තමා ඉදිරිපිට සිහිසුන්ව වැටී මියගිය මිතුරා අමල්ට ආවේශ වෙයි
සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි අමල් පවුලේ එකම දරුවාය. පියා මෙන්ම මවද කම්කරු වෘත්තියේ නියැළෙයි. දිනපතා මත්පැන් පානය කරන පියා නිවසට පැමිණ මවට හිරිහැර කිරීම අමල්ගේ සිත දැඩි පීඩාවට පත් කළ කරුණක් විය. ඔහු වඩාත්ම දුක් වුණේ ඉතා අහිංසක කාන්තාවක වූ මව පියාට එරෙහිව වචනයකුදු නොකියා සියල්ල නිහඬව ඉවසා දරා ගනු දකින විටය. අමල් තමාගේ සිතට දැනෙන වේදනාව සහ පීඩාව පිළිබඳව කිසිවකුට හෙළි කළේ නැත. දිනක් අමල්ගේ පන්තියේ වෙනත් පිරිමි දරුවකු පන්තිය තුළදීම සිහි නැතිව ඇද වැටිණි. ඒ දරුවා වැටුණේ අමල් අභියසදීම නිසා මිතුරා ඇද වැටෙන ආකාරය අමල් මනාව දුටුවේය. ඔහු එවේලේම රෝහල්ගත කරන ලද අතර ඉන්පසු පන්තියේ සෙසු මිතුරන්ද සමග අමල්ද රෝහලට ගොස් රෝගී මිතුරාගේ දුක සැප සොයා බැලීය. කෙසේ වුවද රෝහලේ අසිහියෙන් දෙදිනක් ගත කළ එම පිරිමි දරුවා තෙවන දිනයේ අවසන් හුස්ම හෙළා තිබිණි. වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ මොළය සම්බන්ධ එක්තරා රෝගාබාධයක් මේ මරණයට හේතුව බවයි. මේ පිළිබඳව අමල්ගේ සිතේද දැඩි කම්පාවක් හට ගෙන තිබූ අතර එය සෙසු මිතුරන් තුළ මෙන්ම ගුරුවරුන් තුළ පවා එපරිද්දෙන්ම පැවැතිණි. පන්තියේ මිතුරු කණ්ඩායමක් සමග අමල්ද මිතුරාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස එහි ගියේය. දේහය අසල සිටි මව පන්තියේ මිතුරන් හඳුනාගෙන හඬාගෙනම පැමිණියේ අමල් වෙතය.
ඇය තමන්ගේම දරුවා තුරුලු කර ගන්නාක් මෙන් දැඩි ආදරයකින් අමල් තුරුලු කරගෙන අනේ මගේ පුතා අපිව දාලා ගියා පුතේ. මගේ පුතාට තිබුණු ලොකුම ආශාව හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ යන්නයි. ඒත් පුතා ඊට කලින් අපි හැමෝම දාලා ගියා. දැන් මගේ පුතාගේ ආශාව පුතාවත් ඉෂ්ට කරන්න පුතා හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ යන්න පුතේ යැයි අදා්නා නගමින් පවසන විට අමල්ගේ සිතේ ඇති වූයේ තදබල කම්පනයකි. එසේම ඒ මව මිතුරාගේ ආත්මය තමාට භාර දුන්නාක් බඳු හැඟීමක් ඔහුගේ සිතේ ජනිත විය. ඔහුට එය වඩාත් තදින් හැඟෙන්නට තවත් හේතුවක් බලපෑවේය. එනම් ඔහු මතක ඇති කාලයකින් තම මව හෝ පියා වෙතින් එබඳු උණුසුම් ආදරයක් ලැබුවේ නැත. ඒ අනුව තමාව අප්‍රමාණ දරු සෙනෙහසකින් වැළඳගත් මිතුරාගේ මව තුළින් ඔහුට බොහෝ කලකට පසු මව් සෙනෙහස දැනිණි. මිතුරාගේ ආත්මය තමා වෙත භාර කළ බවට වඩාත් තීව්‍ර හැඟීමක් ඔහුගේ සිතට දැනුණේ එනිසාය. ඉන්පසු අමල්ගේ සිතට දැනුණේ තමා අවට සිටින සියලුම දෙනා අජීවී අය ලෙසිනි. මුළු පරිසරයම චිත්‍රපටයකින් දකින දර්ශන ලෙස ඔහුට හැඟෙන්නට විය. තමාද ඒ චිත්‍රපටයේම චරිතයක් ලෙස මිස තමාගේ අවට ඇති කිසිවක හෝ සජීවී බවක් ඔහුට හැඟුනේ නැත. මේ හැඟීම ස්වල්ප වෙලාවක් ඔහුගේ සිතේ පැවැති අතර පසුව ඔහු ඉබේම සාමාන්‍ය තත්ත්වයට පත් විය. ඉන්පසු මිතුරන් ආපසු එද්දී අමල්ද ඔවුන් සමගම පැමිණියේය. මේ සිද්ධියෙන් අනතුරුව ඔහුගේ සිතට නිරතුරුවම මැවී පෙනෙන්නට වූයේ මිතුරා තමා අභියසදී බිම ඇද වැටුණු අන්දමය. ඔහු රෝහලට ඇතුළු කර ඇති අයුරු එහිදී මරණයට පත්වූ අන්දම යන මේ සියලු දෑ චිත්‍රපටයක රූප රාමු මෙන් ඔහුගේ දෙනෙත් අභියස මැවී පෙනිණි. අන්තිමට මෙය නිතරම ඔහුට දැනෙන්නට වූ අතර එය ඔහුට විශාල මානසික පීඩාවක්ද විය. ඒ අවස්ථාවලදී ඔහු කිසිවකු සමග කතා කරන්නටවත් කැමති වූයේ නැත. තමාට මේ සිදුවී තිබෙන දෙය අන්‍යයන් හඳුනාගනීවි යැයි ඔහු බිය විය. එසේම තම ශරීරය වෙනස් වී ගෙන එන ආකාරයක්ද ක්‍රමයෙන් අමල්ට දැනිණි. මියගිය මිතුරා තම ශරීරයට අරක්ගෙන ඇතැයි අමල් තීරණය කළේය. පාසලට ගිය විට මිතුරා වෙනුවෙන් එල්ලා තිබූ සුදු කොඩිය දකිද්දී අමල් බොහෝ සෙයින් බිය වූවේය. පාර දෙපස ලයිට් කණු ආදියේ ගසා තිබූ මිතුරාගේ ඡායාරූපය සහිත අවමංගල්‍ය දැන්වීමේ හිඳින්නේ මිතුරා නොව තමා යැයි අමල්ගේ සිත කීය. ඔහු සුදු කොඩි දෙසවත් අවමංගල්‍ය දැන්වීම දෙසවත් හිස ඔසවා බැලීමෙන් පවා වැළකී සිටියේය. එපමණක් නොව පන්තියේ සහ පාසලේ සියලු දෙනාම මිතුරාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වෙද්දී අමල් පමණක් එදින පාසල් යාමෙන්ද වැළකී නිවසේ රැඳුනි.
දැන් ඔහුට පාසල ගැන සිහි වීම පවා මානසික වදයක් වී ඇත. ඔහු පාසල් නොයා නිවසට වී කල් ගත කරන්නට විය. මව ඒ ගැන විමසූ විට ඔහු කීවේ තමාට පාසලට යා නොහැකි බවයි. නිවසට වී සිටින විටත් ඔහු කාමරයෙන් පිටට ආවේ නැත. ඇතැම් අවස්ථාවල ඔහු තුළ දැඩි බියක් ඇති වී හෘද ස්පන්දනයද වේගවත් විය. මඳ වෙලාවකින් මේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙයි. දෙමාපියන් ඔහුගෙන් වරින්වර මෙසේ පාසල් නොයා මගහැරීමට හේතුව විමසුවත් ඔහු කිසිදු පිළිතුරක් නොදුනි. සාමාන්‍ය වෙලාවට ඔහු මව සමග කතාබහ කළත් මිතුරාගේ ආත්මය තම ශරීරයට ඇතුල් වී ඇති බව හැඟෙන විට කිසිවකු සමග කතා කරනු තබා කාමරයට කිසිවකු එනු ද දකින්නටවත් ඔහු කැමති වූයේ නැත. අමල්ගේ ස්වරූපයේ වෙනස හඳුනාගන්නට ඔහුගේ මවට නොහැකි වූයේ නැත. දරුවා වෙනුවෙන් කට්ටඩියකු ලවා කුමක් හෝ ශාන්තිකර්මයක් කළ යුතු බව ඇයට වැටහුණත් ඒ සඳහා මුදල් හදල් ඇය සතු නොවිණි. එබැවින් අමල් වෙනුවෙන් වැඩි වියදමක් නොදරා සුළු ශාන්තිකර්මයක් කරවාලන්නට ඒ මව සමත් වූවාය. එසේ වුවද අමල්ගේ ස්වරූපය වෙනස් නොවිණි. ගෙදර ලොකු තොවිලයක් කර මේ අමනුෂ්‍ය බැල්මෙන් අමල් මුදවා ගත යුතු බව කිහිප දෙනකුම අවධාරණය කළත් අමල්ගේ මවට ඒ සඳහා කිසිදු හැකියාවක් තිබුණේ නැත. “ළමයව පෙන්නන්න මනෝ වෛද්‍යවරයකුට” දැනුම් තේරුම් ඇති වැඩිහිටියකු අමල්ගේ මවට උපදෙස් දුනි. අමල්ව මනෝ වෛද්‍ය සායනයකට රැගෙන ආවේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
අමල්ගේ වෙනසට හේතුව මියගිය මිතුරාගේ බැල්ම වැටීම විය හැකිද යන්න ගැන දැන් අපි සොයා බලමු. අමල් කුඩා කල සිටම හැදුනේ වැඩුණේ දෙමාපියන්ගේ ගැටලු අර්බුදවලින් පිරි පරිසරයකය. එවැනි පීඩාකාරී මානසිකත්වයක් සහිත දරුවකු ලෙස ඔහුට තමන් ඉදිරිපිටදීම මිතුරකු සිහි නැතිව ඇද වැටී ඉන් තෙදිනකට පසුව මියයාම දරාගත නොහැකි වුණි. මියගිය මිතුරාගේ මව තමා වැළඳ හඬන විට ඔහු තුළ දැඩි කම්පනයක් ඇති වූ අතර මළ ගෙදර සිටි සියලු දෙනා මෙන්ම තමාත් අජීවී රූප ලෙස ඔහුට දැනුණේ ඒ නිසාය. මෙසේ ඇතිවුණු ක්ෂණික ආතති තත්ත්වය (Acute stress reaction) සහ කාංසාව (Anxiety) නිසා මළ ගෙදර සහ මරණය සම්බන්ධ විවිධ සංකේත දර්ශනය වීම (භ්‍රාන්ති) සිදුවිය. මෙයට එක් උදාහරණයක් වනුයේ මරණ දැන්වීම්වල මිතුරාගේ රුව වෙනුවට තමාගේ රුව දර්ශනය වීමය. නමුත් ඔහුට තිබූ ආතති තත්ත්වය නිසා ඔහු මළ ගෙදරට සම්බන්ධ සියලු දර්ශන එනම් මළ ගෙදර යාම සහ සුදු කොඩි සංකේත මගහැරියේය. ක්‍රමයෙන් මේ තත්ත්වය පහව ගියත් මානසික පීඩාකාරී තත්ත්වය පහ නොවූ නිසා පැනික්් ඇටෑක් (panic attack) නමැති ක්ෂණිකව රෝග ලක්ෂණ පෙන්වන තීව්‍ර ආබාධ තත්ත්වයක් උද්ගත විය. හෘද ස්පන්දනය වේගවත් වීම ඇතුළු ඉහත දැක්වූ අනිකුත් බොහෝ ලක්ෂණ පැනික් ඇටෑක්වල ප්‍රතිඵලයකි. මෙයට හේතුව අද්භූත බලයක් තම සිරුරට ඇතුළු වීම යන දැඩි විශ්වාසය මතින් ඇතිවූ අධික කාංසාවයි. මේ මානසික ආබාධ තත්ත්වයන්ට ඖෂධ ප්‍රතිකාර ලබා දුන් විට මාසයක පමණ කාලයකදී රෝගියා සුව කළ හැකි විය.
ඉන්දු පෙරේරා
උපුටා ගැනීම ලක්බිම පුවත්පත