් බවින් හිත පිරෙන්න නම් නිහඬ නිශ්ශබ්ද බව අත්‍යවශ්‍යමයි. ඒත් අවාසනාවකට වගේ අද අපි මේ තාක්ෂණය අතින් දියුණුයි කියන ලෝකෙ බොහෝ දෙනෙක් තාක්ෂණය නිසාම හිත නොසන්සුන් අවිවේකී බවට පත්වෙලා. විද්‍යාව තාක්ෂණය දියුණු වෙද්දී මිනිසාගේ හිතේ සැහැල්ලුවත් සතුටත් සීග්‍රයෙන් දියුණු වෙන්න ඕනනෙ. ඒත් කරුමෙකට වගේ මිනිස්සු බොහෝ දෙනෙක් අද ඉන්නෙ හිතේ සැහැල්ලුවෙන් නෙමේ. මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නෙ දැඩි අපහසුතාවකින්. නිහඬතාවය සමහරුන්ට ලබාගන්නම බැරි වෙළෙඳ භාණ්ඩයක් වෙලා තියනවා. අද බලන බලන හැම තිස්සෙම හැම පැත්තෙම දැනෙන්නෙ, ඉහවහගිය ශබ්ද ඝෝෂාවක්. අපි මතක තබාගත යුතු එක දෙයක් තියනවා. හිත සන්සුන් වෙන්න නම් අනිවාර්යෙයෙන්ම නිහඬ පරිසරයක් අවශ්‍යමයි. ඝෝෂාකාරී වාතාවරණයකදී හිත සන්සුන් වෙන්න විදිහක් නෑ. ඝෝෂාකාරී පරිසරයක් කියන්නෙ සන්සුන් සිතක පරම හතුරෙක්. නිහඬ නිසංසල පරිසරයක තමයි සන්සුන් හිතක් පහල වෙන්නෙ. සන්සුන් සිතක තමයි ප්‍රඥාව උපදින්නෙ, ලියලන්නෙ. ජීවිතය ලස්සන කරගන්න, අර්ථවත් කරගන්න ප්‍රඥාව අවශ්‍යයි. ජීවිතය ගැන දැක්මක් ඇති කරගන්න, ජීවිතය සොඳුරු බව අවශ්‍යමයි, කියන එකයි ඒකෙ තේරුම. ඒත් අවාසනාවකට වගේ අද දැන් පරිසරය සීමා රහිත එක එක ඝෝෂාවලින් දූෂිත වෙලා. නගරෙට ගියාම කන් රිදෙන තරමට වාහන නලා හඬ, සංගීතය පතුරවන ශබ්ද විකාශන වෙළෙඳුන්ගෙ ප්‍රචාරක කටයුතු යනාදී දහසකුත් එකක් ගෝරනාඩුවලින් මුළු පරිසරයම යුද පිටියක් බවට පත්වෙලා. ඒ මදිවට අද අපිට අහන්න ලැබෙන සින්දු වැඩි හරියක් අහගන ඉන්න පුදුම විදිහෙ ඉවසීමක් ඕන. සමහර ගායකයො මොනවා හරි සංගීත භාණ්ඩවලට තඩි බාන යකඩ ගැටෙන සද්දෙට මැදි වෙලා උඩු බුරනවා, බෙරිහන් දෙනව. ඒවලින් වින්දනයකට වඩා ලැබෙන්නෙ විඳවිල්ලක්. නගරෙ මදිවට ශබ්ද දූෂණය ගමටත් ඇවිත්. අයිස්ක්‍රීම් කාරයො විතරක් නෙමේ පාන් ගෙනියන පුංචි වාහනවලත් පාන්දර ඉඳලම ගම දෙවනත් කරන කන කකියන නළා හඬ. දවසින් දවසම වැඩි වෙන මේ ශබ්ද ඝෝෂා සීමා කරන්නෙ කොහොමද කියන එක නම් ගැටලුවක් තමයි. ඒත් ජීවිතය සුන්දර අත්දැකීමක් කරගන්න නම්, ප්‍රඥාව වඩවා ගන්න නම් මොන විදිහකින් හරි මේ දූෂිත ශබ්ද ප්‍රවාහයෙන් තාවකාලිකව හෝ අත්මිදෙන්න අත්‍යවශ්‍යමයි කියන එක අපි තේරුම් ගත යුතුමයි. සමහර පිටරටවල නම් වාහනවල ‘හෝන්’ සද්ද කරන්නෙ නෑ, අත්‍යවශ්‍ය තැනකදී ඇරෙන්න. අපේ රටේ නං සමහර බස්වලට ඇන්ජිම නැතත් ‘හෝන්’ එක අවශ්‍යමයි. සමහර රටවල ගොඩක් රෑවෙන තුරු ශබ්ද විකාශන යන්ත්‍ර දාගන සාද පවත්වන්න තහනම්. ආගමික සිද්ධස්ථානවලත් ලෝකෙටම ඇහෙන්න ශබ්ද විකාශන භාවිත කිරිම තහනම්. සමහර රෑට ගුවන් යානා අහසට නැගීම පවා නතර කරල තියෙන්නෙ. මේ හැම දේකම අරමුණ මිනිසුන්ට නිහඬව නිසංසල රැයක සුව නින්දක් ලැබිමේ අයිතිය තහවුරු කිරීම. නිසංසල බවේ වටිනාකම ඒ සමාජ ඒකක තුළ ආරක්ෂා කිරීම. අපේ රටේ ඒ අතින් නම් තියන කනගාටුදායක තත්ත්වය ගැන අලුතින් කියන්න අවශ්‍ය නෑනෙ. කෙසේ වෙතත් අපිට සන්සුන් සිතක් ඇති කරගන්න ඕනනම් මොන විදිහකින් හරි නිහඬ නිස්කලංක හෝරාවක් හෝ හොයා ගැනීම කළ යුතුමයි. ඒකට විකල්පයක් නෑ. ඒ නිසා ඔබට පී්‍රතිමත් අර්ථවත් ජීවිතයක මිහිරියාව විඳගන්න ඕනනම් මේ ඝෝෂාකාරී වටපිටාව මැද කොහොම හරි දවසකට සුළු කාලයක් හරි නිහඬව ගත කරන්න. නිහඬව ඔබේ සිත සමග තනිවෙන්න. නිහඬව සොබාදහම සමග ඒකාබද්ධ වෙන්න. ඔබ අදහන ආගම දහමට අනුව ඔබේ ජීවිතයට දිව්‍යමය මගපෙන්වීමක් ලබාගන්න. මේ කිසි දෙයක් ඝෝෂාකාරී බව තුළ අත්දකින්න බෑ. ඒ නිසා කොහොම හරි දවසකට පුංචි වෙලාවක් හරි නිහඬව හිත එකලස් කරගන භාවනාත්මකව ගත කරන්න. විශේෂයෙන් උදේ අවදි වෙලා දවස පටන් ගනිද්දිත් රෑ නින්දට යද්දිත් සුළු වෙලාවක් හරි ඔබේ කාමරයේ නිහඬ බවට තුරුළු වෙලා පුංචි භාවනාවක යෙදෙන්න. හිතට ඇතිවන සැහැල්ලුව චිත්ත පී්‍රතිය ගැන ඔබටම පුදුම හිතෙයි. මතක තියාගන්න මේ විදිහට ඔබ නිහඬ පරිසරයක කරන පුංචි භාවනාත්මක අභ්‍යාසය කෑමබිම වගේම අත්‍යවශ්‍ය, ඒ වගේම ජීවිතයට ‍පෝෂ්‍යදායක දෙයක් බව. කාන්තාරයක ක්ෂේම භූමියක් වගේ මේ කලබලකාරී ඝෝෂාකාරී අසහනකාරී ලෝකයේ පීඩාකාරී ජීවිතයට නිහඬ නිස්කලංක භාවනාවක් අති විශාල චිත්ත සුවයක් ලබා දෙනව. අපි බොහෝ දෙනෙක් දවස පුරාම කාර්යබහුලයි. යන්ත්‍ර වගේ වැඩ. ඒත් බොහෝ විට අපි කාර්ය බහුල වෙන්නෙ වැරදි හෝ අනවශ්‍ය දේට. නිහඬ නිසංසල තැනක් වෙලාවක් හොයාගෙන ජීවිතය නමැති ප්‍රාතිහාර්ය ගැන මෙනෙහි කරන්න අපිට වෙලාවක් නෑ. ජීවිතය තුළින් දිවෙන ධර්මතාවයන් ගැන පැහැදිලිව අවබෝධ කරගන්න අපිට අවස්ථාව ලැබෙන්නෙ පිස්සුවෙන් වියරු වැටිල වගේ මුළු දවස කාර්ය බහුල වීමෙන් නෙමේ. ජීවිතයේ ධර්මතාවන් ගැන සැබෑ ලෙස දැනගන්න පුළුවන් වෙන්නෙ නිහඬ නිස්කලංක හෝරාවක සමනළයෙක් වගේ නිහඬව හිතට පතිත වන ප්‍රඥාව අපේ හිතේ රජ කරන විටයි. මේ රහස බුදුන් වහන්සේ හොඳින් දැන සිටියා. උන්වහන්සේ හුදකලාව පරිසරයට ආදරය හිතෙන එළිමහනෙ බොහෝ අවස්ථාවල භාවනා කරල තියනවා. ජේසුතුමත් එහෙමයි. බොහෝ අවස්ථාවල නිහඬව හුදකලාව කඳු මුදුන්වල, සුන්දර පරිසරයක බොහෝ වේලා භාවනාවල යෙදිල තියනවා. බොහෝ දෙනෙක් හිතන්නෙ භාවනාව ආගමික පූජකවරුන්ට තාපසයන්ට වගේ අයට විතරක් වෙන්වූ දෙයක් කියල. ඒක නිවැරදි නෑ. සිතේ සංයමය, සතුට සැහැල්ලුව අවශ්‍ය ඕනෑම කෙනෙකුට පුදුම ප්‍රතිඵල ලැබිය හැකි මගක් තමයි මේ හුදෙකලා භාවනාව. ඉතින් ඔබ මොන තරාතිරමක කෙනෙක් වුණත් කමක් නෑ. ජීවිතය සුන්දර සැහැල්ලු අත්දැකීමක් කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම නිහඬ නිස්කලංක පරිසරයක තනිවෙන්න. හැමදාම මේක කරන්න. නිහඬ හෝරාවක හිත සමග සොබාදහම සමග බද්ධ වෙලා ජීවිතය ගැන හිතන්න. පිස්සුවෙන් දඟලන ඝෝෂාකාරී ජීවන රටාවෙන් හැකි තරම් ඈත්වෙන්න නිස්කලංක බවේ වටිනාකම අවබෝධ කරගන්න. සොඳුරු පී්‍රතිමත් ජීවිතයක පදනම නිහඬ නිස්කලංක බව තුළින් පීදෙන ප්‍රඥාව බව හොඳින් මතක තියාගන්න. මයිකල් ඇන්ජලෝ උපුටා ගැනීම ලක්බිම පුවත්පත

Share This Article