Biz Log
Classifields
Biz Log
Classifields

ජීවතුන් අතර සිටිනකම් දුක සැප නොබලා මවුපියන් මියගිය පසු පින්පෙත් දී වැඩක් වේද?

ජීවතුන් අතර සිටිනකම් දුක සැප නොබලා මවුපියන් මියගිය පසු පින්පෙත් දී වැඩක් වේද?

තාත්තා මියගොස් වසර දහයකට වැඩිය. එහෙත් අපි තවමත් තාත්තාගේ උපන් දිනය සමරන්නෙමු. තාත්තා ජීවත්ව සිටින කාලයේ අපි ඔහුගේ උපන් දිනය දාට වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්නට බාරගතිමු. එය ඒ කාලයේ දුන්නේ තාත්තා උපයන මුදලිනි. එකල තාත්තා තම උපන් දිනය දාට කෙරෙන මෙම පින්කම දෙස බලා අප්‍රමාණව සතුටු වූයේය. තාත්තාගේ හිත මිතුරෝ ද ඥාතීහු ද ඊට සහාය වූහ. වසර දහයක් පමණ තාත්තා අම්මා හා එක්ව මේ පින්කම කළේය. තාත්තා මියගියේය. ඉන්පසු අපි අම්මා හා එක්ව ඒ පින්කම කළෙමු. දැන් අම්මාත් තාත්තාත් දෙදෙනාම ජීවතුන් අතර නැත. එහෙත් අපි තවමත් ඒ පින්කම එලෙසින් ම කරන්නෙමු. තාත්තාගේ අභාවයෙන් පසු එළැඹි ඔහුගේ උපන් දිනය දා ද අපි එම වැඩිහිටි නිවාසයේ නේවාසිකයනට දානය ගෙන ගියෙමු. අනේ ඉතිං අපි නැති වෙච්ච දවසට අපිට කවුද මේ වගේ පින් කරන්නේ ඊට සහභාගිවූ අප හිතවත් වැඩිහිටි කාන්තාවක පැවැසුවේ කනගාටුවෙනි.

පවුලේ ළඟම ඥාතියකු ලෙසින් අපට සමීපව සිටි ඇය ද අද සිටින්නේ වැඩිහිටි නිවාසයක නේවාසිකවය. ඇය එහි ගියා නොව ඇයට එහි යන්නට සිදුවූවාය. විශ්‍රාම වැටුපෙන් ජීවත්වන ඇය ඛෙහෙවින්ම තනිවූයේ ඇගේ සැමියාගේ අභාවයත් සමඟය. මිල මුදල් තිබුණ ද දේපළ තිබුණ ද සියල්ල ඔවුන් හදාවඩාගත් දරුවන්ට පැවැරූහ. අවසානයේ ඇය මඟට බැස්සේ හිස් අතිනි. දැන් ඇය බලන්නට කිසිවෙක් නැත. ලැඛෙන විශ්‍රාම වැටුපෙන් අඩක් වැඩිහිටි නිවාසයේ මාසික ගාස්තු වශයෙන් ගෙවන්නේය. ඉතිරිය ඛෙහෙත් හේත් ගැනීමටත්, පින්දහම් කිරීමටත් වැය වන්නේය. දරුවන්ගේ සෙවණේ සිටිය යුතු කාලයක ඇයට සිදුවුණේ වැඩිහිටි නිවහනකට යාමටය. ඇය හැඩට වැඩට සිටීමට කැමැතිය. ජීවිතේ සැනසිල්ල ඇය ඛෙහෙවින් අගයයි. එහෙත් ඒ නිදහස ඇගයීම යටින් ඇත්තේ ජීවිතයේ කොතරම් නම් හුදකලා වී ඇති බවද? ඔබට වැටහෙනවාද මහලු වියේදි දැනෙන තනිකම පාළුව ඇතැම් විටෙක ඔබට නොදැනෙනවා ඇති.

ඉකුත් දිනෙක අප මිතුරියකගේ මව මිය ගියාය. මිතුරියගේ පියා දරුවන්ගෙන් සිය දුක සඟවාගෙන සිටියේය. එහෙත් බිරිය නැති ගෙදර ඔහු තවමත් වැලපෙන්නේය. වසර පනස්ගණනකටත් වඩා වැඩි කාලයක් එකට සිටි ඔහු එක්වරම තනිවීම ඔහුට දරාගන්නට බැරි හැඩය. අම්මා ඉන්න කොට තාත්තා හරි සනීපෙන් හිටියා. ඒත් අම්මගෙ මරණයත් සමඟ තාත්තා එකපාරටම අවුරුදු දෙක තුනකින් වයසට ගියා වගෙයි අපිට දැනෙන්නේ. තාත්තා හුඟක් වැහැරිලා. අපිටත් හැමදාම ගමේ යන්න අමාරුයි. දරුවෝ ගැන බලන්න ඕන. රස්සාවලට යන්න ඕන. ඒත් දැන් අපි කොහොමහරි හැම සති අන්තයකම ගෙදර යනවා. පුළුවන් තරම් තාත්තව සතුටින් තියන්න උත්සාහ දරනවා. ඒ මිතුරිය සහ ඇගේ සොයුරු සොයුරියන් තම පියා සතුටින් තැබීමට ගෙන ඇති පියවර එයයි.

මව පියා එකිනෙකාගෙන් වෙන්වූ විට ඔවුන් ජීවිතයේ හුදකලා වන තරම ඇතැම් දරුවන් හඳුනන්නේ නැත. ඇතැම් දරුවන්ට එය වැටහුණ ද ඔවුන් ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැත. මවුපියන් දරුවන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවේ. එහෙත් ඔවුන් දරුවන්ගෙන් සැනසිල්ල හා සතුට හැමවිටම බලාපොරොත්තු වේ. ගිය මාසේ විසිවැනිදට අපි කසාද බැඳලා අවුරුදු පනහයි. අපි දෙන්නා කිසිම උත්සවයක් සූදානම් කළේ නැහැ. ඒත් මගෙ හිතට පුදුම සතුටක් දැනුණා. පුංචි දුව උදේම කිරිබත් උයලා, එයාගේ දරුවොත් එක්ක අපට සුබ පැතුවා. ඒ වගේම එයා අපේ කාමරේ ඇඳ උඩින් අපට තෑගිත් ගෙනැල්ලා තියලා. ඒ දැනුණු සතුට කියලා නිමකරන්න බැහැ. දරුවෝ පුංචි කාලේ අපි එයාලව සතුටු කෙරුවා. දැන් ඒ ගොල්ලෝ ඒ අයගෙ දරුවෝ අපිව සතුටු කරනවා. අප හිතවත් වියපත් මවක පැවැසුවේ සැනසුම් සුසුමක් හෙළමිනි.

බෞද්ධ සාරධර්ම අගයන අප වැනි රටකට වැඩිහිටි නිවාස සුදුසු ද? මේ පැනය අපි අද සමාජයෙන් ඇසිය යුතුව තිබේ. මීට වසර තිස්හතළිස් ගණනකට පෙර නම් අපේ රටේ වැඩිහිටි නිවාස තිබූ බවට ආරංචියක් නැත. අම්මාත් තාත්තාත් දරුවන් ළඟ ජීවිතයේ අවසාන කාලය ගත කළහ. නමුත් අද උඩුයටිකුරු වූ සමාජයක අම්මලා තාත්තලා තව තැනෙකය දරුවන් තවත් තැනෙකය. තම අතීත තොරතුරු කියන්නට, ඒ පිළිබඳව උදම් අනන්නට මවුපියන් වයසට යන විට නිතැතින්ම ඕනෑ වේ. නමුත් කොම්පියුටර් ලෝකයේ තනිවූ දරුවන්ට මුනුපුරු මිනිබිරියන්ට වැඩිහිටියන්ට සවන්දීමට තරම්වත් කාලයක් මිඩංගු කිරීමට නැත. ඇතැම් විට රෝගී තත්ත්වයන් නොතිබුණ ද වයසටත් වඩා ඉක්මනට මාපියන් වයසට යන්නේ දරුවන්ගේ නොසලකා හැරීම නිසාය. ඔවුහු ජීවිතය තුළ හුදකලාවේ මානසිකව ඇද වැටීමට ලක්වේ. කුඩා කල දී අප ආදරයෙන් රැකබලාගත්, එකම ප්‍රශ්නය දහ සැරයක් ඇසූවත් ඒ හැම වරම උත්තර දුන් අම්මාට තාත්තාට ඔවුන් වියපත් වූ විට ඇහුම්කන් දීමට තරම් වත් අප ළඟ කාලයක් නැත්නම් ඔබ අප කොතරම් නම් ගුණමකුවෝ ද? අඩුම තරමේ සති අන්තයකවත් අපිට අපේ මවුපියන්ව ඔවුන්ගේ ගම්පළාතට එක්ක ගොස් නෑදෑ හිතමිතුරන් මුණගස්වන්නට එහෙමත් නැත්නම් වන්දනාගමනක, පරිසර චාරිකාවකට එක්කර ගෙන යන්නට ඇත්නම් වගේම ඔවුන්ගේ සමකාලිකයන්ගේ මිතුරු හමුවක් පැවැත්වීමට හැකිනම් කොතරම් අගේද? එහෙමත් නැත්නම් ඔවුන් පි‍්‍රයකරන කෑම බීමවලින් එක වේලක් හෝ සැකසීම, ඔවුන් කැමැති නෑදෑහිතමිතුරු හවුලක් පැවැත්වීම කොතරම් වටිනවාද? මවුපියන් මියගිය පසු කොතරම් ලොකුවට අවමංගල්‍ය කටයුතු සිදුකළත් මහා සංඝරත්නය විසිතිස් ගණනින් වඩම්මවා දන් පින් දුන්නත් පලක් තිබේද? ඔවුන් ජීවත්ව සිටින කාලයේ ඒ අහිංසක මවුපියන්ගේ සිත්වලට සැනසුම සතුට ළඟාකර දෙන්නේ නැතිව.

උපුටා ගැනීම සිළුමිණ පුවත් පත

Share This Article