කිරිඅම්මාවරුන්ගේ දානයට ගත යුත්තේ චරිතවත් මව්වරුන් පමණයි


ග්‍රාමීය සමාජය තුළ වැසියන්ගේ පරමාර්ථ අතර ප්‍රමුඛස්ථානය ගන්නේ තම ජීවන කාර්යයට අවශ්‍ය පරිසරයක් ගොඩනගා ගැනීමයි. එබැවින් ග්‍රාමීය සමාජය තුළ ජන ජීවිතයට සම්බන්ධ වන විවිධ දෙවිවරුන්ට වන්දනාමාන පැවැත්වීමේ අරමුණ වන්නේද ජනයාගේ එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීමට ඒ දෙවිවරුන්ට වන්දනාමාන පැවැත්වීමේ අරමුණ වන්නේද ජනයාගේ එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීමට ඒ දෙවිවරුන්ගෙන් පිහිට, ආරක්ෂාව පැතීමයි. මෙහිදී ජන ජීවිතයට සමීපතම දෙවඟනක් වශයෙන් පත්තිනි දේවිය විෂයෙහි කිරි අම්මාවරුන්ගේ දානයක් පිරිනමන්නේ කවර අරමුණු ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන්ද යන්න විමසීම වැදගත්වේ. ඒවා මෙසේ අංශ කිහිපයක් යටතේ ගොනු කළ හැක.

1. මිනිසුන්ට වැළඳෙන බෝවන රෝග, වෙනත් ලෙඩ රෝග, අපල උපද්‍රව වලින් වැළකීම

2. ගැබිනි මව්වරුන්ට හා කුඩා දරුවන් යහපත, පිහිට, ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම.

3. සශ්‍රීකත්වය ලබා ගැනීම හා එදිනෙදා කටයුතු යහපත්ව කරගෙන යාම ආදී වශයෙනි.

මිනිසුන්ට වැළඳෙන බෝවන රෝගවලට “දෙවියන්ගේ ලෙඩ” නොහොත් “අම්මාවරුන්ගේ ලෙඩ” යැයි නම් කිරීමට ජනතාව හුරු වී සිටිති. ඉක්මනින් පැතිරී යාමත්, රෝගයට බොහෝ දෙනෙක් ගොදුරු වීමත් බෝවෙන රෝග මගින් සිදුවේ. එහිදී රෝගය මර්දනය කිරීම සඳහා නොයෙක් පිළියම් කරනුද දක්නට ලැබේ. එහිදී මූලික වන්නේ බෝවන රෝගයක් කෙනෙකුට වැළඳුණ විට පත්තිනි දේවියට පඬුරක් ගැටගසා හෝ වෙනත් ආකාරයකින් බාරවී කිරි අම්මාවරුන් උදෙසා දානයක් පිරිනමන බවට ‍පොරොන්දු වීමය. විශේෂයෙන්ම සරම්ප, කම්මුල්ගාය, පැ‍පොල ආදී බෝවන රෝග සුව කිරීම පත්තිනි දේවියගේ ප්‍රධාන කාර්යයක් සේ සැලකේ. එමෙන්ම බෝවන රෝග සුව කිරීමේ මහා හාස්කමක් පත්තිනි දේවියට ඇති බවද විශ්වාස කරන අතර එබැවින් යම් නිවසක කෙනෙකුට බෝවෙන රෝගයක් වැළඳුණු විට එය අනිකුත් අයට පැතිරී යාම වැළැක්වීමටත්, ඉක්මනින් සුවය ලබා ගැනීමටත් පත්තිනි දේවියට කිරි අම්මාවරුන්ගෙන් දානයක් පිරිනැමීම මගින් අපේක්ෂා කරයි.

ඊට අමතරව ඇස්වහ, කටවහ, හෝවහා වැනි දෝෂ වලටද දිගුකාලීනව පවතින හොරි, දද, කුෂ්ඨ, වන ආදී රෝගවලින් සුවය ප්‍රාර්ථනා කිරීමටද වෙනත් ලෙඩ රෝග දුරුකර ගැනීම අපේක්ෂා කරමින්ද නියඟය, සාගතය ආදී විපත් දුරුකර ගැනීම අපේක්ෂා කරමින්ද පත්තිනි දේවියට කිරි අම්මාවරුන්ගේ දානයක් පිරිනැමීමට කටයුතු කරනු දක්නට ලැබේ.

පත්තිනි දේවිය කුඩා දරුවන් හට ආදරය, කරුණාව ඇති දෙවඟනක් බව ජනතාව විශ්වාස කරති. දරුවන්ට නිතර, නිතර රෝග පීඩා ඇතිවන විටත් ගර්භණී මව්වරු දරු ප්‍රසූතියට පෙර සිටමත් පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව පතා බාරවන්නේ කිරි අම්මාවරුන්ගේ දානයක් උදෙසාය. දරු ප්‍රසූතියෙන් මාස හතරක් පමණ ඉක්මවීමෙන් පසුවත්, කුඩා දරුවන් ලෙඩ රෝග වලින් සුවය ලැබූ පසුව එම බාරය ඔප්පු කිරීම උදෙසාත් කිරි අම්මාවරුන්ගේ දාන පවත්වනු දක්නට ලැබෙයි. නිර්දාරක භාවයෙන් යුත් කාන්තාවන් හා ගර්භණී කාන්තාවන් නිරන්තරයෙන්ම පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව කරනු පතනු ලබයි. කාන්තාවන් මුහුණ දෙන දරුවන් නොමැතිකම ආදී ගැටලු හුදෙක් පත්තිනි දේවියටම කියා පිළිසරණක් අපේක්ෂා කරන්නේ හුදෙක් ඇයගේ චරිතය ජන සමාජය තුළ නිරූපණය වී ඇති අයුරින් මාතෘත්වය හා සම්බන්ධ ගුණාංග මත මවක් මෙන් තමන්ගේ ගැටලුවලට පිහිටවනු ඇතැයි විශ්වාසයක් ඇති නිසාය. දරුඵල සම්බන්ධව පවත්වනු ලබන කිරි අම්මාවරුන්ගේ දානයට චරිත ශුද්ධියක් ඇති මව්වරු තෝරා ගන්නේ ඔවුන් පත්තිනි දෙවඟනගේ කරුණා ගුණය පිළිබිඹු කරතියි අපේක්ෂා කරන නිසාය. මේ අනුව ගර්භණී මාතාවන්ගේත්, දරුවන් නොමැති කාන්තාවන්ගේත් අපේක්ෂා ඉෂ්ටකර ගැනීමටත් කුඩා දරුවන්ගේ ලෙඩ රෝග වළක්වා ගැනීමටත් පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව අරමුණු කර ගෙනද කිරි අම්මාවරුන් උදෙසා දාන පැවැත්වේ.

ඇතැම් නිවෙස්වල අවුරුද්දකට වතාවක් කිරි අම්මාවරුන්ට දානයක් දීමට නිවැසියෝ හුරුපුරුදු වී සිටිති. ඔවුන් එයින් බලා‍පොරොත්තු වන්නේ කිරි අම්මාවරුන්ගේ දානය පිරිනැමීමේ ආනිශංසය නිසා ගොවිතැන් කටයුතු හා ගෙදර දොරේ දියුණුව ඇති වී ඇස්වහ කටවහ දෝෂ නිවසට හා නිවැසියන්ට ඇත්නම් ඒවා දුරුවන බවයි. කිරි අම්මාවරුන්ගේ දානයක් දීමේදී ගායනා කරන දොස් මැඩීමේ කවිවලද ඒ බව අන්තර්ගත වී ඇත.

කුජ කිවිදින ගෙයි ගොම මැටි ගෑවද
බකමූණන් ගෙටවිත් හඬ පෑවද
උලමෙක් වහලෙහි මුදුනට ආවාද
එම දොස් සියලුම දුරු වේවා අද

බුලතේ අග මුල නොකඩා කෑවද
ළිප මුල අළු නොතබා පිට ලූවද
දණදෙක බිම ඇන ‍පොල් ඇඹරූවාද
සැම දොස් දෙවියනි දුරුවේවා අද

නඩුහබ කරදර ගෙට ඇති වූවද
ලෙඩ දුක් වියවුල් වල මැදි වූවද
රැකි රස්සාවල් දුස්කර වූවද
ඇති හැම වස්දොස් පහවේවා අද

අඹරන ගල යට හතු පිපුණ වද
කබරගොයින් ගෙයි ඇතුළට ආවද
නපුරු ජාමේ කපුටන් හඬලෑ වාද
රුදුරු එවන් දොස් දුරු වේවා අද

(දොස් මැඩීමේ කවි)

ආදී වශයෙන් දොස් ලෙස ගැමියන් සැලකුවේ ෙදෙනික ජීවිතයේ අසම්මත යැයි තීරණය කළ කරුණුය. අඟහරුවාදා හා සිකුරාදා දවස්වල ගෙයි ගොම මැටි ගෑම, එළිපත්තේ සිට හිස පිරීම, දෙවියන් සතු දේ කෑම, කිල්ලෙන් දේවාලයට යෑම, ගෙදර සිට මහ හඩින් දෙස් දෙවොල් නැගීම වැනි ක්‍රියා දොස් ඇතිවන කාරණා තහනම් ලෙසට ගැමියෝ සැලකූහ. ඊට අමතරව නිවසට නිතර නිතර කරදර ඇතිවීම, නඩු හබවලට පැටලීම, කරන රැකියා කටයුතුවලට පැමිණෙන බාධක ආදියද වසරකට වරක් කිරි අම්මාරුවන්ගෙ දානයක් දීමෙන් නැති වන බව විශ්වාස කෙරේ. නිවසට ඇති වස් දොස් දුරුකර, නිවසේ දියුණුව, සුබ සෙත ලබා ගැනීම කිරි අම්මාවරුන්ගේ දානයක් පිරිනැමීමේ තවත් අරමුණකි.

පත්තිනි දේවිය ගහකොළවලට අධිපති දෙවඟනක් වශයෙන් සලකන නිසා ගොවිතැන් කටයුතු ආදියේ සශ්‍රීකත්වය අපේක්ෂාවෙන්ද කිරි අම්මාරුවන්ට දානයක් පිරිනැමීම තවත් අරමුණකි. “ගහකොළ ගොවිතැන්හි සශ්‍රීකත්වය පිළිබඳ අධිපති වශයෙන් මෙරට පත්තිනි දෙවඟන අදහන අන්දමට වෙනත් ඇතැම් රටවල ඒ සඳහා වෙනම දෙවි දේවතාවුන් සිටි බව පෙනේ. බොහෝ විට තම ගොවිතැන් කටයුතුවලට වැළඳෙන ලෙඩ රෝග, ආලපාලුවීම්, ආදිය දේව උදහසින් සිදුවන බවත් ඒවා දේව බලයෙන්ම මැඩ පැවැත්විය හැකි බවත් ගැමි ජනයා විශ්වාස කරති. එබැවින් නිතරම දෙවියන් සතුටු කිරීම අවශ්‍ය වෙයි. දෙවියන් සමග හොඳින් සිටි තරමට තමන්ගේ ඕනෑ එපාකම් හා බැඳුණු ඉෂ්ටාර්ථ මුදුන්පත් වන බවත් දෙවියන් කෝප වුවහොත් තමන්ට මහා විනාශයක් ඇතිවී අනිටු ප්‍රතිඵල උදාවෙන බවත් ගැමියෝ සිතති. ඒ නිසා ස්වකීය දිවිපෙවතට වඩාත් සමීප වන තමන්ගේ ආර්ථික, සමාජීය කටයුතුවලට සෑම අතින්ම සම්බන්ධ දෙවියන් තෝරාගෙන ඒ දෙවිවරුන්ට විශේෂ පූජෝපහාර පැවැත්වීම ජනයාගේ සිරිතක් වී ඇත. එහිදී පත්තිනි දේවියට කිරි අම්මාවරුන්ගේ දානය පුදා තම බලා‍පොරොත්තු ඉෂ්ට කරගැනීම ප්‍රධාන ස්ථානයක් ගෙන ඇත.

මේ අනුව බලන විට කිරි අම්මාවරුන්ගේ දානයක් පිරිනැමීමෙන් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ රෝග පීඩාවලින් අත්මිදීම, තම ජීවිතයට, යහපත, සෞභාග්‍යදය ආදිය ළඟාකර ගැනීමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දයා අමරසේකර විසිනි

Share This Article

මඟ තොට රෑ අත වනනා ගෑනු පිරිමි අතර සතා

මේ කියන්න යන කතාව එක අතකින් කිවයුත්තක් කියලා හිතුණත් තවත් පැත්තකින් ඒක ඒ තරම් සභ්‍යත්වයට ගැළපෙන දෙයක් නොවේ කියලා ඔයා කියයි....

පොළොව පෙරලෙනවාට බයේ දුවපු හාවා වගේ

ජේතවනාරාමය නුදුරෙහි එවක තීර්ථකාරාමයක් ද විය. එහි වාසය කළ පරිබ්‍රාජකවරු ශරීරයට දුක දෙන දුෂ්කර තාපස වෘත අනුගමනය කරමින් හුන්හ. මේ පිළිවෙත්වලින්...

සැමට සෙත සදන පිරිත් දෙසුම

පිරිත් දේශනාව පිළිබඳ තොරතුරු විවිධ සූත්‍රවල දී මෙන් ම ජාතක කතා, ධම්මපද ගාථා යනාදියෙ හි ද දක්නට ලැබේ. බෝධිසත්ව චරිතය ගැන...

ශ්‍රීපාදය ගැන ඔබ නොදත් ගුප්ත හෙළිදරව්වක්

උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න. Adams Peak ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා...

භූතයන් හැදෙන විද්‍යාත්මක සත්‍යය මෙන්න

ගමේ අප්පුහාමිගෙ ඉඳන් නගරෙ ජීවත් වන ප්‍රනාන්දු වෙනකන් හැම කෙනෙක්ටම නොපෙනෙන ලෝකය ගැන තියෙන්නෙ ඉහවහා ගියපු කුතුහලයක්. භූතයන්, ප්‍රේතයන් ඉන්නවද? ඇත්තටම...