බක ජාතකය
කපටි කොකාගේ කථාව.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුන්ව මුළා කොට, අනුන් රවටා, කපටිකමෙන් ජීවත් වීම කිසිම කෙනෙකුට සුදුසු නෑ. හොඳ-නරක ගැන, යහපත-අයහපත ගැන විශ්වාසයක් නැති එබඳු පුද්ගලයන්ගෙන් පොදු ජනයාට කොයි කාලෙත් වුනේ අයහපතක්. ඒ වගේ ම ඔවුන්ටත් හැමදාම කපටිකමෙන් ඉන්ට ලැබෙන්නේ නෑ. බක ජාතකය එබඳු කතාවක්.
ඒ කාලේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ. ඒ දවස්වල ම ජේතවනයේ එක්තරා භික්ෂුවක් වාසය කළා. ඔහු සිවුරු මසන්ට හරිම දක්ෂයි. සිවුරු කඩ කැපීම, ඒවා එකට සම්බන්ධ කිරීම, මූට්ටු කිරීම ආදී කටයුතු ඉතාම හොඳින් කරන්ට පුළුවනි. මේ නිසා සිවුරු මහන භික්ෂුව කියලා ඔහුව ප්‍රසිද්ධ වුනා. බොහෝ භික්ෂූන් සිවුරු මහන්ට දන්නේ නෑ. එතකොට කව්රුත් කරන්නේ මේ භික්ෂුව සොයාගෙන එන එක. මේ සිවුරු මහන භික්ෂුවත් අනිත් භික්ෂූන්ගේ නොදැනුවත්කම නිසාවෙන් ටිකෙන් ටික කපටි වුනා. ඊටපස්සේ ඔහු මෙහෙමයි කරන්නේ. දිරා ගිය රෙදි කෑලි පිළිවෙළකට කඩ කපලා ප්‍රියමනාප සිවුරක් විදිහට හොඳින් කෑලි මූට්ටු කරනවා. කැඳ මිශ්‍ර වතුරෙන් හොඳට තම්බා පඬු ගහනවා. එතකොට සිවුර හොඳට පේනවා. ඊටපස්සේ හක් ගෙඩියක් රත් කරලා ඒකෙන් සිවුර හොඳට මදිනවා. එතකොට මනාකොට ඔපමට්ටම් වෙලා ඉතා සිත්කලු සිවුරක් ලැබෙනවා. ඒක හොඳට නවනවා. සිවුරු ගැන දන්නේ නැති භික්ෂූන් අළුත් වස්ත්‍ර අරගෙන ඔහුව සොයාගෙන එනවා.
‘අනේ ඇවැත්නි, අපි සිවුරු මසන්ට දන්නේ නෑ නොවැ. අපට මේ වස්ත්‍රයෙන් සිවුරක් මහලා දෙන්ට ඇහැකි ද?’
‘හප්පේ ඇවැත්නි…. එහෙම එකපාරට ම සිවුරක් කරන්ට බෑ. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. මං හදාපු සිවුරක් තියෙනවා. කැමැති නම් ඔය වස්ත්‍රය මෙහි තියලා ඒ සිවුර අරන් යන්ට පුළුවනි’ කියලා අර තමන් හදාපු හොර සිවුර පෙන්නනවා. එතකොට ඒ භික්ෂූන් දුටු පමණින් ම ඒ සිවුරට කැමති වෙනවා. අලුත් වස්ත්‍රය ඔහුට දීලා අර සිවුර අරගෙන යනවා.
ඒ භික්ෂූන් ටික කාලයක් ඒ සිවුරු පොරවා කිලිටි වූ විට උණුවතුරෙන් සෝදන කොට කැඳයි පඬුයි ගිහින් වැරහැලි රෙද්ද මතුවෙනවා. ‘අනේ අපිට හොඳ සිවුරක් කියලා අසවල් භික්ෂුව රැවැට්ටුවා නොවැ’ කියලා සිත් තැවුලට පත්වෙනවා. මොහු ගේ වංචනික ක්‍රියාව මුළු සැවැත් නුවර ම භික්ෂූන් අතර ප්‍රකට වුනා. පිටිසර ගමකත් ඔය විදිහට ම සිවුරු වංචා කරන භික්ෂුවක් ඉන්නවා. ඔහුගේ යහළු භික්ෂූන් ඔහුට මෙහෙම කිව්වා.
‘ඇවැත්නි, ජේතවනයේ මහා කපටි භික්ෂුවක් ඉන්නවා. ඔහු බොහෝ භික්ෂූන්ව වංචා කරනවා’
එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතුවා. ‘හරි… මං එහෙනම් සැවැත් නුවර ඉන්න භික්ෂුව රවට්ටන්ට ඕනෑ’ කියලා දිරා ගිය රෙදි කැබලි එකතු කොට මනා සිවුරක් කරලා මනා රතු පැහැයෙන් පඬු ගසා එය පොරවාගෙන ජේතවනයට ගියා. ජේතවනයේ සිටින කපටි භික්ෂුවට ඒ සිවුර දැකපු ගමන් ලෝභ සිතුනා.
“අනේ ඇවැත්නි… මේ සිවුර සකස් කළේ ඔබ ද? මෙය හරි අගෙයි නොවැ”
“එසේය ඇවැත්නි”
“ඇවැත්නි… ඔබ සිවුර මට දෙනවාද? ඔබට වෙනත් සිවුරක් ලැබේවිනේ”
“අනේ අපි පිටිසර උන්නාන්සේලා. සිව්පසය දුර්ලභයි. ඔබට සිවුර දුන්නොත් මං පොරවන්නේ මොකක්ද?”
“මගේ ළඟ අලුත්ම වස්ත්‍රයක් තියෙනවා. මං ඒක දෙන්නම්. ඔබ ඒකෙන් සිවුරක් කරගන්ට”
“ඇවැත්නි… මගේ අතින් කළ මේ සිවුරට ඔබ කැමතිම නිසා එහෙනම් මේ සිවුර ගන්ට” කියලා අලුත් වස්ත්‍රයත් අරගෙන හිනා වෙවී පිටත් වුනා. ජේතවනේ සිටිය භික්ෂුව ඒ සිවුර පොරවා ටික දවසකින් කිළිටි වුනා. උණුවතුරෙන් සෝදා බලද්දී තමන් අනුන්ට කළ ජාතියෙ ම සිවුරක්. එයින් ඔහු මහත් ලැජ්ජාවට පත්වුනා.
දවසක් දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා මේ කපටි දෙනමගේ කටයුතු ගැන කතාබස් කරමින් සිටියා. එතැනට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ විට භික්ෂූන් වහන්සේලා මේ දෙනම ගැන සැළකළා. “මහණෙනි, ඔය දෙනම පෙර ආත්මෙකත් එකිනෙකාට වංචා කරගත්තා” කියලා මේ ජාතකය වදාළා.
“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක වනාන්තරේක එක්තරා නෙළුම් විලක් අසල තිබුනු වෘක්ෂයක මහා බෝධිසත්වයෝ රුක් දෙවියෙක් වෙලා උපන්නා. ඔය වනාන්තරේ තිබුන කුඩා විලක ජලය පායන කාලයක දී අඩුවුනා. ඒ විලේ මාළු ගොඩාක් ඉන්නවා. එක්තරා කොකෙකුට මේ විලේ බොහෝ මාළු ඉන්න බව දැකගන්ට ලැබුනා. ‘මොකක්හරි උපායකින් මේ මාළු ඔක්කොම කන්ට ඇත්නම්’ කියලා ඌ කල්පනා කළා. පසුවදා ම කොකා ගිහින් ඒ විල කෙලවරේ සිතිවිලි බරව වාඩිවෙලා සිටියා.
විලේ සිටිය මාළුවන් කොකාව දැක්කා. ‘ඔබ මොකෝ මේ මහා බරපතල කල්පනාවකට වැටිලා වාඩිවෙලා ඉන්නේ?’
‘මං මේ තමුන්නාන්සේලා ගැනයි මෙතරම් සිතිවිලි බරව ඉන්නේ’
‘අනේ අපි ගැන ඔතරම් මොනවාද සිතන්නේ?’
“පින්වත් මත්ස්‍යයිනි, මේ විලේ තියෙන්නේ වතුර ටිකයි. ගොදුරුත් අඩුයි. ඒ මදිවට මහා පෑවිල්ල. අනේ මේ ඇත්තන්ට ඉදිරියේදී මක්වේවිද කියලයි මං මේ සිතිවිලි බරව ඉන්නේ”
“අහෝ… එතකොට අපි මොකක්ද කරන්ට ඕනෑ”
“තමුන්නාන්සේලා මගේ වචනයට අනුව කටයුතු කරනවා නම්, මං මුව තුඩින් එක්කෙනා බැගින් අරගෙන ගොහින් පස්පියුමෙන් සුසැදි මහා ලාස්සන විලකට ගිහින් දානවා”
“හප්පේ… අහන්ටත් පුදුමයි නොවැ. මුල් කල්පේ පටන් මේ දක්වා මාළුන්ට හිතෑසි වූ කොකෙක් නම් නෑ. ඔබ ආසා ඇත්තේ අපේ එක්කෙනා බැගින් කන්ටයි”
“හනේ…. තමුන්නාන්සේලා මාව විශ්වාස කරන්ට. මං එහෙම කරන්නේ නෑ. ඉදින් මහා විලක් තියෙන බව විශ්වාස නැත්නම් එක මාළුවෙක් මා සමග එවන්ට විල බලන්ට”
එතකොට මාළුන් කොකාව විශ්වාස කළා. ‘මේකා දියේත් ගොඩබිමත් දක්ෂයි’ කියලා එක් ඇසක් නොපෙනෙන මාළුවෙකුව ඉදිරිපත් කළා. කොකා ඌව තුඩින් ගත්තා. මහාවිලේ බැස්සුවා. හැම තැනක්ම පෙන්නුවා. ආයෙමත් තුඩින් ඩැහැගත්තා. අර විලට ගෙනිහින් දැම්මා. එතකොට මාළුන් ඒ මාළුවාව වටකරගෙන විස්තර ඇහැව්වා. මාළුවාත් වරුවක් ම මහවිල ගැන වර්ණනා කළා. මාළුන් හැමෝ ම මහවිලට යන්ට ආසා කළා. අනේ අපිවත් එක්කරගෙන යන්ට කිව්වා. ඉස්සෙල්ලාම යන්නේ මං කියලා ඇහැක් කණ මාළුවා ඉදිරිපත් වුනා. කොකා මාළුවාව තුඩින් අරගෙන මහවිල පෙන්නලා එතන තිබුන ලුණුවරණ ගසේ අත්තක වැහැව්වා. මාළුවා මරා මස් කා කටු ටික ගස යට හෙළුවා. ඔය උපායෙන් ඒ විලේ හිටිය හැම මාළුවෙක් ම ඉවර කළා.
අන්තිමට එකම කකුළුවෙක් විලේ ඉතුරු වුනා. කොකාට කකුළු මසුත් කන්ට ආසා හිතුනා. “භවත් කකුළුව… මං අපේ මාළුන් හැමෝම පස්පියුමෙන් සුසැදි මහා විලට දැම්මා. දැන් එයාලා හරිම කෙළිදෙලෙන් කල් යවනවා. එන්න. මං ඔබවත් එක්කරගෙන යන්නම්”
“ඔබ මාව ගෙනියන්නේ කොහොමද?” “ඇයි… මට තුඩින් ඩැහැගෙන යන්ට පුළුවනි” “හාපෝ… එහෙම බෑ. අතරමගදි මාව අතහරීවි. ඒ නිසා මට ඔබ සමග යන්ට බෑ”
“භයවෙන්ට කාරි නෑ. මං හොඳට අල්ලාගෙන යන්නම්”
එතකොට කකුළුවා මෙහෙම සිතුවා. “මාළුවන් විලට ගිහින් දැම්මා කියන කාරණය නම් ටිකාක් විශ්වාස කරන්ට අමාරුයි. හරි…. මේකා මාව විලට දැම්මොත් හොඳා. නොදැම්මොත් මං මොකද කරන්නේ?”
“මා මිත්‍ර කොකෝ…. ඔබට මාව හොඳ හැටියට අල්ලා ගන්ට අමාරුයි. එහෙම නොවේ. මට සියුමැලි ආකාරයට ඔබේ බෙල්ල අල්ලා ගන්ට දෙනවා නම් මං ඔබත් සමග විලට යන්ට එන්නම්”
කොකාට කකුළුවා තමාව රවටන බව තේරුනේ නෑ. කකුළු මසට ආසාවෙන් වහාම කැමති වුනා. කොකා බෙල්ල දිගු කළා. කකුළුවා කම්මල්කාරයෙක් යකඩ අඬුවකින් අල්ලනවා වගේ කොකාගේ බෙල්ල වැළඳගත්තා. හරි දැන් යමු කිව්වා. කොකා කලින් වගේම මහවිල පෙන්නලා ලුණුවරණ ගසේ අත්තේ වැහැව්වා.
“අනේ මාමණ්ඩි… විල තියෙන්නේ අතන. ඔබ මාව මෙතනට ගෙනාවේ ඇයි?”බක,බක,බක, බක,බක,බක,,,,බක
“ආහා… කවද්ද තොට මාව මාමා වුනේ? මගේ සහෝදරියගේ පුතාද තෝ? තෝව මං උස්සාගෙන ආවම හිතුවද මං දාසයෙක් කියලා? දැන් බලාපිය ලුණුවරණ ගස යට. හහ්.. පේනවාද? සියලු මාළුන් ගේ ඉරණම විසඳුනේ මෙතන. තෝවත් මං කනවා”
එතකොට කකුළුවා මෙහෙම කිව්වා. “බොල කොකෝ…. ඒක මාළුවන්ගේ මෝඩකොම. නමුත් තොට මාව කන්ට ලැබෙන්නේ නෑ. මෙතෙක් කළ වංචාව දන්නෑ කියලද හිතන්නේ? මැරෙනවා නම් දෙන්නම මැරෙමු. මෙතැනම මං තොගේ බෙල්ල කඩනවා” කියලා යකඩ අඬුවෙන් තද කරනවා වගේ කොකාගේ බෙල්ල තද කරන්ට පටන් ගත්තා. එතකොට කොකා කඳුළු වගුරුවමින් මරණභයෙන් යුක්තව බයාදු හඬින් ආයාචනා කළා.
“අනේ ස්වාමී…. මං තමුන්නාන්සේව කන්නේ නෑ. මට ජීවිතය දෙන්ට”
“හරි එහෙනම් මාව විලට අතෑරපං” එතකොට කොකා වහාම විලට ගිහින් විල් කෙළවර මඩ මත කකුළුවාව තැබුවා. කකුළුවා නෙළුම් දණ්ඩක් කතුරකින් කපනවා වගේ කොකාගේ බෙල්ල කපාගෙන ජලයට පිවිසුනා.
මේ අසිරිය දුටුව ලුණුවරණ ගසේ සිටිය දෙවියා වනය නින්නාද කරවමින් මේ ගාථාව පැවසුවා.
“වංචාවට කපටිකමට නුවණ යොදන කෙනා හැම කල්හිම වංචාවෙන් සැප ලබන්නෙ නෑ කකුළු මසට කැමතිව වංචාවට නුවණ යෙදූ කොකාට වූ දේ ම යි ඒ අයටත් වෙන්නේ”
මහණෙනි, ඒ කාලේ කොකා වෙලා සිටියේ ජේතවනයේ ඉන්න සිවුරු මහන භික්ෂුව. කකුළුවා වෙලා සිටියේ පිටිසර ගමේ සිටිය සිවුරු මහන භික්ෂුව. රුක් දෙවියා වෙලා සිටියේ මම යි”
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ