මුනි සිරිපා සමන්දෙවි ඇරයුම
පොළොන්නරු යුගයට අයත් අඹගමු ශිලා ලිපියෙහි සඳහන් වන්නේ මේ භද්‍ර කල්පයට පෙර බුදු වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප බුදුවරුන් ගේ ද සිරිපා සටහන් සමනොළ ගිරි හිස මුදුනෙහි පිහිටා ඇති බව යි. ලංකා පබ්බත හා රෝහණ පබ්බත නමින් හඳුන්වන්නේ ද ශ්‍රී පාදස්ථානයයි. ශ්‍රී පාද කඳුවැටියට සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතිනවා යන විශ්වාසයෙන් ඊට ‘සමනල’ යන නාමය භාවිත කළ බව ද විශ්වාස කරනවා.
අප තථාගත බුදුරජාණන් වහන්සේ පළමුවරට ලක් දෙරණට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේගෙන් ධර්මය අසා සුමන සමන් දෙව් රද සෝවාන් බවට පත්වුණා.බුදුරජාණන් වහන්සේ ලක් දෙරණට වැඩම කළ බව සිහිපත්වීම සඳහා සුමන සමන් දෙව් රද උන්වහන්සේගෙන් පූජාර්හ වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේ උන්වහන්සේ කේශධාතූන් වහන්සේ ලබාදුන් බවත් මහා වංශයේ සඳහන් වෙනවා.
සොඳුරු වන මලින් ගැවැසී වන ඵලයෙන් සුසැඳි නේක වන සතුන් ක්‍රීඩා කරන ඒ සමනළ විමනට වැඩම කරන සේක්වා යි සමන් දෙව් රද විසින් තථාගත බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඒ තෙවෙනිවර ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී යි. ඒ ආරාධනාව පිළිගත් භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරා අහසින් වැඩ ගිරි හිස වැඩ සිටි යා. ඒ සුපින්බර මොහොතේ දී සුමන සමන් දෙව්රද ආරාධනා සිදු කළ ආකාරය ‘සිරිපා වරුණේ’ මෙසේ සඳහන් වනවා.
"භාග්‍යවතුන් වහන්ස, ඉතා රතුවන් සුපිපි පියුමක් බඳු, දික් වූ වට වූ ඇඟිලි ඇති, උස් නිය ඇති, උතුම් සිරිපා කමල මේ සමන් ගිරි හිස තබන සේක්වා. උස් වූ ගොප් ඇට ඇති නමුත් සැඟ වූ ගොප් ඇට ඇති, දික් වූ විළුඹින් යුතු, සම ලෙස පොළොවෙහි පිහිටන ඉතා සියුම් බැවින් දුහුවිලි නොරදන උතුම් සිරිපා කමල මෙහි පිහිටුවන සේක්වා."
සමනල ගිරි හිස සිරිපා සටහන් පිහිටුවීමෙන් පසු තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද සීමාවේ දිවා ගුහාවේ දිවා විහරණය කළ බව ද මහා වංශයේ සඳහන් වෙනවා. බෞද්ධ ජනතාවගේ පමණක් නොව හින්දු, කතෝලික හා ඉස්ලාම් බැතිමතුන් ගේ ද වන්දනාමානයට පාත්‍ර වූ ලොව ඇති එකම පූජනීය ස්ථානය වන්නේ ද ශ්‍රී පාදස්ථානය යි. සමනොළ කඳු මුදුනේ පිහිටි පාද ලාංජනය ශිව භක්තිකයන් විසින්, ශිව දෙවියන්ගේ යැයි විශ්වාස කොට වැඳුම් පිදුම් කරනවා. කතෝලික බැතිමතුන් ආදම්ගේ පා සටහන එහි ඇතැයි විශ්වාස කරනවා. මේ නිසා ‘ආදම් ගේ කන්ද’ යන අරුතින් ‘ඇඩම්ස් පීක්’ ලෙස සමනොළ කන්ද ව්‍යවහාර කරනවා.
දීපා පෙරේරාඋපුටා ගැනීම බුදුසරණ