ප්‍රේතයන්ගේ භූතයන්ගේ පූජා වැරදුණොත්
මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ දෙවි දේවතාවුන්ගෙන් සෙතක් ශාන්තියක් ලබාගන්නා ආකාරය සහ යක්‍ෂ, ප්‍රේත වැනි අමනුෂ්‍යයන් පන්නා හැරීමට යොදා ගන්නා ක්‍රම උපායන් පිළිබඳව විමසීමටය. පොදුවේ “කෝවිලකින්” හෝ “දේවාලයකින්” ඉහත කරුණු ඉටු කරගන්නට හැකි යැයි ඔබ සිතුවත් ඒ වැරදිය. ඒ නිසා ඒ ඒ අවස්ථාවට උචිත පුද පූජා සහ සිරිත් විරිත්, ඇඳුම් පැලඳුම්, මල් පහන්, සුවඳ වර්ග, යන්ත්‍ර මන්ත්‍රද වෙනස්ය. ඒ ගැන සම්පූර්ණ නොවුණද හැකි උපරිමයෙන් පැහැදිලි කරදීමට මේ ලිපිය උපකාරී වේ යැයි සිතමි.
දෙවියන්ට සහ අමනුෂ්‍යයන්ට පුද පූජා පැවැත්වීමේදී එකිනෙකට පරස්පර ක්‍රමවේද දෙකක් අනුගමනය කෙරේ. ඒවා ඇත්ත වශයෙන්ම අවබෝධ කරගත යුතුය. බොහෝ දෙනා මේ "පූජා" සහ "දොලපිදේනිය" යන දෙක එකට පටලවාගෙන කටයුතු කිරීම නිසා සාමාන්‍ය ජනතාව අසරණ වන අවස්ථා බොහෝය.
දෙවියන් යනු දෙවියන්ය. යකුන් යනු යකුන්ය. මේ දෙදෙනාගෙන් එකම සේවාවක් කිසි විටෙක බලාපොරොත්තු විය නොහැකිය. අපේ පහසුව සහ අවබෝධය ලබාගැනීම පිණිස මේ දෙක මුල සිට අග දක්වා සොයා බලමු.
ආරම්භය : දෙවියන් සඳහා කරන පුද පූජාවලට දින කිහිපයකට පෙර සිටම මස් මාංස, පුළුටු ආහාර ආදිය අනුභව නොකොට පිරිසුදුව ගුරා සහ ආතුරයා “පේ” විය යුතුය. මේ කාලය තුළදී සුරා පානයද තහනම්ය. මළ ගෙවල්, කොටහළු ගෙවල්, දරු ප්‍රසූත ස්ථානවලට යෑම අකැපය. එහෙත් ප්‍රේතයන්ට දෙන පූජාවලට ඒ කිසිවක් බලපාන්නේ නැත.
ඇඳුම් පැලඳුම් : දේව පූජාවේදී “සුදු” පැහැ ඇඳුම් විශේෂ වන අතර ළා පැහැති ඇඳුම් සුදුසුය. එහෙත් මළ ප්‍රේතයන්ට කරන පුද පූජාවලදී “රතු පාට” විශේෂ වන අතර ‘කළු’ පැහැයද යොදා ගැනේ.
පුෂ්ප වර්ග : දෙවියන්ට සුදු මල් සහ විවිධ වර්ණ අවස්ථාවට උචිතව ගන්නා අතර මළ ප්‍රේතයන්ට ගන්නේ “රතු පැහැති” මල්ය. ‘වද මල්’ දේව පූජාවලට නොගන්නා අතර ප්‍රේත දෝෂ සඳහා “වදමල්” යොදා ගැනේ.
ආරම්භය : දේව පූජා සඳහා පුද පැවැතුම් ආරම්භ කරන විට “තුන් සූත්‍රය” ඇතුළු පිරිත් කියා කටයුතු ආරම්භ කරන අතර, සුවඳ කූරු, පොල්තෙල් පහන්, පොල් මල්, සාම්බ්‍රානි, අගිල් ආදී සුවඳ දැල්වීම සිදු කරයි. එහෙත් මළ ප්‍රේත පූජාවලදී පිරිත් කීමක් සිදු කරන්නේ නැත. “දුම්මල මැතිරීම” “කපුරු දැල්වීම” “මළ ප්‍රේත” දිෂ්ටි මැතිරීම ආදී දේ සිදු කරයි.
ස්ථානය : දේව පූජාවලදී බෝ ගසක් යට හෝ නිවෙසක් ඇතුළත ඒ දේ සිදුකරයි. ආසනයට සුදු පිරුවට දමා සුදු උඩුවියන් බැඳීමද සිදු කරනු ලැබේ. නිවෙසින් ඇතුළත නම් බෝ අතු, නුග අතු, කොහොඹ අතු, පොල්මල් – කොහොඹ කොළ වැනි දේ සමඟ බුලත් කොළ එල්ලීමද සිදු කරයි. ගුරු සහ ආසනය මේ සුදු රෙද්ද යට විය යුතුය. සියලු ආතුරයන් පිරිත් නූල අල්ලාගෙන සිටිය යුතුය. මළ ප්‍රේතයන්ට කරන පූජාවලදී අමු සොහොන හෝ ගංගා ඉවුර, හුදෙකලා පාළු ස්ථාන හෝ නිවෙසක නම් නිවෙසින් පිටත පාළු ස්ථානයක ඒ කටයුත්ත කෙරේ.
පූජා භාණ්ඩ : දේව පූජාවේදී පලතුරු වර්ග, කැවිලි වර්ග, පෙරාගත් පැන්, සුවඳකූරු යොදා ගන්නා අතර පූජාව අවසානයේදී ඒ ආහාර අනුභවය සුදුසුයි. ප්‍රේතයන්ට කරන පූජාවලදී දියමස්, ගොඩමස්, බිත්තර, අල වර්ග, බඩ වර්ග, විවිධ වර්ණ බත්ගුළි, සිගරැට්, සුරුට්ටු, මත්පැන් ආදිය රොටී, වඩේ වැනි පුලුටු වර්ග ආදිය තැබීම අවශ්‍යය. පූජාව අවසානයේදී ඒ ද්‍රව්‍ය සියල්ල පූජාව සිදු කළ භූමියෙන් වහා ඉවත් කිරීම සිදුවිය යුතුය. බොහෝ විට මෙහිදී පොල්තෙල් පහන් වෙනුවට දල්වන්නේ විලක්කුය.
යන්ත්‍ර මන්ත්‍ර : මේ අවස්ථා දෙකේදී භාවිත කරන්නේ වෙනස් මන්ත්‍රය. දේව පූජාවේදී පිරිත් කීම අනිවාර්ය වන අතර විෂ්ණු දේව කන්නලව්ව, කතරගම දෙවියන්ට, ලක්‍ෂ්මී දේවියට, ගණ දෙවියන්ට ආදිය වෙනුවෙන් කරන කන්නලව්ව හා ආරක්‍ෂා මන්ත්‍ර ජීවම් කෙරේ. ග්‍රහ අපල සඳහා නම් ඒ ඒ ග්‍රහ අපලවලට අවශ්‍ය මන්ත්‍ර 108 (එකසිය අට වාරය) සිට දහස් වාරය දක්වා ජීවම් කෙරේ. යක්‍ෂ භූතයන්ට පූජා කිරීමේදී මහසොහොන් දිෂ්ටිය, කඩවර දිෂ්ටිය, බහිරව දිෂ්ටිය, මළ ප්‍රේත දිෂ්ටිය ආදී ආත්ම දිෂ්ටි කිරීම සිදුවේ.
මේ අනුව දෙවියන් සහ භූතයන් වර්ග දෙකක් බවත් ඔවුන්ට කරන පූජා වර්ග දෙකක් වුවත් මේවා නිවැරදිව දැනගෙන කළ යුතු බවත් සිතාගන්න. දේව පූජා වැරදුණහොත් සමාවක් ලැබෙතත් භූතයන්ට කරන පූජා වැරදුණහොත් ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවන අවස්ථාද ඇත.
දේශබන්දු පේරාදෙණියේ එස්.වීරරත්න
උපුටා ගැනීම මව්බිම