Biz Log
Classifields
Biz Log
Classifields

මියගිය වූන් හට පින් දුන්විට ඔවුන් පින් ගන්නේ කෙසේද?


බුදුරජාණන් වහන්සේ බුදු වූ පළමු අවුරුද්දෙහිම තමන් වූ පොරොන්දුවෙන් මිදෙනු සඳහා රජගහ නුවරට වැඩම කළහ. එහිදී බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා බිම්බිසාර රජු ප්‍රමුඛ බොහෝ දෙනා සෝවාන්ව තෙරුවන් සරණ ගියහ. පසුව බිම්බිසාර රජු වේළුවන නම් රජ උයනද බුදුපාමොක් මහ සඟනට පිදීය. අනතුරුව බුදුරජාණන් වහන්සේ එහි වැඩ වෙසෙන බිම්බිසාර රජුගේ ඥාති ප්‍රේතයන්ට පින් දෙන්නට යැයි සංඝයා වහන්සේලාට නියම කළහ. මෙය මියගියවුන් හට පින් දීමේ ආරම්භයයි.

වර්තමානයේ මළගිය ඥාතීන් හට පින්දීම පිළිබඳ බොහෝ දෙනකු නොයෙකුත් දෑ විමසති. මේ පින් යන්නේ කවර මඟකින්ද? මේ පින් ලැබෙන්නේ කෙසේද? ආදී නොයෙකුත් ප්‍රශ්න අසන්නන් සමාජය තුළ ඉතා බහුලය. එසේ ප්‍රශ්න ඇසීම බුදු දහමට ඉතා ගැළපෙයි. හේතුව වන්නේ අන්ධ විශ්වාසයන් බුදු දහම ප්‍රතික්ෂේප කිරීමයි. යම් දෙයක සැක නැති කරගත හැක්කේ ප්‍රශ්න කොට දැනුම පිරිසුදු කොට ගැනීමෙනි.

අතීතයේ එක් දිනෙක ජාණුස්සෝනි නම් බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් "ස්වාමිනී මියගියවුන් හට පින් දුන් විට එය ලැබෙන්නේ කෙසේද? කවුරුන් හට දැයි" ඇසීය. එවිට උන්වහන්සේගේ පිළිතුර වූයේ යමකු පින් දෙනවා නම් අනෙක් තැනැත්තා එය පිළිගන්නටද බලාපොරොත්තුවෙන් සිටිනවා නම් එම පින් ලැබෙන බවය. දීමත් ගන්නට බලාපොරොත්තු වීමත් මෙහි අත්‍යවශ්‍ය කරුණු දෙක බව මෙහිදී පැහැදිලි වේ.

මිය පරලොව ගිය ඥාතීන් හට පින් අනුමෝදන් කරනු ලබන ආකාර දෙකක් වර්තමාන සමාජය තුළ ඇත. එනම්,

  • පැන් වඩා පින් අනුමෝදන් කිරීම.
  • පැන් නොවැඩ පින් අනුමෝදන් කිරීමයි.

අපගේ සමාජය තුළ පවතින මෙම චාරිත්‍ර ධර්මයන් පිළිබඳ මිනිසුන් හට කිසිදු අවබෝධයක් නැත. ඔවුන් පැන් වැඩීමේ ක්‍රියාව පිළිබඳ දැනුවත් නමුත් එහි අදහස දන්නේ නැත. පැන් වඩන විට පැන් වැඩීම යනු කුමක්ද, පැන් වඩන විට භාජනය ඉතිරී යෑමට පැන් වඩන්නේ ඇයි යන්න බොහෝ දෙනකුට අවබෝධයක් නැත.

එහෙත් තමා සිදුකරන පිනත් වඩන පැනුත් අතර සම්බන්ධතාවක් ඇත. විශේෂයෙන්ම අපගේ චාරිත්‍ර ධර්ම අනුව පැන් වඩනවා යනු මිහිඳු හිමියන්ගෙන් ලැබුණු සංකල්පයකි. බුද්ධ දේශනාවෙහි මෙය සඳහන් වන්නේ පින් අනුමෝදන් කරනවා යනුවෙනි. බුදුරජාණන් වහන්සේ එය වැස්සකට උපමා කර ඇත. එනම් ජල චක්‍රය සංසාර චක්‍රයට උපමා කරමින් පෙන්වා දී ඇත්තේ මිනිසා නැවත උපදින බවත්, ජීවත්වන බවත්. මැරෙන බවත්, නැවත ඉපදෙන බවත්ය. ජල චක්‍රයේදී සිදු වන්නේද ඉහළින් වතුර වැටීමත්, පොළොව තෙමීමත්, ජලය ගලාගෙන යෑමත්, නැවත එම ජලය අහසට එකතු වීමත්ය. සංසාරය ගෙතී පවතින්නේද මෙවැනි චක්‍රයක් වටාය. බොහෝ බෞද්ධයන් සංසාර ගමනෙහි කෙළවර දකින්නේ තුන්තරා බෝධියෙන් එක් බෝධියක් හරහා සැනසීම ලබා ගැනීමටයි. පැන් වැඩීම යනු බුදුරජාණන් වහන්සේ වැස්ස උපමා කළ සංකල්පය දෘශ්‍යාධාර භාවිතයක් ලෙස මිහිඳු මහ රහතන් වහන්සේ විසින් අප සමාජයට හුරුකළ චාරිතයකි.

අප බොහෝ විට අපගේ ආධිපත්‍යය තිබෙන ස්ථානයක නැතිනම් අපගේ නිවෙසෙහි, මිය පරලොව ගිය ඥාතියකුට පැන් වැඩීම සිදුකරනු ලබයි. යම් කිසි කෙනකු පරලොව සැපත් වූ විට මතක වස්ත්‍ර පූජා කොට පින් අනුමෝදන් කරනු ලබන්නේ,

යථාවාරී වහා පුරා   – පරිපුරෙන්ති සාගරං
ඒවමේව ඉතෝදින්නං – පේතානං උපකප්පති

(වැස්සෙන් වැටුණු ජලධාරාවෝ සයුර පුරවත්ද එසේම මේ දෙන පිං මළගිය ප්‍රේතයන්ට අත්වේවා)

යන ගාථා කියමිනි. එසේම ඉහත ගාථාව සමඟ

උණ්ණ මේ උදකං වට්ටං -යථා තීරණ්ණං පවත්තති
ඒවමේව ඉතෝදින්නං – පේතානං උපකප්පති

(උස් තැනට වැටුණු ජලය පහත් බිම් කරා යේද එපරිද්දෙන්ම මෙයින් දෙන ලද පින මළගිය ප්‍රේතයන් කරා පැමිණෙත්වා)

යන ගාථාවද සජ්¿ධායනා කරනු ලබයි. මළගිය ඥාතීන් හට පැන් වඩන ආකාර දෙකක් පිළිබඳ ලිපිය ආරම්භයේදී අප කතා කරනු ලැබුවේය. එහිදී දෙවැනි කාරණාව එනම් පැන් නොවැඩ පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රයේදී,

එත්තාවචාච අම්මේහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු – සබ්බේ භූතා අනුමෝදන්තු
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්හි සිද්ධියා

(අප රැස්කර ගත් මේ පින සියලු දෙවියෝද, සියලු භූතයෝද සියලු සත්ත්වයෝද අනුමෝදන්ව සියලු සැප ළඟා කර ගනිත්වා) යන ගාථාව සජ්¿ධායනා කර පින් දෙනු ලැබේ. වර්තමාන සමාජයේ පැන් වැඩීම සඳහා කුඩා පෝච්චියකුත් කුඩා භාජනයකුත් (පීරිසි කෝප්පයක්) යොදාගනු ලබයි.  එහිදී ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරනු ලබන්නේ වැස්සෙහි ස්වභාවයයි. පැන් වඩන විට පැන් භාජනය පිරී ඉතිරී යා යුත්තේ ඇයිදැයි කෙනකුට ගැටලුවක් මතුවිය හැකිය. පැන් වඩන විට එක් භාජනයක් පිරී ඉතිරී ගොස් අනෙක් භාජනයට වැටෙනු ලබයි. වැස්සෙහි ස්වභාවයද පිරී ඉතිරී යෑමයි. පැන් වඩන අතරතුර,

ඉදං වෝ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ 

(මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුසලය අපගේ කාලක්‍රියා කළ ඥාතීහු අනුමෝදන් වෙත්වා. කාලක්‍රියා කළ ඥාතීන්ට මේ පින අයිති වේවා, මේ පින අනුමෝදන් වීමෙන් ඥාතීහු සුවපත් වෙත්වා) යන ගාථා පාඨය ගායනා කරන අතරතුර පැන් වඩනු ලබයි. පැන් වැඩීම බෞද්ධ සංස්කෘතිය තුළ තිබෙන චාරිත්‍රයකි. එය මියගිය ඥාතිවරයාට අදාළ නොවේ. ඔහුගේ හෝ ඇයගේ පිනට බලපානු ලබන්නේ ජීවත්ව සිටි කාලයේ  (සිත, කය, වචනය යන ති‍ෙදාරින්) රැස් කරගත් පිනයි.  මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයා ජීවත් වී සිටි කාලයේ රැස්කර ගත් පින් මියගිය පසු ඔහුගේ හෝ ඇයගේ ඥාතීන් අනුමෝදන් කරනු ලබති.

පැන් භාජනය පිරී ඉතිරී යන ලෙස පැන් වඩන්නේ ඇයි දැයි විමසූ විට ඇතැම් පුද්ගලයන් පවසන්නේ තමාගේ ඥාතියකු හෙයින් වැඩිපුරම පින් අනුමෝදන් කරන බවයි. නමුත් එවැනි අදහසක් මෙයින් ඉස්මතු නොකෙරේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි යම් කිසිවකුට පිරිනැමිය හැකි මහඟු තිළිණය වන්නේ කිසිවකු මියගිය පසු පින් දහම් කිරීම හා එම පින් අනුමෝදන් කරවීමයි.  එසේම පින් අනුමෝදන් කරන්නා එමඟින් තවත් පින් රැස් කරගන්නා බවද උන්වහන්සේ දේශනා කර ඇත. විශේෂයෙන්ම  “මහණ බමුණන්ට, දන්දීමේ යෙදුණු අයට එම කුසල් තම මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් කරන ලෙස බුදුරදුන් ඔවුනට  උපදෙස් දී ඇත. මෙයට හොඳම උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ තිරෝකුඩ්ඩ සූත්‍රයයි. තවද නිධිකණ්ඩ සූත්‍රයේ දක්වා ඇත්තේ, යම් සේ ගංගාවන් පිරී ගිය කල, වහා ගලා ගොස් මහ සමුදුරට වදී ද, එසේම මෙතනින් වෑහෙන ජලය ගලායන සේ , එහි සිටින මියගිය වුන්ට ඵලදායි වේවා.

උස්තැනින් වැගුරූ මේ ජලය, පහළට වැගිරී යන සේ මේ දුන් පින එහි සිටින ජීවීන්ට අත්වේවා යන්නයි.

පින් අනුමෝදන් කිරීමේ මූලාරම්භය සහ වැදග්තකම ශාස්ත්‍රීය විවාදයකට විවෘත වූවකි. මෙකී පැරැණි සිරිත අද දක්වා බොහෝ බෞද්ධ රටවල පවතින නමුදු මෙය අනුගමනය කරන බෞද්ධයන් අතුරින් මෙම පුන්‍යානුමෝදනාවේ අර්ථය හා යෝග්‍ය ක්‍රියා පිළිවෙළ අවබෝධ කරගෙන ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඇතැම් මිනිසුන් නිකරුණේ කාලය සහ ධනය, මියගිය අය සිහිකිරීමේ උත්සව වෙනුවෙන් වැය කරති.  අධික වියදමින් භූමිදානාගාර,  සොහොන් කොත්, තොරණ් වැනි දේවල් ගොඩ නැඟීමෙන් මියගිය අයට සෙතක් සැලසෙන්නේ නැති බව වටහා ගත යුතුය.

අප පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් එම පින් මිය පරලොව ගියවුන්ගේ සුබසාධනය සඳහා අනුමෝදන් කළ යුතුය. ඔවුන්ට පින් පැමිණවිය හැකි හොඳම ක්‍රමය වන්නේ එයයි.  ජීවතුන් අතට සිටින ඥාතීන්ගේ යුතුකම වන්නේ පින් අනුමෝදන් කරවීමෙන් හා සෘජුවම මෛත්‍රිය පැතිරවීමෙන් තම මිය පරලොව ගිය අය සිහිපත් කිරීමය.

උපුටා ගැනීම මව්බිම

Share This Article