පොළොව පෙරලෙනවාට බයේ දුවපු හාවා වගේ
ජේතවනාරාමය නුදුරෙහි එවක තීර්ථකාරාමයක් ද විය. එහි වාසය කළ පරිබ්‍රාජකවරු ශරීරයට දුක දෙන දුෂ්කර තාපස වෘත අනුගමනය කරමින් හුන්හ. මේ පිළිවෙත්වලින් මාර්ගඵල ඥානය ලද හැක්කේ දැයි භික්ෂුන් වහන්සේ පිරිසක් විසින් විමසන ලදුව එසේ නොවේ යැයි වදාරමින් බුදුරජාණන් වහන්සේ දද්දභ ජාතකය දේශනා කළ සේක. පන්සියපනස් ජාතක පොතේ 325 වැන්න ලෙස සඳහන් වන මෙකී ජාතක කථාව පොළොව පෙරළෙනවාට බයේ දුවපු හාවා වාගේ යන ප්‍රස්තාව පිරුළ නිර්මාණය වීම සඳහා වස්තු විණි.
එවක බෝධිසත්වයන් වහන්සේ සිංහරාජයකුව ඉපිද සිටියහ. ඒ මහා වනයේ තල් ගස් සහ ඛෙලි ගස් බහුල පෙදෙසක එක්තරා හාවෙක් වාසය කළේ ය. එක් දිනක් හාවා තල් ගසක් සෙවණේ වැතිර හිඳිමින් සිතිවිල්ලේ යෙදී සිටියදී පොළොව හදිසියේ ම පෙරළීගෙන එන්නට වුව හොත් කුමක් කරම් ද යන අමුතු සිතිවිල්ලක් ඌට පහළ විණි. මේ සිතිවිල්ලේ ම දිගට ම යෙදී සිටිද්දී එතැන ඛෙලි ගසකින් ගිලිහුණු ඛෙලි ගෙඩියක් තල් අත්තක් මතට වැටී මහත් හඬක් නික්මිණි. තමන් ගැලී සිටි සිතිවිල්ල නිසා නිසැකවම පොළොව පෙරළීගෙන එතැයි සිතූ හාවා වහා පැන දුවන්නට පටන් ගත්තේ ය.
ඒ දිවීම දුටු අනෙකුත් හාවුන් කුමකට දුවන්නේ දැයි විමසද්දී පොළොව පෙරළීගෙන එතැයි කියමින් ම හාවා මර බයේ දුවන්නට විය. එබැවින් අනෙක් හාවෝ ද ඒ පස්සේ මර බයෙන් දුවන්නට වූහ. ඒ හාවුන්ගෙන් පුවත ඇසු මුවෝ ද මුවන්ගෙන් ඇසු ඌරෝ ද ඌරන්ගෙන් පුවත ඇසු ගෝණෝ ද ගෝණන්ගෙන් ඇසු මීමෝ ද මීමන් වෙතින් ඇසු ගෙරි ද ගෙරින් වෙතින් ඇසු දිවියෝ ද මෙසේ වළස්සු ද ගවරෝ ද කගවේනෝ ද අස්සු ද ව්‍යාඝ්‍රයෝ ද තවත් බොහෝ සත්තු ද පොළොව පෙරළෙනවාට බයේ කැලේ කඩාගෙන දුවන්නට වූහ. ඔව්හු කෙතෙක් බිය වී සිටියාහු ද යත් වනාන්තරය අද්දර මහ මුහුදට ම වැටී මුහුදුබත් වන්නට ළං ව සිටියහ.
එවේලේ ඒ සමීපයෙහි සිටි සිංහ රාජයා මේ කලබැගෑනිය කුමක් දැයි විමසමින් තමා හුන් පර්වතයෙන් පිටතට විත් සිංහ නාද කළේය. ගම්භීර සිංහ නාදයෙන් සියලු සත්තු බියපත් ව නතර වූහ. කාරණය කිම් දැයි විචාරද්දී පොළොව පෙරළීගෙන එතැයි දුවමින් ආ සිංහයෝ කීහ.මේ පුවත දැනගත් ආකාරය කෙමෙන් විමසාගෙන යද්දී එය හාවා විසින් මුලින් ම කියන ලද වග හෙළි විය. හාවා එය පිළිගනිමින් පොළොව පෙරළීගෙන ආ තැනට යෑමට පවා බිය බව පැවැසීය. සිංහ රාජයා කරුණු විමසා බලා ඛෙලි ගෙඩියක් තල් අත්තක් මතට වැටීමෙන් නැගුණු හඩට හාවා බියපත් වූ වග පහදා දී සියලු වන සතුන්ගේ බිය දුරු කළේය.
මේ හාවා තමන් අස්ථානයේ භයට පත් වූවා පමණක් නොව අන්‍යයන් ද භයට පත් කළේ ය. කැලෑව පුරා මහා කලබලයක් ඇති කළේ ය. මේ සියල්ලට හේතු වූයේ හිතලුවක් පමණි. මෙසේ සිහින සිතිවිලි ලෝකවලට පිවිසෙන්නන් ඒ මනඞකල්පිත තත්ත්වයේ සැරිසැරීම පුදුමයක් නො වේ. එවිට ඔවුන්ට සැබෑ ලෝකය අමතක ව යෑම නිරායාසයෙන් ම සිදු වේ.
හදිසියේ ම නැගුණු ශබ්දයක් සමග තමන් සිතමින් සිටි දෑ ක්‍රියාවට නැංවුණු බවක් හාවාට හැගුණේ එබැවිනි. ජාතක කථාකරුවාණන් ඒ සිදුවීම චිත්‍රණය කොට ඇත්තේ ... ඛෙලි ගෙඩියක් තල් වක්කන්නක් පිට වැටිණ. තමා සිතූ සිතිවිල්ල නියාවට පොළොව පෙරළීගෙන එතියි සිතා භයින් දිවන්නට වන යනුවෙනි.
හාවාට දෙවරක් සිතා බැලීමට හැකි තරමේ ඥානයක් පහළ වී නැත. එපමණක් නොව තමන් බැඳුණු චිත්ත මායාවෙන් මිදීමට තරම් විවේක බුද්ධියක් ද හාවාට තිබී නැත. ඌ අනෙක් සතුන් ද බියටත් කලබලයටත් පත් කර ඇත්තේ එහෙයිනි. දුවන්නේ කිම දැයි විමසූවන්ට හාවා දුවමින් ම කීවේ, ... කින්ද තොප විචාරන්නේ පස්සේ පොළොව පෙරළීගෙන එයි. එසේ හෙයින් දිවමි යි යනුවෙන් වූ බියජනක කියමනකි.
මුලින් ම මේ අමුතු පුවත අසා එය විශ්වාස කළේත් කලබල වූයේත් හාවාගේ ළගම පිරිස වූ අනෙකුත් හාවෝ ය. ඉන් පසු ඔවුන්ගෙන් පුවත ඇසූ ඊට වඩා ලොකු මුවන් වැනි සත්තු ද කෙමෙන් තව තවත් විශාල සත්තු ද අස්ථානයේ භයට පත් ව දුව යන පිරිසට එක් වූහ. කිසියම් අසත්‍ය පුවතක් හෝ ඕපාදූපයක් හෝ වැනි දෙයක් කෙතරම් ඉක්මනින් පහසුවෙන් පැතිර යන්නේ ද යන්නත් පිරිස කිසිදු වගක් විභාගයක් නැති ව එය පතළ කරන්නේ ද යන්නත් පිළිබඳ මේ සිදුවීම මනා සාධකයකි.
වන සතුන් පිරිස තමන්ට අසන්නට ලැබුණු පුවත වහා පිළිගත්තේ ඒ ගැන වැඩිදුර සිතා බැලීමකින් තොර ව ය. මෙසේ අවිචාරයෙන් ඕනෑ ම දෙයක් භාර ගන්නා වූත් එයටත් වඩා විශ්වාසයකින් යුතුව ඒ දෙය ප්‍රචාරය කරන්නා වූත් පිරිස සමාජයේ සුලභ ය. මෙය බොහෝ අහිතකර ප්‍රතිඵල උදා කරන සාවද්‍ය ක්‍රියාවක් බව වැටහෙනුයේ පසුව ය.
මර බියෙන් දුවමින් සිටි පිරිස සිංහ රාජයාගේ ගර්ජනාවත් සමග එක්වරම නතර වූ වග පෙනේ. ඒ, සිංහ නාදයේ තිබූ තේජාන්විත භාවය නිසා ය. මර බිය අමතක කිරීමට තරම් සමත් වූ සිංහ පෞර්ෂත්වයක් ඒ සිංහ නාදයේ තිබුණු බැව් නිසැක ය. මෙහි දී සිංහයා ක්‍රියා කොට ඇති ඥානාන්විත විලාසය මේ කථා පුවතේ උච්චතර අර්ථය යි. සිංහයා මුලින් ම කරුණු විමසා ඇත්තේ එතැන සිටි බලවත් ම සතුන් පිරිස වූ අනෙකුත් සිංහයන්ගෙනි. එයින් පසු එකිනෙකාට ආරංචිය ලැබුණු ආකාරය විමසමින් කාරණයට මුල් වූ හාවා කරා යොමු වී තිබේ. එපමණක් නොව හාවා භයට පත් වූ ස්ථානය කරා ම ඒ විචක්ෂණ අවධානය ලක් කර තිබේ.
සිංහයාගේ විමර්ශනයේ ඵලය ප්‍රකාශ වනුයේ,... පොළොව පෙරළීගෙන ඒ නම් මම කොයි යම් දෝ හෝ සිත සිතා වැදහොත් කල ඛෙලි ගෙඩියක් තල් වක්කන්නක් පිට වැටුණු අඩ අසා භයින් පොළොව පෙරළෙති යි දිව් නියාම සිතා... යනුවෙනි. නුවණ මඳ තැනැත්තකුට සිය දෑස ඉදිරිපිට ම සිදු වුව ද නිසි ලෙස වටහා ගත නො හැකි වූ දෙයක් බුද්ධිමතකු විසින් සිය ඥාන ශක්තියෙන් දැක වටහාගත් ආකාරය මේ සිදු වීමෙහි මැනැවින් නිරූපණය වේ.
සිංහ රාජයා විසින් පිරිස ව්‍යසනයෙන් බේරා ගැනුණු වග එතෙක් සිවුපාවෝ පරීක්ෂා නොකොට මූදුබත් වන්ට ගිය ගමනේ සිංහයා එතැන සිට පරීක්ෂා කොට නැවතූ හෙයින් විනා... යනුවෙන් පළ වේ. හාවා වැනි නුවණ නොමේරූවන් ද සතුන් පිරිස වැනි වග විභාගයක් නැත්තවුන් ද සිංහයා වැනි විචක්ෂණශීලී තැනැත්තන් ද අද පවා සමාජයේ සිටින හෙයින් මේ කථා පුවත මෙන් ම ඉන් බැඳුණු ප්‍රස්තාව පිරුළ ද භාවිතයේ පවතී.