සුදු පුතේ අල්මාරියේ පරිස්සමට තිබ්බ ඔප්පු ටික අරන් ආවේ ඇයි?
“කවුද මේ ශරීරයට රිංගා ගෙන කෑගහන්නේ?” යි ආධ්‍යාත්මීය උපදේශකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
“මම මේ සුදු පුතාගෙ තාත්තා” යි සමන්ති ගේ ශරීරයට ආවිශ්ටව සිටි භූතයා කීවේය.
“කවුද සුදු පුතා කිව්වෙ?”
“මේ සමන්ති දුවගෙ මහත්තයා. මේ ඉන්නේ. මේ මගේ පුතානෙ”
“තමන්ගෙ නම මොකක්ද?”
“මම සයිමන්. සයිමන් රාලහාමි”
“රාලහාමි කිව්වෙ? පොලීසියෙ ද වැඩ කළේ?”
“නෑ... නෑ.... මම ගමේ ගම්මුලාදෑනියා.”
සමන්ති පනස් පස් හැවිරිදි දෙදරු මවකි. ඇය රජයේ වැදගත් රැකියාවක් කළ අතර ඇගේ ස්වාමි පුරුෂයා තිස්ස ද එවැනිම රැකියාවක් කළේය. ඔවුන්ගේ ගම අම්බලන්තොට වුවද ඔවුන් පදිංචිව සිටියේ දෙහිවලය. ඒ රැකියාවලට යෑම් ඊම් පහසුව සඳහා ය. දැනට මාස තුනක පමණ කාලයක සිට සමන්ති දැඩි ඇඟපත වේදනාවකින් පෙළුණු අතර රාත්‍රි නින්දෙන් බිය වී තිගැස්සී ඇහැරෙන්නට වූවාය. ඊට අමතරව ඇගේ වම් කකුල ඇවිදින්නට අමාරු තත්ත්වයෙන් වූ නොන්ඩියක් ඇති විය. වෛද්‍ය ප්‍රතිකාර ගනු ලැබුව ද කිසි ම සුවයක් නොලැබුවාය. ඇදුරන් ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රාදියෙන් ආරක්ෂා කළ ද බෝධි පූජා පැවැත්වුව ද එයින් සහනයක් නොලැබුණි. “සිළුමිණ” පාඨකයන් වූ මේ පවුලේ අය එහි සති පතා පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කියවා අඹු සැමි දෙදෙනා ඒ ගැන සාකච්ඡා කොට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගොස් ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසුණාහ. පළමු දින ගවේෂණයේ දී සමන්ති වෙව්ලන්නට වූ නමුත් ඉන් එහා දෙයක් මතු වී ආවේ නැත. ඒ නිසා ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස ද ඒ බෝධි පූජාවේදී සිත ඒකාග්‍ර වන අයුරින් කළ යුතු පිළිවෙත් කීපයක් ද නියම කළේය.
මේ පිළිවෙත් කිරීමේ දී තමන්ගේ ශරීරයට හෝ නිවසට හෝ අහිතකර අන්දමින් යම් කිසි අමනුෂ්‍ය බලවේගයක් ක්‍රියාත්මක වේ නම් ඒ භූතාත්මයට වෛර නොකොට, පන්නා දමන අදහස අතහැර, ඒ භූතාත්මය කෙරෙහි කරුණාවෙන් පින් අනුමෝදන් කොට දැනට සිටිනවාට වඩා ඉහළ තලයකට පත් කරන චේතනාවෙන් කටයුතු කරන ලෙස ද ඊට අවශ්‍ය පරිදි වැඩිහිටියන් රෝගීන්, ගර්භනීන්, අසරණයන්, විශේෂයෙන් පුලන්නන් වැනි අයට ආහාර පාන හා වස්ත්‍ර පරිත්‍යාග කොට පින් අනුමෝදන් කරන ලෙස ද උපදෙස් දුන්නේය. ඒ කටයුතු ආරම්භ කරන විට නිවසේ දොර ජනෙල් අරින වහන ශබ්ද ඇසෙන්නටත් වරින් වර නිවස පුරා දරුණු දුර්ගන්ධයක් පැතිරෙන්නටත් පටන් ගත් බව තිස්ස දුරකථනයෙන් ගවේෂකවරයා වෙත දැනුම් දුන්නේය. මේ භූතාත්මය තමන්ගේ සංසාර ගත ඥාතියෙකු විය හැකි බැවින් ඔහු සිටින ප්‍රේතාත්මයෙන් ඉහළ තලයකට පත් කරන බව අවධාරණය කරන ලෙස උපදෙස් දුන්නේ ය. බෝධි පූජා අවසන් කොට තිස්ස සමන්ති සමඟ නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ආවේය. එදින ද සමන්ති ආවිශ්ට වූවාය. ගවේෂකවරයා කිරණ ශක්ති එල්ල කොට භූතාත්මය සමඟ කතා කළේය.
“කරුණාකර කතා කරන්න. මේ කවුද?”
“මම මේ සුදු පුතාගෙ තාත්තා. සයිමන්. මම ගමේ වැදගත් විදිහට ජීවත් වෙච්ච නම්බුකාරයෙක්. මට හොඳට ඉඩකඩම් තිබුණා. යාන වාහන තිබුණා. ලොරියක් පවා තිබුණා. ගමේ උදවිය මට ගරු සරු කළා. ඒත් අපේ පවුල්වල අය මට ඊර්ෂ්‍යා කළ බවත් මම දන්නවා. උන්ගෙ නොසැලකිල්ල නිසා මුඩු බිම් වෙච්ච පරම්පරාවෙ ගොඩ මට ඉඩම් මම අස්වැද්දුවා. ඒවයේ අස්වැන්න පළදාව දකින කොට, අස්වැන්න නෙළන කොට, පොල් කඩාගෙන කරත්තෙන් ගෙදර ගේනවා දකින කොට, වී ගෝනි පටවා ගෙන එනකොට උන් ඉරිසියාවෙන් පුපුරන්න වුණා” යි භූතාත්මය තමන් පෙර සිටි තත්ත්වය කීවේය.
“හොඳයි, හොඳයි, මේ සමන්තිගෙ කකුලට මොකද වුණේ? ඇයි මෙයා නොන්ඩි ගහන්නෙ?”
“ඇයි මහත්තයා, දවසක් කුඹුරු වල කටයුතු බලන්න ගිහින් ඉන්දැද්දි නියරකින් ලිස්සලා වැටිලා මගේ කකුල කැඩුණනේ. ඒ කකුල සනීප වුණත් නොන්ඩිය ඉතුරු වුණා. මම කෙල්ලගෙ ඇඟට ආවා ම කෙල්ල නොන්ඩි ගහනවා.”
“ඇයි මේ ලේලිගෙ ඇඟට ඇවිත් කරදර කරන්නෙ? ලෙඩ කරන්නෙ?”
“මම කරදර කරන්නේ නෑ. මේ සුදු පුතා කරපු වැරදි වැඩක් නිසයි මම ආවේ. සුදු පුතා එක්ක කතා කරන්න ඕනැ නිසයි මම සමන්ති දුවගෙ ඇඟට ආවේ. කෝ ඉතින් මාස ගණනක් වුණා කතා කරන්න ලැබුණේ නැහැනෙ. මුන් ගෙන්නපු ඇදුරෝ තෙල් නූල් මැතුරුවෙ මාව එළවන්න. පන්නන්න. ඒකයි කතා කරන්න පරක්කු වුණේ. මහත්තයා තමයි අපේ ආගමේ හැටියට දන් පැන් දීලා පින් අනුමෝදන් කරවන්න උපදෙස් දුන්නේ. ඒවයින් තමයි මට කතා කරන්න ශක්තිය ලැබුණෙත්.”
“මොනව ද සුදු පුතාට කියන්න තියෙන්නෙ. දැන් කියන්නැ” යි ගවේෂකවරයා භූතාත්මයට සිය පුතණුවන් අමතන්නට අවසර දුන්නේ ය.
“ඇයි සුදු පුතේ මම අල්මාරියෙ පරෙස්සමට තියා තිබුණු ඔප්පු ටික අරගෙන ආවේ, අම්බලන්තොට ගෙදර තියෙන්න ඕනෑ ඒවා දෙහිවලට අරගෙන ආවේ, මොකද? අම්මයි අක්කයි ගෙදර ඉන්නවානෙ. ඔයා මොකටද ඔප්පු ටික අරගෙන ආවේ, ඒ ඔප්පු ටික අල්මාරියෙ නෑ. ඒකට මම හිතේ අමාරුවෙන් ඉන්නේ.”
“ඇයි තාත්තා දන්නෙ නැද්ද? බාප්පලා ගෙදරට ඇවිත් ඔප්පු ටික ඉල්ලලා අම්මයි අක්කයි එක්ක රණ්ඩු කළා. ඔප්පු ටික ගිනි තියන්න ඕනැ යි කියලා ඔප්පු ටික ඉල්ලන්න ආවා. මම ඔය ගැන කලින් ම දැන ගෙන ඒ ඔප්පු ටික අරගෙන දෙහිවල ගෙනැත් තිබ්බා. ඒ වගේ ම බාප්පලා ඇවිත් රණ්ඩු කළා නෙ. ඔප්පු ඉල්ලලා ගිනි තියන්න. ඉතින් තාත්තෙ මම කළ දේ හොඳ නැද්ද?” යි තිස්ස පියාගේ භූතාත්මයට පිළිතුරු දුන්නේය.
“අනේ! පුතේ! මම ඒ වගක් දැන ගෙන හිටියේ නෑ. මම නැති වෙලාවක තමයි ඔය මිනිස්සු රණ්ඩුවට එන්න ඇත්තෙ. අපේ ලෝකෙත් ගමන් බිමන් තියෙනවානෙ පුතේ. ඒ වෙලාවෙ මම වෙන කොහේ හරි ගිහින් ඉන්න ඇති, හොඳයි හොඳයි පුතා කළ දේ හරි, ඒක හොඳයි. එහෙම නම් ඔප්පු ටික පුතා ළඟ තිබුණාවෙ” යි භූතාත්මය කීවේය. ගවේෂකවරයා භූතාත්මය ඇමතීය.
“තාත්තගෙයි පුතාගෙයි කතාව අපිත් අහගෙන හිටියේ. දැන් රාලහාමි කිව්වා අපේ ලෝකෙත් ගමන් බිමන් තියෙනවා කියලා. මොකක්ද ඔය කියන ලෝකය?”
“මේ ලෝකෙම තමයි මහත්තයා. ඒ වුණාට මම මැරිලානෙ මහත්තයා.”
“අන්න හරි, මටත් ඕනෑ ඔබතුමාට ඔය ටික වටහලා දෙන්න තමයි, ඔබ තුමා දැන් මැරිලා. සයිමන් රාලහාමි මැරිලා. ඉස්සර මිනිස්සු රාලහාමිට සැලකුවා. දැන් ඒ රාජකාරි බලය නෑ. දැන් රාලහාමි නොවෙයි, දැන් ප්‍රේතයෙක්. ගිය ගිය තැන ගඳ ගහනවා. එහෙම වුණේ ඉඩකඩම් තණ්හාවෙන් මැරුණු නිසා. ඒකනෙ ඔප්පු තිරප්පු හොයන්නේ, දැන් ඒවායෙන් වැඩක් නෑ. ඒවා අම්මයි පුතයි දුවයි බලාගනීවි, දැන් මේ ලේලිගෙ ඇඟට ඇවිත් කරදර කරන එකත් මහා පාපයක්. ප්‍රේත දුක තවත් වැඩි කර ගන්නවා. දැන් තමන් දන්න හොඳ සිද්ධස්ථානයක් සිහියට නඟා ගන්න. මේ ලේලිව, පුතාව, ඉඩකඩම්, ඔප්පු තිරප්පු අතහැර ඉහළ තලයකට යන්න සිද්ධස්ථානයක් සිහිපත් කරන්න.”
“ම්... ම්... මට සිතුල්පව්ව මතක් වුණා. මම ඉස්සර සිතුල්පව්වට ගිහින් විහාර කර්මාන්තවලට ආධාර කරලත් තියෙනවා.”
“එහෙනම් දැන් සිතුල්පව්වට යන්න අධිෂ්ඨාන කරන්න.”
“අනේ මහත්තයා මට එතැනට යන්න පින් නෑ.”
“ඒ මොකද හිතේ කැකෑරෙන ප්‍රශ්නයක් තියෙනවා.”
“ඒ මොකක්ද?”
“මම මිනිහෙක් මැරෙව්වා.”
“මොනවා! ඒ කොයි කාලෙ ද? කාව ද මැරෙව්වේ? ඒ විස්තරේ කියන්න.”
“මහත්තයා, අපේ ගමට පොලිස්කාරයෙක් ඇවිත් පදිංචි වුණා. ඌ ගමේ කසිප්පුකාරයා එක්ක, බූරුවා ගස්සන එකා එක්ක යාළු වුණා. උන් මූට පගාව දුන්නා. මේක ගමට මහා වින්නැහියක් වුණා. මම පොලීසියට ගිහින් කසිප්පු ජාවාරම් කාරයා ගැනත්, සූදු කෙළවන එකා ගැනත් පොලීසියේ ලොකු මහත්තයාට ගිහින් කිව්වාම මූ ගමට ඇවිත් කියනවා අන්න ගම්මුලාදෑනියා අපේ ලොක්කට රපොර්තු කළා කියලා. මූ උන් දෙන්නගෙන් පගාව ගන්නවා. පොලීසියෙන් කසිප්පු අල්ලන්න, සූදු පොළ වටලන්න එනකොට මූ කලින් ම උන්ට දැනුම් දෙනවා. ඔන්න හෙට පොලීසියෙන් එනවා කියලා. උන් එදාට පරෙස්සම් වෙනවා. උන් මම පාරේ යනකොට මට ඇහෙන්න හූ කියන්නත් හිටියා. මේ ගමට තියෙන කරදරය වළක්වන්න මගේ රාජකාරි බලයට බැරුව ගියා. මම මිනිස්සු දෙන්නෙකුට සල්ලි දීලා පොලිස්කාරයව මැරෙව්වා.
“තමනුත් ගියා ද පොලිස්කාරයාව මරන්න.”
“නෑ මම ඌව මරන්න වියදම් කළා.”
“ඔව් ඔබ ඒ දේ කළේ තමන්ගෙ රාජකාරි මට්ටමෙන් කැරගන්න බැරි නිසා ගමට සිදුවෙන අයහපත වළකාලන්න. ඔය අතරේ ඔබ ගමට කළ තවත් හොඳ දේවල් ඇති. මතක් කැර බලන්න.”
“ම්... ම්... ම්... මහත්තයා මට මතකයි. ඒ කාලෙ අපේ ගමට ඉස්කෝලයක් තිබුණේ නෑ. ඉතා ම ටික දෙනෙක් ඈත නගරයට යවලා දරුවන්ට ඉගැන්නුවා. දුප්පත් අය ළමයින් ඉස්කෝලෙ යැව්වෙ නෑ. මම ගමේ ළමයින්ට මගේ ඉඩමක ඉස්කෝලයක් හැදුවා. ඒ ඉස්කෝලෙට ගුරුවරු හොයා ගත්තා. අවුරුදු පහක් ඒ අයට වැටුප් ගෙව්වේ මගේ පුද්ගලික ධනයෙන්.”
“බලන්න කොයි තරම් ලොකු පින්කමක් ද? කුසලයක් ද? ළමයින් ගේ දෑස් පෑදු පින. ඒ ළමයි අධ්‍යාපනය ලබලා හොඳ මිනිසුන් ලෙස ජීවත්වුණා. සතුටුවෙන්න. තමන් කළ පින්කම ගැන හිතලා සතුටුවෙන්න.”
“ඔව් මහත්තයා ඒ ගැන හිතෙන කොටම මම සැහැල්ලු වුණා. මට දැන් ආයෙත් සිතුල්පව්ව මතක් වෙනවා. බුද්ධ පූජාව සඳහා පළතුරු වට්ටියක් සකස් කැරවා ඊට සම්බන්ධ කොට භූතාත්මය සිතුල්පව්වට යැව්වේය. එහි ගොස් ආපසු එන විට ම සමන්තිගේ කකුලේ නොන්ඩිය සුව විය. ඇය දැන් සුවපත්ව ඇත.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත