නක්ඛත්ත ජාතකය
මගුල් කැඩූ නැකත ගැන කථාව.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අද පවා බොහෝ දෙනෙක් තමන් කරන කටයුත්තේ වටිනාකම දන්නේ නෑ. ඒ නිසා ඔවුන් තමන්ගේ කටයුත්තට ප්‍රධානත්වය නොදී සුභ නැකත ට ප්‍රධානත්වය දෙනවා. නමුත් එතනදී වටින්නේ තමන් විසින් කරනු ලබන කටයුත්තයි. මෙය වටහා නොගැනීම නිසා අද පවා බොහෝ වටිනා දේවල් ඇතැමුන්ට අහිමි වෙනවා. මෙයත් එබඳු කථාවක්.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කළේ සැවැත් නුවර ජේතවනයේ. සැවැත් නුවර එක්තරා කුල කුමරියක් තවත් ජනපදයක කුලකුමරෙකුට සරණපාවා දෙන්ට කතාබස් කළා. කුලකුමරිය කැන්දා ගෙන යන්ට දිනයකුත් නියම කරගත්තා. ‘හානේ…. නැකැත නැතුව මගුල් තුලා කරන්ට එපා…’ කියලා පුත්‍රයාගේ පැත්තේ මිනිස්සු කියන්ට පටන් ගත්තා. එතකොට ඔවුන් තමන්ගේ හිතවත් ආජීවකයෙක් ළඟට ගියා.
“අනේ ස්වාමීනි…. අපි අද මංගල්‍යයක් ලෑස්ති කරගත්තා. අපට ගෑණු ළමයාව කැන්දාගෙන එන්ට සුභ නැකැතක් ඕන…” කියලා කිව්වා.
ආජීවකයා මෙහෙම කල්පනා කළා. ‘අනේ හැබෑට… මේකුන්ට දැන්ද මාව මතක් වුනේ… දිනේ තීන්දු කරගත්තේ මට කියලා නොවෙයි නොවැ. දැන් මොකටෙයි කෙල්ල ගේන්ට විතරක් මගෙන් නැකැත් අහගන්නේ. හොඳයි… මං මේකුන්ට හොඳ නැකැතක් උගන්වන්නම්…’ කියලා ආජීවකයා හොඳට ම කෝපයට පත්වුනා. නළල රැළි ගන්වා මෙහෙම කියන්ට පටන් ගත්තා.
“හප්පේ…. ඇයි අදට මගුල් දවස දාගත්තේ…. මට ටිකා…ක් වේලාසනින් කිව්වා නම් අපූරු නැකැතක් හදා දෙනවා. අද මොකවත් කරන්ට එපා! අද නැකත පිහිටා තියෙන හැටි නම් හරි නරකයි. අද ඔහේලා මගුල කළොත් මහා විනාශයක් වෙනවා. ඕං…. පස්සෙ මට මොකුත් කියන්ට එපා…! පාපී නැකැත්වලට කරන මගුල් හරියන්නේ නෑ…”
එතකොට පිරිමි ළමයාගේ පැත්තේ මිනිස්සු හොඳටම භය වුනා!
“හරි… හරි… ස්වාමීනි… අපට තේරුනා… එහෙනම් හොඳ නැකත් යෝගයක් තියෙන දවසක් හදාදෙන්ට…” කියලා ආජීවකයාගෙන් වෙන දවසක් අරගෙන ගියා. ගෑණු ළමයා කැන්දාගෙන එන උත්සවයට ගියේ නෑ.
සැවැත් නුවර ගෑණු ළමයාගේ පැත්තේ පිරිස ළමයාවත් සරසාගෙන කෑම්බීම් හදාගෙන බලාගෙන ඉන්නවා ඉන්නවා කවුරුවත් ආවේ නෑ. ගෑණු ළමයාගේ දෙමාපියන්ට හොඳටම කේන්ති ගියා.“ඒ මිනිස්සුමයි දිනේ දුන්නේ. අපි මෙහේ මංගල්ලෙට හැම දෙයක්ම කරලා…. බොහෝ ධනයත් වියදම් කරලා. අපට ඔය මිනිස්සුන්ගෙන් වැඩක් නෑ… අපේ කෙල්ල වෙන තරුණයෙකුට දෙමු කියලා ඔවුන් දන්නා හඳුනන වෙනත් තරුණයෙකුට දැරිය පාවා දුන්නා.
ආජීවකයාගෙන් නැකැත් දිනේ ගත්තු අර මිනිස්සු වෙන දවසක පිරිස් පිරිවරාගෙන ආවා. ඇවිත් ගෑණු ළමයා ඉල්ලුවා.
“අනේ හැබෑට… තමුසෙලත් මිනිස්සුද…? අපට දිනේ දුන්නෙත් තමුසෙලා… අපි බොහෝ වියපැහැදම් කරගෙන ළමයාත් සරසාගෙන මොනතරම් මග බලාගෙන හිටියාද? දැන් ආ පයින්ම යන එකයි ඇත්තේ. අපේ කෙල්ල අපි ඔයිට වඩා හොඳ කොල්ලෙකුට එදාම දුන්නා…”
“අනේ මේ…. ඒක අපේ වැරැද්දක් නෙමේ… එදා නැකත් තිබුනේ නෑ… අපේ නැකැත් බලපු ආජීවකයා කිව්වා එදාට මගුල කරන්න එපාම කියලා…”
“හා… හා… තමුසෙලාගේ නැකැත් දැන් තමුසෙලාටම හරස් වෙලා” කියලා ඔවුනොවුන් අතර ලොකුවට බහින්බස් වීමක් වුනා. මේ කතා නිසා මගුල කැඩුනේ ආජීවකයාගේ නැකැත් කීමෙන් කියල හැම තැනම පැතිරුනා. ඒ කාරණය භික්ෂූන් වහන්සේලා අතරත් ප්‍රකට වුනා. දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ගැන කතා බස් කරමින් සිටියා.
“ඇවැත්නි… ආජීවකයෙකුගේ නැකැත් විශ්වාස කරන්ට ගිහින් අසවල් පවුලේ තීන්දු කරගත් මංගල්ලේ කැඩුනා නොවැ…” කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩමකොට වදාළා. පණවන ලද ආසනයේ වැඩසිටියා. භික්ෂූන් වහන්සේලා තමන් කතා කරමින් සිටිය කාරණය ගැන භාග්‍යවතුන් වහන්සේට සැළකළා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“මහණෙනි, ඔය ආජීවකයා ඔය පවුලට නැකැත් කියලා මගුල් කැඩුවේ මේ ආත්මේ විතරක් නොවෙයි. පෙර ආත්මෙකත් ඔය මිනිසුන්ට කිපිලා මංගල කටයුත්තකට අන්තරාය කළා…”
එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ඒ යටගිය දවස වූ සිදුවීම කිය දෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.
“මහණෙනි, ගොඩක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ එක්තරා ජනපදයක පවුලක දියණියක් බරණැස් නුවර පුත්‍රයෙකුට සරණ පාවා දෙන්ට දින නියම කරගත්තා. ඒ බරණැස් නුවර මිනිස්සු තමන්ගේ හිතවත් ආජීවකයෙකු මුණගැසෙන්ට ගියා.
“ස්වාමිනී… අද අපේ පුත්‍රයා බරණැස් නුවරින් දැරියක් ගෙදරින් එළියට ගන්නවා. හොඳ සුභ නැකැතක් ඒකට ඕනෑ…”
එතකොට තමන්ට නොදන්වා දිනයක් වෙන් කරගැනීම ගැන ආජීකවයාට හොඳටම කේන්ති ගියා.
“මේකුන් තමන්ට ඕනෑ හැටියට දිනේ හදාගෙන දැන් මෙහෙ එනවා කෙල්ල කැන්දන් යන්ට නැකැතක් අහගන්ට. දෙන්නම් මේකුන්ට හොඳ නැකැතක්…” කියලා මෙහෙම කිව්වා.
“හම්මේ…. ඇයි අද වගේ දවසක ඔවැනි හොඳ මංගල කටයුත්තක් යොදා ගත්තේ…? අද මගුල කෙරුවොත් මහා විනාශයක් වේවි! මං කියන එක හොඳට අහගන්ට ඕනෑ…. අද මහා අසුභ දවසක්… මං සුභ නැකැත් තියෙන හොඳ දවසක් දෙන්නම්….”
එතකොට මිනිස්සු හැමෝම මුහුණට මුහුණ බලාගත්තා. මහත් සේ කම්පාවට පත්වුනා. නැකත නරක වෙලාවේ මගුල් තුලා කරලා මොකුත් වුනොත් කියලා මනාලිය කැන්දන් එන්ට එදා ගියේ නෑ.
ජනපදවාසී මිනිස්සු මනාලිය සරසාගෙන මග බලාගෙන සිටියා. කවුරුවත් ආවේ නෑ. මනාලියගේ දෙමාපියන්ට බොහෝම කේන්ති ගියා.
“ඒ මිනිස්සුමයි අද දවස දුන්නේ. අපි මේ වියපැහැදම් කරගෙන මග බලාගෙන ඉන්නවා. මෙහෙම මිනිස්සුන්ගෙන් ඇති ඵලේ මොකක්ද…?” කියලා තමන් දන්නා වෙනත් තරුණයෙකුට මනාලියව දුන්නා.
ආජීවකයා නියම කරපු දවසේ අර මිනිස්සු මනාලිය කැන්දන් යන්ට ආවා. “අපි ආවේ කෙලීව කැන්දන් යන්ට” කියලා කිව්වා.
එතකොට ජනපදවාසී මිනිස්සු බරණැස් නුවරවාසී මිනිස්සුන්ට මෙහෙම කිව්වා.
“තමුසෙලාට ලැජ්ජා නැද්ද…? තමුසෙලාමයි කෙලීව කැන්දන් යන්නේ අසවල් දවසේ කියලා අපට දිනේ දුන්නේ… අපි කෙල්ල සරසාගෙන බලාන උන්නා…. එදා ආවේ නෑ… අපි වෙන තරුණයෙකුට අපේ දරුවා දුන්නා…”
“එහෙම කොහෙමද දෙන්නේ…? අපිනේ මගුල තීන්දු කරගත්තේ… අපේ හිතවත් ආජීවකයෙකුගෙන් මනාලිය කැන්දන් ගෙදරින් පිටත්වෙන වෙලාවට සුභ නැකැතක් අහන්ට ගියා. එදා සුභ නැකැත් නෑ. පාපී නැකැතක් තිබුනේ. ඒ නිසයි අපි නාවේ….”
“කරන්ට දෙයක් නෑ… තමුසෙලාගේ නැකැත නිසා අපේ වැඩේ අවුල් වුනා. අපේ කෙලී දීලා ඉවරයි. දැන් කොහොමද තමුසෙලාට ඕනෑ ඕනෑ නැකැතට කෙල්ල අරගෙන එන්නේ….?”
කථාව ටිකෙන් ටික දිග්ගැස්සුනා. එකිනෙකා හොඳට බැණගත්තා. ඔය අතරේ නගරවාසී නුවණැති පුරුෂයෙක් කිසියම් කටයුත්තකට ඒ ජනපදයට ගිහින් හිටියා. නගරෙන් ආ මිනිස්සු ‘අපිට ආජීවකයා නැකත නරකයි කියපු නිසා නාවේ’ කියන කාරණාව කියනවා ඇහුනා. “එතැන වෙනත් නැකැතින් ඇති ඵලයක් තියේද? මනාලිය ලැබීම ම නොවැ නැකැත” කියලා මේ ගාථාව පැවසුවා.
“නැකැත් බලන්නට යෑමෙන් මෝඩයන්ට වටිනා දේ නැති වෙන්නේ කරන දෙයක් හොඳින් කිරීමමයි නැකැත අහසේ තියෙන තාරකා කුමක් කරන්ට ද අප හට”මහණෙනි, ඔය ආජීවකයා නැකත ගැන කියල මගුල් කැඩුවේ මේ ආත්මේ විතරක් නොවේ. පෙර ආත්මෙත් නැකැත් කියල මගුල් කැඩුවේ ඔය පුද්ගලයාමයි. එදා ආරවුල් හදාගත් පවුල් දෙකමයි මෙදාත් ආරවුල් හදාගත්තේ. ගාථාව කියපු නුවණැති පුරුෂයාව හිටියේ මමයි” කියලා මේ ජාතකය නිම කොට වදාළා.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ