Biz Log
Classifields
Biz Log
Classifields

බොදු දන වෙත නිසි මඟ පෙන්වූ මඩිහේ පඤ්ඤාසීහ නාහිමියෝ

මඬිහේ පඤ්ඤාසීහ නාහිමියනගේ දස වැනි ගුණ සමරුව නිමිත්තෙනි. මෙම ලිපිය 2006 වසරේ සැප්. 09 වැනිදා යෙදුනු මඩිහේ නාහිමියන්ගේ තෙවැනි ගුණසමරුව නිමිත්තෙන් 'දිවයින' පුවත්පතේ පළ වූ ලිපියකි. මෙම ලිපියේ ඇතැම් කොටස්‌ අදට ගැළපෙන ලෙස වෙනස්‌ කිරීමට සිදුවිය. පක්‍ෂ දේශපාලනය නිසා ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටක්‌ ඇදවැටෙන ප්‍රපාතය දිවැසින් මෙන් දැක රට, දැය නංවාලීමට කළයුතු දේ පිළිබඳව ජීවත්ව සිටින තාක්‌ ප්‍රබල හඬක්‌ නැඟූ අග්ග මහා පණ්‌ඩිත අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් අපවත්වී පසුගිය සැප්තැම්බර් 09 වැනිදාට දස වසරකි. උන්වහන්සේ ජීවත්ව සිටින තාක්‌ රටේ පාලකයන්ට පෙන්වා දුන් බොහෝ වටිනා දෑ තිබිණි. "බලය" නමැති ආත්මාර්ථකාමී පටු සංකල්පයෙන් මිදී "රට" නමැති උදාර සංකල්පයෙන් සන්නද්ධ වීමට දේශපාලනඥයන්ට උන්වහන්සේ දුන් පණිවුඩය ගැන ප්‍රබලව සිතීමට කාලය එළැඹ ඇත. නොයෙකුත් මතිමතාන්තර පටු දේශපාලන වාද විවාද අමතක කර, අපට ගැළපෙන අන්දමට රට දියුණු කර ගැනීමට නම් උන් වහන්සේ පෙන්වා දුන් පරිදි හැම දෙනාගේම ශක්‌තිය ඒකරාශී විය යුතුව ඇත. උන්වහන්සේගේ ගුණ සමරුව ප්‍රතිපත්තියෙන් හා ක්‍රියාවෙන් පෙන්වීමට අපගේ සියලුම දේශපාලනඥයන් සිතට ගෙන ජාතික රජයක්‌ පිහිටුවා ගන්නේ නම්, මිනිසුනුත් හැදීගෙන අපේ රටටත් ඉදිරියට යැමට හැකි වනු නොඅනුමානය. උන්වහන්සේගේ ගුණ සමරුවේදී මේ පිළිබඳව ප්‍රබලව සිතමු. සිල්වත් බවින්ද බහුශ්‍රැත භාවයෙන්ද නිහතමානී බවෙන්ද, ආදර්ශවත් බවින්ද, මධ්‍යස්‌ථ භාවයෙන්ද මෘදු භාවයෙන්ද, සෘජු බවින්ද, පිරිපුන් බවින්ද නොපිරිහෙන වීර්යයෙන්ද, යහපත්ම වූ සිහියෙන්ද, අධිෂ්ඨානශීලී බවින්ද, අසීමිත මෛත්‍රියෙන් හා කරුණාවෙන්ද ගුණවත් බවින්ද උපේක්‍ෂාවෙන්ද බබළන, උදාර ජීවිතයක්‌ ගත කළ අතිපූජ්‍ය මඩිහේ ස්‌වාමිපාදයාණන් වහන්සේගේ "සිංහ ස්‌වරය" හැම තැනකදීම ප්‍රබල විය. උන්වහන්සේ, සැලකූවේ රට දැය සමය තම ලේ මස්‌ නහර සේය. දහම් අධ්‍යාපනය, ශීල ව්‍යාපාර සහ නොයෙකුත් ආගමික කටයුතු පිළිබඳව අද පවතින ප්‍රබෝධයේ නියමුවා වන්නේද අප අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්‌වාමිපාදයාණන් වහන්සේමය. උදේ 6 සිට පස්‌වරු 6 දක්‌වා එක්‌තරා ක්‍රමවත් කාල සටහනකට අනුව, සංවිධානාත්මක ශීල සමාදීන ක්‍රමය උන්වහන්සේ ආරම්භ කළේ 1954 ජූලි මස අවසාන සතියේ සෙනසුරාදීය. මේ ශීල සමාදීනයට දවසින් දවසම බොහෝ පිරිස්‌ එක්‌ වූහ. අද වජිරාරාමයේ පමණක්‌ නොව මහරගම භික්‍ෂු අභ්‍යාස මධ්‍යස්‌ථානයේද මුළු ශ්‍රී ලංකාද්වීපය පුරා බොහෝ විහාරස්‌ථානවල හා බෞද්ධ මධ්‍යස්‌ථානවලද මෙම සීල සමාදාන ක්‍රමය ඉතා ක්‍රමානුකූලව පැවැත්වේ. අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් වෂ 2500 ක්‌ ඉකුත් වීම අරමුණු කරගෙන 1956 වෙසක්‌ පුර පසළොස්‌වක සිට 1957 වෙසක්‌ පෝ දිනය දක්‌වා පුරා වර්ෂයක්‌ම බුද්ධ ජයන්ති වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී නියමුවකු සේ උන්වහන්සේ ක්‍රියා කළහ. සම්බුද්ධ ජයන්තිය මුල් කරගෙන ආරම්භ කළ ප්‍රධාන කාර්යයන් කීපයක්‌ නම්, ත්‍රිපිටකය සිංහල බසට පරිවර්තනය කිරිමත්, සිංහල හා ඉංග්‍රීසි බසින් බෞද්ධ විශ්ව කෝෂයක්‌ සකස්‌ කිරීමත්, බෞද්ධ විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීමත්ය. තම ගුරු දේවයාණන් වූ පැළෑනේ සිරි වජිරඥන මහ නා හිමියන් 1955 සැප්තැම්බර් 21 දී අපවත් වූ අතර, එදී උන්වහන්සේ කළ දැවැන්ත කාර්ය මෙහෙයුම භාර වූයේ අප අතිපූජ්‍ය මඩිහේ ස්‌වාමීන් වහන්සේටය. එවකට උන්වහන්සේ 42 වැනි වියෙහි පසු වූහ. මහානායක පදවියකින් පිදුම් ලද ළාබාලම යතිවරයාණන් වූයේ උන්වහන්සේය. තමන්වහන්සේ සමග සෙවනැල්ලක්‌ මෙන් කටයුතු කළ අම්පිටියේ ශ්‍රී රාහුල ස්‌වාමීන් වහන් සේ ගේ ද උදවු ඇතිව මහරගම භික්‍ෂු මධ්‍යස්‌ථානය පිහිටුවූයේ 1958 දීය. දෙස්‌ විදෙස්‌ හි ධර්ම ප්‍රචාරය සඳහා නොයෙකුත් පියවර ගෙන උන්වහන්සේ ක්‍රියා කළහ. උන්වහන්සේගේ ග්‍රාම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ විවිධ ප්‍රදේශවල ගම් සංවර්ධනය කිරීමට උන්වහන්සේ අප්‍රමාණ වෙහෙසින් කටයුතු කළහ. උන්වහන්සේ යාපනයේද ඇතැම් ගම් දියුණු කළා පමණක්‌ නොව, යාපනයේ දරුවන් වෙනුවෙන් පුත්තූර් ශ්‍රී පඤ්ඤාසීහ විද්‍යාලය ආරම්භ කළහ. 1963 දී යාපනයේ පැවැත්වූ ධර්ම දේශනා ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමෙහිලා ප්‍රබලව උදවු විය. 1971 රැල්ලට සම්බන්ධ වී සිටි, දිවි ගලවා ගත් තරුණ තරුණයන්ට සමාව දී ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වැදගත්කම පෙන්වා දී, ඒ අනුව ක්‍රියාකරවීමට එවකට පැවති රජය යොමු කිරීම උන්වහන්සේ කළ වටිනාම පුණ්‍යකර්මයකි. සරල සුගම ශෛලියකින් ලිපි හා පොත්පත් ලිවීමෙන් ද ධර්ම දේශනා කරමින්ද කළ සේවය අසීමිතය. ලෝකයේ රටවල් ගණනාවකම බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇති කරලීමට උන්වහන්සේ විවිධ පියවර ගත්හ. උන්වහන්සේ කිසිම දේශපාලන පක්‍ෂයකට ගැතිව නැඹුරුව ක්‍රියා කළේ නැත. හැම දේශපාලන නායකයකුම උන්වහන්සේගේ අනුශාසනා ලබා ගත්හ. සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතියටද උද්දීප්තියටද ශ්‍රී සද්ධර්මයේ සංරක්‌ෂණයට හා ව්‍යාප්තියටද සඟ පරපුරෙහි අඛණ්‌ඩ පැවැත්මටද දේශයේ සංවර්ධනයටද, සුරක්‍ෂිත භාවයටද උන්වහන්සේ කටයුතු කළහ. භාෂා ශාස්‌ත්‍ර පෝෂණයටද මානව සුබ සාධනයටද ජාතික ආගමික සමගියටද බොදුනුවනගේ දෙලොව අභිවෘද්ධියටත් ඉවහල් වන්නාවූ විවිධ සාමයික සාමාජික සංස්‌කෘතික මෙහෙවර උදෙසා තමන් වහන්සේගේ ජීවිතයෙන් අධිකතර කාලයක්‌ වැය කරමින් කැප කරමින් සේවය කිරීමට ලද අවස්‌ථාව උන්වහන්සේ ජීවත්ව සිටින තාක්‌ මෙනෙහි කරමින් සතුටු වූ අයුරු රංජනී ගුණතිලක මහත්මිය විසින් සංස්‌කරණය කරන ලද "පැනසිහ පැහැසරණිය" නම්වූ උන්වහන්සේගේ ස්‌වයං කථිතාවදීනයෙහි සඳහන් වේ. උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂු පරපුර උන්වහන්සේගේ සිතට අස්‌වැසිල්ලක්‌ ම බවද එහි සඳහන් වේ. දැනට අනුනායක ධුරය හොබවන, අතිශයින්ම ධර්මධර හා විනයධර වූද, සිල්වත් වූද, ගුණ සුවඳින් හා සිල් සුවඳින් ද උගත්කමෙන් හා උපතෙන්ම දීයාද කෙරුණු අතිශය නිහතමානී බවින්ද සන්සුන් වූද අවශ්‍ය තැන් හි සෘජු වූද තවත් තැනකදී මෘදු වූද මනා පාලන හැකියාවන්ගෙන් අනූන, පූජ්‍ය රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද ස්‌වාමීන් වහන්සේ තම පැවිදි සහෝදර ජ්‍යෙෂ්ඨ භික්‍ෂුන් හන්සේලා සමග එක්‌ව ආයතනයේ අභ්‍යන්තර පාලනයට සම්බන්ධ කුදු මහත් සියලුම කාර්යයන්ද අනෙකුත් ජාතික ආගමික සේවාවන්ද ඉතා දැඩි වගකීමෙන් මහත් වූ කැපවීමෙන් කරනු ලැබීම ජාතියේ වාසනාවකි. ආචාර්ය කේ. ආරියසිංහ උපුටා ගැනීම දිවයින පුවත්පත

Share This Article