අනවින හොයන්න පුළුවන් අපූරු ක්‍රමයක්
අනවින කොඩිවින හදි හූනියම් පිළිබඳව අද අප සමාජයේ බොහෝ දෙනෙක් කතා කරනවා. මිනිසුන්ට පිට පිට කරදර ලෙඩ දුක් ආදී නොයෙක් ගැටලු ඉවරයක් නොමැතිව පැමිණෙන විටදී ඔවුන් කල්පනා කරන්නේ එම ප්‍රශ්නවලින් ගැලවෙන මඟක්.
අප සමාජයේ ඉතා අෑත කාලයේ සිටම මිනිසුන් යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් පිහිට ලබාගෙන තිබෙනවා අදටද අසනීප තත්ත්වයක් ඇති වුණාම එයට බෙහෙත් ගෙන සුව නොවේනම් යන්ත්‍ර මන්ත්‍රවල පිහිට තමයි හොයන්නේ. දෙහි කපා ගැනීම නූල් බැඳීම තවත් සමහරු යන්ත්‍ර දැමීම ඇස්වහට වතුර මතුරවා ගැනීම වගේ දේවලිනුත් කරනවා.
ඔය අතර තවත් සමහරු මෙන්න මෙහෙමත් කියනවා "අනේ මගේ ගේ හදාගන්ඩ බැරිවෙන්ඩ හූනියමක් කරලානේ."
"අනේ අපේ මනුස්සය එක්ක තියෙන තරහට නූලක් පන්නල දැන් මහත්තය එකතැන් වෙලානේ"
"අනේ මගේ දුවව අරූ යාළු කරගත්තේ ඉනාවක් කවලනේ"
"අනේ අපේ දියුණුව බලාගෙන ඉන්න බැරුව අල්ලපු ගෙදර වුන් මිනී අළු ඉහලනේ" ඔන්න ඔය වගේ කතා කියන හැටි ඔබත් අහල ඇති.
නමෝ මුනිඳුගෙන් විවරණ ලබාගෙන
විමානෙන් ඔඩ්ඩි කුමරුත් නැඟීගෙන
නවා සියලු දෙවි බඹ ඉසිවර වඩින
පමා නොවී වර වින උගුලුවා ගෙන
ඔන්න ඔයාකාරයේ සූනියම් නැතිනම් අන වින කොඩිවින ගැන කතා කරන විටදී කෙතරම් සල්ලි තිබුණත් බල පුළුවන්කාරකම් තිබුණත් නොපෙනෙන බලවේග ඉදිරියේ අපි හැමෝම අසරණ වෙනවා. ඒ වෙන කාරණාවක්වත් නිසා නෙවෙයි මෙය හරි ආකාරයව දැනගැනීම හා මෙම දෝෂය ඉවත් කරගන්නේ කොහොමද කියලයි.
මෙම අවස්ථාවලදී අපගේ මිනිසුන් මෙම අනවින කොඩිවින දෝෂ නිසියාකාරව ඇද්දැයි අසා දැනගැනීමට සාස්තර ඇසීම, අඳුන් බැලීම, නිමිති ඇල්ලීම ආදිය කිරීමට පෙලඹෙනවා.
මම දැන් සඳහන් කරන්නේ එයට හාත්පසින්ම වෙනස් විදියේ ක්‍රමයක් මෙය අසා දැනගැනීමත් නොව මෙය තමන්ටද දෑසින්ම දැක බලා ගතහැකි ක්‍රමවේදයක්.
මගේ ගුරුපියාණන්ගෙන් ලැබුණු මෙම වටිනා ගුරුකම කරන ආකාරය මම කෙටියෙන් සඳහන් කරන්නම්. මුලින්ම ගොක් කොළයක් අරගෙන එය අතින් කඩා ගතයුතුයි. පිහි කතුරු ආදියෙන් කපා ගන්නේ නැහැ. ආතුරයාගේ ඉණේ මිම්ම ගොක් කොළයෙන් මැනගෙන හරියටම ගොක් කොළය නැවත උදරය වටා ඔතා පෑනකින් ලකුණක් කරගන්නවා. එම ලකුණු දමන්නේ ඊළඟටත් ගොක් කොළය එම ස්ථානයෙන්ම තැබීමට පහසු වෙන්නටයි. ඉන් පස්සේ මීතෙල් අරගෙන මන්තරයකින් මතුරලා එම මී තෙල් ආතුරයාට දී ඉණේ මිම්ම ගත් ගොක් කොළයේ ගෑ යුතුයි.
ඊට පස්සේ ආතුරයා කතා නොකර එම මීතෙල් ගෑ ගොක් කොළය අතේ තබාගෙන විනාඩි තිහිපයක් හිටියාට පස්සේ එය නැවැත අර ලකුණු කරගත් තැනම තියා බැලිය යුතුයි. යම්කිසි දෝෂයක් ඇතිනම් ගොක් කොළය කොටවී හෝ දික්වෙලා තිබෙන හැටි කාටත් දැකගන්න පුළුවන්. මෙම ගුරුකම කිරීමේදී ආතුරයා පාවහන් පැලඳීම නොකළ යුතුයි. මෙය ගේ ඇතුළේ, ඉදිරිපිට, පිටුපස ආදී කිහිප තැනකම වුණත් බලාගන්න පුළුවන්.
මෙමඟින් ගෙදරක ඇති අනවින කොඩිවින භූත දෝෂ, ප්‍රේත දෝෂ ආදියද ඉනා බෙහෙත් ආදී වස් කැවී ඇත්දැයි බලාගන්නත් පුළුවන්. භූමියක දෝෂ බැලීම එම භූමියේම කළයුතුයි. ඉනා බÂධන වස විස ආදිය කැවී ඇත්නම් වෙනත් තැනකදී වුණත් බලාගැනීමට පුළුවන්. දෝෂයක් ඇතිනම් ගෙදර සිටින සියලුදෙනාටම එම දෝෂය මේ විදියට බලාගන්නත් පුළුවන්.
මෙහි තවත් ප්‍රධාන කරුණක් වන්නේ ගොක් කොළය දික් වූ කොටවූ අඟල් ප්‍රමාණය අනුව ඇති දෝෂයේ ස්වභාවය කීමයි. අඟල් 1/2ක් කොටවූ විට මොනවගේ දෝෂයක්ද අඟලක් දික්වූ විට මොනවගේ දෝෂයක්ද අඟල් 1ක්, 2ක් ආදී වශයෙන් දික් වීම කොට වීම අනුව අනවින කොඩිවින යක්‍ෂ, භූත, ප්‍රේත, ඉනා, බන්ධන ආදී පලාපල කියන්න පුළුවන් එය ඇදුරාගේ දක්‍ෂතාවය මත සිදුවන්නකි.
මන් නිසාද අනවින කොඩිවින දෝෂවල ඇතුල් පන්තිය පිට පන්තිය ආදී වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙනවා. එම කොටස් දෙකෙන් තවත් කුඩා කොටස් රීරි යකා, හූනියම් යකා, මහසෝනා ආදී යකුන්ගෙන් කරන හූනියන් ඇතුල් පංතියේ ගණයටයි වැටෙන්නේ.
නමක් කටු ගසා මී මිනි වර රැගෙන
ගොටුවක් ලේ රැගෙන තුන්මංසලට වෙන
අටකුත් එසියවර මතුරා පන්න වන
හිමියත් ඇත ඒලු ගස් ගල් උඩින් පැන
මළගිය අය බඳවා එවීම, මිනී අළු ඉසීම, මිනී ඇට මතුරා එළවීම, කපුටු තෙල් ඉසීම, ආදිය පිට පන්තියේ ගණයට අයත් වෙන්නේ. ඒවාට නීච කළ හූනියම් කියලත් කියනවා. එම නිසා දෝෂය ඉවත් කිරීම පළමුවෙන්
දෝෂය කුමක්දැයි හරි හැටි දැනගැනීමයි අවශ්‍ය වන්නේ.
පපුවේ අමාරුවට බොන බෙහෙත් කකුලේ අමාරුවට බීමෙන් කකුලේ අමාරුව සුව වෙන්නේ නැහැනේ. ලෙඩක් නොමැතිව බෙහෙත් බිව්වොත් වෙන්නෙ ඒවාවල ඇති සැර නිසා තවත් ලෙඩක් හට ගැනීමයි. ඒ වාගේමයි නැති හූනියම් කැපීමෙනුත් ඒ හා දෝෂයක් ඇතිවෙනවා.
මෙම අනවින කොඩිවින කිරීම අද ඊයේ සිට පැවැත එන්නක් නෙවෙයි. විද්‍යා ඉතිහාසය බැලුවාම මුල්ම හූනියම් දෝෂයක් ගැන කියැවෙන්නේ මහ සම්මත රජ දවසේ. ඒ මහසම්මත රජුගේ බිසවට වසවර්ති කුමාරයා කරපු විනයයි. ඇය විෂ්ණුගේ නැඟණිය වන මැණක්පාල දේවියයි. තවද ආනන්ද හිමියන්ගේ හිත ගැනීම සඳහා නීච කුල ස්ත්‍රියක් විසින් කළ විනාශයද අප කවුරුත් දන්නා කරුණක්. ජල නන්දන පිරිතෙන් එය බිඳුණු බවද ඉතිහාසයේ කියැවෙනවානේ. ඒ තරම්ම ඉතිහාසයක් මෙම අනවින කොඩිවිනවලටත් තිබෙනවා.
මංතර පුරවා ජප කොට
නම්කුරු ගෙන කළ මෙලෙසට
මින්පසු වින නැත ඔබ හට
මං කපනෙමි අද සුන් කොට
මෙම දෝෂ සොයාගැනීම සඳහා තවත් ක්‍රම තිබෙනවා. නෙඉඳුල් තෙල් මතුරා පහන් අවුළා ආතුරයාට පෙන්වා එහි වර්ණය අනුවද පලාපල කියන්න පුළුවන්. ලුණු වෙඩි බෙහෙත් මතුරා ගින්නට දමන ක්‍රමයක් සහ ආතුරයා අතින් හාල් ගෙන බතක් උයවා එයින් ෙදාස් බලන ක්‍රමයක්ද තිබෙනවා.
දෙහි වළලා පසුව එය ගොඩ ගෙනද බැලීමේ හැකියාවක් තිබෙනවා වගේම තවත් සමහර ඇදුරන් දෙහි කපා වතුරට දමාද දෝෂ කියනවා. බුලතේ හඳුන් මතුරා ගා පෙකණියේ අලවාද දෝෂ කීමටත් පුළුවන්. මීට වඩා තවත් වෙනස් ක්‍රම අපේ දක්‍ෂ ඇදුරන් අතර තිබෙනවා.
අවසාන වශයෙන් කිවයුත්තේ තෙරුවන් සරණ ගිය, ශාස්ත්‍රය හරි හැටි උගත් කිසිදු කෙනකු මෙම නොමනා ක්‍රියාවල් වන අනවින කොඩිවින ආදිය නොකරන බවයි.
ගුප්ත ශාස්ත්‍රඥ
රොෂාන් චානක තිසේරා
උපුටා ගැනීම මව්බිම