Biz Log
Classifields
Biz Log
Classifields

ලෝකයම දිනන මඟ කා ළඟද? කොතැනකද?


මනස  යනු  ලොවෙහි ඇති ශක්තිමත්ම බලවේගයයි. ඒ නිසා එය සරල ක‍්‍රමවේදයක් තුළ විශ්ලේෂණය කිරීම අපහසු වේ. සත්ත්වයන් අතර ලොව දියුණුතම සත්ත්වයා ලෙස මිනිසා සැලකෙන්නේ ඔහුගේ මනස උසස් බැවිනි. මනසින් උසස් වන නිසාම මිනිසාට මිනිසා යන නාමය ලැබී ඇති බව ද සැලකිය හැකිය. මනස උසස් ලෙස ගොඩනැගීමට අවශ්‍ය ජීව විද්‍යාත්මක පරිසරය මිනිසා සතුවන නිසා ඔහුට අනෙකුත් සතුන්ට වඩා වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීමේ හැකියාව තිබේ. මිනිසාගේ මොළය දියුණු මනසක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප‍්‍රබලතම සාධකය වන අතර එය අනෙකුත් ජීව විද්‍යාත්මක සාධක සමඟ ද සම්බන්ධ වන ආකාරය දැකිය හැකිය. මොළයට පමණක් මනස නිර්මාණය කළ නොහැකි බව පැහැදිලි වේ. දියුණු ස්නායු පද්ධතියක් තිබීම ද මොළයේ සංවර්ධනය සඳහා හේතු වනවා පමණක් නොව මනසෙහි නිෂ්පාදිතය සඳහා ද එය හේතුවන ආකාරය පැහැදිලි කරගත හැකිය. මොළයෙහි නියුරෝන දස දහස් ගණනක් තිබෙන අතර එක් නියුරෝනයකට දහසකට අධික සම්බන්ධතාවන් නිර්මාණය කළ හැකිය. ඒ අනුව මානව මොළයට දියුණු ලෙස සිතීමට පමණක් නොව තවද භෞතික වස්තූන් හා පමණක් ද නොව සිතිවිලි සිතුවිලි අතර ද සම්බන්ධතා නිර්මාණය කර ගැනීමට හැකි වේ.

ඒ අනුව මිනිස් මොළයට බිලියන ගණනකට වඩා අධික සබඳතා නිර්මාණය කර ගැනීමට හැකියාව තිබේ. මෙලෙස සබඳතා ගොඩනගා ගැනීම මානව මනසට හැර වෙනත් කිසිදු භෞතික ඒකකයකට නොහැකි බව පැහැදිලිය. එම සබඳතා මනසෙහි සංකල්ප  නිර්මාණය කරන අතර සංකල්පයක සිතිවිලි සිය ගණනක් හෝ එයට අධිකව දහස් ගණනක් හෝ පැවතිය හැකිය. සිතිවිල්ලට තනිව පැවතිය නොහැකි නිසා එය අනිවාර්යයෙන්ම සංකල්ප නිර්මාණය කරනු ඇත. පසුව එම සංකල්ප තවද සංකල්ප හා සබැඳෙන අතර ඒ තුළ අර්ථ නිරූපණ ගොඩනැගෙනු දැකිය හැකි වේ. සංකල්පයකට ද තනිව පැවතිය නොහැකි බැවින් එය අර්ථවත් කර ගැනීම සඳහා තවද සංකල්ප හා කේන්ද්‍රගත වීම අත්‍යවශ්‍ය කාරණාවක් වනු ඇත. සංකල්පවලට පරිබාහිරව මිනිසාට ක‍්‍රියා හෝ අන්තර් ක‍්‍රියා ගොඩනඟාගත නොහැකි වනු ඇත. ඒ අනුව සංකල්පය මානව චර්යාව නිර්මාණය කිරීමට ද හේතු වනු ඇත.

එහෙත් මෙම ජීව විද්‍යාත්මක උරැමය තුළින් මිනිසා ප‍්‍රයෝජන ගන්නේදැයි යන ගැටලුව අපට වර්තමාන සංසිද්ධීන් දෙස අවධානය යොමු කරන විට පැහැදිලි කරගත හැකි වේ.

මනස, සිත සහ විඥානය යනු ප‍්‍රධාන අර්ථ සහිත ක‍්‍රියාවලීන් තුනක් බව පැහැදිලිය. මනස යනු මොළය සහ ශරීරය පමණක් නොව ශරීරයේ පවතින අනෙකුත් ඉන්ද්‍රියන්ගේ ද සහසබඳතාවෙන් ගොඩනැගෙන නිෂ්පාදිතයක් බැවින් මනසෙහි මූලිකතම ක‍්‍රමවේදය බවට පරිවර්තනය වන්නේ සිතුවිලි නිෂ්පාදිත ස්වරෑපයකට ඉඩ හැරීමයි. ඒ අනුව මනස යනු ශරීරයේ භෞතික කාරණා තුළින් නිශ්පත්තිය ලබන ශක්තිමත්ම ඒකකය බව පැහැදිලි කරගත හැකිය. 

සිතෙහි මූලිකතම කාර්යභාරය බවට පරිවර්තනය වන්නේ පසිඳුරන් මූලික කරගෙන ඇලීම් ගොඩනගා ගැනීමයි. ඒ අනුව යම් තැනක් පිළිබඳ හෝ යම් කෙනකු හෝ යම් දෙයක් සමඟ සම්බන්ධතා ගොඩනගා ගන්නවා යනු සිත ඒ පිළිබඳ මූලිකත්වය ගැනීමයි.  එසේ වන්නේ සිතේ මූලික ලක්ෂණය වන ඇලීම වන නිසාය. සිත නිශ්පත්තිය ලබන්නේම මනස මූලික කරගෙනය.

එහෙත්  විඥානය යනු එයට වඩා දියුණු අවස්ථාවක් බව පැහැදිලි කරගත යුතු වේ. වි යන උපසර්ගය පූර්ව වීම තුළ ගොඩනැගෙන අර්ථය වන්නේ ප‍්‍රභේදගත වීම හෝ ප‍්‍රභේදගත කිරීම යන්නය. ඥානය යන්න සරල ක‍්‍රමවේදයක් තුළ අර්ථකථනය කිරීම අපහසු වන්නේ එය දියුණු කරගත් ස්වරූපයකට පත්වන බැවිනි. මෙතෙක් ඥානය තුළ  ගොඩනගාගත් සියල්ල එකිනෙකින් වෙන්කොට ගෙන හඳුනාගැනීම පමණක් නොව වෙන්කොට ගෙන තවත් එවැනි හෝ ප‍්‍රතිවිරුද්ධ සාධකයන් හා සම්බන්ධතා ගොඩනැංවීමේ ස්වරෑප පිළිබඳ විමසීමේ ක‍්‍රමවේදයයි. ඒ අනුව විඥානය යනු මිනිසාගේ බුද්ධි සංවර්ධනයේ දියුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකි වේ. පුද්ගල සහ සමාජ යථාර්ථය සමඟ සම්බන්ධ විය හැක්කේ විඥානයට පමණි. මෙය පුද්ගලයා තුළ ඉබේ ගොඩනැංවෙන්නක් ද නොවන අතර එය පුද්ගලයා විසින් ගොඩනගාගත යුත්තකි.

මෙය සරල ලෙස ගොඩනගාගත හැකි නොවන්නේ එය නිවැරදිව පුහුණු කළ යුතු බැවිනි. පුහුණු කළ මනස ජීවිතයෙහි පමණක් නොව සමාජ ක‍්‍රමවේදය තුළ සංවර්ධනය කරා ගමන් කිරීමේ හැකියාව තිබෙන බව පැහැදිලි වේ. මනස පුහුණු කිරීම සරල ක‍්‍රමවේද තුළ ගොඩනැගිය නොහැකි වන්නේ ද ඒ පිළිබඳ මිනිසුන් තුළ අවබෝධය මඳ බැවිනි.

එහෙත් මනස සෑම මොහොතකම යම් යම් ආකාරයක පුහුණුව ලබන බව පැහැදිලිය. එය පුද්ගල සහ සමාජ ප‍්‍රගමන ක‍්‍රියාවලියට ගැලපෙන හෝ සමාජ අපගමන ක‍්‍රියාවලියට ගැලපෙන ක‍්‍රමවේද තුළ විය හැකිය. අප සමාජයේ මනස පුහුණු කිරීමේ නිවැරදි ක‍්‍රමවේද තිබුණ ද ඒ පිළිබඳ මිනිසුන් අනවබෝධිත බැව් පෙනේ. මනස දියුණු කළ හැකි ප‍්‍රධානතම ක‍්‍රමවේදය බවට පත් වන්නේ සිත ඒකාග‍්‍ර කර ගැනීමේ ශක්‍යතා ප‍්‍රවර්ධනය කර ගැනීමත් සමඟිනි. සිත එක්තැන් කළ නොහැකි කිසිම මොහොතක මනස දියුණු කළ නොහැකි බව අප පැහැදිලි කරගත යුතුය. සිත එක තැනකට කේන්ද්‍රගත කරගත හැකිනම් ඒ තුළින් දියුණු වන්නේ මනස බව අපට පැහැදිලි වේ. ඒ අනුව දියුණු මනසකින් ගොඩනගන සිතුවිලි දියුණු විය හැකිය. මනස නිරන්තරයෙන් සිතිවිලි නිෂ්පාදනය කරන අතර සිතිවිල්ලට ද තනිව පැවතිය නොහැකි බව අපට පැහැදිලි වේ.  ඒ අනුව සිතිවිලි සිතිවිලි අතර සබඳතා ගොඩනගා ගැනීම තුළ සිතිවිලි පරම්පරාවක් ද නිර්මාණය වේ. සිතිවිලි නොමැති මනසක් අපට දැකිය නොහැකි වේ. ඒ අනුව සිතිවිලි නිෂ්පාදනය යනු මනසේ ප‍්‍රධානතම කාර්යභාරය බව පැහැදිලිය. 

සිතිවිල්ල නිරන්තරයෙන්ම නිෂ්පාදනය කරන්නේ අප ඉදිරියේ තිබෙන භෞතික සාධක මූලිකවය. භෞතිකයෙන් තොරව සිතිවිලි ගොඩනැගිය නොහැකි බව පැහැදිලි වේ. ඒ අනුව අප ඉදිරියෙහි තිබෙන සාධකයන්ගේ ප‍්‍රබලතාව පමණක් නොව මනසින් අල්ලා ගැනීමෙහි ශක්‍යතාව ද ඒකරාශීකරණය වීම තුළ සිතිවිල්ලෙහි ස්වරෑපය පමණක් නොව  එහි පවතින කාලය ද තීරණය වනු ඇත. සිතිවිලි නිරන්තරයෙන් කළමනාකරණය කිරීමේ ශක්‍යතාව අපි ඉදිරියේ තිබෙන භෞතිකයට ඇති බව ද අප පැහැදිලි කරගත යුතුය. එහෙත් භෞතිකයට මනස හැඩගැසිය හැකි ද යන්න ගැටලුවකි. එහෙත් නිරන්තරයෙන් සිතිය යුතු වන්නේ මනස භෞතිකයෙහි හැඩරැව ගන්නවාට වඩා භෞතිකය විසින්  මනසෙහි හැඩරැව ගැනීමයි.

මිනිසාට ස්වභාවික නියමයන් පවා ජයගත හැකිය. නිදසුන් ලෙස ගුරැත්වාකර්ශනයට එරෙහිව නැගී සිටීමට හැකියාව ගොඩනැගී ඇත්තේ ද මනස මූලිකය. ඒ අනුව මනස ඉවත් වූ විට ගුරුත්වය විසින් ඔහුව නැවත මහපොළොවට ඇද ගනු ඇත. ගුරුත්වය යනු ප‍්‍රබල ශක්තියකි. මේ අනුව මිනිසා ස්වකීය ශක්තිය මෙහෙයවමින් සොබාදහම පවා ජය ගනිමින් අනාගත ඉලක්ක කරා ළං වනු දැකිය හැකි වේ. අනෙක් අතට චලිතය නිර්මාණය වන්නේම ගුරැත්වය නිසාය. එසේ නොමැති වූයේ නම් චලිතය දැකිය නොහැකි වනු ඇත. චලිතය නොමැති වන විට කිසිදු මානව ක‍්‍රියාවක් ද දැකිය නොහැකි වේ. එසේ වන විට රැධිර සංසරණය ද නොමැති වන අතර රැධිර සංසරණය නොමැති වන විට සිතිවිලි ද නිර්මාණය නොවනු ඇත. ඒ අනුව මනසෙහි නිර්මාණකරණයට  ගුරුත්වය බලපාන ආකාරය අපට පැහැදිලි වේ.

සිතෙහි තවද මූලික ස්වරෑපයක් වන්නේ සැරිසැරීම යන්නය. තවත් තැනක නොහැසිරෙන සිතක් දැකිය නොහැකි වේ. සැරිසැරීමේ ස්වභාවය වෙනස් වන්නේ සිතෙහි පුහුණු වූ ස්වභාවයත් සමඟිනි. පුහුණු කළ සිත හැසිරීමට අවශ්‍ය සීමාවන් ගොඩනගා ගනු ලබයි. පුහුණු නොකළ සිතෙහි මූලික ස්වරෑපයක් වන්නේ සීමාවන්ගෙන් තොරව සැරිසැරීම පමණක් නොව එම සියලු තැන්හි ඇලෙමින් එහි ස්වරූපය අත්දැකීම් බවට පරිවර්තනය කර ගැනීමයි. අත්දැකීම යන්න වර්තමාන ස්වභාවය තුළ පමණක් ගොඩනැගෙන්නක් නොවන අතර එයට අතීත සාධක බලපානු ලබයි. මනසෙහි අතීතය තුළ ගොඩනැගුණු එම අත්දැකීම් තවද වර්තමාන සිතිවිලි කළමනාකරණය කරමින් අතීතය සහ වර්තමානය තුළ අත්දැකීම් සහිත සිතිවිලි නිර්මාණය කර ගනී. එය හිතකර හෝ අහිතකර හෝ විය හැකිය.

අනික් අතට බෞද්ධ දාර්ශනික විග‍්‍රහයට අනුව සිත භවයන් අතර ද සැරිසරනු දැකිය හැකි වේ. භව යන සංකල්පය මරණින් මතු ගොඩනැගෙන ක‍්‍රියාවලියක් බවට පත් නොවන අතර එය ජීවිතය තුළම ගොඩනැගෙන ක‍්‍රියාවලියකි. සමහරවිට එක් මොහොතක් භවයක් බවට ද පත්විය හැකිය. ඒ අනුව භව අතර සැරිසැරීම යනු ජීවිත කාලය තුළම සිදුවන ක‍්‍රියාවලියක් බවට පත් වේ.

කාලයට සමපාතී නොවන කිසිවක් ලෝකය තුළ දැකිය නොහැකි වේ. සිත නිරන්තරයෙන් සැරිසරන්නේ කාලය සහ අවකාශය යන ප‍්‍රධාන ව්‍යුහයන් දෙක තුළය. කාලය සහ අවකාශයෙන් තොරවන කිසිදු සිතිවිල්ලක් හෝ කිසිදු ක‍්‍රියාවක් නිර්මාණය නොවන බව පැහැදිලි වේ. ලොව සෑම නිර්මාණයක්ම කාලය සහ අවකාශයට යටත් වනු ඇත. මිනිසා සක‍්‍රීය හෝ අක‍්‍රීය වනවා යනු කාලය සහ අවකාශය අතර ගොඩනැගෙන ක‍්‍රියාවලියක් බව පැහැදිලි වේ. කාලය ස්වභාවයෙහි නියතය බවට ද පත්වනු ඇත. එය වෙනස් කළ නොහැකි වන්නක් වන බැවින් ලොව සියලු සාධකයන්ට  එයට අනුගත වීමට සිදුවනු ඇත.

සිත මිනිසුන් තුළ පමණක් නොව සමස්ත සමාජ ක‍්‍රියාවලිය තුළ පමණකුත් නොව ලෝකය තුළම ප‍්‍රබල වන ශක්තිය බවට පත්වන අතර එය මනාව පුහුණු කිරීම අත්‍යවශ්‍ය කරැණක් බවට පරිවර්තනය වන්නේ මිනිසාට අධ්‍යාත්මික සංවර්ධනය අවශ්‍ය වන නිසා පමණකුත් නොව ඒ තුළ සමාජ සංවර්ධනය ගොඩනැගෙන බැවිනි. මිනිසාගේ සියලු ක‍්‍රියා සහ අන්තර් ක‍්‍රියාවන් සමාජ කේන්ද්‍රීයව ගොඩනැගෙන බැවින් සමාජ ශක්තිය සහ එහි නිවැරදි බව මිනිසාගේ ශක්තිය සහ නිවැරදි බවට හේතුවනු ඇත. ඒ අනුව සිත නිවැරදිව පුහුණු කිරීම අත්‍යවශ්‍ය පුද්ගල කාරණාවක් පමණක් නොව සමාජ කාරණාවක් බවට ද පරිවර්තනය වේ. සිත පුහුණු කරනවා යනු දැනුම ගොඩනගනවා යන්න පමණක් ද නොවේ. දැනුම බුද්ධිය සහ අවබෝධය දක්වා කේන්ද්‍රගත කරගත හැකි නම් එය සමාජ යථාර්ථය සහ භෞතික යථාර්ථය තේරුම්ගත හැකි ප‍්‍රවේශය මනසෙහි නිෂ්පාදනය කළා විය හැකිය. සිත පුහුණු කිරීමට නම් නිවැරදි අරමුණු ඔස්සේ සිත භාවිතයට නැගීම අත්‍යවශ්‍ය කාරණාවක් වනු ඇත. භාවනාව යන්නෙහි තේරැම වන්නේ ද සිත භාවිතයට නැගීම යන්නය. 

උපුටා ගැනීම දේශය

Share This Article